ප්‍රේමයේ මන්දහාසිනී

අනුර, දේවිකාව මුලින්ම දැක්කේ ඉස්කෝලේ ගේට්ටුව ළඟදී.

 වැස්සට තෙමිලා, කොණ්ඩෙන් වතුර බේ‍රි බේරි උන්න දේවිකාගෙ තිබ්බ පුදුමාකාර ලස්සනක්. වැස්සට ලාවට තෙමිච්ච කෙල්ලෙක්ගෙ එච්චර ලස්සනක් තියෙනවද කියන එකත් අනුර ඇත්තටම එවෙලේ කල්පනා කරා. අනුර දේවිකාව දැක්කට දේවිකා මෙහෙම තමන් දිහා බලාගෙන ඉන්න කොල්ලෙක් ඉන්නවා කියන එක දැක්කෙ නෑ. මොකද දේවිකා ඒ වෙලාවෙ උන්නෙ යාළුවෙක් කියපු දෙයකට හයියෙන් හිනා වෙන ගමන්.

 ඒ හිනාව හරිම දීප්තිමත්, කිසිම බරක් නැති හිනාවක් විදියට මුළු දවසෙම අනුරගේ හිතේ රැඳිලා තිබ්බා.

අනුර කියන්නේ හරිම සයිලන්ට් කොල්ලෙක්. එයා කැමති පොත්වලට, ලස්සන කොළ පාට ගස් පිරිච්ච තැන්වලට, නිදහසට, තනිකමට. හැබැයි එක බැල්මකින්ම දේවිකා කියන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස්, හයියෙන් කතා කරන, හිනා වෙන, ඕනම පොඩි දේකින් කුතුහලයට පත්වෙන, excite වෙන කෙල්ලෙක් කියන එක අනුර තේරුම්ගත්තා.ජාති ආගම් කුල බේද වගේම, introvert, extrovert වෙනස්කමත් ආදරේදි බලපාන්න පුලුවන් කියන එක දැනගෙන උන්නට අනුර මේ වෙලාවෙ නම් ඇත්තටම ඒක ගැන care කරේම නෑ.

එක හවසක, හැමෝම ඉස්කෝලේ ඉන්නකොට වැස්ස පටන් ගත්තා. වහින කාලෙක උනත් ඒ වැස්ස ආවෙ මහ අමුතුම විදියට කියන එක හැමෝටම තේරුණා. ඉස්කෝලේ ළමයි ඒ ඉන්ටර්වල් එකේ උන්නෙ ග්‍රව්න්ඩ් එකට වෙලා. සමහරු සෙල්ලම් කරනවා. සමහරු කනවා බොනවා. සමහරු කතා බස් කරනවා. වැස්ස එක්ක හැමෝම වගේ එහාට මෙහාට දුවලා මුවාවීම් හොයා ගත්තත්, පොත් මිටියක් උස්සගෙන ස්ටාෆ් රූම් එකේ ඉඳලා පුස්තකාලෙ දිහාවට ග්‍රව්න්ඩ් එක හරහා ඇවිදගෙන ගිය දේවිකා දුවගෙන ගියේ පරණ අඹ ගහ යටට. අනුර පොතක් කියවන ග්‍රව්න්ඩ් එකේ තිබ්බ එකම අඹ ගහ යටට. වැස්ස හන්දා අනුර උන්නෙත් පිට්ටනිය හරහා ගිහින් වහලක් තියෙන තැනකට ගොඩ වෙන්න බැරුව. ගහ යට හැබැයි අතු හොඳට විහිදිලා තිබිච්ච හන්දා තෙමෙන්නෙ නැතුව ඉන්න දෙන්නටම ඕන තරම් ඉඩ කඩ තිබ්බා. 

“හැමදාම මෙතනට ඇවිල්ලා පොත් කියවනවා මං දැකලා තියෙනවා,” කියලා කතාව පටන් ගත්තෙම දේවිකා. කොහොමත් අනුර කියන්නෙ කවදාවත් conversation starter කෙනෙක් නෙවෙයි. දේවිකා අහපු ප්‍රශ්නෙටත් හිනාවෙලා උත්තර දුන්නා මිසක්ක අනුරට හිතට confidence තිබ්බෙ නෑ කටෙන් වචනයක් එළියට දාන්න.

“අද වැස්ස එක්ක පොත කියවලා ඉවර කරන්න බැරිවෙන්න ඇති නේද?”

අන්න ඒ කතාවට උත්තර නුදුන්නොත් දේවිකා තමන්ව මහ අමනුස්සයෙක් විදියට දකී කියලා හිතලා තමයි අනුර බොහොම අමාරුවෙන් උත්තරයක් හොයා ගත්තෙ දේවිකාට කියන්න

“නෑ. මම වැස්ස සද්දෙට කැමතියි.”

“ඔයා කියනකම් වැස්සට සද්දයක් තියෙනවා කියන එක මම හිතලා නෑ”

“ඉතින් වැස්ස වැටෙද්දි ඇහෙනවනෙ?”

“ඔව් ඒ උනාට අපි හැමදාම කරේ වැස්ස දිහා බලන් ඉන්න එක මිසක් වැස්ස අහගෙන ඉන්න එක නෙවිනෙ”

කතාව පටන් ගත්තෙ ඔන්න ඔය විදියට.

වැස්ස එන හැම වෙලාවකම හරියට කතා කරගෙන වගේ එයාලා අර ගහ යටදී හම්බ වුණා.

සමහර වෙලාවට කතා කළා. සමහර වෙලාවට කතා කරන්න ඕන වුණේ නැහැ. ඒ උනාට ඇස් අස්සෙන්, බැල්මෙන්, හිනාවකින් වගේම නිහඬතාවයකින් දෙන්නට දෙන්න සෑහෙන දේවල් හුවමාරු කරගත්තා.

අනුර එයාට පොත් ගැන කිව්වා.

දේවිකා එයාට කවි ගැන කිව්වා.

හිමීට, එයාලා අතරේ පොඩියට, ලොකු සද්ද බද්ද නැතුව මොකක් හරි දෙයක් හිත් දෙකක් යා කරගෙන පැලවෙන්න පටන් ගත්තා. ඒක ඒ දෙන්නට දෙන්නාම දැනගෙන උන්න නමුත් කවදාවත් අනික් කෙනා එක්ක කියාගත්තෙ, බෙදාගත්තෙ නැති ෆීලින් එකක්. 

කාලෙ ගෙවිලා ගියේ ඔන්න ඒ විදියට. අනුරට මාරුවක් හම්බුණා. දේවිකාත් මාරුවක් අරගෙන එයාලගෙ ගෙදර අය එක්ක කොළඹට ගියා. හැබැයි මේ දෙන්නගෙ යාලුකම නම් නැති උනේ නෑ. දෙන්නට දෙන්නා ලියුම් ලියාගත්තා. ඒ ලියුම් වල කවි, අකුරු, අස්සෙ හැංගිච්ච දෙන්නට දෙන්නා කියාගත්තෙ නැති රහසක් තිබ්බා. කවදාවත් වචන වෙච්ච නැති.

හැබැයි එක දවසක්, දේවිකාගෙන් ලියුම් එන එක නැවතුණා.

එයාගෙන් ආපු අන්තිම ලියුමේ එයා කියලා තිබ්බා”අනුර, සමහර මිනිස්සු ඔයාගේ ජීවිතේ රැඳෙනවා. තවත් සමහර අය රැඳෙන්නෙ ඔයාගෙ හිතේ.” කියලා

අන්න එදා තමයි අනුර තේරුම් ගත්තෙ තමන් පමා වුණා කියන එක. එහෙම නැත්තම් කවදාවත් තමන් උත්සහ කරේ නෑ කියන එක. එදා නොකිව්ව වචන අද කියන එක කිසිමාකාරෙක තේරුමක් නැති දෙයක් බවත් අනුරට ඒ එක්කම මතක් වුණා. 

අනුරගෙ ජීවිතේ ඉතිරි ටික දේවිකා කියලා කෙනෙක් නැතුව ගලාගෙන ගියා. හැබැයි දේවිකා වෙනුවට අනුරගෙ ජීවිතේට මාලිකා ආවා. ඒත් දේවිකා වෙනුවෙන් පැල කරපු ආදරේ මල් පැලේ කවදාවත් මැලවෙන්නෙ නැතුව මල් නැතුව උනත් අනුරගෙ හිත අස්සෙ හැමදාම කෙලවරක හෙමින් සැරේ නැළවි නැළවි තිබුණා.ඉඳහිටක එන අතීත මතක හුළං පාරකට ඒ මල් නැති පැලේ අතු තමන්ගෙ අතුපතර අනුරගෙ හිතේ වෙන වෙන තැන්වල ගෑවි නොගෑවි ගියා.

සමහර වෙලාවට, වැස්ස වැටෙන වෙලාවල් වලදි, ඒ වැස්සෙ සද්දෙ අහන් ඉද්දි අනුරට දේවිකාත්, දේවිකාට අනුරත් මතක් වුණා. හිත් දෙකක් අස්සෙ තිබ්බ මල් පැල දෙකක් ඒ වෙලාවෙ අනිත් මල් පැලේ ගැන හිතුවා.  

එකම අහස යට, සැතපුම් ගාණක් ඈතින් ඉන්න ආත්ම දෙකක් ඒ විදියට වේදනාබර මතකයක් අස්සෙ, කියාගන්න අමතක වෙච්ච පසුතැවීමක් අස්සෙ සැනසුණා. 

අනුර රිටයර් වෙද්දි මාලිකා මේ ලෝකෙන් සමුඅරගෙනත් අවුරුදු කීපයක්. දරුවො උස් මහත් වෙලා රට රටවල පදිංචියට ගිහින් උන්නේ. වයසට යද්දි එන පාලුව, තනිකම කියන්නෙ තමන් තරුණ කාලෙ හොයපු introvert තනිකමට වඩා දරාගන්න අමාරු දෙයක් බව තේරිච්ච හන්දම, ඒ තනිකමෙන් ගැලවෙන්න තමන්ට ලොකුවටම උවමනාව තියෙනවා කියලා තේරිච්ච හන්දම එයා නිතරම ගාල්ලේ කොටුව ළඟ තියෙන පොඩි කැෆේ එකකට ආවා තේ බොන්න, මුහුද බලන්න. එහෙනම් නැත්තම් තනිකම මකාගන්න තනියම එන්නෙ නැති මිනිස්සු දිහා බලාගෙන තනිකම මකාගන්න.

අන්න එහෙම වැහිබර හවසක තමයි කවදාවත් හිතුවෙ නැති විදියට අනුරගෙ හිතේ කෙළවරක දේවිකා වෙනුවෙන් පැලවෙච්ච මල් පැලේ කාලාන්තරේකට පස්සෙ මලක් පිපුණේ. 

ඒ දේවිකාව දැකලා. 

කොණ්ඩෙ සුදු වෙලා, මූණ පුරා කාලයේ ඉරි තැලීම් තිබ්බත් ඒ ඇස්වල කිසි වෙනසක් වෙලා නෑ කියන එක අනුර අඳුරගත්තා. 

ඒ ඇස් තාම ඉස්සර වගේම මෘදුයි. කරුණාවන්තයි. දීප්තිමත්.

දේවිකා මුලින්ම එයාව දැක්ක දවසෙ වගේම එයාගෙ යාලුවෙක් එක්ක හිනා වෙවී උන්නෙ. අපි වයසට ගියත් අපේ සමහර පුරුදු වෙනස් වෙන්නෙ නෑ කියන එක අනුර තේරුම් ගත්තෙ ඒ හිනාව දැක්කම. හැබැයි පළවෙනි වතාවෙ වගේ නෙවෙයි අනුර දේවිකා දිහාව බලාගෙන ඉද්දි මේ වතාවෙ මොනවහරි දෙයක් තේරුම් ගියා වගේ දේවිකා ඔලුව උස්සලා බැලුවා. අනුරව දැකලා ගල් ගැහුණා. ඊට පස්සේ හිමින් හිනා වුණා. හරි පුරුදු විදියට.

“අනුර?”

“දේවිකා”

“මම හිතුවෙ ඔයාගේ මූණ මට අමතක වෙලා කියලා,” වෙන කිසිම දෙයක් නොකිය දේවිකා අනුර දිහා බලාගෙනම කිව්වෙ හරියට තමන්ටම තමන් ගැන අවිශ්වාසෙන් වගේ. ඒ වචන වල තිබ්බෙත් හරි රහස්‍යමය බවක්. හරියට දේවිකා කතා කරේ තමන් තමන්ටම දෙයක් කියාගන්නවා, හගිස්සනවා වගේ.

“මම දැනගෙන උන්නා කවදාවත් අපිට අපිව අමතක වෙන්නෙවත් අඳුරගන්නවත් බැරිවෙන්නෙ නෑ කියලා.” අනුර දේවිකාට උත්තර දුන්නා.

එදා මූද පේන මානෙ බංකුවක වාඩිවෙලා කතාකරන්න දාහක් දේවල් ඒ දෙන්නට තිබ්බා. එයාලගේ ජීවිත ගැන, පවුල් ගැන, දරුවො ගැන, එකිනෙකාගෙන් ගිලිහී ගියපු අවුරුදු ගාණ ගැන.

“වහින හැම වතාවකම මට ඔයාව මතක් වුණා”

“වහින සද්දෙ ඇහෙද්දි, වැස්ස දකිද්දිද?”

“වැස්ස මගේ හිත රිද්දද්දි” කියලා දේවිකා කියද්දි අනුරට දැනුනා දේවිකා වෙනුවෙන් හිතේ පැලවෙච්ච මල් පැලේ ආයෙ හිමින් සැරේ ඔලුව උස්සලා හිනාවෙනවා. නැළවෙනවා. සැනසෙනවා.

දෙන්නාම හිනා වුණා, හැබැයි ඒක සතුටු හිනාවක් නෙවෙයි. ඒක එයාලා කවදාවත් නොකිව්ව වේදනාබර හැමදේම පිරිච්ච හිනාවක්.

“ඔයාට කවදා හරි හිතිලා තියෙනවද අපි එකට හිටියා නම් මොකද වෙන්නේ කියලා?”

දේවිකා අහපු ඒ දෛවෝපගත කතාව එක්ක අනුර උත්තර දෙන්න කළින් දේවිකා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

 “සමහර මිනිස්සු ඔයාගේ ජීවිතේ රැඳෙනවා. තවත් සමහර අය රැඳෙන්නෙ ඔයාගෙ හිතේ කියලා මට කිව්වෙ ඔයාමයි දේවිකා. ඒ හන්දා ඔයා මගේ ජිවිතේ උන්නෙ නැතත් මං ඔයාව හැමදාම මගෙ හිත අස්සෙ තියාගෙන උන්නා. ඒ නිසාම මට කවදාවත් හිතුනෙ නෑ දේවිකා අපි දෙන්නා එකට නෑ කියලා”

ඊළඟ සතියේ, ආයෙත් වැස්සා.

අනුර කැෆේ එකට ආවා.

දේවිකාත් ආවා. ඒ එද්දි එයා පොඩි ලියුම් කවරයක් අරගෙන ආවා. ඒක ඇතුලෙ  පරණ, කහ පාට වෙච්ච, පරිස්සමට නමපු ලියුමක් තිබ්බා.

“මේක ඔයා මට ලියපු අන්තිම ලියුම,” එයා කිව්වා. “මම ඒක අරන් තියලා තිබ්බා. අනිත් හැම ලියුමක් එක්කම”

ඒ කඩදාසියේ ගෙවිච්ච මතක පිරිච්ච අවුරුදු ගාණක සුවඳ ගෑවිලා තිබුණා. වචන මැකිලා ගිහින් තිබ්බත් ඒ සුවඳ, හිතේ කොටලා තිබ්බ ඒ දෙන්නගෙ නොකිව්ව කතාවෙ හැම වචනයක්ම ආයෙ ආයෙ උඩට මතු කරලා ගත්තා. 

දෙන්න බංකුවක එක ළඟ වාඩිවෙලා කොටු පවුරටයි, ඈත මුහුදටයි වැස්ස වැටෙන හැටි බලාගෙන උන්නා.

කතාකරන්න වචන ඕන උනේ නෑ.

වැස්සෙ සද්දේ විතරයි තිබ්බේ. ගොඩක් කාලයක් ඉඳලා ආයෙත් හොයාගත්ත හදවත් දෙකක සැනසීම විතරයි තිබ්බේ.

“සමහරවිට ආදරේ කවදාවත් ඉවර වෙන්නේ නෑ. මොකද ආදරේ දන්නෙ බලන් ඉන්න විතරයි.” කියලා අනුර කිව්වෙ දේවිකා දිහාවට ළංවෙලා පරණ පුරුදු තරුණ වෙච්ච ආදරෙන්මයි.

මිනිස්සු කියනවා, අදටත් ගාල්ලට වැස්ස වැටෙනකොට, ඒ කැෆේ එකේ ජනේලෙ ළඟ පරණ පෙම්වත්තු දෙන්නෙක්ගෙ රූප දෙකක් දකින්න පුළුවන් කියලා. ළඟින් ඉඳගෙන, තේ බොන, වයස අමතක වෙලා වගේ, කාලෙ, ඉන්න තැන අමතක වෙලා වගේ හිමින් හිනාවෙන.

ඒ දෙන්නාව දකින හැමෝටම එකම එක දෙයක් මතක් වුණා. ඒ තමයි

“ආදරේ කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ආදරේ දන්නෙ බලන් ඉන්න විතරයි” කියන එක.

More Stories

Don't Miss


Latest Articles