රාත්‍රියේ එකදු තත්පරයක්වත් නිදි නොලද ඉසුරි නැගිට මුළුතැන් ගෙයට ගියේ තවදුරටත් ඇඳට වී සිටිය නොහැකි නිසාය. ඈ යන විටත් අම්මා කේතලය ලිපතබා ලෑලි බංකුවට වී කල්පනා කරමින් උන්නාය. ඒ ආසන්නයේම කිරි අම්මා වූයේ කම්මුලකට අත තබාගෙනය. පෙරදා රාත්‍රියේ බීමතින් පැමිණි ලොකු අයියා ගම දෙවනත් වන්නට කෑ ගැසුවේ වසර ගණනක් තිස්සේ සියල්ලෝම ඉසුරිව පෙන්වමින් ඔහුව රවටා ගත් බව පවසමින්ය. එහෙත් විශ්වාසය. ඉඳ හිට ඔහු තමා වෙනුවෙන් චොක්ලට් පෙත්තක් නිවසේ සෑදූ යමක් හෝ ජම්බු ගෙඩියක් පේර ගෙඩියක් රැගෙන එනවා විනා අන් කිසිවක් ඔහු රවටා ලබා ගත්තේ නැත. සිංහල අවුරුද්දට ඔහු රැගෙන එන ගවුම් රෙද්ද පවා නැන්දා විසින් මහරගමට ගොස් රැගෙන ආ එකකි.
“අන්න ලොකු අයියා වැනි වැනි මේ පැත්තට එනවා. බීලද මන්දා.”
ආලින්දයටවී පාඩම් කරමින් සිටි නැගණිය නිවස තුළට දිව ආවේ එසේ පවසමින්ය. ඉසුරි එවේලෙහි සිටියේ බිනර සමඟ කෙටි පණිවිඩ හුවමාරුවකය. ඔහු පවසමින් සිටියේ තාවකාලිකව හෝ පදිංචිය වෙනස් කිරීම සියල්ලන්ටම යහපතක් වන බවය. ඉසුරි උන්නේ එම තීරණයේ අසීරුතා පහදමින්ය. කාමරයට වී සිටි අම්මාත්, මල්ලිත්, ඉසුරිත් සාලයට දිව ආවේ එකටම සේය.
“අනේ වඳින්නං ඔයාලා පැත්තකට වෙලා ඉන්න. එයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මමත් එක්ක මම ඒක විසඳගන්නම්. අපි දෙන්නට පුළුවන් ඒක විසඳගන්න”
ඉසුරි තම දෑත් එක්කරගෙන පැවසූයේ ඉසුරු දෙසට හැරෙමින්ය. ඔහු සිටින්නේ ලොකු අයියා සමඟ කෝපයෙන් බව විශ්වාසය. සියල්ලෝම නිවස තුළ සිටියදී ඇය ආලින්දයට ගියේත් එනිසාය.
“ආ…. කුමාරිහාමේ උඹ ඉන්නවා ගෙදර නේ…ඇයි උඹට අද මහ ලොකු ඔෆිස් එකේ පාටි, දාන එහෙම නැද්ද?”
“ඇයි ලොකු අයියේ මේ කවදාවත් නැතුව. ඔයා දැන් ගෙදර යන්න.”
“මම උඹලගේ ඔෆිස් එක ළඟට ගියා. මම එවපු මැසේජ් එක උඹ දැක්කේ නැද්ද….දැන් මං එන එකත් වදයක් නේ?”
“දැක්කා. මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒක හින්දයි වේලාසනින් ආවේ? බීගෙන මෙහෙට එන්න එපා. ඔයා දන්නවනේ මේ ගෙදර ඉන්නේ ගෑනු තුන්දෙනෙක් විතරයි කියලා.”
ඉසුරි පැවසූයේ ඉවත බලාගෙනය. ඉඳහිට දිනක ඔහු මිතුරන් සමඟ මත්පැන් සාදවලට සහභාගීවන බව ඇය දනී. එහෙත් මේ අයුරින් අවසිහියෙන් තමාගේ නිවසට පැමිණි දිනක් ඇගේ මතකයේ නොවේ. බිය වී උන්නත් ඉසුරි ඒ බවක් නොපෙන්වා මෙවේලෙහි උත්සාහ කළේ හැකි ඉක්මනින් ඔහුව පිටත් කර යවන්නටය.
“ඇයි උඹලගේ මහලොකු චණ්ඩියා ඌ ගෙදර නැද්ද?”
“නෑ.. මල්ලි ගෙදර නෑ.”
“ඒක හොඳයි. උගේ කතා මට දිරවන්නේ නෑ. ඉස්සර ඉඳලම ඕකා නාහෙට අහන්නේ නෑ. ඕකා මට්ටු වෙන්නේ මගෙන්..”
“ලොකු අයියේ ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මමත් එක්ක. හොඳ සිහියෙන් එන්න මටත් ඔයාට කතා කරන්න ලොකු උවමනාවක් තියෙනවා. එහෙම නැතුව මේ විදිහට ඇවිල්ලා අපිට ඒ ප්‍රශ්නෙ විසඳගන්න බෑ. අනිත් එක මල්ලි මේ කිසිම දේකට අදාල කරගන්න එපා. වයසින් බැලුවොත් එයා ඔයාට වඩා අවුරුදු අටක් බාලයි.”
“ශික්…ඌ මොන පඟර නැට්ටෙක්ද මට..ඌ කියන දේවල් මම සතයකට ගණන් ගන්නේ නෑ. හැබැයි ඌට කවද හරි දවසක කියලා දෙන්න ඕනේ මේ ලොකු අයියා කවුද කියන එක. තේරුනානේ…ඇත්ත… මම ආවේ අපි ගැන කතා කරන්න. ඔය ගෙදර ඉන්න දඩාවතේ යන ගෑණුන්ට ඇහෙන්න අපි ගැන කතා කරන්න මට ඕන නෑ. ඔයා එන්න ඕනෙ මමත් එක්ක අර අතන ලෑලි බංකුව ළඟට යන්න. අපි කතා කරමු එතන වාඩිවෙලා….නිදහසේ ටිකක්.”
ඔහු ඉසුරිට කතා කලේ මිදුලේ සිට වැනි වැනීමය.
“ඕනේ නෑ ලොකු අයියේ, මේ ගෙදර අපි කතා කරන දේවල් අහන් ඉන්න කවුරුවත් නෑ. ඔයාට මේ ගෙදර අමුතු තැනක් නෙමෙයි නේ. එන්න මෙහෙන් ඉඳගන්න. ඔයාට අහන්න තියෙන දෙයක් අහන්න හැබැයි ඉතින් මේ කිසි දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මම නැද්දට කෝල් එකක් දීලා කියන්ඩද ඔයාව එක් කරගෙන යන්න එන්න කියලා. එතකල් මෙහෙන් වාඩි වෙලා ඉන්න”
“ඇයි උඹ හිතුවද මට තනියෙන් ඇවිදගෙන යන්න බෑ කියලා. මං බිව්වා…. ඔව්…මං බිව්වේ හිතේ දුකටයි වේදනාවටයි. මගේ පපුවට හරි දුකයි බං….මේ මහ මිනිසුන්ගේ ප්‍රශ්න මොකටද අපිට. අපිට එදාවත් ඒවා ප්‍රශ්නයක් උනේ නෑ. අපි දෙන්නා කතා කරපු දවසට ගිහිල්ලා මේක රෙජිස්ට්‍රර් කරමු. ඒ පැත්තෙවත් මේ පැත්තෙවත් මොකෙක්වත් ඕන නෑ. මම යාළුවො දෙන්නෙක්ට කියලා ආවේ අපේ කසාදෙට අත්සන් කරන්න ලෑස්ති වෙයං කියලා…උන් එයි. උන් දෙන්නයි අපි දෙන්නයි..ඒ ඇති…”
“අයියේ..මං කිව්වනේ මේක කිසි දෙයක් කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි කියලා. ඔයා ඉන්නේ හොඳ සිහියකින් නෙමෙයි”
“උඹ මොකක්ද මට කියන්න හදන්නේ. මේක තමයි වෙලාව. මේක තමයි කතා කරන්න පුළුවන් වෙලාව. උඹ දැන් මට වචනයක් දෙන්න ඕනේ. අනිද්දා අපේ රෙජිස්ටේෂන් එක කෙරෙනවද නැද්ද? මට උඹේ දෑවැදිත් එපා. මට උඹේ දේපළත් එපා. හැබැයි උඹට රස්සාවට යන්නත් බෑ. උඹ අනිද්ද උදේ සාරියකින් බැරිනම් මේ ගෙදරට ඇඳන් ඉන්න ඇඳුම පිටින් හරි ඇවිල්ලා මේ කසාද ඉවර කරන්න ඕනේ.”
“අනේ අයියේ අහල පහල මිනිස්සුන්ටත් ඇහෙනවා. පින් සිද්ධ වෙයි හෙමින් කතා කරන්න.”
“මොනවද අහල පහල මිනිස්සුන්ට හංගන්න තියෙන්නේ. උන් දන්නවා අපි දෙන්න හිටියේ කසාද බඳින්න කියලා.”
“අයියේ…ගෙවල් වලින් කතා කර ගතපු දෙයක් එහෙම අපි දෙන්නගේ කැමැත්තට වෙනස් කරන්න බෑ..”
“බෑ…උඹට බෑ… උඹට… බෑ මාව කසාද බඳින්න ඒක තමයි උඹ කියන්න හදන්නේ. උඹටත් අම්මට වගේම මේ හතර වටේ මිනිස්සු ඉන්නවද?”
“මොනවද ලොකු අයියේ ඔයා මේ කියන්නේ මේක කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. කරුණාකරලා ගෙදර යන්න.”
“උඹට ඕනෙ මාව එලව ගන්න.. එහෙම නේද. ඇයි අර එදාපු කාර්කාරයා අදත් එනවා කිව්වද?”
“හෙමින් කතා කරන්න ලොකු අයියේ මොනවද මේ කියන කතා.”
“උඹටයි අම්මටයි දෙන්නටම කරන්න හොඳයි කියන්න නරකයි. උඹට ඕනේ දැන් මාව පන්නගන්න. ඒ මොකද අර කාර් කාරයා තව ටිකකින් මෙහෙට එනවා. නෑ මං යන්නේ නෑ. උඹ මට ආදරේ නං මේ දැන් ඇඳුම් කෑලි දෙක තුනක් බෑග් එකක දාගෙන වරෙන්… අපේ ගෙදර යන්න. අන්න එතකොට මම විශ්වාස කරනවා උඹ මං වෙනුවෙන් ජීවත් වෙච්ච ගෑනියෙක් කියලා….දැන් පුළුවන් උඹට ඒ තීරණය ගන්න”
එවර පාරින්ද පුටුවෙන් නැගී සිටියේ වැනි වැනීය. ඒත් සමගම ඔහු ඇඟිල්ලත් දිගු කරගෙන ඉසුරිගේ ඉහට උඩින් එබුනේය. ඇයට ඔහුගේ මුවින් නික්මුණ මත්පැන් කුයිල දැනෙන්නට වූයේ එවේලෙහිය. ඕ නැහැය හකුලා ගත්තාය.
“හා… උඹට දැන් මං ගාව ගඳයි. ඒකනේ උඹ මූණ අනිත් පැත්තට හැරෙව්වේ.”
“ලොකු අයියේ මොකද මේ වෙලා තියෙන්නේ තියෙන්නේ. දැන් ගෙදර යන්න. පින් සිද්ධ වෙයි”
පාරින්ද ඇගේ නිකට තදකර අල්ලා ගත්තේ ඈ එසේ පවසද්දීය. කොපුල් එකට තද වී රිදුම් දුන්නත් ඕ ඉවසා දරා සිටියාය.
“උඹට දැන් ඕනේ මාව යවාගන්න කාර් කාරයත් එක්ක මගුල් නටන්න පුළුවන්නේ. ඌ එනකල් අද මමත් මෙතන ඉන්නවා”
“අනේ අයියේ අහස පොළොව නුහුලන කතා කියන්න එපා. අනිත් එක ගෙදර නංගිත් ඉන්නවා. මම නැන්දට කතා කරන්නම් අයියා ගෙදර යන්නකෝ. අපි හෙට කතා කරමු”
එවර ඉසුරි පැවසූයේ හඬන්නට ආසන්න ස්වරූපයකින්ය. එහෙත් හඬ බාල කරගෙනය. තවමත් නිවස තුළින් කිසිවෙකු පිටතට නොපැමිණියේ තමාගේ ඉල්ලීමට විය යුතුය.
“මම යන්නේ උඹත් එක්ක. තමන්ගෙ ගෙදර ඉඳලා කසාදෙ රෙජිස්ටර් කරන්න යන්න ඕනෙ කියල නීතියක් නෑනේ. මගේ ගෙදර උඹට අමුතු තැනකුත් නෙමෙයිනේ. යං…මේ ගෙදර උඹටයි මටයි ආශිර්වාද කරන්නේ කෙනෙක් නෑ. ඒ දවස්වලත් උඹලව ගෙදර ගිහින් තියන් බලා ගත්තේ මගේ අම්මා. මගේ අම්මා ඒ කරන්න ඕන යුතුකම් ඒ විදිහටම ඉෂ්ඨ කරයි. යමු…”
පාරින්ද එවේලෙහි යුවතියගේ අතින් අල්ලා නැගිටවා ගන්නට තැත් කළේ බලෙන්ය. ඇගේ වමත රිදුම් දෙමින් තිබිණ. ඔහු එවේලෙහි උත්සහ කලේ වැනි වැනීම ඇගේ අතින් ඇදගෙන යාමටය. තත්පර කිහිපයකට පසුව ඔහුගේ ශක්තිය හමුවේ ඈ පැරදෙමින් සිටියාය.
“මොනවද ලොකු අයියේ මේ කරන වැඩ. හොඳ සිහියෙන් ඉන්න වෙලාවක එන්න ප්‍රශ්න විසඳගන්න. අනිත් එක ඒ විදිහට ඔයත් එක්ක මහ රෑ ගෙදරින් ගිහිල්ලා ඔයාව කසාද බඳින්න ඕනනං මං මෙච්චර කාලයක් මේ විදිහට ජීවත් වෙන්නේ නෑ. ඔයා එහෙම එන කෙනෙක් හොයාගෙන කසාද බැඳගන්න. මම එහෙම එන්නේ නෑ. අනිත් එක මට ගෞරවයක්, ආදරයක් නැති තැනක මම තවත් රැඳෙන්නෙත් නෑ. මම විතරක් නෙමෙයි. මගේ අම්මා තාත්තත් ඒක තීරණය කරලා ඉවරයි.”
ඉසුරිගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබුණේ ඇයටත් හොරාය. කිසි දිනක ඇය ඒ සා කෝපයෙන් යමෙකුට කතා කර තිබුණේ නැත. වැනි වැනි තමාගේ අතින් අදින ලොකු අයියා පෙරලා දමන්නට සිතුනත් එසේ කිරීමට බැරිකමකින් ඇගේ සිත තැවෙන්නට විය. හැකිතාක් හඬ උස් නොවී පාලනය කර ගැනීමට තැත් දැරුවත් අවසානයෙහි ඕ ඊට අපොහොසත් වූවාය. නොදැනුවත්වම ඒ හඬ මදක් උස් වී තිබිණ.
“ආ…..ඒ තීරණය වෙන්න ඇත එහෙනම් අර මධාරා ගෑනි මට කියන්න ඇත්තේ. ඒකි මට කිව්වා මම මොනම ගෑනියෙකුටවත් හරියන්නෙ නෑ කියලා. මං ඒකිට පෙන්නන්නම් මං කවුද කියලා.වරෙන්… යන්න..මම නරක මිනිහා කියන්න එපා. උඹ එනවද නැද්ද?”
“නෑ මම එන්නේ නෑ. මේ මොන විකාරයක්ද ලොකු අයියේ.”
“උඹ එන්නේ නෑ….මට පුළුවන් උඹ බලෙන් අරන් යන්න. මෙන්න මෙහෙට වරෙන්…..”
ඉසුරි බිම ඇද වැටුනේ ඔහු ඇගේ අත ගසා ඉදිරියට ඇදගත් පාරටය. තම දකුණත කැඩී ගියාවන් හැඟීමක් ඇයට දැනෙන්නට විය. යුවතියව නැගිටවා ලූ ඔහු ඇගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කලේ යළිත් වරක් වීසි වී බිම ඇද වැටෙන ලෙසය.
“අනේ ලොකු පුතේ..ඔය අහිංසක කෙල්ලව අතෑරපං. උඹට ගහන්න ඕනනං මට ගහපන්….”
යනුවෙන් කෑ ගසාගෙන රාජිණී දිව ආවේ එවේලෙහිය. ඒ පසුපස නිවසේ සියල්ලෝම විය.
“හා…චණ්ඩිය ගෙට දාගෙනනේ උඹ මට චණ්ඩි පාට් දාන්න එන්නේ. එකෙක් එන්න එපා. මේක මගේ ගෑනිගෙයි මගේ ප්‍රශ්නයක්…. මේකි දැන් මාත් එක්ක යනවා. අපේ ගෙදර. අනිද්ද අපේ රෙජිස්ට්‍රේෂන් එක. එදායින් පස්සේ උඹලගෙයි අපෙයි නෑදෑකම් ඉවරයි. අර මධාරා ගෑනි…ඕකි දන් නෑ මට කරන්න පුළුවන් දේවල්. ඒකි තමයි දැන් මේ ඔක්කොම පවුල්වල තීරණ ගන්නේ. ඒකි මට කියනවා ඉසුරි ඒකිගේ දුවෙක් උනානම් කීයටවත් මට දෙන්නෙ නෑ කියලා. ඒක කවුද එහෙම කියන්න.”
“දෙන්නෙ නෑ තමයි. මධාරා පුංචිගේ දුවෙක් වෙන්න ඕන නෑ. මේ ඉන්නේ මගේ අක්කා. මගේ අක්ක කීයටවත් අමුසෙට දෙන්නේ නෑ. තමුසේ මහ බල්ලෙක්….”
ඉසුරි කෑ ගැහුවේ පාරින්දටත් වඩා උස් හඬින්ය. අම්මා සිටියේ ඔහුව බදා වැළඳගෙනය.
“ලොකු පුතා දැන් ගෙදර යන්න මං මේ හොඳින් කියන්නේ. නැත්නම් මං පොලිසියට කෝල් කරනවා. මේ ඉන්නේ ඔයා යාළු වෙලා ඉඳපු ගෑණු ළමයා මිසක් ඔයාගේ කසාද බැඳපු කෙනා නෙමේ. තවමත් එයාගේ අයිතිය තියෙන්නේ අපිට. එයා කවුද කසාද බඳින්නේ? කවුද කසාද බඳින්නේ නැත්තේ කියලා තීරණය කරන්නේ කරන්නෙ අපි. මෙහෙම දැක දැක මගේ කෙල්ලව මොන හිතකින් උඹට දෙන්නද ලොකු පුතා.”
“හා… මෙන්න පත්තිනි අම්මත් ඇවිල්ලා. පත්තිනි අම්මා…එයාට දැන් දරුවෝ මතක් වෙලා තියෙන්නේ…. පස්ස බිම ඇරුනට පස්සේ…ඉසුරි කියපන් මෙයාට ඇතුලට යන්න කියලා. මේකිගේ මූණවත් බලන්න අප්පිරියයි බං මට…”
“ලොකු පුතාට අමතක වෙලා එන්න වෙන්න ඇති. මේ ඉන්නේ මගේ ගෙදර. මං කලින් වතාවකුත් කිව්වා ලොකු පුතා මොන විදිහට හිතුවත් මේ ඉන්නේ මගේ දුව. මේ විදිහට ඔයාට බෑ එයාට කරදර කරන්න. කරුණාකරලා කෑවනං බිව්වනං පාඩුවේ ගෙවල්වල ගිහින් නිදා ගන්න”
“ඉසුරි උඹ එනවද නැද්ද මමත් එක්ක යන්න…”
එවේලෙහි පාරින්ද ඇසුවේ ඇගේ දිගු කෙස් වැටියෙන් අල්ලා ගෙනය. ඉසුරු ඉදිරියට පැමිණියේ එනිසාය. ඉන් පෙර කෑ ගසාගෙන ඉස්සර වූ නංගිත් කිරි අම්මාත් ඔහුව බදාගත්තේ අඩියක්වත් පෙරට තබන්නට ඉඩක් නොදෙමින්ය. ඉසුරි බැගෑපත් පෙනුමකින් තම සොහොයුරා දෙස බැලුවේ රණ්ඩුවට නොයන්නයැයි ඉල්ලමින්ය. අවසන පෙර දිනයේ සේම අහල පහල මිනිසුන් කිහිප දෙනෙකු පැමිණෙන තුරුම පාරින්ද කෑ ගැසුවේය. ඔහුව බලෙන් මෙන් නිවසින් පිටතට ඇද ගත්තේත් ත්‍රී රෝද රථයක නංවා ගත්තේත් අහල පහළ පිරිමින් කිහිප දෙනෙකි. පාරින්ද ඒ වැඩිහිටියන්ගේ නම් පවා පවසමින් ඉසුරිට ඔවුන්ව පාවා දුන්නේය.
“ඒ ළමයට තියෙන්නේ මානසික ලෙඩක්….”
එසේ පැවසූයේ කවුරුන්දැයි ඉසුරිගේ මතකයේ වූවේ නැත. ඔහුගේ නියපොතු පහරවල් වැදුණු සිරුරේ තැනින් තැන රිදුම් දෙමින් තිබිණ. දත්මිටි කමින් බලා උන් සොහොයුරා තවමත් රාජිනීගේ දෑත් අතරට මැදි වූ ගමන්ය.
නිවසට රැස් වූ සියල්ලෝම බොහෝ වේලා යනතුරු කළේ පාරින්දට බැන වැදීමය.
“උඹ මොන තීරණයක් ගනීද කියන්න අපි දන්නේ නෑ රාජිනී. හැබැයි මේ කෙල්ලගේ අම්මා මම උනා නම් කීයටවත් ඕකට බන්දලා දෙන්නේ නෑ.”
තවත් කවුරුන්දෝ එසේ පවසන අයුරු ඇයට ඇසුණේ මල්ලිවත් නංගිවත් වත්තම් කරගෙන නිවස තුළට යද්දීය.
ඊයේ රාත්‍රියත් මේ නිවසේ සියල්ලන්ටම නිදි නොලද රාත්‍රියක් බව විශ්වාසය. ඉසුරි දිගු සුසුමක් මුදා හැරියේ විසඳුමක් පේනා තෙක් මානයක නොවූ ප්රශ්නය කවදා නිමා වේදැයි සිතමින්ය.
වතුර කේතලයේ ශ්ශ්ශ්…. හඬින් තිගැස්සුණු අම්මා නැගී සිටියදී ඉසුරි අඩි කිහිපයක් පෙරට තබා මුළුතැන් ගෙයට ඇතුළු වූවාය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)












