*නාද්‍යා සොනාලි සල්වතුර*
මමයි කාන්ති අක්කයි තිස්සමහාරාමෙදි නොවිඳිනා දුක් වින්දා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. කාන්ති අක්කගෙ නෑයෙක් එහෙ උන්න හන්දා කන බොන ඒව එහෙම ශේප් එකේ කරගන්න අපිට පුලුවන්කම තිබ්බට නිතර දෙවේලේ මදුරුවො කන එකෙනුයි, රස්නෙ හන්දායි,වේලිච්ච කම හන්දයි අහස්ගෙ ස්කින් එකේ එක එක රෑශස් එන ඒවයි එක්ක වගේම මට හිත අස්සෙන් සෑහෙන ලොකු ස්ට්රගල් එකක් කරන්න උනා ගයාන් කොළඹ මොන පිස්සුවක් නටලද කියන එක වගේම තාරානාත් ලංකාවට ඇවිත් අපිව හොයාගන්න බැරිවෙච්ච තැන මොනවගේ පිස්සුවක් නටලා ඇද්ද කියන එක ඩයිජෙස්ට් කරගන්න.
මුල් කාලෙ කාන්ති අක්කාගෙ නෑවෙන මාමාගෙ ගෙදරින් අපිට කන්න බොන්න හම්බ උනත් දිගටම ඒක කරන්න පුලුවන්කමක් නැති විත්තිය තේරිච්ච හන්දා තමයි මමයි කාන්ති අක්කයි කතා කරේ ඇත්තටම දැන් ඉස්සරහට අපි දෙන්නා මොනාද කරන්නෙ කියන එක.
“රස්සාවක් හොයාගන්නවය කිව්වට ඒක ඉතින් කරන්න ලේසි දෙයක් නෙවෙයිනෙ නංගියෙ” කියලා කාන්ති අක්කා කියද්දි මම උන්නෙ “කාන්ති අක්කවත් එක්කයින් ආව එකෙන් ඒ මනුස්සයටත් දුක් විඳින්න වෙච්ච එකනෙ උනේ. මට තිබ්බෙ කාන්ති අක්කව තියලා එන්න. අඩුම ඒ මනුස්සයට හරි සන්තෝසෙන් ඉන්න හිටින්න තිබ්බා” කියලා.
“අක්කට මා එක්ක තරහත් ඇති නේද? අක්කාට හොඳට ගෙදෙට්ට වෙලා ඉන්න තිබිච්ච එක නැතිකරලා මං හින්දා මෙහෙම එන්න වෙච්ච එක ගැන” කියලා මම කාන්ති අක්කා දිහා බැලුවෙ මූණෙ කිසිම හිනාවක් කතාවක්වත් නැතුව. මං ඇත්තටම උන්නෙ හිනාවෙන්න පුලුවන්කමක් නැතුව. අපි උන්නෙ හිනාවෙන්න ආයෙ දවසක් ඒවිද කියලා හිතාගන්නවත් බැරුව.
“අනේ නෑ නංගිගෙ. නංගි මට එන්න කියලා කිව්වෙ නෑනෙ. මමමයි නංගි එක්ක එන්න ලෑස්ති උනේ. නංගි තාම හිතන් ඉන්නෙ මං පිට කෙනෙක් කියලා උනාට අනේ මන්දා මටනම් එහෙම හිතෙන්නෙ නෑ. මේ ගෙවිච්ච කාලෙට අපි කොච්චර නම් නංගියෙ අපේ ප්‍රශ්නවලට මූණ පෑවද, එක්කහු වෙලා ඒව විසඳගත්තද? එහෙම එකේ මෙහෙම වෙලාවක මට බැරිනම් නංගිට උදව්වක් පදව්වක් කරන්න වැඩක් තියෙද?
අනික නංගි මට අර කෑම බිස්නස් එකට එක්කහු වෙන්න පුලුවන් වෙච්ච එකෙන් කවදාවත් මට කරගන්න බැරිවෙච්ච විදියට සල්ලි ටිකක් හරි බැංකුවෙ එක්කහු කරගන්න හම්බුනා” කියද්දි නම් ඇත්තටම අපේ බිස්නස් එක එච්චර තැනකට අරගෙන එන්න තාරානාත් කොච්චර උදව් වුනාද කියන එක මට මතක් කරන්නෙ නැතුව ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. තාරානාත්ගෙ ඒ උදව්, බිස්නස් එක දියුණු වෙච්ච එක, ඒ සල්ලි වලින් ඉතුරුකරගත්ත කීයක්වත් තිබ්බෙ නැත්තම් පොඩියට හරි ගෙයක් තිස්සෙන් කුලියට ගන්න අපිට පුලුවන්කමක් හම්බෙන්නෙ නෑනෙ. අපි උන්නෙ තිස්ස වැව ඉස්සරහින්ම වගේ ගම ඇතුළට වෙන්න තිබිච්ච පාරක කෙළවරේ පුංචි ගෙදරක. මදුරුවො එහෙම උන්න හන්දා අපි තුන්දෙනාම එක කාමරයක තමයි නිදාගත්තෙ. ඒ කාමරේ ජනෙල් වලට දැල් එහෙම ගහලා. අහස් නිදාගන්න කෑල්ලටත් මදුරු දැලක් එහෙම දාලා, පොඩි ෆෑන් එකකුත් අරගෙන ජීවිතේ ඒ විදියට එකලාසයක් කරගන්න මට පුළුවන් වෙච්ච එක ගැන මං උන්නෙ ඇත්තටම පුදුම වෙලා.
මොකද මං හිතුවෙ නෑ මං කියන්නෙ එහෙම යන යන තැන පැළවෙන්න පුළුවන් ජාතියේ මනුස්සයෙක් කියන එක.
ඇත්ත කතාව තමයි, පැනලා දුවලා ඇවිත් කොහේ හරි තැනක හැංගිලා ජීවත් වෙන්න පටන් ගන්නවා කියන එක ඔය කතන්දර වල, ටෙලි නාට්‍ය වල තියෙනවා තරම් ලේසි දෙයක් නෙවෙයි කියන එක. මේ වගෙ පුංචි රටක එහෙම පැනලා ඇවිල්ලා හැංගිලා ජීවත්වෙන්න කොච්චර ලොකු එෆර්ට් එකක් දාන්නෝනද කියන එක මේ වෙද්දිත් මම ඕනවටත් වඩා හොඳට එක්ස්පීරියන්ස් කරලා තමයි තිබුනෙ. ඒ උනාට මට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නැහැ මම කොහොමද මේ වෙච්ච හැමදේම ඉවසීමෙන් විඳදරා ගත්තේ කියලා. තිස්සමහාරාමේ රස්නෙ, වේලිච්ච ගතිය, මදුරු කරදරේ, හැමදේම එක්ක මගේ ඇඟයි, හිතයි ඒවට පුරුදු වෙන්න ලොකුවටම ෆයිට් කර කර තමයි උන්නේ.
ඒ වුණාට අහස්වයි, කාන්ති අක්කවයි බලාගන්න ඕන කියන වගකීම හිත අස්සෙ පිරිලා තිබිච්ච නිසා වෙන්න ඇති මං උන්නෙ ඒ ෆයිට් එක කොහොමහරි දිනනවා කියලා හිතන ගමන්. ගිය තැන හැඩ ගැහිලා ජීවත් වෙන්න පුළුවන්කම කියන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒකට හයියක් ඕන වෙනවා. මං උන්නෙ අන්න ඒ හයිය එක්කාසු කරන ගමන්.
“ඉස්සරහට කරන දෙයක් තමයි අක්කෙ ඇත්තටම මටත් හිතාගන්න බැරි. මං මේ දහ අතේ කල්පනා කරන්නෙ මොනා කරන්නද කියලා. ඉන්ටර්නෙට් එකේ දාන්නෙත් අක්කෙ ඔය පේපර් කොලිෆිකේශන් එගෙම උවමනා කරන රස්සාවල් මිසක්කා ඔය මං වගේ මිනිස්සුන්ට ඇවිල්ල කරන්න පුලුවන් රස්සාවල් නෙවෙයිනෙ”
“අමාරුයි තමයි නංගියේ. හැබැයි අපි පුරුදු වෙන්නම ඕන. අපි දැන් ගමක ඉන්නේ. කොළඹ තිබ්බ දේවල් මෙහෙ නෑ වගේම ඉතින් එහෙ ගෙවපු ජීවිතේ මෙහෙදි හරියන්නෙත් නෑනෙ. අනික මං නංගිට කියන්න උන්නේ දරුවා උනත් පරිස්සම් කරගන්න වෙයි කියලා. මෙහෙ තියෙන දූවිල්ල වගේ දේවල් මේ දරුවන්ට පුරුදු නැති එකේ නිතර දෙවෙලේ ගේ අතුපතු ගාලා තියන්න වෙයි. අනික හොඳට නාවලා කරවලා බේබි පවුඩර් ටිකක් දාලා කොල්ලව පරිස්සම් කරගන්නෝන නංගියෙ. රෑට නං මදුරු දැල දාලා තියෙනවනේ. කරන්න වෙන දෙයක් නෑ. ඉස්සර උන්න කූඩුව රත්තරන් කියලා හිතුවට දැන් අපිට ඒ දේවල් මකරන්න පුලුවන්කමක් නෑනෙ.”
කාන්ති අක්කගේ ඒ වචන ටික ඇත්තටම තිබ්බෙ මගේ හිත අස්සටම ඇවිල්ලා වැදෙන ගමන්. පරණ ජීවිතෙන් ගැලවිලා ආවාය කියන්නෙම අපි අලුත් ජීවිතේකට හැඩගැහෙන්න ඕනය කියන කතාව කාන්ති අක්කගෙ ඒ වචනවලින් මං හොඳටම තේරුම් අරගෙන උන්නෙ.
ඒ හන්දාම තමයි මමයි කාන්ති අක්කයි ඊළඟට මොකද කරන්නෙ කියලා කතා බහ කරන්න පටන් ගත්තේ. දිගටම මාමාගෙ ගෙදරින් කෑම බීම ගන්න අන්තිමේ ඒ හිතවත්කං පවා නැතිවෙන්න හේතුවක් වෙන්න පුලුවන් බව ගෑනු දෙන්නෙක් වෙච්ච අපි දෙන්නට මතක තිබ්බ හන්දා ඒ මිනිස්සු එක්ක සම්බන්ධෙ අතේ දුරෙන් තියාගෙන අපිට ජීවත්වෙන්න හැටියක් හොයාගන්නෝන කියන එක ගැන තමයි අපි දෙන්නම නිතර දෙවෙලේ වගේ කල්පනා කරේ.
“අපි කොළඹදිත් කරේ කෑම උයන බිස්නස් එකක් හන්දා නංගියෙ අපිට මෙහෙදි ඒ වගේ දෙයක් කරන්න බැරි වෙයිද?” කියලා කාන්ති අක්කා කිව්වෙ අන්න එහෙම දවසක.
“කොළඹදි නම් අක්කෙ කෑම පැකට් එහෙම ගන්න මිනිස්සු ඉන්නවනෙ. මෙහෙ මේ ගම වගේ රස්සාවල්වලට බෝඩිං වෙච්ච මිනිස්සු අඩු පැත්තක් නෙවෙයි හන්දා කොළඹ ලොකු අවුලක් තිබ්බේ නෑ. මෙහෙදි අපි කෑම හැදුවොත් ඕව ගන්න කට්ටිය ඉඳිවීද කියන ප්‍රශ්නෙ මට තියෙන්නෙ අක්කෙ”
“මං නෑ කියන්නෙ නෑ. ඒ උනාට කොහෙන් හරි පටන් ගැනිල්ලක් තියෙන්නෝනනෙ නංගියෙ. ඒ හන්දා මං කියන්නෙ අපි පොඩිවට ගෙදර ඉඳන් හරි පටන් ගමු. මට ඔය ඉඳි ආප්පා, ආප්ප, රොටි වගේ ජාතිත් හදන්න පුලුවන් එකේ මං කියන්නෙ මොනා හරි දෙයක් කරගන්න බැරිවෙන එක්ක නෑ. අනික මුකුත් නැතුව ඉන්නවට වඩා මොනා හරි කරන එක හොඳයි නේද?”
තිස්සමහාරාමේ අලුත් ජීවිතේක අරගලය ගෑනු දෙන්නෙකුයි ළමේකුයි පටන් ගත්තෙ අන්න එහෙම. ගයාන් කොළඹ මොනවා කරනවාද කියන එක වගේම තාරානාත් මාව හොයනවාද කියන එක හිත අස්සෙ පෙරළි කරද්දි කාන්ති අක්කයි මමයි හෙමින් සැරේ අපේ ජීවිතේ ගැටගහන්න තැන් හොය හොය මහන්සි උනා.
මම සමහර දේවල් “දැන් ඉවරයි” කියලා හිතාගෙන උන්නට “ඒක එහෙමම නෑ” කියන එක මට තේරුම් ගියේ ඒ අරගලේ අස්සෙ හිරවෙලා දෙවනි පාරටත් ජීවිතේ ගොඩ දාගන්න මහන්සි වෙද්දි.












