“ජීවිතේ හැම දෙයක්ම මං නොහිතපු විදිහට නූල් බෝලයක් වගේ පැටලුනා බිනර. දැන් මට ඕනේ මේ පැටලුම් එකින් එක ලිහාගන්න. ඔයා වගේම ඩොක්ටර් සුලක්ශාත් විශ්වාස කරනවා අපි මේ පැත්තෙන් යන එක තමයි මුලින්ම කරන්න ඕන දේ කියලා. මං දන්නේ නැහැ අම්මා, මල්ලි, නංගි මොන විදිහකට ඒක බාර ගනීද කියලා. හැබැයි ඉතින් අද මං තේරුම් ගත්තා කොතනකින් හරි මම පටන් ගන්න ඕනේ කියලා.”
“සමහර ප්‍රශ්න වලට විසඳුම් හොයන එක අපි හිතන තරම් ලේසි නෑ. සමහර ප්‍රශ්න තියෙනවා ඉසුරි අපි විසදුමක් නෑ කියලා හිතන, හැබැයි ඒවට හරි ලේසියෙන් විසඳුම් හොයා ගන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි විසදුමක් හොයන්න උත්සාහ නොකරන එක. මොනම විදිහකින් හරි ඔයාගේ ජීවිතේට මේ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න ඕන හොඳම දේ. පාරින්ද කියන්නේ කවුද කියන එක මේ වෙද්දි ඔක්කොම අවබෝධ කරගෙන ඉවරයි. දැන් ඔයාට නතර වෙන්න හේතුවක් තියෙනවා. අනිත් අයට ඔයාගේ තීරණය සාධාරණීකරණය කරන්න හේතුවක් තියෙනවා….”
“ලොකු අයියා ගැන මට කවදාවත් හීන තිබුනෙ නෑ බිනර. ඩොක්ටර් සුලක්ෂා කියනවා එයා සමහර විට මානසික රෝගියෙක් වෙන්න ඇති කියලා. ආපස්සට හිතල බලද්දි මටත් එහෙම හිතෙනවා. එයාට කේන්ති ගන්න හේතුවක් ඕන වුණේ නෑ. ගොඩක් වෙලාවට අපේ ගෙදරට මෝටර් බයික් එකකින් එන්නෙ ලොකු අයියා. ඒ බයික් සද්දෙ ඈතින් ඇහෙනකොට මගේ පපුව ගැහෙන තරමක්..නංගී මල්ලි දෙන්න ගෙදර හිටියොත් ඒ දෙන්න කාමර වලට රිංග ගන්නවා. කිරිඅම්මා අවදියෙන් හිටියොත් තේ එකක් හදලා ගෙනත් දීලා ආපහු ගේ ඇතුලට යනවා. ඒ තේ එකෙත් ලොකු අයියට දහසක් වැරදි පෙනුනා. ලොකු අයියා අපේ ගෙදර හිටියේ පැයක්ද පැය භාගයක්ද විනාඩි දහයක්ද ඒ කිසිම කෙනෙක් ආපහු එළියට එන්නේ නෑ…ඒ පොඩි වෙලාවවත් අපි කවදාවත් ආදරෙන් කතා කරලා නෑ. ගොඩක් වෙලාවට එයා කියනවා මං අහගෙන ඉන්නවා.”
“පාරින්ද හැමදාම ඉන්න ඇත්තේ එයා ලොකු අයියා කියන එක ඔලුවෙ තියාගෙන වෙන්න ඇති.”
“සමහර විට…”
“දැන් අපි ඒක අමතක කරමු. මං කියල තියෙනවනේ අපේ යාළුකම ලඟදි කදුළු ඉස්සර වෙන්න ඕනෙ නෑ කියලා. මේ ගත කරන්නේ පැයක්ද, විනාඩි පහක් ද, දහයක්ද, දවසක්ද අපි සතුටින් ඉමු.”
“ඔයා ළඟදි මං කොහොමත් නිදහස් තමයි. මං අද ඩොක්ටර් සුලක්ශාටත් ඒක කිව්වා. ඔයාගේ ලඟදි මට හරි සැහැල්ලුවක් දැනෙනවා කියලා.”
දෙදෙනා උන්නේ විහාර මහා දේවී උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩිවීගෙනය. මදක් එහාට වන්නට වූයේ පෙම්වතුන්ගේ පාරාදීසයකි. දෙදෙනා උන්නේ ඒ බිම් තීරුවටත් පවුලේ අයවලුන් නිදහසේ ගැවසෙන බිම් තීරුවටත් මැදි වූ කොටසකය. ඉසුරි දෑස් වලින් පවා හිනැහෙමින් උන්නාය. බිනර හෙමි හෙමිහිට තම ඇතැඟිලි ඇගේ දිගු අතැඟිලි හා පටලා ගත්තාය.
“ගමේ අය මං ගැන මොනවා හිතයිද මොනවා කියයිද කියලා කියලා දැනෙන බයයි වේදනාවයි ඇරෙන්න මං හරි සැහැල්ලුයි කියලා මට හිතෙනවා. ඒ තීරණය මං ගන්නවට වඩා හැමෝම එකතුවෙලා ගතපු එක හොඳයි කියලා මට හිතෙනවා. මට හිතෙනවා ආපහු ටිකක් ඉගෙන ගන්න. අපේ කම්පැනි එකේම ඉහලට යන්න අවස්ථා තියෙනවනේ. පහුගිය දවසක ජයවර්ධන සර් මට කතා කරලා මගෙන් අපේ ගෙදර ගැන ගොඩක් විස්තර ඇහුවා.”
“මොනවද ඇහුවේ…”
“අම්ම, තාත්තා, ගැන නංගි මල්ලි ගැන..”
“ඔයා මොනවද කිව්වේ…”
“මගේ ජීවිතය ගැන තවදුරටත් ඒ මිනිස්සුන්ට හංගන්න හේතුවක් නැහැනේ බිනර. මගේ ජීවිතේට එයාලා ඒ කරපු උදව්ව මට මහ මෙරක් තරමට වටිනවා. අනිත් එක මං තේරුම් ගතපු දෙයක් තමයි අපි ඇත්ත ලෝකෙ ජීවත් වෙන එක මවා ගතපු ලෝකෙක ජීවත් වෙනවට වඩා හරි පහසුයි. ඔයා දන්නවද ජයවර්ධන සර් පුදුම උනා…”
“ඇයි…”
“වෙන මැරේජ් එකකට ගිහිල්ලත් තාත්තා අපි ගැන මෙහෙම හොයලා බලනවා කියන එක ගැන. ජයවර්ධන සර් කිව්වේ ගොඩක් අයට එහෙම කරන්න බෑ කියලා. කරන්න වුවමනාවක් තිබුනත් අවස්ථාවක් ලැබෙන්නෙ නෑ කියලා. ජයවර්ධන සර් කිව්වා මල්ලිට කවද හරි ජයවර්ධන ගෲප් එකේම වැඩ කරන්න අවස්ථාවක් අරන් දෙන්න පුළුවන් කියලා. එහෙම නොවුනත් ඒ දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් එයාලා කරන්නම් කියලා.”
බිනර කිසිත් නොකියා නිහඬව බලා සිටියේ මඳක් එහාට වන්නට වූ වසර තුනක් පමණ වයසැති කුඩා දරුවෙකු දිව යන ආකාරයත් ඒ පසුපස ඔහුගේ මව සහ පියා දිවයන දෙසය. එහෙත් ඔහු උන්නේ වෙනස්ම සිතුවිල්ලකය. තාත්තා ඒ අයුරින් ඉසුරිව ගෙන්වා සුහද කතාබහක් ඇති කර ගැනීමම පුදුමයකි.
බිනර සමඟ ඔහේ කියවමින් කාලය ගෙවා දැමූ ඉසුරි යළි නිවසට පැමිණියේ සවස හතරට පමණය.
“ඉසුරි මම ටිකක් එන්න පරක්කු වෙනවා. ඔයා රෑට උයන්න එපා. මම හන්දියෙන් මොනවා හරි ගේන්නම්..”
අම්මා එසේ පැවසූයේ ඇය ත්‍රී රෝද රථයෙන් පැමිණ නිවස ඉදිරිපසින් බසිද්දීමය.
නංගී සේම මල්ලීත් නිවසේ සිටියේ නැත. දැන් ඔහු ක්‍රිකට් පුහුණුවීම් අතහැර දමා මාසයකට වැඩිය. වැඩි වේලාවක් නිවසේම රැඳෙන ඉසුරු ඉඳ හිට හෝ නිවසින් පිටව යන්නේ මිතුරාගේ නිවසටය. ඉසුරි මුලින්ම නිවස අතුපතු ගා පිරිසිදු කළාය. මහ වැස්සකට පසුව නිහඬ වූ අහස සේ යළිත් සියල්ලම නිහඬ නිශ්චල වී තිබිණ. ඉන්පසු සියල්ලන්ටම තේ බීම සඳහා ෆෑන් කේක් සෑදූවාය.
නැගණිය නිවසට පැමිණියේ මුහුණ දෙක කරගෙනය. වාර විභාගය අලලා ටියුෂන් පන්තියේ කළ ප්‍රශ්න පත්‍රවලින් ඇයට ලැබී තිබුණේ අඩු ලකුණුය.
“කවදාවත් මට මෙහෙම වෙලා නෑ. හැමදාම අනූවට වඩා ලකුණු තිබුණා. සර් හැමෝම ඉස්සරහ මාව නැගිට්ටුවත් එක්ක. ඕලෙවල් වලට තව මාස තුනක්වත් නෑ. අනේ අක්කෙ මට නිදහසේ පාඩම් කරන්න හම්බවෙන එකක් නැද්ද….”
ඔහු ඇසුවේ දෑස් වල කඳුළු පුරවාගෙනය. එක දිගට සිදුවූ ප්‍රශ්න ඇගේ මනසට පීඩාවක් වූ බව සැබෑය. සමහර දිනෙක පාඩම් කරන්නට කියා සූදානම් වන ඇය ඉසුරිගේ ඇඳට පැමිණ ඇයව තුරුලු කරගෙන වැතිර ගත්තාය.
“හැම දේම ඉක්මනට හරියයි. මීට පස්සේ ප්‍රශ්න තියෙන එකක් නෑ නංගී. ඔයා ඔයාගේ ඒම් එකට යන්නම ඕනේ. ඒක තමයි අපි හැමෝගෙම සතුට. කාලයක් තිස්සේ මිනිස්සු අපේ ජීවිත දිහා බල බල ඒවා රස වින්දේ හිනා වෙන්න හේතුවක් කරගෙන. මීට පස්සේ එහෙම වෙන්නේ නෑ. මං පොරොන්දු වෙනවා ඔයාටයි මල්ලිටයි දෙන්නටම මං කොහොමහරි හොඳ ජීවිතයක් හදලා දෙනවා කියලා”
ඉසුරි පැවසූයේ නැගණියගේ හිස අතගාමින්ය. ඈ තම දෑත් සොහොයුරියගේ බඳ වටා යවමින් ඇයට තුරුළු වූවාය.
“මටවත් අයියටවත් යන්න බැරි වෙච්ච තරම් දුරක් ඔයා යන්න ඕනේ. ඔයාට ඒක කරන්න පුළුවන් නංගි…”
“අනේ අක්කේ ආපහු හීනෙකින්වත් ලොකු අයියා ගැන හිතන්න එපා. එයා හැදුවේ ඔයාව අපිට නැති කරන්න…”
අවසන ඈ පැවසූයේ හැඬුම් මුසු හඬකින්ය. ඉසුරි නැගණියව සිය පපුවට තද කරගත්තේ දිගු සුසුමක් මුදා හරිමින්ය.
“ඉස්සර අපි මෙහෙම සමගි නෑ නේද? අපි තුන්දෙනා ඔහේ තමන්ගේ වැඩ කරගෙන පාඩුවෙ හිටියා. ඔයාලගේ කසාදෙ තීන්දු උනා කියලා කිව්වහම ඔයා අපිට නැති වෙනවා කියලා දැනුනහම මට දැනුනේ ආයෙත් මං මහා කාන්තාරෙක අතරමං වෙයි වගේ හැඟීමක්.”
“ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිතමු නංගි. ඔයා ගැන බයක් මගේ හිතේ තිබුණේ නෑ. හැබැයි මල්ලි ගැන ලොකු බයක් මගේ හිතේ තිබුණා. එයා වැරදි පාරක ගිහිල්ලා වැරදි වැඩ කරලා අපි හැමෝටම කවද හරි දවසක එයාව නැති වෙයි කියලා මට හිතුනා. ඒත් එයත් දැන් අපි එක්ක ඉන්නවනේ නංගි. ඇත්තටම හැමදේම උනේ හොඳට…එන්න තේ බොමු..මේ පාර ලකුණු අඩු වුණාට ඊළඟ පාරේ වැඩිම ලකුණු තියෙන්නේ ඔයාට. ඒ විතරක් නෙමෙයි ඔයා බලාපොරොත්තු වෙන අයිලන්ඩ් රෑන්ක් එකත් ඔයාට ලැබෙයි. මේ මාස තුන අපි උපරිමයෙන්ම මහන්සි වෙමු.”
ඉසුරි යළිත් පැවසූයේ නැගණිය සිපගෙනය. සැබවින්ම ඈ දක්ෂය. බිනර පැවසූවා සේ ඇගේ ජීවිතයත් සොහොයුරාගේ ජීවිතයත් වර්ණවත් කළ යුත්තේ තමාය.
****************
සැමියා පවසන දෑ නයනා අසා සිටියේ සිය දෑස් විසල් කරගෙනය. ජයවර්ධන සමාගම තුළ කිසිදා මෙවන් වංචාවක් සිදුව තිබුණේ නැත. ඒ සියල්ලටම වඩා බිනරව ඉලක්ක කර ගනිමින් මෙවන් වංචාවක් සිදුවීම පුදුම සහගතය. සැමියා තමාගේ දුරකථනයෙහි වූ බිනර විසින් යැව්වායැයි පවසන කෙටි පණිවිඩ නයනා වෙත පෙන්වූයේ ඇය කොපුළකට අතක් තබා ගනිද්දීය.
“දෙයියනේ…මේ මොන කැත කතාද…
“මෙහෙම මිනිස්සුත් ලෝකෙ ඉන්නව නයනා….”
“මේව මේ විදිහට පිට මිනිස්සු අතරට ගියා නං බිනරගේ ආත්ම ගරුත්වයට මොකක්ද වෙන්නේ. අනිත් එක මේ දේවල් පුතා දැනගත්තහම එයාට මොනව හිතෙයිද. එයා හරි විවෘත සමාජයක ජීවත්වෙලා ආපුු කෙනෙක්. බිනර නිතරම කියන දෙයක් තමයි ඇමරිකාවේ මිනිස්සුන්ට අනුන්ගේ දේවල් ගැන හොයන්න වෙලාවක්වත් අනුන්ට ඉරිසියා කරන්න හේතුවක් නෑ කියලා. එයාට ලොකු කලකිරීමක් ඇතිවෙයි මහත්තයා. රටිනුත් යන්න යයි”
“අපි මේ ප්‍රශ්නෙ විසඳන්න ඉක්මන් වෙන්න නරකයි. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද මේවට මොනවද හේතු මේ හැම දෙයක්ම හොයලා බලන්න ඕනේ. මගේ විශ්වාසය අනුවනම් තරහකාරයෝ ඇතිවෙන්නේ වැඩක් කරන මිනිස්සුන්ට.”
“ඒ උනාට මට මහ බයක් දැනෙනවා. මේ මිනිස්සු පුතාගේ ජීවිතයට මොනවා හරි කරදරයක් කරන්න බලයිද?”
“මේ වගේ හැංගි හැංගි ගේම් ගහන මිනිස්සු ගාව ඒ තරම් හයියක් නෑ නයනා. ඒ ගැන මමත් විමසිල්ලෙන් ඉන්නේ. ඔයාට මේ දේවල් කියන්න එපා කියලත් මට පොඩි දුව කිව්වා. දැන් ඉතින් කල්පනා කර කර ඉන්න එපා. හැමදේම ඉක්මනට ලස්සනට විසදෙයි. මට ඔයත් එක්ක තව කාරණයක් කතා කරන්න තියෙනවා.”
“ඒ මොකද්ද මහත්තයා…”
“මට හිතුනා අර දරුවා ගැන ටිකක් හොයන්න.”
“කවුරු ගැනද…”
“ඉසුරි ගැන..මොකද මං අද පොඩි දුව එක්ක කතා කරපු වෙලාවෙත් පොඩි දුව ඒ දරුවා ගැන බොහොම පැහැදීමකින් කතා කළේ. පොඩි දුව දැන් පබ්ලිකේෂන් එකේ වැඩ වලටත් ඉසුරිව සම්බන්ධ කරගන්නවා. මං මේ ළඟදි දවසක ඉසුරිව ගෙන්නලා එයාගේ පවුලේ විස්තර ගැනත් ටිකක් ඇහුවා. මේ ළමයා කිසිම දෙයක් මට හැංගුවේ නෑ නයනා. මං හිතන්නේ ඔය බිනරයි සුලක්ෂා දුවයි අපේ පොඩි දුවයි එකතුවෙලා ඒ ළමයි ඉන්න ගේ රෙන්ට් කරලා වෙන ගෙදරකට එයාලාව යවන්න හදනවා.”
“මේ ළමයි එකතු වෙලා කරන දේවල්..”
“ඔන්න ඔය හින්ද තමයි මම හිතුවේ මේ දෙන්නාගේ තියෙන යාළුකම ප්‍රේම සම්බන්ධයකට පෙරළෙන එක අපිට නවත්තන්න බෑ කියලා. දැන් ඔය අර කතා කරල තියෙනවයි කියපු එක්කෙනත් එන්න යන්නේ නැහැලු.. සමහර විට ඉසුරිලගේ පැත්තෙන් අකැමැති වෙලා ඇති.”
“ඒ ළමයා අකමැති නම් අපිට ඒක අදාලම නෑනේ මහත්තයා. සුලක්ශා දුව කොහොමද ඉසුරි දන්නේ..”
“මේ ළමයි අතර රහස් නෑ නයනා. ඒගොල්ලෝ දැන් හරි හිතවත්.”
“සුලක්ශා දුව හිතනවනං ඉසුරි අපේ බිනරට ගැලපෙනවා කියලා ඒක හරියටම හරි මහත්තයා. ඒ දරුවට මිනිස්සු ගැන ලොකු අවබෝධයක් තියෙනවා.”
“මනෝවෛද්‍යවරියක් උනේ නිකං නෙමෙයි නේ..”
“ඒ දරුවා අපේ මේ ළමයින්ටත් හරි හයියක්. මට අසනීප වෙච්ච වෙලාවේ මතකනේ …මට ඔය ඉසුරි කියන දරුවාව දකින්න ආසයි..”
“ඔයාට ඉතින් ඔෆිස් එකට එන්න කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. ගේ ඇතුලට වෙලා අපේ අඩුපාඩුකම් හොය හොයා ඒවා සපුර සපුර ඔයා ඉන්නවා.”
“ඒක තමයි මහත්තයා මගේ සතුට හැබැයි ඉතින් කොයි වෙලාවක හරි ඔන්න ඔය දරුව බලාගෙන යන්නනම් මම එනවා. ඔයාලා මේ තරම් වර්ණනා කරන කෙනා මගේ ලේලි විදිහට පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ මම.”
එවර නයනා පැවසූයේ සිනහමුසුවය.
“නැන්දම්මයි ලේලියි වලි මෙහෙත් තියෙයිද දන්නේ නෑ..”
“එව්වා කියන්න බෑ ඉතින් ඒවා පාරම්පරික දේවල්නේ.”
“මං දන්නවනේ ඔයා ගැන. කවදකහරි ලේලිට පුතාට වඩා ආදරේ වෙයි.”
“වෙන්න ඕනෙත් ඒක තමයි මහත්තයා. ඒ දරුවා තවත් ගෙදරක අපෙ දරුවෝ වගේම හැදුණු දරුවෙක්. දුවෙක්ට තමන්ගේ ගෙදර අතාරිනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ..”
“කොහොම වුණත් අපි ඕවට ඉක්මන් වෙන්න නරකයි නයනා. බිනර තවම තීරණය කරලා නැහැනේ එයා තමන්ගේ ජීවිතේ කොතැනක තියාගන්නවද කියලා.”
“ඒක හරි. ඒක ඇත්තටම හොඳ යාළුකමක්ද එහෙම නැත්නම් තමන්ගේ ජීවන සහකාරිය විදිහට ඉසුරිව තෝරගෙනද ඉන්නේ කියන එක ගැන තවම එයා අපි කාටවත් හරියට කියලා නෑ. මං හිතන්නෙ නෑ පොඩි දුව එක්කවත් එහෙම කතා කරලා ඇති කියලා. ඒ තීරණේ එයාලටම ගන්න ඉඩ දෙමු.”
“මං පොඩි දුවට කිව්වා එයාලා ඔය අලුත් ගෙදරට යන කාරණයේදී මොනවා හරි මුදලින් උදව්වක් කරන්න තියෙනවනං ඒක බලලා කරන්න කියලා.”
“ඒක හොඳයි මහත්තයා…දරුවන්ගේ සතුට තමයි අපි හැමෝගෙම සතුට. අපේ දරුවෝ එයාලගේ ජීවිත වලට නරක කෙනෙක් තෝරගන්නෙ නෑ කියන විශ්වාසේ හැම දාම මගේ හිතේ තිබුණා. බිනර ටිකක් සෙල්ලක්කාර උනාට එයා කාලයත් එක්ක ජීවිතය අවබෝධ කර ගනී කියලා විශ්වාසයකුත් මගේ හිතේ තිබුණා. අපිට වගේම අපේ දරුවන්ටත් වරදින්න විදිහක් නෑ. අපි කාටවත් නරකක් කරපු මිනිස්සු නෙමෙයි”
නයානා එසේ පැවසූයේ විශ්වාසයෙන්ය ඒ දෑස් මත කඳුළක් පිළිසෙන අයුරු ජයවර්ධන දුටුවේය. ඔහු තම බිරිඳ අසලට ගොස් ඇගේ හිස මත අත තබා ගත්තේ නොහිම් වූ ආදරයකින්ය. මේ සියල්ලන්ම පිටුපස සිටින ශක්තියත්, ධෛර්යයක්, ආදරයත්, ගුණයහපත්කමත් ඇයය. ඇගේ විශ්වාසයය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)












