දෑත දරා – 86

මනුජ නිවසට පැමිණියේ රාත්‍රී නවයද පසුවූ පසුවය.   සාලයේ විදුලි පහන් දල්වා ඇති බව දුටු මනුජ තමා උදෑසන නිවසට විත් යලි කඳවුරට යද්දී යම් අතපසුවීමක් වන්නට ඇතැයි සිතුවේය. එහෙත් දොර විවෘත කර ගැනීමට යතුර යතුරු කවුලුවට ඇතුලු කිරීමෙන් පසුවද, දොර විවෘත කරගන්නට නොහැකිව යද්දී මනුජ යම් කලබලයකට පත් වුයේය. ගෙවුණු කාලය පුරාම සිදුවූයේ ජීවිතය කණපිට ගස්වන දේය.

නිවෙසට කිසිවෙකු හෝ ඇතුලු වී ඇත්නම්, ඊළඟ පියවර විය යුත්තේ කුමක්දැයි මනුජ කල්පනා කලේ යතුර එලෙසින්ම තිබියදීය.

එහෙත් සැනින් දොර විවෘත විය. මනුජ පෙරලා ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානමින් ආපසු හැරුනේය. එහෙත් යුද්ධයක් ඇරඹුණේ නැත. ඒ වෙනුවට මනුජගේ ගෙල වටා දෑත් මාලයක් පැටලුනේය. නිවස තුළ වූ ආලෝකයේ එලියෙන් මනුජ ඒ දිලිසෙන දෑස් හී ගිලුණේය.

“ සින්දූ …..”

මනුජ සිතුවේම තමා සිහිනයක් දකිනවා විය යුතුය කියාය. ඔහු ඕ ඔසවාගෙන නිවස තුළට ඇතුලු  වූයේය. ඇය අසුනක් මත තමා ආයාසයෙන්ම හිඳුවා, ඇය ඉදිරියේ දණ නවා හිඳ ගත්තේය.

“ සින්දූ … මොකද මේ ?..”

“ මොකද ?..”

සින්දුපා ඇස් නටවා, දෙතොල් උල් කර විමසුවේ, මනුජගේ නිල ඇඳුමේ කොළරය සැකසුවාය. ඉන් පසුව, දෑස් මද වේලාවක් වසාගත්තාය. යළි මනුජ දෙස බැලුවාය. මනුජට පිළිතුරු දෙන්නට ඉඩ දී බලා උන්නාය.

“ කොහොමද ආවේ ?… කා එක්කද ?…”

“ විශ්ව අයියලා ආවා… සාරතී ආන්ටි කී එක දුන්නා..”

මනුජ නොවූ කෝපයක් මවාගත්තේය. ඇයට රැවුමක් පා කලේය. ඒ රැවුමට යටින් වූයේ, අප්‍රමාණ සැනසීමක් ය.

තමා පෙම් කරන ගැහැණිය හෝ පිරිමියාට තමා කෙතරම් වටිනවාදැයි දැනීම සිත ඇද දමන්නේ පරමානන්දනීය හැඟීමකටය. එවන් වටිනාමක් දැනවීම මහා සැලසුම් වලින් දිග හැරිය යුතු නොවේය. ඉතා කුඩා නිමේශ තුළ වටිනාකම් තැනෙන්නේය.  එකී වටිනාකම් තැණීම වෙනුවෙන්  කෘතීම ආයාසයන් දැරිය යුතු නොවේය. ඒවා නිරායාසයෙන් සිදුවන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය සිත තුල පැලවෙද්දීය.

“ කාගෙන් අහලාද මේ හිතුවක්කාරකම් කරන්නේ සින්දූපා ?…”

මනුජ අර කී සැනසීම සඟවාගෙන ඇයට කෝපයම පෙන්වූයේය.

“ ඔයාගෙන් මම ඒකම ඇහුවොත්, ඔයාට ඒකට උත්තරයක්  තියෙනවාද මනුජ ?… “

සින්දූපා මදක් නැවී මනුජගේ දෑසටම එබුණාය. මනුජ ඇගේ දෑසින් ගැලවෙන්නට උත්සාහ කලේ, ගෙවුණ දින කිහිපය තුළ තමන් දෙදෙනාගේ ජීවිත තුල සිදුවූ පටලැවිලි එක පෝලිමටම සිහියට එද්දීය. එහෙත්, සින්දූපාගෙන් ඉඩක් ලැබුනේ නැත.

“ ම්ම්ම්?…. මගේ ජීව්තේ ගැණ එහෙම තීරණ අරගෙන , මම යන්න ඕනි පාර තීරණය කරන්න තරම් හිතුවක්කාර හයියක් ඔයාට දුන්නේ කවුද මනුජ?… මම මේ ප්‍රශ්නේ අහන සිය වතාව වෙන්නැති මේ දවස් දෙක තුනට ?.. ඔයාට තවම නෑනේ උත්තරයක් …”

මනුජ ඇගේ දෙපා මතට දෑත් බර කර, ඇගේ දෑසින්ද ගැළවීගෙන නැගිට ගත්තේය. සින්දූපාට පිටුපා හිට ගත්තේය. ජීවිත කාලය පුරාම ඇය එලෙසින් විමසනු ඇත. ඒ හ වෙලාවකම, තමාට නිරුත්තරව බලා සිටීමට වනු ඇත.

“ සින්දූ ප්ලීස් ..”

“ හරි .. ඇග්‍රී … අද මට උත්තරයක් දෙන්න … ආයේ කවදාවත් ඒ ගැණ අහන්නේ නෑ …”

සින්දූපා අසුනේ ඉරියව්ව වෙනස් කර ගනිමින්  එලෙස කීවාය. මනුජ හිස දෙපසට වනමින් යමක් තමාටම ධාරණය කරගන්නට උත්සාහ කලේය. සින්දූපා ඉන් එපිටට කිසිත් නොපවසා බලා උන්නාය. අවසානයේ මනුජ ආපසු හැරුනේය.

“ ඔයා කාලා බීලාද ?…”

“ නෑ .. ඒත් … “

 “ ලෑස්ති වෙන්න ..එලියෙන් කාලා එමු..”

“ මනුජ මම ක ලෑස්ති කලා … ඒත්, මට කියන්න … ඔයාට ඇත්තටම මා එක්ක ජීවත් වෙන්න උවමනා නැද්ද ?…”

 මනුජ අඩි දෙකෙන් සින්දූපා වෙතට පැන්නේය. ඇයට රිදෙන්නම අල්ලා ගත්තේය.

“ කොයි වෙලෙත්, එපාද එපාද අහන්නේ ?… මාව මරාගන්නද ඕනි ?..”

“ එහෙනම් එච්චරට හයිකාරකමක් එක්ක මාව දාලා යන්න සැලසුම් හැදුවේ ඇයි ?.. මේ  තාක් මේ දවස් දෙක තුනක් මට හයිකාරකම් පෙන්නගෙන ඉන්නේ  ඇයි ?.. කියන්න ඔයා ?…. ඔයාට ඕනි මොකක්ද දැන් ?…”

“ මට හෙණ ගහලා ගියත්, උඹ සැනසීමෙන් ඉන්න ඕනි නිසයි ඒ හැමදේම කලේ සින්දූ .. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ?… හැමතිස්සේම එකම අහ අහ පාරවන්නේ?… එව්වා එහෙම නොවුන නිසා මේ සැනසීමේ ඉන්නවා මිසක්කා, බැරි වෙලාවත් මේ වෙද්දී ඔයත් මෙහෙන් ගිහිල්ලා, දොණිත් මාව මෙහෙම පැත්තකටම දාලා තියෙන විදියට දේවල් වුනා නම්, මම කොහොම ඉඳීද හිතෙන්නේ නැද්ද ?…. එච්චරට වේදනාවක්, අහිමිවීමක් මගෙ පැත්තට අරගෙන ඒ කරන්න ගියේ සෙල්ලමක් නෙවෙයි සින්දූ … “

සින්දූපාගේ බාහු මනුජගෙන් මිදෙද්දීම සින්දුපා ඔහුගේ වත දෝතට ගත්තාය.

“ ඒ වේදනාව කොච්චරක්ද කියලා දැනෙන නිසා තමයි, ආයේ ආයේ අහන්නේ…”


සින්දුපාගේ හඬ වූයේ බිඳී ගොසිනි. මනුජ ඇය හා එක් අසුනේ සමාන්තරව වන සේ හිඳ ගත්තේය.

“ දැන් මේ නෝනා .. මෙවෙලේ මෙහෙ ආවේ හනිමූන් ප්ලෑන් කරගෙනද ?…”

මනුජ එක්වරා අවට කාලගුණය අංශක එකසිය අසූවකින්ම අනෙක් පස ගැසුවේය. සින්දූපා ව්‍යාජ අමනාපයක් පෙන්වූවාය.

“ ඔයාගේ කෑම්ප් එකේ ප්‍රශ්නේ ?…”

ඕ එක්වරම එලෙසින්  විමසුවාය. මනුජ මදල් ඇලයට හැරී ඇගේ හිස සිම්බේය.

“ එව්වා හරි යයි .. ඔක්කෝම හරි යයි .දැන් තමුසේ ඇවිල්ලානේ සින්දූ … මෙහෙම මගේ ලඟම ඉන්නවානේ…. ආයේ යන්නේ නෑම කියනවනේ .. ඉතින් කිසිම දෙයක් වරදින්න විදියක් නෑ ..”

සින්දූමාද මදක් ඇලයට හැරුණාය.

“ මම තව අවුරුදු දෙක තුනක් මෙහෙම සර්විස් එකේ උන්නට කමක් නෑ නේද ?..”
“ අවුරුදු දෙක තුනක් හිටියාම ඇතිද ?…”

මනුජ ඉතා විමසිල්ලෙන් විමසුවේය.

සින්දූපා එය තමාට තවම තීරණය කල නොහැක්කක් බව පැවසුවාය. එහෙත්, ඔහු සහ දියණිය වෙනුවෙනුත්, තමන් තිදෙනාගේ යම් අනාගත යහපතක් වෙනුවෙනුත් රැකියාව අත් හරීමට වේනම්, එය අත් හරින්නට නොහැකි නොවන බවද කීවාය.

“ අහන්න සින්දූ…..බැරි වෙලා හරි, අපි දෙන්නාගෙන් එක්කෙනෙක්ට ජොබ් එකෙන් නවතින්න වුනොත්, ඒ නවතින කෙනා ඔයා වෙන්නේ නෑ … ඔයා ලක්ෂ ගානකින් තේරිලා, මහ දුක් ගොඩක් විඳලා , මිනිස්සු ලක්ෂ ගානක් වෙනුවෙන් ඔය තැණට ආව කෙනෙක් සින්දූ … ඒක අවුරුදු දෙක තුනකින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි … ලංකාවේ නොවුනත්, ලෝකේ කොහේම හරි  වුනත්, ඔයාට වෙහෙසක් නොදැනෙනකල්, ඔයා ඔය ජොබ් එක කරන්න ඕනි … මිනිස්සුන්ගේ ජීවිත වලට බලාපොරොත්තු ගේන්න ඔයාගේ අත් දෙකට පුලුවන් …”

සින්දූපා මනුජව වැළඳගත්තාය. ඇයට කිසිවක් සිතා ගන්නට හැකි වූයේ නැත. ඔහු රැකියාවේ සිහින ජීවිතේ අංක එකට තබා ඉන්නෙකි. මෙතරම් නම්‍යශීලීව කතා කිරීම පවා….

සින්දූපා රාත්‍රී ආහාරය සකසා තිබුණි. දෙදෙනා එක්ව සැනසීමෙන් ආහාර ගත්තේ වෙහෙසුණු, ගිනියමින් දැවුණු රාත්‍රී කාල කිහිපයකට පසුවය.

“ මගේ කාමරේට එන්න .. සීමාවේ නිදාගන්න ඕනි හැබැයි …”

ඔහේ ගලා හැලෙන හැඟීම් දෙදෙනාම දොඬමලු කරවමින් සිටින බව මනුජ දැන උන් නිසාම එලෙසින් පවසමින් සින්දූපාව කාමරය තුලට කැටුව යමින් මනුජ කීවේය.

සින්දූපා ඔහුව තමා වෙත හරවාගෙන, බිත්තිය දෙසට වන සේ හිර කරගත්තාය.

“ එච්චරට බයද ?..”
සැබැවින්ම ඇගේ හඬ ඔහුව ඉදිරි නිමේශ වල තම පාලනයක් නොමැති වීම ගැන බියකින් පුරවාලන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles