ඉඩෝරයක මල් වැස්සක් – 64

ජයවර්ධනත් නයනාත් වූයේ සඳැල්ලෙහි වූ වේවැල් පුටු දෙකක වාඩිවීගෙනය. දෙදෙනා ඉදිරිපස පලතුරු යුෂ වීදුරු දෙකක් විය. ජයවර්ධන තම විවේකී ඉරිදා දවසේ වැඩි කාලයක් වෙන් කලේ නයනා වෙනුවෙන්ය. එදවසත් සවස චිත්‍රපටියක්, වේදිකා නාට්‍යයක් ඇය සමඟ නරඹන්නට ගිය අයුරු ඔහුට සිහි වූයේ එවේලෙහිය. පසු කලෙක ඒ ගමනට දරුවන් තිදෙනාද එකතු විය. කෑමක් සඳහා හෝටලයකට, මුහුදු වෙරළකට උද්‍යානයකට හෝ කොළඹින් මදක්  එහාට වන්නට පිහිටි ආගමික ස්ථානයකට ගියේ ඉන් පසුවය. කාලයකට පසුව දරු තිදෙනා උස් මහත් වී ඔවුන්ට හිමි ජීවිත සාදා ගනිද්දී යලිත් ජයවර්ධනත් නයනාත් විවේකී ඉරිදා සැන්දෑවේ චිත්‍රපටියකට නාට්‍යයකට හෝ සිත නිවන සංගීත සංදර්ශනයකට යාමට හුරු විය. 

ඒ පිළිවෙත වෙනස් වූයේ ඇගේ අසනීපයත් සමගය. 

“අපි ටිකක් එළියේ ඇවිදලා එමු. විවේකයකටත් එක්ක. ඔයා දැන් ගෙදරින් එළියට යන්න කැමතිම නැහැනේ.”

ජයවර්ධන එසේ පැවසූයේ නයනා දෙස බලාගෙනය. 

“මම රෑට ඉඳිආප්ප හදන්න කියලා සුසිලට කිව්වා. මට දැන් එළියට යන්න හිතෙන්නෙ නෑ මහත්තයා.”

නයනා පැවසූයේ බැස යන හිරු දෙස බලාගෙනය. කිසිවක් නොවිමසා සිටියාට බිනරගේ  ප්‍රශ්නය ඇගේ සිතට වද දෙමින් තිබිණ. ගෙවී ගිය දින කිහිපයේ ඔහු සිටියේ සතුටකින් නොවන බව විශ්වාසය. දෙවරක් තුන්වරක්ම ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට සිතූ නයනා අවසන නිහඬඬ වූයේ හිතා මතාමය. සැමියා පවසන්නේ ඔහු ඒ ප්‍රශ්න තනිවම විසඳා ගත යුතු ඒවා බවය. 

“පූජනී කියනවද මහත්තයා පුතා තවමත් එයාට මැසේජ් එවනවා කියලා….”

“දැන් ඒක ඊට වඩා බරපතල තත්ත්වයක තියෙන්නේ.”

“ඒ කිව්වේ….”

“අවයවවල පවා ෆොටෝ ගහලා යවන්න පටන් අරගෙන…”

“දෙයියනේ මොන තරම් කැත වැඩක්ද. ඊටත් ඒ වගේ ගෑණු දරුවෙකුට.”

“වැරැද්දක් කළා නං ඒකට දඬුවමක් තියෙන්නම ඕන නයනා. මම ඔෆිසර් ජානකට කතා කළා. මේ වෙද්දි ඒ සිම් එක අයිති කාටද කොහෙන් ගතපු සිම් එකක්ද කියලා හොයාගෙන තියෙන්නේ”

“එතකොට දැන් පූජනී දන්නවද මේ ගැන පොලිසියෙන් හොයනවා කියලා.”

“ඔව… පූජනී දන්නවා. ඒ වගේම ඒ ළමයා අපිට සහාය දක්වනවා.”

“පූජනී තවමත් හිතාගෙන ඉන්නවද මේක බිනරගේ වැඩක් කියලා.”

“හිතට සැකයක් ආවහම ඒක අයින් කරන්න හරි අපහසුයි. සමහර වෙලාවට බිනර කියලා හිතනවත් ඇති. ඒත් එයා සමහර වෙලාවට හංසිකා එක්ක කියනවා බිනර සර්ගේ නම විකුණලා කවුරු හරි මාව අමාරුවේ දාන්න බලනවා කියලත්. කොහොම වුණත් පොලිස් පරීක්ෂණවලින් පස්සේ වැරදි කාරයා අතටම අල්ල ගන්න තමයි පූජනීත් බලාගෙන ඉන්නේ. වෙනද වගේම ඒ ළමයා වෙනසක් නැතුව ඔෆිස් එක ඇතුලේ හැසිරෙනවා. අපි ඉක්මනට ඒ ළමයගේ හිත නිදහස් කරන්න ඕනේ”

“මටනං සැකම අර සහන් කියන කෙනා….”

“එහෙම අපිට කවුරුවත් සැක කරන්න බැහැ නයනා. කොහොම උනත් තව වැඩි කාලයක් යන්න කලින් මේ ඔක්කොම දේවල් හරියටම හොයාගන්න පුළුවන් වෙයි.”

ඒක හොඳයි ලොකු කාලයක් ගන්න එපා. මටත් හිත නිදහස් කරගන්න ඕනේ. පුතා මේ දවස්වල වල ඉන්නේ  ඒ තරම් හිත හොඳකින් නෙමෙයි. පැය ගානක් තිස්සේ ඊයේ මේ බැල්කනි එකට  වෙලා කල්පනා කර කර ඉන්නවා මම දැක්කා.”

“මිනිහට මේ දවස්වල ස්ථිර වැඩක් නෑ. අනිත් අයට දැනෙන්න ඕන හින්දා මම මිනිහව පොඩ්ඩක් ශීට් එකෙන් නැගිට්ටෙව්වා. අර ඉස්සර මං හිටියා වගේ  කාරිය නියමයක් නැති රාජකාරී ගොඩක පැටලෙව්වා.”

“අම්මා..ඔය දෙන්න මෙතන ඉන්නව දැකලයි ආවේ.” 

හංසිකා සඳැල්ලට එබුනේ එසේ පවසාගෙනය. 

“කියන්න පුතේ. ඔයාට බොන්න මොනවා හරි හදලා ගෙනත් දෙන්නද මම හිතුවා නිදි ඇති කියලා.”

“නෑ අම්මා අර අලුත් පොතක පෲප් එකක් චෙක් කර කර හිටියේ. අම්මා මේ… නදිත කතා කරලා කිව්වා අර වෙඩින් එකෙන් දවස් තුනකට පස්සේ මාලදිවයින් ටුවර් එක ඕකේ කියලා.”

“අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද පුතේ. ඔයාල දෙන්නට නිදහසේ ටික දවසක් ඉඳලා එන්න පුළුවන්.”

“ඔයාට සල්ලි වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න දුව”

“අනේ නෑ තාත්තා ඒ ඔක්කොම හරි. වෙඩින් එක ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙකුට බාර දීපු නිසා මට හරි පහසුයි. මටත් වඩා උනන්දුවෙන් සුලක්ෂා ඒ ගැන හොයලා බලලා හැම දෙයක්ම කරනවා. සමහර වෙලාවට නදිත්ගේ  පැත්තෙ දේවල් හොයලා බලන්නෙත් සුලක්ෂා.” 

“ඒ දරුවා වැඩක් බාර ගත්තොත් එහෙමනේ. පොඩි දුව..මේ අම්මා කියන්නේ මල්ලි මේ දවස්වල ඒ තරම් හිත හොඳකින් නෙමෙයි ඉන්නේ කියලා. මොකක්ද කාරණය.”

“ඒක තාත්තා එයාගේ වෙනම ප්‍රශ්නයක්.”

“දුවට පුළුවන්කමක් තියෙනවනම් අපි ටිකක් වාඩිවෙලා ඒ ගැන කතා කරමුද.?”

නයනා එසේ ඇසුවේ තමා ඉදිරිපස වූ පුටුව ඇයට පෙන්වමින්ය. හංසිකා හිස වනා ඇයට එකඟ වූයේ පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය. 

“එයා මේ දේවල් මමත් එක්ක කිව්වෙත් නෑ තාත්තා. සුලක්ෂා එක්ක තමයි කතා කරලා තිබුනේ. තාත්තා දන්නවනේ ඉසුරි අපේ මල්ලිව තදින්ම විශ්වාස කරනවා. එයාගේ ජීවිතේ හැම දෙයක්ම මල්ලි එක්ක ශෙයාර් කරගන්නවා.”

“ඒ දෙන්නා අතරේ එෆෙයාර්  එකක් නැහැ නේද?”

“නැහැ අම්මා තවම එහෙම දෙයක් නැහැ. ඒත් මල්ලි ඉසුරිට ආදරේ කරනවා.”

“ඔයා එක්ක එහෙම කිව්වද..?”

“නෑ අම්මා සුලක්ෂා  එක්ක කියලා තිබුණා…”

“ඒ දරුවා ඊයේ මමත් එක්ක ඇවිල්ලා කිව්වා ලබන සතියේ  ගෙවල් මරු කරන කතාවක්. මොනවා උනත් හරි අවංක ළමයෙක්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඇත්ත කියන්න තරම් ඒ ළමයට අපි ගැන ලොකු විශ්වාසයක් තියනවා නයනා.” 

“තාත්තා මල්ලි අතරමං වෙලා ඉන්නෙත් එහෙම ප්‍රශ්නෙක තමයි.”

“ඒ කියන්නේ.”

“මල්ලි තවම එයාට කියලා නෑනේ එයා කාගේ කවුද කියලා.”

“9ඔව් ඒක ඉතිං අපිනේ ඔෆිස් එකේ අයට කියන්න ඕනේ.”

“මේකයි තාත්තා. ඉසුරි හරි අවංක ගෑනු ළමයෙක්නේ. මල්ලි බයෙන් ඉන්නවා එයාගේ ඒ අවංකකම ලඟදි මල්ලි බොරුවක් කරා කියන සිතුවිල්ල එයාගේ හිතට යයි කියලා.” 

“ඔව් ඉතිං.. ඒක එහෙම නොවෙන්න බැරිකමකුත් නෑ.” 

“මල්ලි දැන් ඒ ගෑණු ළමයට තදින්ම ආදරය කරනවා තාත්තා. මල්ලි කියනවා මේ බොරුව ඒ දෙන්න අතර නොතිබුනානම් මේ වෙද්දිත් එයා එයාගේ ආදරය ගැන ඉසුරිට කියලලු.”

“ඒ ළමයට අර මස්සිනා කෙනෙක් ප්‍රපෝස් කරලා තිබුනලු නේද?”

“එයාලගේ පවුලයි ඒ  පවුලයි අතර ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා අම්මා. මං හිතන්නේ ඉසුරිගේ තාත්තා මැදිහත් වෙලා ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා.”

“ඔයාට මොකද ඉසුරි ගැන හිතෙන්නේ?”

“මට මේ ජීවිතේ හම්බවෙච්ච ගොඩක් අය අතරින් හොඳ යාළුවෙක්, සහෝදරියක් කියලා හිතෙනවා. අපි හිතනවට වඩා ඉසුරි කියන්නේ ගොඩක් බුද්ධිමත් කෙනෙක් තාත්තා. අනිත් එක ඕනෙම ප්‍රශ්නෙකට හරි ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් ඉසුරිට තියනවා. ඒ දරා ගැනීම. මටනම් එයාට ලංවෙන්නවත් බෑ.” 

“මං ඇහුවෙ එහෙම නෙමෙයි දුව. ඔයා හිතනවද මල්ලිට ඇත්තටම ඉසුරි වගේ කෙනෙක් ගැලපෙයි කියලා.”

“මට මල්ලිවයි ඉසුරිවයි පේන්නේ කාලෙකදි ඔයාලා දෙන්න වගේ. තාත්තා හැම වෙලාවකම කියනවා වගේ තාත්තව ශක්තිමත් මනුස්සයෙක් කරලා ඉස්සරහට ගෙනිච්චේ අම්ම කියලා,  මල්ලිව ශක්තිමත් මනුස්සයෙක් කරලා ඉස්සරහට ගෙනියන්න ඉසුරිට පුළුවන් වෙයි.”

හංසිකා අත වූ දුරකථනය නාද වූයේ ඈ එසේ පවසද්දීය. 

“අම්මා මට ඒ ස්ටෝරි එකේ පොඩි අපැහැදිලි තැනක් තිබුණා. මම ඕතර්ට මැසේජ් එකක් යැව්වා මට පැයකින් ගන්න කියලා. ඒ ඕතර්  තමයි මේ කතා කරන්නේ. එක්ස්කියුස් මී..”

හංසිකා පුටුවෙන් නැගී සිටියේ එසේ පවසමින්ය. 

“ඔයාගේ තීරණයත් ඒකමද මහත්තයා….”

නයනා තම සැමියා දෙසට හැරුනේ දියණිය ඇවිද යන දෙස මද වේලාවක් බලා සිටියාට පසුවය. 

“මං එහෙම තීරණයක් අරගෙන තිබුණෙ නෑ නයනා. හැබැයි දුව කියපු එක දෙයක් මගේ හිතට තදින්ම වැදුනා. ජීවිතයේදී ප්‍රශ්න වලදිත්,  ව්‍යාපාර වලදීත් අපි කඩන් වැටෙන මොහොත මේ මොහොත කියලා අපිට කියන්න බෑ. සාර්ථක පිරිමියෙක් පිටිපස්සේ ගැහැණියක් ඉන්නවා කියන කතාව මම සීයට සීයක්ම නිවැරදියි කියලා පිළිගත්තේ ඔයා මුණ ගැහුනට  පස්සේ. නයනා මගේ ජීවිතේ කඩන් වැටිච්ච තැන් ගොඩක් තිබුණා. සමහර දේවල් මං ඔයාට ඇවිල්ලා කිව්වා. සමහර දේවල් නොකියම ඔයා වටහා ගත්තා. මට දැනෙන්නත් නොදැනෙන්නත් ඔයා මං පිටිපස්සේ හිටියා. අපේ වාසනාවකට මේ ව්‍යාපාර දියුණුවුණා තමයි. හැබැයි අසාර්ථක වෙච්ච තැන්වලදිත් ඔයා ඔය විදිහටම හිනා වෙලා මගේ අත අල්ලගෙන හිටියා. මට මතකයි තාත්තා පිටකොටුවේ බිස්නස් එක කරගෙන ගියපු බිල්ඩින් එක ඒගොල්ලන්ට ඕනේ කියලා අපිට මාසයක් කල් දුන්නා වෙන තැනක් හොයා ගන්න කියලා. ඒ වෙද්දී තාත්තා මේ බිස්නස් එකෙන් අයින් වෙලා හිටියේ. මං අඩි ගානක් පිටිපස්සට ඇදගෙන වැටුනා. අලුත් තැනක මේ වැඩේ පටන් ගන්න කිසිම අයිඩියා එකක් මට තිබුනේ නෑ. හැම තිස්සෙම මගේ හිත කිව්වේ පුරුදු තැනින් එළියට ගියොත් අපි අසාර්ථක වෙයි කියලා. ඒ මං අහසේ ඉදලා මහ පොළොවටම වැටිච්ච මොහොතක්. හැබැයි නයනා හැමතිස්සෙම ඔයා මාව හරි තදින් අල්ලගෙන හිටියා. සමහර තීරණ ගාවදි  ඒක හරි, ඒක වැරදියි කියන්න තරම් විශ්වාසයක් ඔයාට තිබුණා. පොඩි දුව කිව්වා හරි. ඉසුරි කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න විතරක් නෙමෙයි ප්‍රශ්න විසඳන්නත් පුළුවන් ශක්තිමත් ගෑණු දරුවෙක්. මේ ළඟදි දවසක ඉසුරි ඇවිල්ලා මට කිව්වා සර් අපි ගෙවල් මාරු කරනවා ඒ ගැන සර්ට කියලා යන්නයි ආවෙ කියලා. ඒ වෙලාවේ ඒ ළමයා තමන්ගේ නංගි මල්ලි ගැන මමත් එක්ක කතා කරපු දේවල් නිසා මට ලොකු පැහැදීමක් ඇතිවුණා නයනා.” 

“අපි ඒ දරුවා අලුත් ගෙදර පදිංචි වෙන දවසට එහේ යමුද. මට ලොකු ආසාවක් තියෙනවා ඉසුරිව දකින්න.”

“අපිට ආරාධනා කළේ නෑනේ….”

“කමක් නෑ. අපි එයාව පුදුම කරමු….”

“ඔයාලා දෙන්නම විශ්වාසයෙන් කියනවනං මගේ පුතාට ගැලපෙන්නෙ ඉසුරි කියල ඒක ආයේ වරදින්න විදිහක් නෑ. මං ඔයාගෙන් එක ඉල්ලීමක් කරන්නද?”

“එහෙම කිව්වහම බයත් හිතෙනවා. ඔයා සාමාන්‍යයෙන් කිසි දෙයක් ඉල්ලන කෙනෙක් නෙමෙයි නේ.”

ජයවර්ධන තම බිරිඳ දෙසට හැරුනේ සිනහවී ගෙනය.

“ඉසුරියි පුතයි ගැලපෙනව කියල හිතනවනං ඔයා ඉස්සර වෙලා හරි ඒ දෙන්නගේ මැරේජ් එක ඉක්මන් කරන්න. අපිට සල්ලි එපා. අපිට දැන් ඕනේ ගුණ යහපත් ගෑණු දරුවෙක්. මට ජීවත් වෙන්න තව ලොකු කාලයක් නෑ මහත්තයා. මට ඊට කලින් දකින්න ඕනේ මම වගේම ඉසුරි මේ පවුලේ හැමෝම එකට එකතු කරගෙන ලස්සනට ජීවත් වෙන විදිහ දකින්න. තාත්තා ගැන, ඔයා ගැන, පොඩි දුව ගැන, ලොකු දුව ගැන එයා බලන විදිහ මට මගේ ඇස් දෙකින් දකින්න ඕනේ. ඒ හැමදේටම වඩා බිනර ලස්සනට ජීවත් වෙන විදිහ. මට එයාට ඒ දේවල් කියලා දෙන්න ඕනේ. ඒකට කාලය ඕනේ. ඔයා මමත් එක්ක නොකිව්වට නිතරම ඩොක්ටර් එක්ක කතා කරලා මම ගැන අහන බව මම දන්නවා. මගේ හිතට දැනෙන දේ ඩොක්ටර් වචන වලින් ඔයාලට කියලා ඇතිනේ. නදිත කියන්නේ අපේ පොඩි දුවට ගැලපෙනම කෙනා ඒක විශ්වාසයි. ලොකු දුවත් එයාගේ ජීවිතය ඇතුලෙ සතුටින්. ලොකු දුව වගේම පොඩි දුවත් අපේ මේ පුංචි මාලිගාවෙන් පිට වෙලා යන දවස වැඩි ඈතක නෙමෙයි. ඊට පස්සේ මේ ගෙදරට එන දරුවා මේ ගෙදර ස්වාමිදුව විතරක් නෙමෙයි මේ හැමෝටම අම්මා කෙනෙක් වෙන්න ඕනෙත් එයා. අවුරුද්දකට එක වතාවක් හරි මේ මහ ගෙදර ඔක්කෝම එකතුවෙලා සතුට ඉතිරෙන දවසක් තියෙන්න ඕනෙ.  ඒ  හැමදේකම මූලිකත්වය ගන්න පුළුවන් බිනර විවාහ වෙන ගෑණු ළමයට…ඉසුරි කවදාවත් දැකලා නැති වුණාට ඔයාලා කියන දේවල් අහං හිටියට පස්සේ මට හිතෙනවා මහත්තයා ඉසුරි ඒ  දේ කරයි කියලා. මට ඕනේ ඒ දරුවට මේ දේවල් කියල දෙන්න”

“මං ඉක්මනට මේ දේවල් පිළිවෙලක් කරන්නම්…”

“ජයවර්ධන එසේ පවසද්දී  ඒ දෑස් අග වූයේ කඳුළකි. මේ වනවිටත්  පිළිකා මාරයා විසින් නයනාගේ සිරුර අභ්‍යන්තර කොටස් ගිල ගනිමින් සිටින බව විශ්වාසය.  ‘දැන් මිස්ටර් ජයවර්ධනගේ වයිෆ්  මේ ජීවත් වෙන්නේ ඇගේ හයියට නෙමෙයි හිතේ හයියට’ පසුගිය දිනක වෛද්‍යවරයා පවා පැවසූයේ ඒ අයුරින්ය. හංසිකාගේ විවාහය ඉක්මන් කළේත් නයනාගෙ කැමැත්ත මතය. කෝටි ගණනින් බැංකු ගිණුම් වල ගොඩ ගැසී ඇති මුදල්වල සත පහක වටිනාකමක් නැතැයි ජයවර්ධනට සිතේ. ඇයට තවත් දවසකින් හෝ ජීවිතය දිය හැකිනම් ඔහු මේ සේසතම වියදම් කරන්නට දෙවරක් සිතන්නේ නැත. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles