ඉඩෝරයක මල් වැස්සක් – 67

දින කිහිපයක්ම ගෙවී ගොස් තිබුණත් පාරින්දට ඉසුරිගෙන් එකදු කෙටි පණිවිඩයක්වත් පැමිණියේ නැත. ඊයේ පෙරේදාත් ඔහු උන්නේ ඇය විනාඩියකට හෝ තමාව අමතාවියැයි බලාපොරොත්තුවෙන්ය. අම්මා පවසන්නේ කෙටි කලක් නිහඬව සිට යළිත් මේ සම්බන්ධතාවය ඇරඹිය යුතු බවය. උදෑසන කතා කළ අම්මාගේ යෙහෙළිය පැවසූයේ ඉසුරිගේ නිවසින් බඩු ලොරියක් පිටත්ව ගිය බවය. මාමා පවසා තිබුණේ රාජිනී විසින් මාමාගේ මිතුරෙකුට අයිති නිවසක් කුලියට ගත් බවය. 

අම්මා විසින් ඊයේ හඳහන බලන්නට ගිය වේලේත් පවසා තිබුණේ සියල්ල නැති වී ජීවිත හානි පවා සිදු  වීමට ඉඩ ඇති බවය. එනිසාම ගෙදරින් පිටතට නොයන්නයැයි ඇය හඬ හඬාම පැවසුවාය. කොහොමටත් විනය පරීක්ෂණය පවත්වන තුරු රැකියාවට යාමට හැකියාවක් නොවේ. පාරින්ද නිවස ඇතුලට වී සිටියේ වෙනදා නොවූ විරූ අලසකමක් දරාගෙනය. උවමනාව තිබුනත් අම්මා මෙවේලෙහි නිවසෙන් පිටතට යාමට ඉඩ නොදෙන බව විශ්වාසය. 

දුරකථන ගැලරිය පීරමින් ඔහු අවසන සොයා ගත්තේ ඉසුරි වැඩිවිය පැමිණි දා ගත් සේයාරුවකි. එදවස ඔවුන් අතර සහෝදර ප්‍රේමය මිස අන් කිසිදු සබඳතාවයක් වූයේ නැත. ඉසුරිට කරාබු  ජෝඩුවක් රැගෙන දුන්නේ අම්මාය. එහෙත් එය ඇගේ කන්පෙතිවල පැළඳ වූයේ තමාය. කුඩා කල සිටම ඔහු සිටියේ ඉසුරි ගැන අයිතියක් තහවුරු කරගෙනය. ඒ බැඳීම ඉසුරු කෙරෙහිවත් කුඩා නැගණිය කෙරෙහිවත් ඔහුට වූයේ නැත. 

අම්මාගේත් තාත්තාගේත් ගැටුම් උත්සන්නවද්දී තමා සොයා ඇවිත් රැකවරණය සෙවූ කුඩා කෙල්ල ඔහු ඉදිරිපස මැවී  නොපෙනී ගියේ එවේලෙහිය. එදා සිටම පාරින්දගේ සිතෙහි ඉසුරි පිළිබඳව වූයේ අසීමාන්තික ලෝභකමකි. අයිතිවාසිකම් කියන්නට සිතෙන හැඟීමක. තමාට කෙදිනකවත් ඇයව අහිමිව නොයාවියැයි ඔහු විශ්වාස කළේය. එනිසාම ඔහු උන්නේ ඇයව නීති රීති සමුදායකට යටත් කරගෙනය. ඊයේ පෙරේදා වනතුරුම ඉසුරි යළි තමාට කෙටි පණිවිඩයක් හෝ එවාවියැයි විශ්වාසයක් තිබුනත් එය එසේ නොවීම පිළිබඳව පාරින්ද වූයේ බියෙන් සැකයෙන්ය. 

අවසන ඔහු කෙටි පණිවිඩයක් ලියා යැව්වේය.

“ඔයාලා  දැන් ගෙවල් මාරු කරන්නත් හදනවලු නේද. ඒ දවස්වල සැපට දුකට දෙකටම හිටිය ලොකු අයියා මතක් නොවිච්ච එකනේ පුදුමේ. කමක් නෑ කාටහරි හරි යනවනම්. ඒත් එහෙම මිනිස්සුන්ට හරි ගියේ නෑ කියන එක මතක තියාගන්න.”

සිතෙහි වූ කෝපයත් වේදනාවත් කළකිරීමත් එකට එක් වූ කෙටි පණිවිඩය යවා පැයකට ආසන්න වූ කාලයක් ගත වුවත් ඇය එය කියවා තිබු බවට සලකුණක්වත්  වූයේ නැත. 

නාලනී කාමරයට එබුණේ පාරින්ද සිය ජංගම දුරකථනය දෙස බලාගෙන කල්පනා කරමින් සිටියදීය. පාරින්ද දෙස තත්පර කිහිපයක් බලා සිටි ඈ ඇඳෙහි කෙළවරක වාඩි වූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. 

“කුරුල්ලෙක් උනත් කූඩු වෙලා ඉන්න කැමති නෑ බං. උං බලන්නේ නිදහසේ ඉගිල්ලිලාා යන්න. උඹ දැන් ඕක දිහා බලාගෙන කල්පනා කර කර හිටියා කියලා වැඩක් නෑ. ඔය ගෙවල් මාරු කෙරිල්ල කරන්න දීලා හෙමින් සැරේ අපි ගිහිල්ලා මාමත් එක්ක කතා කරලා බලමු. ඉසුරි තාත්තට ආදරෙයි. තාත්තා කියන දේකට පිටින් යන්නේ නෑ. මං ඒක හොදාකාරවම දන්නවනේ. එක අතකින් තාත්තා කියන්න වගේ උන් මෙහෙන් යන එක හොඳයි. ගමේ මිනිස්සු උන්ට මොන මොනව කියනවද කියලා කවුද දන්නෙ. අපි කටවල් වහ ගත්තත්”

පාරින්ද කිසිවක් පැවසූයේ නැත. රාජිණීගේ පවුලේ උන්  අබියස තමා හෑල්ලු වී ගියාක් බඳු වේදනාවක් එවේලෙහිත් ඔහුට දැනෙමින් තිබිණ. 

“හෙට අනිද්දා මිනිස්සු උන්ට විතරක් නෙමෙයි අපිටත් කයි කතන්දර කියන්න පටන් ගනීවි. උඹ ඔය අත කඩා ගත්තේ නැත්නම් මෙලහටත් ඔය කසාඳේ කරගෙනනේ.වෙලාවකට  මට හිතෙනවා බං  ඉසුරි අපි හිතපු තරම් අහිංසක කෙල්ලෙක් නෙමෙයි කියලා. හෙමිජ්ජි වගේ සද්ද නැතුව ඉඳලා වෙලාව ආපු ගමන් ඒකි  අම්මවයි, තාත්තවයි, පුංචි අම්මවයි තුන්දෙනාම උසිගැන්නුවා. නැත්තං ඉතින් මේ දින පවා යොදාගෙන ඉඳපු මංගල්යක්නේ. බැරිවෙලා ගියොත් මුහුදේ ඉන්නේ එක මාළුවද කියලා හිතලා හිත හදා ගමු බං. මං උඹට ඊට වඩා හොඳ තැනකින් කෙල්ලෙක් හොයලා දෙන්නම්.”

නාලනීටත් හොර රහසේ ඇගේ සිතෙහි වූ අපහැදීම වාන් දමමින් තිබිණ.

“අනේ අම්මේ මේ…මගේ යකා අවුස්ස  ගන්නෙ නැතුව යනවද එළියට. කරන්නේ මොකක්ද කියලයි කියන්නේ මොනවද කියලයි මං හොඳට දන්නවා. අම්මගේ උපදෙස් මට අවශ්‍ය නෑ.” 

පාරින්ද එසේ පවසමින් නැඟී සිටියේ කෝපයෙන්ය. ලිහී ගිලිහී වැටෙන්නට ගිය සරම එක් අතකින් අල්ලාගෙන ඔහු කාමරයෙන් පිටවූයේ නාලනී තවත් යමක් පවසන්නට ප්‍රථමය. 

“මේ රාහු  මහ දසාව යන්නේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ තරමට කේන්ති යනවා. ඉබා ගාතේ ඇවිද්දවනවා. දැන් වැඩ කරන්නේ මොළෙන් නෙමෙයි. රාහු තමයි මොළේ පාලනය කරන්නේ. කරන්නේ මොනවද කියන්නේ මොනවද කියන එක ගැන හැඟීමක් නෑ. තනිකර පිස්සෙක් දැන් ඉන්නේ.”

නාලනීගේ  දෙසවන්තුල යළිත් ඇසෙන්නට වූයේ දෛවඥයා පැවසූ වදන්ය. ඇය මේ අලුත් දෛවඥයා සොයා ගියේ රාජණීලාගේ නිවස අසල වූ යෙහෙළියගේ ඔත්තුවකටය. පාරින්දට බලගතු සුරයක් දැමිය යුතුයැයි පවසා ඔහු තිස් දහසක මුදලක්ද ලබා ගත්තේය. 

“එහෙනම් ඉතින් ඔය අපලෙ ඉපදුණු දවසේ ඉඳලා තියෙන්න ඕනේ. ඔය ළමයා කේන්තියක් නැතුව හිටපු වෙලාවක් මං දැකලම නෑ.”

සැමියා පැවසූයේ ඒ අයුරින්ය. 

“අයියා වගේ කෙනෙක්ගේ නීතිරීතිවලට යටත් වෙලා මම උනත් ඉන්න කැමති නෑ අම්මේ.  ⁣මොන කරුමයක්ද ඒක. ඉසුරි අක්කම හිටියා මිසක්කා.තමන් කැමති ඇඳුමක්  අඳින්න නෑ. කන්න නෑ. ගමනක් බිමනක් යන්න නෑ. යාළුවෙක් ආශ්‍රය කරන්න නෑ. හරියට රූකඩයක් වගේ”

ඉසුරි පිළිබඳව කතා කරද්දි දියණිය පවා පැවසූයේ එසේය. මේ සියලු වැරදි පාරින්දගේමයැයි සිතන්නට ඉඩ නොදෙන සිතුවිලි දරාගෙන නාලනී පසුගිය දින කිහිපය ගත කළේ මහත් වූ පීඩාවකින්ය. 

                                       **************

“ඉසුරි මේ වගේ හිනා වෙලා ඉන්නවනං මට එයාව නොලැබුණත් කමක් නෑ කියලා හිතෙනවා බං.”

බිනර පැවසූයේ මිතුරාගේ දුරකථන වෙළඳ සැලෙහි සිටය. ඉසුරිලාගේ නව නිවස අස් කිරීමට උදව් වන්නට ගිය මාලිංගගේ පෙම්වතිය පැමිණියේ මින් අඩ හෝරාවකට පමණ ඉහතදීය. අන් කවරදාකවත් නොදුටු තරමට ඉසුරි සතුටින්යැයි පැවසූයේ ඈය. පසුගිය දිනවල බිනර ඇය දෙස බලා සිටියේත් ඔහුට ආගන්තුක වූ ඒ හැඟීම විඳිමින්ය. 

“මොනවද බං උඹ කියන්නේ. වෙලාවකට කියනවා මට එයා නැතුව ජීවත් වෙන්න බැරි වෙයි කියලා. දන්නෙම නැතුව එයා මගේ හැමදේම වුණා කියලා.  ඊට පස්සෙ කියනවා එයා සතුටින් නම් මට එයාව නොලැබුණත් කමක් නෑ කියලා. මොනවා කරන්නත් එකක් කියහන්කෝ.”

“මං හොඳටම  දන්නවා එයා මාව කවුද කින්ද මන්ද කියල දැනගත්තට පස්සේ මේ තරම් මට ලංවෙන්නෙ නෑ  කියලා.”

“එදාට වෙන දේ කියන්න මං දන්නෙ නෑ අයියේ. හැබැයි අද ඉසුරි වචන දහයක් කතා කලොත් නමයක්ම ඔයා ගැන. ඔයා එයාලගේ ගේ පදිංචි වෙන දවසට නොයන එක ගැනත් එයා හරි දුකෙන් කතා කලේ. ඔයා තාත්තගෙ හදිසි වැඩකට යන්න වෙනවා කියලා එයාට කිව්වලු නේ. පව් ඉසුරි කියනවා ඒක කළ යුතුම වැඩක් වෙන්න ඇතිලු. නැත්තං ඒ වගේ දවසක ඔයා කවදාවත් එයාව තනිකරන එකක් නැහැලු.”

“හංසිකා  අක්කයි ඩොක්ටර්  සුලක්ෂායි මේ හැම දෙයක්ම දන්න එකේ අපි එදාට යමු බං. ඉසුරිට උනත් උඹ නැතුව කවුරු හිටියත් වැඩක් නෑ වගේ හැඟීමක් දැනෙයි.”

“දැනෙයි නෙමෙයි මාලිංග. ඉසුරි ඒක එහෙමම කිව්වා. ඇයි ඇත්තට ඔයාට එන්න බැරි.” 

“ඒ වෙලාවට එයා පොඩි අක්කවයි, සුලක්ෂා අක්කවයි බලාපොරොත්තු වෙනවා. ඒ සිටුවේෂන් එකේ හැටියට මට හිතෙනවා මට වඩා ඒ දෙන්න තමයි එතනට වැදගත් වෙන්නේ කියලා.”

“ඉතින් බං ඒ මිනිස්සු උඹ ගැන දන්නවනේ.”

“ඔහු ඒක හරි. ඒක හින්දම තමයි මට එතනට එන්න අපහසු. ඒ දෙන්නා ඉස්සරහදි මට මාව හංගගෙන රඟපාන්න අපහසුයි බං. ඒගොල්ලෝ ගියාට පස්සේ මං හවසට ඉසුරිගේ ගෙදරට ගිහිල්ලා එන්නම්. උඹල දෙන්න ගිහිල්ලා ඒ වෙලාවෙ එයාට ඕන කරන හැම දෙයක්ම කරලා දීපන්.” 

“වැඩි කල් ගන්න බෑ බං. මේක දැන් කියන්න ඕනේ. ඉසුරි අලුත් ගෙදරට හැඩගැහෙන්න සතියක් විතර ඉඩ දීලා අපි තුන්දෙනාම ගිහිල්ලා එයා එක්ක කතා කරමු. අපි හිටියොත් එයාට හේතු පහදන්න හරි පුළුවන්නෙ”

“මං හිතන්නෙ නෑ බිනර අයියේ එයා ඒක දැනගත්තට ඔයා ගැන වරදවා හිතයි කියලා. අනිත් එක පුද්ගලයයි  වැදගත් වෙන්නේ. එයා කාගේ කවුද සල්ලි කොච්චර තියෙනවද ඒක නෙමෙයි වැදගත්. එහෙම කිසි දෙයක් නොදැන ඇතිවුන බැඳීම තමයි ශක්තිමත්”

“මූ කියන්නේ බබා මූ කියපු බොරුවල හැටියට ඒකිට මූණ දෙන්න අපහසුයි කියලනේ.”

“ඕකට තමයි කියන්නේ එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා කියලා…”

මාලිංගගේ  පෙම්වතිය පැවසූයේ සිනහසෙමින්ය. එහෙත් බිනරගේ මුවෙහි සිනහවක් වූයේ නැත. ඔහු දිගු සුසුමක් මුදා හැරියා පමණි.

                              ****************

කෝසල ජයවර්ධන තම පියා හා ඉසුරි ගැන පැවසූයේ රාත්‍රියේය. රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ලබා ගන්නා ඔහු කාමරයට යන්නේ වෙනදාටත්  වඩා වේලාසනින්ය. ඉන්පසු නින්දට යන්නේ මහ පිරිත ශ්‍රවණය කලාට පසුවය. 

“ඔයා අර දරුවා ගැන මමත් එක්ක කිව්වෙත් ඔය වගේම විශ්වාසයෙන්නේ. ඉතින් අපිට වරදක් උනේ නෑ. සල්ලි හම්බ කරන්න පුළුවන් හැබැයි මනුස්සකම්, ගුණ යහපත්කම් හම්බ කරන්න බෑ. අද අපේ මුණුබුරාට මේ රටේ ඕනම සල්ලි කාරයෙක්ගේ දුවෙකුට විවාහ යෝජනාවක් ගෙනියන්න තරම් සුදුසුකම් තියෙනව. හැබැයි ඉතින් ඔයාගේ අඩි පාරේ ගිහිල්ලා එයා තෝරගත්තෙත් සල්ලි නෙමෙයි මනුස්සකම. ඒකට මගේ කැමැත්ත අකමැත්ත අහන්න ඕන නෑ පුතේ. ඔය දෙන්න වගේම ඒ හිතුවක්කාර කොල්ලත් සතුටින් ඉඳියි.”

බර්නාඩ් ජයවර්ධන පැවසූයේ සිනහසෙමින්ය. 

“අපි බින්දුවෙ ඉඳලා ඉනිමගක  පිළිවලින් පිළිවලට නැගලා මෙතන්ට ආවෙ. හැබැයි මනුස්සකං තමන්ගෙකම්ප අමතක කළා නම් අද උඹයි මමයි මෙහෙම මෙතන කතා කරන්නේ නෑ. ලෝකෙ එදාට වඩා අද හරි වෙනස්. ලෝකෙ කොච්චර වෙනස් වුණත් අපි කවුරුවත් අපිව අමතක කරලා ඉස්සරහට ගිහිල්ලා වැඩක් නෑ. එහෙම මනුස්සයෙකුට සතුටින් ඇස් දෙක පියාගන්නත් බෑ. ආපස්සට හැරිලා තමන් ජීවිතේ ගත කරපු ආකාරය පිළිබඳව කලකිරීමෙන් මැරෙනවා මිසක්කා. අපේ නයනා දුව  මනුස්සකම් එක්ක හදපුු දරුවෝ අනිවාර්යයෙන්  තව පරපුරකට ඒ මනුස්සකම් කියලා දෙනවා. ඒක ස්ථිරයි.”

බර්නාඩ්ට දැන් කතා කිරීම මඳක් අපහසුය. ජයවර්ධන කාමරයෙන් පිටවූයේ ‘තාත්තා විවේක ගන්න’යැයි පවසමින්ය. අඩු තරමේ ඔහු තම සිතෙහි වන සැලැස්ම පිළිබඳව කිසිවෙකුටත් පැවසූයේ නැත. 

“දැන් ඉසුරිට දවස් කීයක් නිවාඩු ඕනද මේ වැඩ කටයුත්තට..”

ඔහු ඊයේ උදෑසන ඉසුරිගෙන් විමසූයේ ලිපි ගොනුවක් රැගෙන කාර්යාලයට පැමිණි වේලාවේය. 

“සෙනසුරාදා දවස විතරක් තිබුණහම ඇති සර්..ඉරිදා කොහොමත් නිවාඩුනේ. සඳුදා  මට ඔෆිස් එකට එන්න පුළුවන් වෙයි.” 

“දැන් අලුත් ගෙදර පදිංචි වෙන පාටියක් එහෙම නැද්ද.

“අනේ නෑ සර්…තාත්තා ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ දෙනමට ආරාධනා කළා. උදේ නවය වෙද්දි සෙත් පිරිත් දේශනා කරන්න ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි වඩිවී. මම හංසිකා මැඩම්ටයි ඩොක්ටර් සුලක්ෂාටයි විතරක් එන්න කිව්වා. බිනරටත් එන්න කිව්වා. ඒ උනාට බිනරට එන්න බැරි වෙයි.  ඒ ඇරෙන්න අපේ ගෙදර අය විතරයි සර් ඉන්නේ. උදේ අටයි දාහතට තමයි අපිට ගෙදරට ඇතුල් වෙන්න තියෙන්නේ.”

“ඉසුරියි බිනරයි අතර ලොකු යාළුකමක් තියෙනවා නේද. මම ඔය සමහර වෙලාවට දැකලා තියෙනවා දෙන්නා කතා කර කර එහෙම ඉන්නවා.”

“අනේ ඔව් සර්…අද වෙද්දි බිනර තමයි මට ඉන්න හොඳම යාළුවා. ඉස්සර මට යාලුවෝ හිටියේ නෑ සර්. හැබැයි මට බිනර වගේ යාළුවෙක් ඒ කාලෙ හිටියනම් මගේ ජීවිතේ මම මීට වඩා ගොඩක් දුර ගිහිල්ලා ඉදියි. මම හිටියේ අඳුරු ගුහාවක හිරවෙලා වගෙයි. මගේ ජීවිතේ ගොඩක් තීරණ ගන්න මට උදව් කළේ බිනර. ඇත්තටම මේ යෝජනාවත් බිනරගේ එකක්.”

“ෂා..ඒක හරි හොඳ යාළුකමක්නෙ.”

“අනේ ඔව් සර්. මම හීනෙකින්වත් නොදැකපුු සතුටක් මගේ ජීවිතයට ගෙනත් දුන්නේ බිනර. අද ඒ සතුට අපේ මුළු පවුලම දකිනවා සර්. බිනරගේ අම්මයි තාත්තයි සර්ලා එක්ක ගොඩක් හිතවත් කියලා මම දන්නවා.”

“ආ… ඔව්….අපේ පවුලේ හිතවත් අය. එහෙනම් ඔය වැඩේට බිනරත් සහභාගී වෙයි.”

“නෑ සර් බිනරට මං හිතන්නේ එයාගේ තාත්තගෙ වැඩකට යන්න වෙලා. හවසට ඇවිල්ල යන්න එන්නම් කිව්වා.”

“ආ එහෙමද….හොඳ යාළුකම්  වලට ගැහැණු පිරිමි භේදයක් නෑ. බිනර හොඳ දරුවෙක්”

“ඔව් සර්  ඒක ඇත්ත.”

“අපෙන් මොනවා හරි දෙයක් කෙරෙන්න තිබුනොත් කියන්න. නිදහස්  වෙච්ච වෙලාවක මමයි මගේ නෝනයිත් ඒ පැත්තට ඇවිල්ල යන්න එන්නම්.” 

“අනේ සර් ඒක ලොකු දෙයක්. පුළුවන් වෙලාවක කියලම එන්න කෑම ටිකක් කාලා යන්නම. සර්ල මගේ ජීවිතයට මේ කරපු උදව්ව මට අනිත් හැමදේකටම වඩා වටිනවා. අපේ ජීවිතවලට ආපහු හිනාවක් ගේන්න සර්ලත් ගොඩක් උදව් උනා.”

“ඒක මොකක්ද ළමයෝ අපිට හිතවත් සේවකයෙක් අමාරුවේ  වැටුනහම ඒ අයට උදව් කරන එක අපේ යුතුකම.” 

ජයවර්ධන පැවසූයේ සිනහසෙමින්ය. ඉසුරි  නිවාඩු ලබාගෙන කාර්යාල කාමරයෙන් පිටව ගියේ ඔහුගේ දෙපා වැන්දාට පසුවය. 

මේ කිසිවක් දැන්මම නයනා සමග පවා නොකියන්නට ඔහු තීරණය කළේ ආපසු කාමරයට ඇවිද එන අතරේය. 

පූජනී සම්බන්ධව කාර්යාලයේ වූ ප්‍රශ්නය දැන් නිරාකරණය කරගනිමින් සිටී. ඇය ජයවර්ධනලාව විශ්වාස කරමින් ඒ සඳහා දුන් සහය වටිනා එකකි. බිනරගේ නම භාවිතා කරමින් ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නේත් අසභ්‍ය වීඩියෝපට සහ ඡායාරූප යැව්වේත් කවුරුන්දයි යන්න හරි හැටිම හඳුනාගෙනන සිටියත් මේ ඒ කිසිවක් හෙළි කරන්නට සුදුසු වේලාව නොවන බව ජයවර්ධන විශ්වාස කළේය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles