“සුරේන් ඉපදෙද්දිත් මිනිහා ළඟින් ආවෙ අමුතුම කෙහෙල් සුවඳක්” කියලා ගමේ මිනිස්සුන්ට කියන්න කොහොමත් ලොකු හේතුවක් තිබ්බා. සුරේන් කියන්නෙ මනුස්සයෙක් කියලා කියනවට වඩා කෙහෙල් ගහක් කියලා අහගන්නොන ජාතියෙ මනුස්සයෙක්. කෙහෙල් ගහක කඳට අත තියලා මේ ගහේ හැදෙන්නෙ මොන ජාතියෙ කෙහෙල්ද, ගෙඩි කීයක් ඒද කියලා කියන්න පුළුවන්කමේ මහ අමුතුම බැඳීමක් තමයි සුරේන්ට කෙහෙල් ගස් එක්කලා තිබ්බෙ.
මොකද සුරේන්ගේ මුළු ජීවිතේම කෙසෙල් පේළි එක්ක බැඳිලා තිබ්බේ.
ඒක තාත්තාගෙන්, ඊට කලින් සීයාගෙන් සුරේන්ට ලැබිච්ච පරම්පරාගත බැඳීමක් කිව්වොතින් හරියටම හරි. ගමේ උන් හැමෝම වගේ දැනන් උන්නා හැබැයි සුරේන්ලා කොච්චර සල්ලි එක්කහු කරත් ඒවා එක්කහු කරගත්තෙ හරිම අවංකෙන් කියන එක. හැම උදේකම, ඉර පායනකොට, සුරේන් සෙරෙප්පු නැතුව වත්තට ඇවිදන් යනවා. සීතල පින්න ඇඟිලි අස්සෙන් බේරෙනවා සුරේන්ට ඒ වෙලාවට දැනෙනවා. සුරේන් වත්තෙ ඇවිදගෙන යන්නෙ කෙහෙල් ගස් කොළ අල්ල අල්ල.
“අපිට හරිහම්බ කරලා දෙන කෙහෙල් ගස් වලට පවා පන තියෙනවා කියලා හිතලා තමයි ඒවට අපි කරන සත්කාරයක් කරන්නෝන. ඒ ගස් එලියට දාන උන්ගෙ දරුවො තමා ඔය ඵලදාව කියන්නෙ. ඒ හන්දා අපි ඒ කෙහෙල් ගෙඩි කඩාගත්තට පස්සෙ ඒ ගස් කියන වේදනාවට ඇහුන්කම් දෙන්නම ඕන. කරුණාවෙන් කතා කරන්න ඕන” කියලා තාත්තා තමන් පුංචි කාලෙ කිව්ව කතන්දර හැම එකක්ම සුරේන්ට හොඳටම මතක තිබ්බා. මතක විතරක් නෙවෙයි සුරේන් ඒ වත් පිළිවෙත් ඒ විදියටම කරා.
සුරේන් ඒවට කවදාවත් හිනා වුණේ නෑ. ඒවා හැමදාම විශ්වාස කළා මිසක්කා.
සුරේන්ට කොහොමත් වෙන යන්න තැනක් තිබ්බේ නෑ. මිනිහට ලෝකෙ එක්ක තිබ්බෙත් කොහොමත් හරි දුර බැඳීමක්. අම්මායි තාත්තායි නැති වුණාට පස්සේ සුරේන්ගෙ මුළු ලෝකෙම වුණේ වත්ත විතරයි. හැමදාම එකම විදිහට වැඩ කරන එක, වත්තෙ කෙහෙල් ගස් අස්සෙ ටැග්ගැහෙන එක සුරේන්ට සැනසිල්ලක් වුණා.
මං ගස් බලාගන්නවා, ගස් මාව බලාගන්නවා කියන මහ අමුතුම තියරියක් එක්ක තමයි සුරේන් කෙහෙල් වත්ත අස්සෙ ජිවීතේ ගෙව්වෙ.
හැම සිකුරාදාම, සුරේන් එයාගේ පරණ තල්ලුකරන කරත්තෙට කෙහෙල් පටවගෙන මාර්කට් එකට අරගෙන යනවා. මිනිස්සු සුරේන්ලගෙ වත්තෙ කෙසෙල්වලට කැමතියි. මොකද ඒවායේ තිබ්බෙ අර හැම තැනකම කන්න ලැබෙන කෙහෙල් වලට එහා ගියපු මහ අමුතුම පැණි රහක්. ඒ විතරක් නෙවෙයි නිකන් කට අස්සෙ දියවෙලා යන වලාකුලු වගේ මදේ. ඒ හන්දම සුරේන්ට ලොකු දෙයක් කරන්න උවමනා උනේ නෑ තමන්ගෙ වත්තෙ පලදාව විකුණගන්න කියලා. සමහර මිනිස්සු වත්තටම ඇවිල්ලත් සුරේන්ගෙන් කෙහෙල් අරන් ගියා. ඕක ප්‍රශ්නයක් වෙච්ච තව කීප දෙනෙක්ම ඔය පැත්තෙ උන්නා. මේ ගම් පළාත්වම හොඳටම වැවෙන්නෙ කෙහෙල් හන්දා කෙහෙල් වවන කීප දෙනෙක්ම ගමේ උන්නට කපන කැන් ඔක්කොම වගේ විකිණුනේ ඇත්තටම සුරේන්ගෙ වත්තෙ ඒවා. අවුරුදු කාලෙට, ජනවාරි පලවෙනිදට එහෙම සුරේන්ලට පලදාව මදි මිනිස්සුන්ට දෙන්න. ඒතරම් කෙහෙල්වලට ඉල්ලුම තිබ්බා.
වෙනස්ම පැණි රහක් තිබ්බ හන්දා මිනිස්සු සුරේන්ලගෙ කෙහෙල් වත්තට කිව්වෙ පැණි කෙහෙල් වත්ත කියලා.
සුරේන්ගෙ වත්තෙ කෙහෙල් වල තිබ්බ මේ රහ හන්දම අනිත් කෙහෙල් වවන ඈයො හිතුවෙ ඒ වත්තෙ පසේ තියෙන මක්කහරි දෙයක් හන්දා තමා මේ කෙහෙල් මෙච්චරටම රස වෙන්නෙ කියලා. ඒ හන්දම පැණි කෙහෙල් වත්ත පැත්තෙ ඉඩමක් විකුණන්න එහෙම දැම්මොතින් ඒව ගන්න පුදුම පොරයක් තමා තිබ්බේ. ඔය පැණි කෙහෙල් කතාව දිගට දිගට කෙරීගෙන ගිය දවසක මනුස්සයෙක් එනවා සුරේන්ව හම්බෙන්න.
“ඔයාගෙ වත්තෙ කෙහෙල් වෙනස් රහක් තියෙන්නෙ”
“වෙනස් කිව්වෙ හොඳ වෙනසක්ද? නරක එකක්ද?” කියලා සුරේන් ඇහුවා.
“වෙනස්… විශේෂයි,” මනුස්සයා කිව්වා. “මම මේ ෆොරිනර්ස්ල් එක්ස්ලුසිව් රෙස්ටුරන්ට් එකක් කරනවා. ඔයාට පුලුවන්ද මේ වත්තෙ තියෙන ඔක්කොම කෙසෙල් මගේ රෙස්ටුරන්ට් එකට එවන්න. මම ඔයා දැන් කැනක් විකුණන ගාන වගේ ඩබල් ගෙවන්නම්”
“දෙන්න පුලුවන් මහත්තයා හැබැයි දැනටම ඔය මගෙන් පොඩි ගණන්වලට කෙහෙල් ගන්න උදවිය ඉන්නවනෙ. ඒ මිනිස්සුන්ට නොදී දෙන්න විදියක් නෑ. ඒ මිනිස්සුන්ගෙ ගණන් බේරල ඉතුරු ටික මං මහත්තයට දෙන්නම්”
“එහෙම නෙවෙයි සුරේන්, ඒ මිනිස්සුන්ට වෙන කොහෙන් හරි ගන්න කියන්න. මම අනික ඩබල් ගෙවන්නම් කියලත් කිව්වනෙ. එහෙම එකේ මේ චාන්ස් එක මිස් කරගන්න එපා”
“චාන්ස් එක මිස් කරගන්නවට වඩා හරි නෑනෙ මහත්තය මෙච්චර කල් මගෙන් කෙහෙල් අරන් උදව් කරපු මනුස්සයගෙ බඩට ගහන එක නේද?
අනික ඉතින් මගෙ වත්තෙන්ම කෙහෙල් ඕන කියලා එකක් තියෙනවය. මහත්තයට මගෙ වත්තෙ කෙහෙල් මදි නම් ඔය අනික් වතු වලින් උනත් ගන්න ඇහැකි නෙ”
“ඒක කරන්න බෑ සුරේන්. ඒ වතුවලින් ගත්ත කෙහෙල් වල ඔයාගෙ වත්තෙ කෙහෙල් වල තරම් රහක් නෑ. ෆොරිනර්ස්ලා හරි ආසයි මේ වත්තෙ කෙහෙල් වලට”
ඔය විදියට කාලෙ ගෙවීලා ගියා. සුරේන්ට කෙසෙල් වලින් හොඳට සල්ලි හම්බ කරන්න ඇහැක් උනා. ඉල්ලුම වැඩි උනා. ඕඩර් වැඩි වුණා.
මෙච්චර කල් “සුරේන්ගෙ කෙසෙල් නෙ කෙසෙල්” කිව්ව උදවියට පවා සුරේන්ට සල්ලි අතට ආවට පස්සේ ඒක මහ ලොකු ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා.
“ඌ කෙසෙල්වලට මොකක් හරිම කරනවා අපි දන්නෙ නැති.”
“මේ අහල පහල වතුවල කාගෙවත් කෙසෙල් ඔච්චර රහට හැදෙන්නේ නෑ.”
“අපි දාන ජාතිවලට ඇරෙන්න වෙන අමුතු පෝරක් ඌ දාන්නෙත් නෑලු”
“අනේ දැම්මත් ඌ මේන් කියලා කියාවි” කියලා තමා මිනිස්සු සුරේන් ගැන ඉන්පස්සෙ කතාකරන්න ගත්තෙ.
එක රෑක, සුරේන්ට වත්තෙන් එළියේ අඩි සද්දයක් ඇහුණා. කවුරුහරි රහසින් කතා කරනවා. කෙසෙල් කොළ සර සර ගානවා වගේ. “හොරුවත් පැනලද?” කියලා බලන්න හිතාගෙන තමා සුරේන් වත්තට බැස්සෙ ලන්තෑරුමකුත් අරගෙන.
“කවුද ඔතන?” කියලා සුරේන් ඇහුවෙ වචනෙට සර සර ගාපු කෙහෙල් ගස් අස්සෙන් එළියට ආවෙ සුරේන් එවෙලෙ එතන දකින්න වෙයි කියලා හීනෙන්වත් හිතුවෙ නැති කෙනෙක්.
විජිතක්කා. එහා වත්තෙ සෝමදාස අයියගෙ ඉස්තිරියාව.
“මොකෝ අක්කෙ මේ? මං මේ බැලුවෙ හොරෙක්ද කියලාවත්?”
“අනේ මල්ලි, මක්කවත් හිතන්නෙපා. මං මේ ආවේ, ඇත්තටම සෝමෙ මට ගිහින් බලන්න කිව්ව හන්දා”
“මක්කා බලන්නද අක්කෙ මේ මහ රෑ?”
“මල්ලි මොනාද කෙහෙල් ගස්වලට කරන්නෙ කියලා”
“මොනා කරන්නද අක්කෙ මේ කෙහෙල් ගස් වලට?”
“නෑ මල්ලි දන්නෙ නැද්ද මිනිස්සු කියන කතා”
“මොනාද කියන්නෙ?”
“මල්ලි මේ කෙහෙල් ගස් වලට මක්කද දානවය කියලා ගෙඩි පැණි රහ වෙන්න”
“ඉතින් දැන් අක්කා ආවෙ මොකටද?”
“හොරේ අල්ලගන්න?”
“මොන හොරේද අක්කා අල්ලගන්න ආවෙ?”
“මල්ලි කෙහෙල් ගස් වලට මොනවද කරන්නෙ කියන හොරේ මෙච්චර රහ කෙහෙල් හදවන්න”
“මං පලදාව ලැබෙන හැම වෙලාවකම කඩ මණ්ඩියට අරගෙන යන්න කළීයෙන් මේ අහල පහල ඉන්න හැමෝටම නොමිලේ කෙහෙල් එවනවමයිනෙ අක්කෙ නේද?”
“ඔව්”
“ඉතින් මට හංගන්න මක්කහරි දෙයක් තිබ්බා නම් අක්කා හිතනවද මං එහෙම කෙහෙල් එවාවි කියලා?” සුරේන් අන්න ඒ කිව්ව කතාවට නම් ඇත්තටම විජිතක්කට උත්තරයක් තිබ්බෙ නෑ. තමන් ඇහුව දේට උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ වගේ තමයි සුරේන් ලන්තෑරුම අරගෙන ආයෙ ගේ අස්සට ගියේ. ඒ ගේ අස්සට ගිය සුරේන් පස්සෙන්දා කාටවත් පේන්න එළියට ආවෙ නෑ. තමන් කට්ටිය එක්කහු වෙලා කරපු මේ වැඩේ සුරේන්ගෙ අතට අහුවෙච්ච එක හන්දා මිනිස්සු බලාගෙන උන්නෙ සුරේන් මේකට මොන විදියට ප්‍රතිචාර දක්වාවිද කියන එක.
දවස් දෙහෙකට පස්සෙ සුරේන් පුරුදු විදියටම කරත්තෙට කෙහෙල් පටෝගත්තා. මිනිස්සු කඩ මණ්ඩියෙ බලාගෙන ඉද්දි සුරේන් කඩ මණ්ඩිය පහු කරගෙන ගිහිල්ලා නතර කරලා තිබිච්ච ලොරියකට කෙහෙල් ඔක්කෝම පිරෙව්වා. මොකක් හරි ලොකු හෝටලේකින්ද කොහෙද ඇවිත් තිබ්බ ඒ ලොරිය කෙහෙල් ටික පටෝගත්ත ගමන් ගියා. සුරේන් හිස් කරත්තෙ තල්ලු කරගෙන ආය වත්ත දිහාවට යන්න කඩ මණ්ඩිය පහු කරද්දි කඩේ මුදලාලි නිකන් මුකුත් නොදන්න තොත්ත බබා වගේ සුරේන්ට කතා කරා.
“අද මෙහෙට කෙහෙල් දාන්නෙ නැද්ද මල්ලියෙ?” කියල කඩේ මුදලාලි අහද්දි සුරේන් කරේ හිනාවෙච්ච එක.
“මං ආයෙ මෙහෙට කෙහෙල් දාන්නෙ නෑ කියලා හිතුවෙ. මගෙන් වැඩි ගානට කෙහෙල් ගන්න මහත්තයෙක් කැමති උනා. මං දැන් එහෙට තමා කෙහෙල් දෙන්නෙ මින් ඉස්සරහට”
“අඩේ එහෙම කරන්නෙපා මල්ලියෙ මෙච්චර දවසක් විකිණූනේ මල්ලිගෙ වත්තෙ කෙහෙල් නෙ”
“ඉතින්?”
“ඉතින් දැන් මල්ලි අපිට කෙහෙල් දෙන්නෙ නැතුව පිටට දෙනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්නෙ?”
“මං කලින් දුන්න එකනෙ අයියෙ ප්‍රශ්නෙ උනේ. මගෙ කෙහෙල් රහ මොකද, මං මොනාද කෙහෙල් ගස් එක්කලා කරන්නෙ කියලා අයියලට හරියට ප්‍රශ්න උනානෙ. මං ඉතින් හිතුවා ඒ ප්‍රශ්න නතර කරලා දාන්න. දැන් මං කෙහෙල් දෙන්නෙ පිටට හන්දා අයියලට මං හිතන්නෙ ආයෙ ඒ ප්‍රශ්න මතුවෙන එකක් නෑ” කියලා සුරේන් කරත්තෙ තල්ලු කරගෙන යද්දි කට්ටිය කරේ මූණට මූණ බලාගෙන කල්පනා කරන එක.










