ඉඩෝරයක මල් වැස්සක් – 73

“ඊයේ අරයා පදිංචියට ගියපු අලුත් ගෙදර කොහොම එකක්ද දන්නෙ නෑ. මට නං කිව්වේ නිවාඩු ගන්නෙ නෑ කියලා. ඒ උනාට අද ඔෆිස් එකට ඇවිල්ලත් නෑ. එයාට ඕන ඕන විදිහට නිවාඩු ගන්න පුළුවන්. අපි නිවාඩුවක් ගන්න ගියොත් තමයි සර්ලගෙ මිස්ලාගේ මැඩම්ලගේ මූණු ඔක්කොම දික්වෙන්නේ.”

අශිකා පැවසූයේ උදෑසන ආහාරය සඳහා, එන ගමනේදී මිලදී ගත් ඉඳිආප්ප පාර්සලයෙහි වූ ඉඳිආප්ප දෙකක් සහන්ගේ බත් පාර්සලයට දමමින්ය. 

“හෙට අනිද්දම බලන්නකෝ දෙන්නටම වෙන දේ…”

“දැන් එන්න එන්න බිනරගේ ලොකුකම වැඩියි සහන්. එයා හිතන් ඉන්නේ මේකේ ඊළඟ අයිතිකාරයා කියලා. එයාට මතක නෑ අපි එක්ක එකට මෙතනට වැඩට ආවෙ කියලත්. දැන් මා එක්කවත් වැඩිය කතා කරන්නේ නෑ.”

“ඔයා මං ගැන විශ්වාස කරන්නකෝ. බලන්නකෝ මං හෙට අනිද්දා එයාගේ ලොකුකම බස්සල ගන්න හැටි. මං ඔයාට කිව්වේ ඕකා ගැන නං හිතන්න එපා. කොයි වෙලාවේ බැලුවත් හංසිකා මැඩම්ගේ රූම් එක අස්සෙමයි. අනිවාර්යෙන්ම මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.” 

“ඒ උනාට සහන් හංසිකා මැඩම් ළඟදිම මැරි කරන්නලු ඉන්නේ.”

“ඔයා දන්න තරම තමයි. ලෝකෙට පේන්න මැරේජ් එකක් කරගන්න ගොඩක් සල්ලිකාර ගෑනුන්ට වෙනමම සම්බන්ධකම් තියෙනවා. කාගේ තහනමක්ද…හෙට අනිද්දට ඔයාට බිනර ගැන තව තව දේවල් දැනගන්න පුළුවන් වෙයි.”

“හංසිකා මැඩම් පැත්තකින් තියන්නකෝ. ඔයාට විශ්වාසද බිනරගෙයි ඉසුරිගෙයි අතරේ මොනවා හරි තියෙනවා කියලා.” 

“විශ්වාසද කියල අහන්නේ තියෙනවා තමයි. හැබැයි ඉතින් ඕවා කසාද බඳින්න තියාගන්න සම්බන්ධකම් නෙමෙයි බං. මේ මට තව පොඩි උදව්වක් ඕනේ. ඉසුරිව මෙතනින් පන්න ගන්නනම් අපිට ඒ ප්ලෑන් එක ගහන්නම වෙනවා.”

“ඉසුරිව පන්න ගන්න..ඔයා ඉසුරිට ට්‍රයි කරද්දි ඇයි එයාව මෙතනින් පන්න ගන්න හදන්නේ.”

“ඔය කෙල්ලට ජොබ් එක මාර විදිහට වටිනවා බං. අපි පුළුවන් තරම් මේ කතාව ඔෆිස් එක ඇතුලෙ පතුරවන්න ඕනේ. ඉසුරිගෙයි බිනරගෙයි අතරේ තියෙන්නේ වෙනමම සම්බන්ධයක් කියලා. ඉසුරිට ඔය ගේ අරන් දීල තියෙන්නෙ බිනර කියලා. බිනර එහෙට යනවා එනවා සල්ලි පෙන්නලා ඉසුරිව තියන් ඉන්නවා කියලා. මං හොදාකාරවම දන්නවා ජයවර්ධන කාරයා ඕවට කැමති නෑ. කොහොම හරි ඉසුරිට ආයෙම ඔෆිස් එකට එන්න බැරි විදිහට ඔය කතාව පතුරවන්න ඕනේ. පුළුවන් නම් එයාටම හිතිලා දාලා යන සයිස් එකට උනාට කමක් නෑ.” 

“එහෙම කරලා…”

“ඉසුරි එළියට බහින්න හදනකොට මං එයාට ලං වෙනවා. මං දැනටමත් කීප තැනකට කතා කරලා තියෙන්නේ. එයාට ජොබ් එකක් හොයලා දෙන්න මට බැරි වෙන්නෙ නෑ. ඊට පස්සේ කොහොමත් එයා මගේ…”

“එතකොට මට මොකද වෙන්නේ?…..”

“ඔයාට තියෙන එක බාධකයක් අයින් කරලා දුන්නහම ඔයා දැනගන්න ඕනේ කොහොමහරි බිනරට නාස් ලණුව දා ගන්න. ඊට පස්සේ හෙමිහිට මං කියන්නම්  ඊළඟට ගහන්න ඕන ගේම් එක. හංසිකාව අයින් කරගන්න එක නතිං…”

“සහන් මං ඔයාව විශ්වාස කරනවා…

“අනිවාර්යෙන්ම…”

“මමත් වෙලාවකට මගේ හිතත් එක්ක සෑහෙන්න තර්ක කරනවා කරනවා. බිනර මේ වගේ සෙල්ලක්කාරයෙක් බව දැන දැන මගේ හිත එයාට බැඳෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මං වෙලාවකට එයා දිහා නොබලා ඉන්න තරම් හිත තදකර ගන්නවා. ඒ උනාට දන්නෙම නැතුව මං පරාද වෙනව අනේ. බිනර ඒ විදිහට ඉසුරිත් එක්ක  කතා කර කර ඉන්නව දකිද්දි, ඉසුරි ගැන ඕනවට වඩා හොයලා බලනවා කියලා දැනෙද්දි මට ඔය කෙල්ලට කන පැලෙන්න ගහන්න හිතෙනවා. මං ඒකිගේ කොල්ලටත් දවසක් කිව්වා නිතර නිතර ඔෆිස් එක ළඟට එන්න කියලා. ඌත් මේකිටම හරි ගියපු කොල්ලෙක්ද කොහෙද?”

අශිකාගේ හඬ කෝපයත් වේදනාවත් එකට එක් වූ එකක් විය.

“ඒක තමයි සිස් හිත…ගමේ කොල්ලෙක් ඉන්න බව දැන දැනත් බිනරයා වටේ ගෙනියන බව දැන දැනත් මටත් ඉසුරිව හිතින් අයින් කරගන්න බැරි වුණේ ඒකනේ. හිතට වැදිච්ච රූපයක් මකල දාන එක ලේසි නෑ. අපි දෙන්නම කොහොමහරි දිනන්න බලමු.” 

අශිකාගේ මුහුණෙහි ජයග්‍රාහී සිනහවක් මතුවන අයුරු සහන් දුටුවේය. බිනර ගැන ඇගේ  සිතෙහි විශේෂත්වයක් ඇති වූයේ ඔහු දුටු මුල්ම දිනයේ ය. උසට සරිලන මහතකින් යුත් ඒ කඩවසම් සිරුර ඇගේ සිතෙහි ලෝබකමක් ඇති කරන්නට සමත් විය. මින් පෙර කොතැනකවත් අශිකාට ඒ සා සුන්දර රුවක් හිමි තරුණයෙකු හමුවී තිබුණේ නැත.  ඔහුට වූයේ සැපවත් ජීවිතයක් ගත කරන පෙනුමකි. දකින, දන්නා, හමුවන තරුණයන් සියල්ලන්ගෙන්ම වෙන්කර හඳුනා ගැනීමට තරම් සුන්දර කඩවසම් සිරුරක් හිමි තරුණයා තමාගේ කරගන්නට ඈ දෙවසරක් පුරාම බලා සිටියාය. සිතේ හංගා නොගෙන ඇයට යමක් කතා කළ හැකි වූයේ සහන් හා පමණි. එනිසාම ඇය ඔහුව අසීමිතව විශ්වාස කරමින් උන්නාය. 

                                         ***************

නාලනී හා සැමියා පොලිසියට යන විටත් පාරින්ද වූයේ පොලිස් සිර මැදිරිය තුළය. ඔහු ඇඳ උන් කහ පැහැති උඩුකමිසය පුරාම වූයේ ලේ පැල්ලම්ය. නාලනී  සිර මැදිරිය අසලට දිව ගියේ මහා හඬින් හඬා ගෙනය. 

“අනේ මයේ  පුතේ උඹට  මොකද උනේ..උඹට තුවාලද මේ ඇඟ හැම තැනම ලේ…”

“කවුද මේ? තමුන්ගේ පුතා ද….”

මඳක් එහාට වන්නට උන් පොලිස් නිලධාරියෙකු ඇසුවේ උස් හඬකින්ය. 

“ඔව් මහත්තයෝ…”

“එයා හරි හපන්කමක් කරල ඇවිත් ඉන්නේ. ජයසේකර මන්ත්‍රීතුමාගේ මල්ලිට බෝතලයකින් ඇනලා…මෙයාට තුවාල නෑ. ඒ ළමයා ඉස්පිරිතාලෙ පණ අදිනවලු..”

නාලනීට දැණුනේ මුළු ලෝකයම තමා වටා භ්‍රමණය වන බවකි. ඒ සැනින්ම ඕ අසල වූ බංකුවකට කඩාා වැටුණාය. අවසනට ඇසුණේ කිසිවෙකු ‘වතුර එකක් ගෙන එන්න…’ යැයි පවසන හඬය. ඕ සිහිසුන් වූවාය.

“නාලනී අපි එළියට යමු. ඒ මහත්තයලට රාජකාරි කරගන්න දීලා අපිට එළියට යන්න කියලා කිව්වා. ලොකු මහත්තය ආවට පස්සේ අපිට ආපහු ඇතුලට කතා කරයි කියලා කිව්වා.”

සිහිය ලද සැණින්ම නාලනී තම සැමියා දෙසට හැරුනේ කවදාවත් නොවූ තරමේ අසරණකමක් දරාගෙනය. ඒ වද්දී පාරින්ද සිටියේ පොලිස් සිර මැදිරියේ කෙළවරක බිම වාඩිවී ගෙනය. දෛවඥයා පැවසූ වදන් නාලනීගේ  දෙසවන් තුළ දෝංකාර නංවමින් තිබිණ. 

“මගේ දරුවා එක්ක කතා කරන්න…..”

“දැන් අවසර දෙන්නෙ නෑ නාලනී. මෙතන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව දැන්වත් කියන දේ අහලා එළියට යමු.”

අවසන ඇය තම සැමියාට එකඟව නැගී සිටියාය. තව වරක් හැරී සිර මැදිරිය දෙස බලද්දී සිය පපුව ඇවිලී යන සෙයක් නාලනීට දැනෙන්නට විය. එළිමහනෙහි වූ බංකුවකින් ඇයව අසුන් ගැන් වූ විජේසිරි පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් වතුර බෝතලය ඈ වෙත දිගු කළේ උගුරු කිහිපයක් බොන්නයැයි පවසමින්ය. 

පොලිස් භූමියේ නතර වූ යතුරුපැදියකින් බැස ඉෂාර ඔවුන් අසලට පැමිණියේ එවේලෙහිය. 

“මට මේ ආරංචි වෙච්ච ගමන්මයි නැද්දේ ආවේ. අද මමත් සෙල්ලම් කරන්න ගියේ නෑ. ඔෆිස් එකේ පොඩි වැඩ වගයක් තිබුණා.” 

“අනේ බලන්නකෝ ළමයෝ මේ දරුවා කරගත්ත දේ….”

“මං විස්තරේ බලාගෙන ආවේ. වැඩක් නැති දේකට අත දාන්න ගිහිල්ලා තමයි මේක වෙලා තියෙන්නේ. කොච්චර කිව්වත් මෙයාගේ කේන්තිය නැති කරගන්නේ නෑනේ. රස්සාව නැති කර ගත්තා දැන් ජීවිතෙත්…”

“දැන් ඒ කියන ළමයට අමාරුයි කියනවද දරුවෝ.”

එසේ ඇසුවේ ජයසිරිය. දෙපා අවසඟව ගිය රෝගියෙකු පරිද්දෙන් ඔහු රාජණී අසලින්ම අසුන් ගත්තේ මින් තත්පර කිහිපයකට ඉහතදීය. 

“ඔව් ටිකක් අමාරුයි. අයි සී යූ එකේ. ජයසේකරලා ගැන නොදන්නවා නෙමෙයිනේ මාමේ. මං හිතන්නෙ නෑ උං මේක ලේසියෙන් අතාරියි කියලා.”

“හනේ මේ ළමයා නොදැන පැටලුනාද දෙයියනේ….”

නාලනී සිය දෑත් වලින් හිස බදාගත්තේ ඉකි බිදුමකට ඉඩ දෙමින්ය. 

“නොදැන වෙන්න බෑනේ නැන්දේ. මේගොල්ලෝ මෙහා පැත්තෙ සෙල්ලම් කරද්දි එහා පැත්තේ ඔය ළමයි ටික ක්‍රිකට් ගහලා තියෙනවා. දෙපාරක් තුන්පාරක්ම බෝලේ ඇවිල්ලා අපේ  කොල්ලන්ගේ ඇගේ වැදිලා. උන් පොඩි උන්නෙ නැන්දේ. අපේ එවුන් තේරුම් ගන්න ඕනනේ ඉවසන්න ඕනේ කොතනද නැත්තෙ කොතනද කියලා. උන් බෝලෙ අරගෙන ආපහු ඒ පැත්තට විසි කරලා. ඇත්තටම කිව්වොත් ග්‍රවුන්ඩ් එක අපිට ලියලා දීලා නෙමෙයි නේ. පස්සේ පාරින්දගේ ඇගෙන් බෝලේ වැදිලා. මූ බෝලෙත් විසි කරලා  උන්ට කෑ ගහලා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න  කියලා. අවුරුදු දහ අටේ විස්සේ කොල්ලෝ අපි තරම්වත් ඉවසන්නේ නෑ නැන්දෙ…අන්තිමට දෙගොල්ලො පැටලිලා. මේ යකා අර අයිනක තිබුණු බෝතලයක් කඩලා අරගෙන අර කොල්ලට ඇනලානේ…”

“හනේ පුතේ මං හැමදාම කිව්වා ඔය ටික වෙයි කියලා. එයා ඇහුවෙත් නෑ මෙයා ඇහුවෙත් නෑ….දැන් මොකද පුතේ අපි කරන්නේ.”

“කොහොමත් අර කොල්ලගේ තත්වෙ දැන ගන්නකල්  පාරින්දට ඇප හම්බවෙන්නේනම් නෑ මාමේ. අනිත් එක ඔය පැටලුනේ ලේසි පහසු මිනිස්සු එක්කද. ගෙදර ගියත් ගමේ ඉන්න හම්බවෙන එකක් නෑ. ජයසේකරලා කියන්නෙත් ඒ තරං හොඳ මිනිස්සුු නෙමෙයි. මාම හිතනවද මූට නිදහසේ ගමේ ඉන්න දෙයි කියලා. අන්තිමට සිද්ධ වෙන්නේ පාතාලෙත් එක්ක හැප්පෙන්න. 

“අනේ ඒයි… මල්ලිට කෝල් කරන්න… කියන්න මේ වෙලාවේ ඇවිල්ලා කොල්ල බේරගන්න පුළුවන් දෙයක් කරන්න කියලා. මං ජයසේකර මන්ත්‍රීතුමා ගාව වැඳ වැටිලා හරි සමාව ඉල්ලන්නම්…මගේ කොල්ලා මෙතනින් නිදහස් කරගන්න ක්‍රමයක් බලන්න කියන්න..”

“මං එන්න කලින් මල්ලිට ගත්තා නාලනී…මල්ලිගේ ෆෝන් එක ඕෆ් කරලා…”

ජයසිරි පැවසූයේ සිය පපුවට දකුණත තබාගෙනය. පසු කාලයේ අම්මාවත් පුතාවත් තමන්ගේ වදන් කනකට නොගත් බව සැබෑය. එහෙත් මේ කුළුදුලේම මුහුණ දුටු දරුවාය. රටක් රාජ්‍යයක් දිනා ගනීවි යැයි සිතූ දරුවාය. තමාට ශක්තියක් වෙතැයි සිතූ පිරිමි දරුවාය. 

“ඌට හැමදේම නැතිවෙන්නේ  කේන්තිය නිසා…”

අවසන මිතුරා එසේ පවසමින් පොලිස් ස්ථානය තුළට ඇවිද යද්දී ලී බංකුවේ තනි වූයේ අසරණ අම්මා කෙනෙකුත් තාත්තා කෙනෙකුත්ය. නාලනී දිගින් දිගටම හඬා වැටුනාය. නිහඬ කඳුළකට ඉඩ දුන් ජයසිරි ඔහේ බලා සිටියේය.

                                       ************

ඉසුරි  කාමරයට වී සිටියේ අද දවසේ සිදු වූ සියල්ලක්ම යළි යළිත් මෙනෙහි කරමින්ය. පුංචි අම්මා අලුත් ඇඳුම් අතට දී පැවසූයේ තාත්තාගේ මිතුරන් පිරිසක් පැමිණෙන බවය. සියල්ලෝම සූදානම් වූයේත් තාත්තාගේ ඒ මිතුරන් පිළිගන්නටය.

 බිනර කතා කරනා, අඳිනා, හැසිරෙනා විදිහෙන් ඔහු වැදගත් යමක්කමක් ඇති පවුලක තරුණයෙකු බව තේරුම් ගෙන තිබුණත් ඔහු ජයවර්ධන පවුලේ දරුවෙකුයැයි ඉසුරි කොහොමටවත් සිතුවේ නැත. වසර දෙකක් පුරා ඔහුව ඇසුරු කළ කාලයේදී සිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගැන කතා කළේ අඩුවෙන්ය. මේ සා පුදුමයක් මේ සා සතුටක් මේ ජීවිතයේ කෙදිනකවත් නොවිදි බව විශ්වාසය. 

සියල්ලන්ගේම මුහුණුවල තවමත් වන්නේ සිනහව පමණි. ඒ බිනර බෝ කර ගිය සිනහවය. ගෙවී ගිය ජීවිත කාලයේ සිනහසෙන්නට කාරණයක් වූයේනම් ඒ පසුපසම කඳුලක් පැමිණෙන බව ඉසුරි විශ්වාස කළාය. අවසන ඇයට සිනහසෙන්නට පවා අමතකව ගියේ එනිසාය. ඇය ඉර හඳ දෙස බලා සිටියේ සැනසෙන්නට මිස ඒවා අයිති කරගන්නට නොවේ. 

“ඉසුරි…….”

අම්මා කාමරයට එබුනේ යුවතිය හිස් සුදු බිත්තිය දෙස බලාගෙන කල්පනා කරමින් සිටියදීය. 

“එන්න අම්මේ……”

රාජිනී ඉඳගත්තේ ඉසුරි අසලින්මය. ජීවිතයේ පළමු වරට දුටුවාක් මෙන් තම දියණිය දෙස බලා ඕ ඇගේ කොපුළුත්, දෙඅතුත්  අත ගෑවාය. 

“මට කියන්න පුතේ මං මේ දැක්කේ හීනයක් නෙමෙයි කියලා. ජයවර්ධන මහත්තයා වගේ සල්ලිකාර මහත්තයෙක් අද අපේ ගෙදරටම ඇවිල්ලා අපෙන් ඔයාව ඉල්ලුවා. මං හිතන් හිටියේ මේ වගේ සිදුවීම් සිදුවෙන්නේ ටෙලි නාට්‍යවලයි චිත්‍රපටිවලයි විතරයි කියලා. මේවා හැබෑ ලෝකෙ වෙන්න පුළුවන් දේවල්ද  ඉසුරි….ඔය තරං වාසනාවන්ත නැතුව ඇති මේ ලෝකේ කිසිම ගෑණු ළමයෙක්…”

“මටත් තවම මේ කිසි දෙයක් හිතා ගන්න බෑ අම්මේ. එකම එක දෙයක් දන්නවා බිනර කියන්නේ මේ ලෝකෙ මට හම්බවෙච්ච හොඳම මනුස්සයා. මං අද තේරුම් ගත්තා එයාට ඒ මනුස්සකම් ඒ ගතිගුණ ඇවිල්ල තියෙන්නෙ එයාගේ පවුලෙන් කියලා.”

“අනේ ඔව් පුතේ… කිසි ආඩම්බරකමක් ගෑවිලා නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට නැතිවෙච්ච අතීතේ ගැනයි ඇතිවෙච්ච වර්තමානය ගැනයි කියන්නේ කිසි ලෝභකමක් නැතුව. අද වැඩිපුරම ඉන්නේ තමන් ආපු තැන මුල අමතක වෙච්ච මිනිස්සු…ඔයාට හොඳක් මිස නරකක් වෙන්නේ නෑ”

මල්ලීත්, නංගීත්  කාමරයට එබුණේ ඉසුරි අම්මාගේ උරහිසකට හිස තබා ගනිද්දීය. මධාරා පුංචි අම්මාත්, තාත්තාත් කුඩා නැගණියත් පිටව ගියේ මින් හෝරාවකට පමණ පෙරය. 

“බිනර හරි හොඳයි අක්කේ ලොකු අයියා වගේ නෙමෙයි. බලන්න මේ පැය කීපයට එයා අපිත් එක්ක ඉඳපු හැටි. මං ඒ දවස්වල හරි බයෙන් හිටියේ ලොකු අයියාත් එක්ක  ගියාට පස්සේ අක්ක අපිට හැමදාටම නැතුව යයි කියලා. පාඩම් කරන්න ගියත් ඒකම මගේ ඔළුවට වද දුන්නා. ඉස්කෝලෙ ගිහිල්ලා ගෙදර ඇවිල්ල අක්කව දකිනකල් මං හිටියේ පුදුම බයකින්. ඉස්සර ලොකු අයියා අපි දිහා බලන්නේ හතුරෝ දිහා බලනවා වගේ. දැන්නම් මට විශ්වාසයි බිනරයියා කවදාවත් ඔයාව  අපිට නැති කරන්නේ නෑ කියලා.” 

සොහොයුරිය ඉසුරිගේ වම් පසින් පැමිණ ඇයට තුරුළු වූයේ එසේ පවසමින්ය. ඇගේ දෑස් වලින් ගලා ගිය කඳුළු වලින් ඉසුරිගේ උරහිසක් තෙත් වූයේ බොහෝ වේලාවක් ගතව යන්නට මත්තෙන්ය. ඉසුරු වැඩිමල් සහෝදරයෙකු  සේ පැමිණ ඉසුරිගේ හිස අතගා නළලත සිප ගත්තේය. 

විනාඩි කිහිපයක් ගතව යුවතියගේ  ජංගම දුරකථනය නාද වනතුරුත් සිව් දෙනා සිටියේ එකට තුරුළුවය. 

“බිනර අයියා….”

නැගණිය පැවසූයේ ජංගම දුරකථනයට එබෙමින්ය. 

“අක්කට කතා කරන්න දීලා අපි එළියට යමු පුතේ.”

අවසන නැගණියත් සොහොයුරාත් කාමරයෙන් පිටවූයේ අම්මාටට එකඟව ය. යුවතිය ජංගම දුරකතනය කන තබා ගත්තේ මුව මත මදහසක් තබාගෙනය.

“මං කියන්නම් දැන් මොකද කරන්නේ කියලා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරනවා නේද…”

එහා පසින් ඇසුණේ ඔහුගේ ඒ දයාබර හඬය. 

“එහෙම තමයි හිටියේ. මෙච්චර වෙලා අම්මයි නංගියි මල්ලියි තුන්දෙනාම මාව බදාගෙන අඬ අඬා හිටියා.”

“ඒ ඇයි…”

“මේ කිසි දෙයක් අපිට තවමත් අදහන්න බෑ බිනර. නංගි කියනවා එයා හිතුවලු කවදහරි මම ලොකු අයියත් එක්ක ගියානං එයාලට මම නැති වෙයි කියලා. එයාලා හරි සතුටින්. ඔයා ආදරෙන් කතා කරපු එක ගැන එයාලගේ ඉස්සරහ දවස් ගැන අහපු එක ගැන. එයාල නොදන්න දේවල් ඔයා කියලා දීපු එක ගැන එයාලා හරි සතුටින්. ඔය අපේ අම්මව බදාගෙන එයාව ඉඹපු එක ගැන එයා හරි සතුටින්. කොහොමද ඒ තරමටම මිනිස්සුන්ව වශී කරගන්නේ.”

“ආදරේ දීලා…හිත පිරෙන්න ආදරේ දුන්නහම හැමදේම වෙනස් වෙනවා. හරියට ඔයාගේ අහිංසකකම වගේ. දන්නවද අම්මා එන ගමන් කියපු දෙයක්..”

“මොකක්ද…මැඩම් මොනවද කිව්වේ”

“කිව්වා නේද මැඩම්ලා සර්ලා නෑ අම්මා, තාත්තා විතරයි ඉන්නේ කියලා..ඇහුනොත් ඉවරයි ආ…අම්මා කියනවා පුලුවන් නම් කතා කරලා පොඩි අක්කගෙ වෙඩින් එකයි එකයි අපේ වෙඩින් එකයි එකම දවසක ගමු කියලා. එයාට ඕනලු එක දුවෙක් ගෙදරින් යද්දී අනිත් දුව එක්කරගෙන ඇවිල්ලා ගෙදර නවත්ත ගන්න.”

“අනේ බිනර…මේ මට ඇහෙන දේවල් මං විශ්වාස කරන්නද. මං හරියට අහසේ පා වෙනවා වගේ”

“පිස්සු කෙල්ල… ජීවිතේ උදා උදාවෙන ලස්සන දවස්වලට ඉඩ දීලා අපි  බලන් ඉමු. ඔයාගේ හිනාව තමයි මං මේ ලෝකේ දැකපු ලස්සනම හිනාව. ඒ හිනාව ඒ විදිහටම ඔයාගේ මූනේ තිබුණොත් මට ඒ ඇති. ඔයා තේරුම් ගන්න ඇතිනේ  අපේ ගෙදර අපි හැමෝම හරි ශක්තිමත් බැඳීමකින් බැඳිලා. ඕක ටිකක් හරි නොතේරුනේ මට විතරයි. ඒ පිස්සු නටපු ජීවිතෙන් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මාව සීරියස් මනුස්සයෙක් කලේ ඔයා.”

“මං ආසයි බිනර…ඒ බැඳීමේ කොටසක් වෙන්න. ඒක හරි ලස්සනයි. එහෙම ලස්සන ගෙදරක ජීවත් වෙලා පුරුද්දක් මට තිබුණෙ නෑ. ඔයා මට මේ තරම් ලස්සන ජීවිතයක් දුන්නට ඔයාට පින්…ඒ වෙනුවෙන් මට දෙන්න පුළුවන් හැම දෙයක්ම මං ඔයාට දෙනවා බිනර.”

ඉසුරි පැවසූයේ නයනා දහවෙලෙහි ඇගේ ගෙල පැළඳවූ රත්රන් මාලය අතගාමින්ය. අම්මා පැවසූ පරිදි එය පවුම් දෙකකට ආසන්නය. ඉසුරිට දැනුනේ එහි රත්රන් බර හෝ මුදල්මය වටිනාකමක් නොවේ. ඒ සොඳුරු ජීවිතවල තමා කොටස්කාරියක වූවායයන හැඟීමය. ආදරයය.  ඒ සිතුවිලි ඇයව තබා තිබුණේ අහසේය. 

(හමුවෙමු අවසන් කොටස සමගින්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles