(ලෝක ප්‍රසිද්ධ Pied Piper of Hamelin කතාව ඇසුරෙන් ගොඩනගන ලද්දකි)
මේක අහලා පුරුදු පරණ කතාවක් ගැන හිතුවෙ නැති විදියෙ ඇත්තක් කියන කතාවක්.
ඔන්න එකොමත් එක රටක කොළ පාට කැලෑවල් වලින් පිරිච්ච, රිදී පාට නූල් වගේ ගංගා ගලාගෙන ගිය පැත්තක, නගරයක් තිබුණා. ඒ නගරයේ පාරවල් හරිම නිස්කලංකයි, ඒ නගරයේ මිනිස්සු හරියට නීතියට වැඩ කරනවා. පිළිවෙල කියන්නෙ ඒ රටේ පාරවල් වල පවා දකින්න ලැබිච්ච දෙයක්.
දුර ඉඳන් බලද්දී මේ නගරය හරිම සල්ලි තියෙන, සතුටින් ඉන්න තැනක් වගේ තමයි පෙනුණේ. ඉර එළිය වැක්කිරිලා කුණු බිඳක් නොතිබිච්ච පාරවල් ලස්සනට දිළිසුණා. ඒපාරවල් අයිනෙ තිබ්බ ගෙවල් වල දුම් කවුළු වලින් කෑම උයද්දි එන දුම අහසට එක්කහු වුණා. පොඩි ළමයින්ගෙ හිනා සද්ද හරිම සීරුවට මාරුවට අතරින් පතරින් ඇහුණා.
හැබැයි ඔය හැම ලස්සනක්ම මැද්දෙන් හැංගිච්ච, හොඳට උවමනාවෙන් විතරක් බැලුවොතින් දකින්න ලැබිච්ච අමුත්තක්, ලොකු බරක් මේ ටවුන් එකේ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හැංගිලා තිබ්බා. මේ ටවුන් එකේ මිනිස්සු හරිම තැන්පත්, විනීත අය. ඒත් ඒ පුදුමාකාරයි කියලා හිතපු ඒ හොඳ පිටිපස්සේ තිබුණේ අවුරුදු ගාණක් තිස්සේ හැමෝගෙම ජීවිතවලට රිංගපු පුදුමාකාර හිස් බවක්.
මේ නගරයේ මිනිස්සු කවදහරි දවසක ඉගෙන ගෙන තිබුණා තමන්ගේ බය, තමන්ගේ හීන, තමන්ගේ පොඩි කාලේ මතක පවා රාජකාරිය, බලාපොරොත්තු, සමාජ තත්ත්වය, අපි ඉන්න සමාජ තියෙන අදහස්, පිළිගැනීම් වගේ දේවල් අනුව, එක එක නීති දාලා හංගන්න. මේ නීති හන්දා තමන්ට නැති වුණේ මොනවද කියලා කාටවත් මතක තිබුණේ නැති නිසා, මේ නගරයේ මිනිස්සු හිතාගෙන හිටියේ තමන් හරිම පරිස්සම් සහගත, කරදර නැති, හරිම ලස්සන ජීවිතයක් ගෙවන අය කියලා.
අපි මේ කතාව කියන දවසෙත් මේ නගරයට උදාවෙලා තිබ්බෙ හරිම සාමාන්‍ය උදෑසනක්. පාන්දර ගස්වල කොළ උඩවලට වැටිච්ච පිණි බිංදු ඒ වෙද්දිත් තිබ්බෙ දිළිහි දිළිහි. ඉර එළිය ඒ වෙද්දිත් කන්ද උඩින් සම්පූර්ණයෙන්ම පායලා තිබ්බෙ නෑ.
ඔන්න ඔය දවසෙ, ඔය උදේ තමයි මේ බට නලා වාදකයා මේ නගරෙට ආවෙ.
වෙනදට නම් ඔය වගේ කවුරුහරි මේ නගරෙට මොකක් හරි සංදර්ශනේකට එහෙම එද්දි කලින් පෝස්ටර් එහෙම ගලවලා දැනුම්දීමක් කරාට මේ වතාවෙ නම් එහෙම දැනුම් දීමක් තිබ්බෙ නෑ. මේ මනුස්සයා එදා උදේම නගරයේ එළිමහන් සංදර්ශන කරන තැන බටනලාව අතේ තියාගෙන පෙනී උන්නා. මේ මනුස්සයගෙ වයස අවුරුදු තිහක් වගේ පෙනුමක් තිබ්බෙ. ඒ උනාට ඇඳගෙන උන්නෙ නිකන් ඒ වයසට ගැලපෙන්නෙ නෑ කියල හිතෙන විදියෙ හරියට දිළිහෙන ඇඳුම්. ඒ වෙද්දිත් ඉර පායලා තිබ්බෙ නැතුවත් ඒ ඇඳුම් එච්චර දිළිහිච්ච එකේ ඉර එළිය වැටුණම කොහොම දිළිහෙයිද කියලා හිතාගන්න ඒ නගරෙ මිනිස්සුන්ට හිතාගන්න පුලුවන් උනේ නෑ.
ඒ මනුස්සයගෙ ඇඳුම් වල තිබිච්ච දිළිහෙන පාට මැද්දෙ ඒ නගරෙ මිනිස්සු තම තමන්ගෙ ගෙවල් වල පාට කරලා තිබිච්ච අලු පාට, සුදු පාට, කලු පාට එහෙම පෙනුනෙ හරිම කැතට. මහ මූසල පාටට. මෙච්චර දවසක් නොදැක්ක තරමෙ අන්ධකාර විදියකට.
“මේ තව එක බටනලා කාරයෙක් වෙන්නැති” කියලා උදේ තම තමන්ගෙ රාජකාරි වලට එතනින් එහා මෙහා ගිය මිනිස්සුන්ට තමන් හිතුව දේ වැරදි කියලා තේරුණේ මේ මනුස්සයා බටනලාව තමන්ගෙ තොල්වලට ළං කරපු හැටියෙ.
ඒ බටනලාවෙන් නික්මිලා නගරෙ මිනිස්සුන්ගෙ කන් අස්සෙන් ගිහින් හිත් අස්සෙ තැන්පත් උනේ ඒ මිනිස්සු ඊට කලින් කවදාවත් අහලා තිබ්බ නැති විදියෙ නෙල්ලි රහ සංගීතයක්. සතුට, වේදනාව, ඇඹුල ඔක්කොම එක්කහු වෙච්ච රහක්. ඒ සංගීතෙ අස්සෙ තිබ්බා ලොකුම ලොකු සතුටක්, මියුරු බවක්. හැබැයි ඒ මියුරු බව අස්සෙ තිබ්බෙ මහම මහ වේදනාවක් කියන එක තේරුණේ එක එක මනුස්සයට තම තමන්ගෙ විදියට.
මේ සංගීතෙ වැඩිහිටියන්ට, පොඩිහිටියන්ට ඇහුනෙ දෙයාකාර විදියකට. වැඩිහිටියො ඒ සංගීතෙ භාරගත්තෙ මීට අවුරුදු ගාණකට කලින් තමන් අත ඇරලා දාපු, එහෙම නැත්තම් හිතලම අමතක කරලා දැම්ම මොකක් හරි මතකයක් විදියට. ඒ අයගෙ හිත් අස්සෙන්ම එයාලව හොලවලා දාන්න ඒ සද්දෙට පුලුවන්කම තිබ්බා. ඒක හරියටම එයාලා සදහටම වළලා දැම්මා කියලා හිතාගෙන හිටපු දෙයක් හෙමින් සැරේ හෙල්ලිලා “මං තාම පපුව අස්සෙ හැංගිලා ඉන්නවා” කියලා කරපු මතක් කිරීමක් වගේ.
ඉර පායන්නත් කළීන් නැගිටලා තමන්ගෙ එදිනෙදා රාජකාරි අස්සෙ හිරවෙලා, යන්ත්‍ර වගේ වැඩ කරමින් උන්න මිනිස්සු හැමෝම එක තප්පර ගානකට හෙල්ලුණා. තම තමන් කර කර උන්න වැඩ අතරමග නතර කලා.
“ඔයාට ඒක ඇහෙනවද?” කියලා එක්කෙනෙක් තමන් ළඟ හිටපු තව කෙනෙක්ගෙන් ඇහුවෙ හරිම හෙමිහිට.
“ඒක හරියට… මතකයක් වගේ, ඒත් ඒ මොකක්ද කියලා මට මතක් කරගන්න බැහැ.”
සමහරුන්ටත් ඒ හැඟීම ඒ විදියටම දැනිලා තිබ්බා. එහෙම දැනිච්ච සමහරක් අය එහෙම දෙයක් දැනිච්ච බව පිළිගන්න අකමැති වුණා.
“ඔය මනස්ගාත වලට ඉඩ දෙන්න එපා මේ වැඩ පාඩු කරන්න. කොච්චර කියලා නම් වැඩ තියෙනවද කරන්න.” කියලා ඒ අය එහෙම කිව්වත්, ඒ වැඩ අස්සෙත් තමන්ගෙ පපුව හෙල්ලෙනවා, දෙදරනවා කියලා අමුතුම හැඟීමක් ඒ අයට නොදැනුනා නෙවෙයි. දැනුණා. හැබැයි ඒක පිළිගත්තෙ නෑ. ඒ මිනිස්සුන්ට දැනුනෙ ඒ සංගීතය තමන්ගෙ හිතේ ගොඩක් කාලෙක ඉඳන් හිර වෙලා තිබුණු මොකක් හරි දෙයක් ස්පර්ශ කළා වගේ.
ඒ හැඟීම්වලට හිත අස්සෙන් පිපෙන්න ඉඩ දීලා තමයි මේ බටනලා වාදකයා තමන්ගෙ සංගීතෙ නතර කරලා කතා කරන්න ගත්තෙ. එයාගේ හරිම හීනි උස කටහඬ ලොකු ආයාසයකින් තොරව මුළු නගරෙ පුරාම විහිදිලා ගියා.
“ඔයාලට මේ සිංදුව කලින් අහලා තියෙනවා වගේ දැනෙන්නෙ මොකද මේ සිංදුව කියන හැඟීම ඔයාල මීට අවුරුදු ගාණකට කලින් විඳලා තියෙනවා”
එයා එහෙම කිව්වට මිනිස්සු නම් ඒක එහෙමමයි කියලා පිළිගන්න කැමති උනේම නෑ.
“අපි කවදාවත් මේ සිංදුව අහලා නෑ. අනික මීට කලින් තමුන් කවදාවත් මේ නගරෙට ඇවිත් නෑනෙ” කියලා එයාලා කිව්වමත් බටනලා කාරයා කරේ හිනාවෙච්ච එක.
“නැත්තෙ නෑ අහලා තියෙනවා”
“අනේ අපි නම් අහලා නෑ. අනික අපි අහලා තියෙනවද විඳලා තියෙනවද නැද්ද කියලා තමුන් දන්නෙ කොහොමද? අපි අහන්නෙ අපේ කන් දෙකෙන් නෙ. අහපු දෙයක් මතක තියෙන්නෙ අපිටනෙ. තමුන් කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නෙ අපි අහපු දේවල් අහපු නැති දේවල් මොනවද කියලා”
“ඔයාලා කාලෙකට කලින් විශ්වාස කළා නේද ජීවිතේ කියන්නේ අද ඔයාලා මේ ලබාගෙන තියෙන, භාරගෙන තියෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් වෙන්නෝන කියලා. නිකම්ම රස්සාවක් කරගෙන, වේල් තුන කාලා, අනිත් මිනිස්සු එක්ක එක්කහු වෙලා rat race එකක ජීවත් වෙනවා වෙනුවට, තමන්ගේ අත් දෙකෙන්, හිත අස්සෙ තියෙන වටින බලාපොරොත්තු දාහක් හැබෑවක් කරගන්න පුලුවන් කියලා විශ්වාස කරපු කාළයක් තිබ්බා නේද? “මම දැන් වෙනස් වෙලා. ජීවිතේ ඇත්ත තේරුම් අරගෙන ඉන්නෙ” කියලා ඔයාලා දැන් හිතුවට එදා එහෙම විශ්වාස කරපු අන්න ඒ කෙනාව, ඒ තමන්ව විශ්වාස කරපු කෙනාව තාමත් ඔයාලා ඔයාලාගෙ හිත අස්සෙ හිර කරගෙන ඉන්නවා කියලා ඔයාලා දන්නවද? එයා බලන් ඉන්නෙ ඔයාගෙ ඒ මතකය කියන හිරගෙයින් නිදහස් වෙන්න බලාගෙන කියලා ඔයාලා දන්නවද? මම ආවෙ අන්න ඒ කෙනාව නිදහස් කරගෙන අරගෙන යන්න” ඒ මනුස්සයා කතාව කියවලා ඉවර කරද්දි පොඩි ළමයි ටිකක් කුතුහලයෙන් වගේ හෙමිහිට අමුත්තා ළඟට කිට්ටු කළා.
“ඔයා ආවෙ අර සුරංගනා කතාවෙ වගේ අපිව අරගෙන යන්නද පොළොව යටට?” කියලා ඇහුවෙ එතන උන්න එක පුංචි ගෑණු ළමයෙක්.
“අනේ නෑ. ඔයාලා මගේ නෙවෙයිනෙ. ඔයාලා තවමත් සම්පූර්ණයි ඒ වගේම ඔයාලා තවමත් නිදහස්. හිරවෙලා නෑ. මම මේ හොයන්නේ අනිත් අයව.”
“ඒ කවුද අනිත් අය?” තවත් ළමයෙක් ඇහුවා.
“තමන්ට තමන් වෙන්න අමතක වුණු අයව, තමන් කවුරු වෙන්නද හීන දැක්කේ කියලා අමතක කරලා, ලෝකයට ඕන විදියට තමන්ගේ අනන්‍යතාවය හදාගත්තු අයවයි මම හොයන්නේ.”
අන්න ඒ වෙලාවේ තමයි මේ නගරෙ නගරාධිපති එතනට ආවේ. එයාගේ ඇඳුම් පැළඳුම් හරිම පිළිවෙළයි, හැබැයි මූණ තිබ්බෙ කලබලයෙන් රතු වෙලා.
“තමුන් කවුද? තමුන් කොහෙ ඉඳලද ආවෙ? මොකටද ආවෙ? මේක නීතිගරුක නගරයක්. මේ විදියට හිතිච්ච හිතිච්ච විදියට මේ නගරෙ අස්සට රිංගලා තමන්ගෙ හිතුමනාපෙ දේවල් කියලා කරලා පිළිවෙලට ලස්සනට ජීවත්වෙන නගරෙ මිනිස්සුන්ගෙ ජීවිතේ අවුල් කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. ළමයින්ව හරි වැඩිහිටියන්ව හරි බය කරන්න ඔයාට අයිතියක් නැහැ” කියලා නගරාධිපති තුමා කියද්දිත් බටනලා කාරයා කරේ හිනාවෙලා සංසුන් විදියට ඒකට උත්තර දුන්න එක.
“මහත්තයාට මතකද මහත්තයා පොඩි කාලෙ කොච්චර සන්තෝසෙන් උන්නද කියලා?” බටනලා කාරයා අහද්දි නගරාධිපති තුමා පොඩි වෙලාවකට නිශ්ශබ්ධ වුණේ ඇත්තටම ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙච්ච හන්දා. නගරාධිපතිතුමා නිශ්ශබ්ධ වෙච්ච නිසාද මන්දා බටනලා කාරයා ආයෙ කතා කරා.
“මහත්තයට තමන් ගැනම අවංකවම ආඩම්බරයක් දැනුණේ කවද්ද? තමන් කරපු දේකින් ආඩම්බර වෙන්න පුලුවන් විදියෙ අවංක සන්තෝසයක් ලැබුවෙ කවද්ද? මම කියන්නේ මේ බලෙන් වෙන්න වුණු කෙනා ගැන නෙවෙයි, මහත්තයා ඇත්තටම වෙන්න හීන දැකපු කෙනා ගැන.”
නගරාධිපති කරේ ඒකට හිනා වෙච්ච එක. හැබැයි ඒ හිනාව ඇතුළේ කිසිම පණක් තිබුණේ නැහැ. “ආඩම්බරය එන්නේ කෙනෙක් ජීවිතේ දිනාගත්තු දේවල් වලින්,” කියලා ඒ පණ නැති හිනාව එක්ක එයා කියලා දැම්මා.
“මහත්තයා ඔය දිනාගත්තා කියන දේවල් වෙනුවෙන් ඔයාගේ ජීවිතයෙන් කැප කරපු දේ මොකක්ද?”
“තමුන් මේ මොනවද කතා කරන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ. මෙච්චර මේ වැඩ තියෙන දවසක මේ නගරෙ මිනිස්සුන්ට තමුන්ගෙ විකාර අහ අහ ඉන්න වෙලාවක් නෑ. අනික මේ ළමයි මොනවද මෙතනට වෙලා මේ විකාර අහ අහ ඉන්නෙ? සුරංගනා කතා කියන්නෙ බොරුවක්. එහෙම දේවල් නෑ. ඒවා මායාවල්”
“නෑ එතන කිසිම මායාවක් නෑ. මේ තමයි ඇත්ත. අපි කොච්චර මොන දේවල් උඩින් දාලා, මොන විදියෙ අයිසින් තවරලා හංගන්න හැදුවත් ඇත්ත කියන දේ කවදහරි කොහොමහරි එයාට හුරුපුරුදු පාර හොයාගෙන යනවා. සුරංගනා කතාවෙ නලා කාරයා වගේ මම මේ ළමයිව අරගෙන යන්නෙ නෑ. මම අහිංසක, පිරිසිදු දේවල්වලට අත තියන්නෙ නෑ. මම අරන් යන්නෙ ඔයාලා ඔය ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අයිසින් තට්ටුවෙන් වහලා දැම්ම ඇත්ත අස්සෙ ගිලිච්ච, එහෙම දෙයක් ජීවත් වුණාද කියලාවත් ඔයාලට මතක නැති වෙච්ච දේවල් විතරයි.” කියල නලාකාරයා කියද්දි නගරෙ හැමෝම වගේ උන්නෙ කිසි සද්දයක් නැතුව ඒක අහගෙන.
ඒ නිශ්ශබ්ධතාවය මැද්දෙ බටනලා සද්දෙ ආයෙ හීන් සැරේ මතු වුණා. ඒ සංගීත සද්දෙ කළින්ටත් වඩා මිනිස්සුන්ගෙ හිත් හොළවන්න හේතු වුණා. හවස් කාලේ අන්ධකාර පාරවල් දිගේ දිගම දිග හෙවනැලි විහිදෙන්න පටන් ගත්තා. මෙච්චර දවසක් දාහක් දේවල් ඔලුව අස්සෙ හිරකරගෙන උන්න වැඩිහිටි මිනිස්සු තමන්ගෙ ඔලුව අස්සෙන් ඒ හැම දේම අයින් කරලා ලොකු වෙනවාත් එක්කම තමන්ට අහිමිවෙච්ච තමන්ව, හැබෑම සන්තෝසෙ, හීන වගේ දේවල් කාලාන්තරේකට පස්සෙ ආය කල්පනා කරන්න පටන් ගත්තා. ඒ දේවල් කල්පනා කර කර ඇතුළෙන් හිස් වෙච්ච මිනිස්සු වගේ එහෙ මෙහෙ ඇවිදින්න ගත්තා. තමන්ට අහිමි වුණේ මොකක්ද කියන දේට නමක් දාගන්න බැරුව අතරමං වෙච්ච මිනිස්සු නින්දක් නැතුව රැය පුරාවටම කල්පනා කර කර උන්නා. කිසිම හේතුවක් නැතුව ඔහේ හිනා වෙච්ච හැටි, ලොකු බරක් නැතුව ඔහේ ලස්සන ලස්සන හීන දැකපු හැටි වගේ පරණ මතකයන් තුවාල වගේ ආයෙත් හිත් අස්සෙන් මතු වෙන්න ගත්තා.
ඒ හැමදෙයක්ම මැද්දෙන් බටනලා කාරයා තමන්ගේ බටනලාව වාදනය කරන ගමන්, නගරයේ හැම වීදියක් පුරාම හෙමින් ඇවිදගෙන ගියා. ඒ සංගීත නාදය නිසා අවදි වෙච්ච, හිත පාරන වේදනාබර මතකත් එක්ක ගෙවල් අස්සේ ගුලි වෙලා හිටපු මිනිස්සු, එකා දෙන්නා තමන්ගේ දොරවල් ඇරගෙන පාරට බැස්සා.
සංගීත සද්දේ පිටිපස්සේ එයාලා පේළියට පේළියට, හරියට මන්තර බලයකට අහු වුණා වගේ ඔහේ ඇවිදගෙන ගියා. වැඩිහිටි වියට පත් වෙද්දී, සමාජයට ඕන විදියට රඟපාන්න ගිහින් තමන්ගේම හිත අස්සේ හිර කරලා මරලා දාපු ඒ “පුංචි ළමයාව” ආයෙත් පාරක් නිදහස් කරගන්න බලාපොරොත්තුවෙන් එයාලා මේ ගමන ගියා.
ඉර බැහැ ගෙන යන හැන්දෑ අඳුරත් එක්ක, බටනලා කාරයා නගරයේ ඈත කෙළවරක තිබුණු අන්ධකාර ගුහාවක් දිහාවට හැරුණා. ඒ ගුහාවෙන් පිට වුණේ මීදුමක් වගේ අමුතු එළියක්. නලා කාරයා ඒ ගුහාව ඇතුළට පොඩ්ඩ පොඩ්ඩ අඩිය තියද්දි, එයා පිටිපස්සෙ ආපු මිනිස්සුන්ට දැනුණේ තමන්ගේ කර උඩ මෙච්චර දවසක් තිබුණු ලොකු බරක් එකපාරටම නිදහස් වුණා වගේ සැහැල්ලුවක්.
“වැඩිහිටිවියට පත්වෙද්දි තමන්ගෙ හිත අස්සෙ දාහක් නීති රීති, සමාජ බැමි වලින් හිරකරලා හංගන්න වෙච්ච පුංචි ළමයාව අවසානයේ ආයෙ පාරක් නිදහස් කරන්න බලාගෙන” තමන්ගෙ පිටිපස්සෙන් ඇවිදගෙන එන මිනිස්සුන්ව සංගීත නාදයට වශී කරගෙන බටනලා කාරයා ඒ අන්ධකාර ගුහාවක් අස්සෙ හැංගිලා ගියා.











