ෂාවර්පූර් නගරෙ පරණ පාරවල් හරියට වෙහෙසට පත් වෙලා ගුලි වෙච්ච සර්පයෝ වගේ හරි පටුයි.
ඒ වීදි අස්සේ හැමදාම දූවිල්ල කලවම් වෙච්ච අමුතු සුවඳක් රැඳිලා තිබ්බා. කිසිම සිතියමක ලකුණු කරලා නැති වුණත්, නගරයේ හැමෝම දන්න එක තැනක් තිබුණා.
ඒ තමයි ‘බේගම් හවේලි’.
පිටතින් බලද්දී ඒක නිකම්ම ගරා වැටිච්ච, බිත්ති පිපිරිච්ච, පරණ ලී බැල්කනි තියෙන මන්දිරයක් විතරයි. හැබැයි ඒ මන්දිරයේ පඩි පෙළ නැග්ගම කාලය ගෙවෙන්නේ හරිම අමුතු විදිහකට. කොටින්ම කියනවා නම් උදේ දවසෙ පටන් ගත්තෙ පරක්කු වෙලා උනාට රෑ කාලෙ පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකම් මේ හවේලි එකේ මිනිස්සු රෑ කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මන්දිරේ කොරිඩෝ දිගේ හැමදාම දවල් වරුවලට ගිගිරි වළලු පිරිසිදු කරන සද්දේ දෝංකාර දෙනවා. එහේ හිටපු ගෑණු ළමයි තමන්ගේ මූණ කන්නාඩියෙන් බලන්න කලින්, කන්නාඩිය පිහදාලා පිරිසිදු කරනවා හරියට තමන්ගෙ ලස්සන, කිරිගරුඬ මූණු වල කුණු දූවිලි තැවරෙයි කියලා බයට වගේ.
පිට ලෝකේ මිනිස්සු මේ මන්දිරයට කෝතා”එකක් කියලා කිව්වේ හරිම නිකන් අවුලෙන්, පිළිකුලෙන් වගේ. හැබයි මේ මන්දිරේ සම්බන්ධව ගත්තම ඇත්තටම කෝතා කියන වචනයේ තේරුම කාලයත් එක්ක හුඟක් වෙනස් වුණා. මුල් කාලේ මේකෙන් අදහස් කළේ ගෙයක උඩ තට්ටුව කියන එක. ඒ කාලෙ හිටපු රදල පිරිමි තමන්ගේ විවේක කාලයේදී සින්දු අහන්න, නැටුම් බලන්න ගියේ මේ වගේ මන්දිරවල උඩ තට්ටුවලට. කාලයත් එක්ක සමාජෙ මේ වචනෙ ගණිකා නිවාසයක් කියන තේරුමට පටු කරපු බව ඇත්ත. ඒත් මේ මන්දිරේ බිත්ති ඇතුළේ ජීවත් වුණ අයට කෝතා කියන්නේ තමන්ගේ කලාව රැකගෙන, දහඩියෙන් වගේම කඳුළින් ජීවිතය ගැටගහගන්න ඉගෙන ගත්ත ඉස්කෝලයක් වගේ දෙයක් කියන එක පිළිගත්තෙ මේ කෝතා එක ඇතුළෙ උන්න අය විතරයි.
මේ හැමදේම පාලනය කළේ සෙහ්රා බෙගම්.
එයා ඉස්සර ෂාවර්පූර්වල හිටපු ලස්සනම නළඟනක්. දැන් එයා තමයි මේ කෝතා එක බලාගන්නෙ. මේ ගෑණු ළමයින්ව බලාගන්නෙ. සෙහ්රා තමන්ගෙ කෝතා එක ඇතුළෙ උන්න මේ ගෑණු ළමයින්ට කියලා දුන්නා ලෝකේ වෙන කොහේවත් ගිහින් ඉගෙන ගන්න බැරි පාඩම්. ඒ තමයි කතා කරන්න කලින් ඇහුම්කන් දෙන හැටි, තමන්ගේ ආත්මය පාවා නොදී හිනා වෙන හැටි, සහ පිරිමින්ට තමන් බලවත් කියලා හිතෙන්න ඉඩ දීලා ඇත්තටම බලය තියෙන්නේ කා ගාවද කියලා මතක තියාගන්න හැටි.
“සින්දු කියන්න ඕනේ, නටන්න ඕන, කතා බහ කරන්න ඕන මොකක් හරි රහසක් හංගගෙන ඉන්නවා වගේ, මොකද ඔයාලට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ රහසක් එක්කයි. රහසක් හංගගෙන ඉන්නවා කියලා පේන තරමට තමයි ගෑණු ලඟට පිරිමි ඇදෙන්නෙ. ඕනවට වඩා පැහැදිළි, සමාජෙට විවෘත වෙච්ච ගෑණුන්ට ලෝකෙ කැමති නෑ. හාරවුස්සලා බලන්න දෙයක් තියෙන ගෑණු ළඟට තමයි පිරිමි බඹරු වගේ ඇදිලා එන්නෙ” කියලා සෙහ්රා බෙගම් මේ පාඩම් අතරෙ මේ ගෑණු ළමයින්ට කියලා දුන්නා.
මේ ගෑණු ළමයි හැමෝම අතරේ නූර් කියලා කෙල්ලෙක් හිටියා.
එයා ආවෙ ළඟදි. හරිම කෙට්ටු, වැඩිය කතා බහ නොකරන පුංචි කෙල්ලෙක්. හැබැයි එයා අනිත් අයට වඩා ඉක්මනට හැමදේම ඉගෙන ගත්තා. කවුරුවත් කියලා නොදුන්න තාලවලට එයාගේ කකුල් නිරායාසයෙන්ම නැටවුණා. දවසක් රෑ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පහන් එළිය මැද්දේ නූර් තමන්ගේ කළඑළි රංගනය ඉදිරිපත් කළේ හරියට සුරංගනාවියක් වගේ.
“රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මං කෙසේ පවසම් එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා”
නූර් නටද්දී ඒ දර්ශනය බලන්න ආව මිනිස්සු උන්නෙ හරියට මත්වෙලා වගේ. එයාගේ අත් ලෙලදුන්නේ අහසේ විදුලියක් කොටනවා වගේ වේගයෙන්. එයා ඇඳලා හිටපු ඒ දිග කහ පාට ඇඳුමේ රැළි එයා කැරකෙද්දී වටේට විහිදුණේ රත්තරන් පාට වලාකුළක් වගේ. නූර් හැම පියවරක්ම තිබ්බේ තාලයට හරිම නූලට. ඒත් නූර්ගේ බැල්ම නතර වෙලා තිබුණේ ඈතක, හරියට එයාට විතරක් පේන කවුරු හරි කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ.
නැටුමෙන් පස්සේ සෙහ්රා බෙගම් නූර්ට තමන්ගේ කාමරයට එන්න කියලා පණිවුඩයක් එවුවා.
සෙහ්රා හිටියේ හවේලි එකේ ජනේලයක් ගාව වාඩි වෙලා ඈත පෙන නගරෙ එළි දිහා බලාගෙන.
“කවුද ඔයාට ඔය විදිහට නටන්න ඉගැන්නුවේ නූර්?” සෙහ්රා ඇහුවා.
“කවුරුවත් නැහැ,” නූර් හෙමින් කිව්වා.
“ඒක වෙන්න බැරි දෙයක්,” සෙහ්රා කිව්වා. “කලාව කියන දේ පරම්පරාවෙන් එන්න ඕනේ.”
එතකොට නූර් සෙහ්රාගේ ඇස් දිහා කෙළින්ම බලලා තමන්ගේ පපුවට අත තියාගෙන මෙහෙම කිව්වා.
“එහෙනම් සමහර විට ඒක එන්නේ මෙතනින් වෙන්න ඇති. අපේ අම්මටත් හොඳට නටන්න සිංදු කියන්න පුළුවන් ලු”
“කවුද කිව්වේ?”
“මාව බලාගත්ත ආච්චි?”
“ආච්චි කවදාවත් කිව්වෙ නැද්ද ඔයාගෙ අම්මා කවුද කියලා ඉතින්?”
“නෑ. ආච්චිට මාව දීලා තිබ්බෙ ඈත නගරෙකින් අපෙ ගමට ආව කෙනෙක්. මාව ඔතලා එවලා තියෙන්නෙ අතෙන් ගොතපු කහ පාට රෙද්දක. නමක් ගමක් දන්නෙ නැති උනත් මනුස්සයෙක් කියලා හිතලා තමයි ආච්චි මාව හදලා තියෙන්නෙ. අපේ ආච්චිට ඒ මනුස්සයා අම්මගෙ නමක් ගමක් නොකිව්වට අම්මා ලස්සනට නටන සිංදු කියන කෙනෙක් විත්තිය කියලා තියෙනවා”
කියලා නූර් කියද්දි සෙහ්රා ඒ වෙලාවේ තප්පරේකට ගල් වුණා. නූර්ගේ ඒ බැල්මේ තිබුණේ තමන් අවුරුදු විස්සකට කලින් තමන්ගේ හිතේ හංගගත්ත රහසක හෙවනැල්ල කියන එක සෙහ්රාට මතක් වුණා.
හවේලි එකෙන් පිටත නගරය නිදාගෙන හිටියත්, හවේලි එක ඇතුළේ හුඟක් කාලයක් තිස්සේ වැළලිලා තිබුණ ඇත්තක් ආයෙත් පණ ලබන්න පටන් ගත්තෙ අන්න ඒ කතා බහෙන් පස්සෙ. එදා ඒ රැයෙන් පස්සෙ. ඒ රහසත් එක්ක මේ දෙන්නගේ ජීවිත මොන වගේ පාරකට වැටෙයිද කියලා හැබැයි එදා ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැනගෙන උන්නෙ නැහැ.
එදා රෑ සෙහ්රා බෙගම්ට නින්ද ගියේ නැහැ.
මන්දිරයම නිශ්ශබ්ද වුණත් එයාගේ හිතේ තිබුණේ ලොකු කලබලයක්. එයාගේ මතකය අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් පරණ ෂාවර්පූර් නගරයට දුවගෙන ගියා. ඒ කාලේ එයාට හැමෝම කිව්වේ ‘සෙහ්රා ජාන්’ කියලා. ඒ කාලේ එයා විශ්වාස කළා තමන් වගේ ගැහැනියකටත් ආදරය අයිති වෙන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මේ ලෝකෙ පැවතිච්ච අවුරුදු ගාණ පුරාවට තමන් වගේ ගෑණු කීදෙනෙක්ව විනාස කරාද කියන එක ඒ වෙද්දි සෙහ්රා ජාන් දැනගෙන උන්නෙ නෑ. ඒ නිසාම එයා විශ්වාස කරා “ආදරේ කවදහරි දවසක තමන්ගෙ ඉර නොපායන ලෝකෙට ආලෝකය දේවි” කියලා.
සෙහ්රා ජාන් ආදරේ කළේ නවාබ්වරයෙකුගේ දෙවැනි පුතාට.
එයා සෙහ්රාගේ සින්දු අහන්න ආව කෙනෙක්. සෙහ්රා නටනවා බලන්න ආව කෙනෙක්.
“ඔයාට හැමදාම මෙ හවේලි එකේ අන්ධකාර හෙවණැල්ල අස්සෙ හැංහිලා ජීවත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ සෙහ්රා. මම ඔයාව මගේ බිරිඳ කරගන්නවා” කියලා ඒ කුමාරයා පොරොන්දු දුන්නා. සෙහ්රා ඒ වචන විශ්වාස කළා. ඒ හන්දම ගෑණියෙක් විදියට ආදරයේ නාමයෙන් පූජා කරන්න තියෙන හැමදේම සෙහ්රා ජාන් ඒ වචන වලට පූජා කරා. කැපකරා. ආදරේ නාමයෙන් කැපවුණා.
තමන්ගේ කුසට දරුවෙක් ඇවිත් කියලා කියපු දවසේ, ඒ කුමාරයාගේ මුහුණ එකපාරටම වෙනස් වුණේ ඇයි කියලා තේරුම් යනකල්ම සෙහ්රා ජාන් හිතුවෙ “ආදරේ ඇවිත් කවදහරි මාව බේරගනිවී, මගේ අන්ධකාර ලෝකෙට එළිය දේවි” කියලා.
“මට ටිකක් කල් දෙන්න,” හනික වෙනස් වෙච්ච මූණ ආපහු හදාගෙන කුමාරයා එදා කිව්වා.හිතුවට වඩා කල් ගතවුණා, ඒත් ඒ ගිය මනුස්සයා ආයෙත් ආවේ නැහැ. සෙහ්රා තනියම දරුවා බිහි කළා. එකම එක රෑක ඒ පොඩි දරුවාව පපුවට තද කරගෙන සෙහ්රා මෙහෙම කිව්වා.
“මම ඔයාට මං වගේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම ඔයාට මේ විදිහට ජීවිතේ බේරගන්න හැටි උගන්නන්නේ නැහැ. ආදරේ කියන්නෙ ගැලවීමකට නෙවෙයි අහුවීමකට කියන එක මට වගේ ඉගෙන ගන්න මම කවදාවත් ඔයාට ඉඩ තියන්නෙ නැහැ”
“මෙයාව ගොඩක් ඈතට එක්කන් යන්න. සංගීතය ඇහෙන්නේ නැති, පොරොන්දු දෙන පිරිමි නැති තැනකට මෙයාව යවන්න,” කියලා සෙහ්රා ජාන් අතෙන් වියපු කහ පාට රෙද්දක ඔතපු තමන්ගෙ ඒ දරුවව නගරයෙන් එළියට යන මනුස්සයෙක්ගෙ පපුවට තුරුල් කෙරෙව්වා.
සෙහ්රා ජාන්, සෙහ්රා බේගම් වෙද්දි ඒ “අතීතෙ අමතක කරල දැම්මා” කියලා හිතාගෙන උන්නට අවුරුදු ගාණකට පස්සේ, තමන්ගේම ඇස් දෙක තියෙන, කෙට්ටු කෙල්ලෙක් ආයෙත් මන්දිරේ දොරකඩට එනකම්ම සෙහ්රා තමන්ගේ ඒ රහස හංගගෙන උන්නා.
ඒ වගේම සෙහ්රාට ඒ රහස ආයෙ කවදාවත් එළිකරන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හන්දම සෙහ්රා උන්නෙ දිගටම නිහඬතාවය රකින්න හිතාගෙන.
“පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ…
ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ…
මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැගුම් දෙන රන් බඳේ…
දෙවි වුවන් රූ සිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ…
මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැගුම් දෙන රන් බඳේ…
දෙවි වුවන් රූසිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ…”
නූර් තමන්ගෙ එදා නැටුම කරේ ඒ තාලෙට.
එදා රෑ නූර් වේදිකාවට ආවේ හරියට වෙන ලෝකෙකින් ආපු කෙනෙක් වගේ. මුළු ශාලාවම පිරිලා හිටපු මිනිස්සු නූර්ව දැක්ක ගමන් ගල් ගැහුණා. නූර්ගේ නැටුම හරියට අර පරණ කවිවල කියනවා වගේම තිබ්බා. එයාගේ ඇඟෙන් පිච්ච මල් සුවඳ විහිදුණා. එයාගේ පපුව හරියට රන් හංසයෝ දෙන්නෙක් වගේ තේජවන්තව මිනිස්සු දැක්කා. රූපේ දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත වශී වෙන ලස්සනකට නූර් එදා සැරසිලා උන්නා.
නැටුමෙ තාලෙට එයා කැරකෙනකොට කන්වල තිබිච්ච දිග රත්තරන් ජුම්කා දිලිසෙන්න ගත්තා. ඒ දිලිසිල්ලට හැමෝගෙම ඇස් නූර්ගේ ඇඟටම ඇලිලා තිබුණා මිසක්, කාටවත් ඇස් ඉවතට ගන්න පුළුවන් වුනේ නෑ. හීනියට හමන හුළඟකට සැලෙන පහන් සිළුවක් වගේ නූර්ගේ තඹපාට ඇඟ වේදිකාව පුරා එහා මෙහා කැරකුණා. එයා කැරකෙන වේගයට මිනිස්සුන්ට පෙනුණේ සුරංගනාවියක් නටනවා වගේ.ඒ තරම් ලස්සන නැටුමක් දිහා බලාගෙන හිටියොත්, මහා බ්‍රහ්මයා වුණත් තමන්ගේ භාවනාව අතෑරලා නූර් දිහා බලනවා කියලා එතන හිටපු අයට හිතෙන තරමට නූර් නැටුවා.
මුළු හවේලි මන්දිරයම තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක ගිලිලා. හරියට ඒ පරණ බිත්ති පවා තමන්ගේ හුස්ම අල්ලගෙන මේ නැටුම දිහාව බලා ඉන්නවා වගෙ. නූර් තමන්ගේ අවසාන රංගනය ශාලාව මැද පටන් ගනිද්දී, සෙහ්රා බෙගම් උඩ බැල්කනියේ ඉඳන් ඒ දිහා බලාගෙන හිටියා. නූර් තියන හැම පියවරක්ම, ඇඟිලි තුඩක චලනයක් පවා සෙහ්රාට මතක් කළේ තමන් ගෙ අතීත. මීට අවුරුදු විස්සකට විතර කළින් කුමාරයෙක් ඉස්සරහා තමන් මේ විදියටම තමන්ගෙ හංස ගීත රංගනය ඉදිරිපත් කරා නේද කියන එක මතක් කරන ගමන්. තමන්ගෙ ජීවිතේ දා රැයෙන් අවසන් උනා නේද කියන එක මතක් කරන ගමන්.
සෙහ්රාගේ පපුව වේගයෙන් ගැහුණේ බය හින්දමයි. රහසක් එළිවෙයි කියන බය හන්දමයි. රහස එළි උනොත් තමන්ගෙ වටිනකමක් නෑ කියලා දැනගෙන උන්න බය හන්දමයි.
නූර් අද රෑ පණ පිටින් මෙහෙන් ගියොත්, තමන් අවුරුදු ගාණක් තිස්සේ මහන්සියෙන් වළලපු ඒ ඇත්තවල් නූර් අතින් හෙළි වෙයි කියන බය සෙහ්රාට තිබුණා.
“ඒකට කොහෙත්ම ඉඩ හදන්න බෑ” කියලා සෙහ්රා තමන්ටම කියාගත්තෙ ඒ හන්දමයි.
නූර්ගේ නැටුම එන්න එන්නම වේගවත් වුණා. එයාගේ පහන් එළියට දිළිහෙන මූණ වටේට කැරළි ගැහිච්ච කොණ්ඩ කෑලි විහිදුණේ හරියට දේව රූපයක් වගෙ. එයා අහස වැළඳගන්න හදනවා වගේ අත් උස්සලා නැටුවා.
විස පොවාපු ඒ සීතල කටුව පපුවෙ ගෑවෙද්දී නූර් එක පාරටම ගැස්සුණා.
පණ ඇදි ඇදී යද්දී පවා නූර්ගේ මූණේ තිබුණේ පුදුමාකාර සාමකාමී බවක්.
ඒ වේදනාව මැද්දෙවත් නූර් තමන්ගෙ නැටුම නතර කරේ නෑ.
“බලාපොරොත්තුව කියන්නේ හරියට විස පොවාපු කටුවක් වගේ දෙයක්. ඒක හරිම ලස්සනට පෙනුණට, හදවත පසාරු කරලා මරලා දානකල්ම අපි ඒකේ වේදනාව දන්නේ නැහැ.” කියලා සෙහ්රා බේගම් තමන්ගෙ පාඩම් අතරවාරෙ කියලා දුන්න ඒ ආදරේ පාඩම නූර්ට එවෙලෙ මතක් වුණා.
නූර්ගේ තඹ පාට ශරීරෙ ඒ නැටුමෙ අවසාන පියවරේදි හෙමින් පොළොවට පාත් වුණා. එයාගේ අන්තිම හුස්ම හවේලියේ අන්ධාකාරෙට එක්කහු වෙද්දී, සෙහ්රා බෙගම් තමන්ගේ රහසත් එක්ක ආයෙත් තනි වුණා.
“ඔයා අහසට යන්න හැදුවට නූර්, මට ඔයාව මගේ පොළොව යට නතර කරගන්න වුණා. ඔයා හිතුවේ මේ නැටුමෙන් ඔයාට අත්තටු ලැබෙයි කියලා, ඒත් මට ඕන වුණේ ඔයාව මගේ රහස් අස්සේ සදහටම හංගගන්න.
අහස කියන්නේ හැමෝටම පේන තැනක්. ඒත් පොළොව යට තියෙන දේවල් අයිති ඒක වළලපු කෙනාට විතරයි.
දැන් ඔයාට ආයේ කවදාවත් වැටෙන්න වෙන්නෙ නැහැ. මොකද ඔයා දැන් ඉන්නේ මේ හවේලි එකේ ගැඹුරුම තැන. ඔයාගේ ඒ ලස්සන, ඔයාගේ ඒ හීන ඒ හැමදේම දැන් මගේ හෙවණැල්ල යට හැමදාටම පරිස්සමට තියේවි.
ඔයා අහස යට නිදහසේ නටනවට වඩා, මගේ පොළොව යට රහසක් වෙලා ඉන්න එක මට මහා ලොකු සහනයක් නූර්.”











