සමහර කතා තියෙනවා, අපේ වචනෙන්ම කිව්වොත් “ඒවා නිකන් හරියට ෆිල්ම් එකක එන කතන්දර” වගේ.
අද අපි කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්. හැබැයි මේ කතාව උපදින්නේ සිල්වර් ස්ක්‍රීන් එකට කලින්, ඇත්ත ලේ වලින්, මරණීය නිහඬතාවයකින් සහ රටකට කවදාවත් අමතක කරන්න බැරි බියකරු මතකයන් අස්සෙන්.
2026 අවුරුද්දේ ආව Father කියන්නේ අන්න ඒ වගේ කතාවක්. මේක නිකම්ම ෆිල්ම් එකක් නෙවෙයි. මේක ලංකාවේ අඳුරුතම යුගයකට කරන ඇඟ කිලිපොලා යන ආපසු හැරී බැලීමක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි.
නීතිය රකින උසාවිය මිනීපිටියක් වෙච්ච, පොලිස් යුනිෆෝම් අස්සේ අමනුෂ්‍යයෝ හැංගිච්ච, මිනිස්සුන්ට යුක්තිය කියන වචනය පවා අමතක වෙලා ගිය ඒ ම්ලේච්ඡ කාලය මේ චිත්‍රපටයෙන් ආයෙමත් ඇස් පනාපිට අපිට පෙන්නනවා. මේක නිකම්ම ක්‍රයිම් ඩ්‍රාමා එකක් නෙවෙයි. මේක අපේ ඉතිහාසයේ ලෙයින් ලියැවුණු ඒ බරපතළ පරිච්ඡේදයක සිනමාත්මක ප්‍රතිනිර්මාණයක්. පළිගැනීම කියන දේ වෛරයටත් වඩා දරාගන්න බැරි වේදනාවකින් උපදින්නේ කොහොමද කියන එකයි, වීරයා සහ අපරාධකාරයා” අතර තියෙන පුංචිම පුංචි ලයින් එක මැකිලා යන හැටිත් මේකෙන් හරිම අපූරුවට පෙන්නනවා.
මේ හැමදේම පටන් ගන්නෙ 1991 නොවැම්බර් 25 වැනිදා උදේ.
සාමාන්‍යයෙන් යුක්තියට අනුව වැඩ කරන, නීතියට ගරු කරන අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවිය එදා මුළු රටම භීතියෙන් සලිත කරපු මිනීමැරුමකට වේදිකාවක් වුණා. එදා උසාවිය සෙනඟින් පිරිලා, හරිම කාර්යබහුලයි. විත්තියේ නීතිඥවරයා නොපැමිණීම නිසා එදා තිබුණු ප්‍රධාන නඩුව දහවල් කාලයට කල් ගියා.
ඒ අතරතුරේ, නඩුවේ ප්‍රධාන සැකකාරයා තමන්ගේ මාමා එක්ක පොඩ්ඩක් කතා කරන්න උසාවියෙන් එළියට ආවා.
“මේ ප්‍රශ්නය අදින් ඉවර වෙයිද, නැත්නම් හයි කෝට් එකට යයිද?” කියලා එයා එයාගේ මාමාගෙන් ඇහුවේ, මරණය තමන්ගේ ඇස් අද්දරටම ඇවිත් කියලා හීනෙකින්වත් නොහිතා වෙන්න ඇති.
මේ දෙන්නා කතා කරමින් හිටියේ විනාඩි දහයක් වගේ පොඩි වෙලාවක්. නිල් පාට ජැකට් එකකුයි කළු පාට කලිසමකුයි ඇඳගත්ත මිනිහෙක් හීන්සීරුවේ මෙයාලා දිහාවට ඇවිදගෙන ආවා. කිසිම අනතුරු ඇඟවීමක් තිබ්බෙ නෑ. එකපාරටම එයා තුවක්කුවත් අතට ගත්තා. වෙඩි හඬක් එක්ක මාමා එතනම ඇදගෙන වැටෙද්දී, බය වෙච්ච සැකකාරයා පණ බේරාගන්න ආයෙමත් උසාවිය ඇතුළටම දිව්වා. හැබැයි වෙඩික්කාරයා නෙවෙයි වැඩේ අතහැරියේ. එයා මාරාවේශයෙන් ඒ සැකකාරයා පස්සෙන් පන්නගෙන ගියා. උසාවි කූඩුව ළඟදීම ඒ සැකකාරයට එයා දිගට හරහට වෙඩි තිබ්බා. සැකකාරයා මැරිලා වැටුණට පස්සෙත්, පතරොම් ඉවර වෙනකම්ම අර මනුස්සයා වෙඩි තියන එක නතර කළේ නෑ
ඊළඟට වුණු දේ තමයි වැඩියෙන්ම ඇඟ හිරිවට්ටන්න හෙතු වෙන්නෙ.
මුළු උසාවියම ගල් ගැහිලා බලාගෙන ඉද්දී, අර වෙඩික්කාරයා මහේස්ත්‍රාත්වරයා දෙසට හැරුණා. හරිම විනීත විදිහට හිනා වෙලා, සමාව ඉල්ලනවා වගේ පොඩි ආචාරයක් කරලා, කිසිම කලබලයක් නැතුවම එතනින් ඇවිදගෙන ගියා.
එදා ජීවිත දෙකක් මහ පොළොවට පස් වුණා. එක්කෙනෙක් වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන, අනෙක් කෙනා ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල් විජේසේකර.
මේ වෙඩි හඬත් එක්ක මුළු ලංකාවම හෙල්ලුණේ නිකම්ම නිකම් මිනීමැරුමක් හන්දා විතරක් නෙවෙයි. ඒ මරණීය නිහඬතාවය අස්සෙන් දශක ගණනාවක් යනකම් රටම මවිත කරපු නමක් ඉතිහාසයට එකතු වුණා
ඒ තමයි ගම්පහ ඔස්මන්.
හැබැයි මේ චිත්‍රපටය අපිට හරිම පැහැදිලිව පෙන්නනවා, මේ ඝාතනය නිකම්ම හදිසියේ වෙච්ච දෙයක් නෙවෙයි කියලා. මේ වගේ දරුණු පළිගැනීමක් පිටිපස්සේ තියෙන ඇත්තම කතාව තේරුම් ගන්න නම්, අපිට ආයෙමත් 1991 පෙබරවාරි 27 වැනිදාට යන්න වෙනවා. ඒ කාලේ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ලෙයින් ලියැවිච්ච භීෂණයේ කළුම පරිච්ඡේදයක්. 80 දශකයේ අග භාගයේත් 90 මුල් කාලයේත් තිබුණු භීෂණ තත්ත්වයන් නිසා මුළු රටම තිබුණේ මරණ බයෙන් ගැහි ගැහී. ඒ භීෂණය මර්දනය කරන්න නීතිය අතට ගත්තු අය කරපු පැහැරගැනීම්, වධහිංසා සහ මනුෂ්‍ය ඝාතන නිසා යුක්තිය කියන දේ මිරිඟුවක් වෙලා තිබුණේ.
මේ අඳුරු දේශපාලන වටපිටාව අස්සේ මයිකල් විජේසේකර කියන්නේ කැරලිකරුවන් කියලා සැක කරපු තරුණයින්ව මර්දනය කරන්න කෙලින්ම මැදිහත් වෙච්ච, ලොකු බලයක් තිබුණු චරිතයක්. පොලිස් බලයත්, දේශපාලන හයියත් එකතු වුණාම ඕනෑම කෙනෙක්ට එල්ල කරන සැකය කියන ඇඟිල්ල මරණ වරෙන්තුවක් වෙන්න ඒ කාලේ වැඩි වෙලාවක් ගියේ නැහැ.
ඒ කාලකන්නි දවසේ රෑ, පොලිස් නිලධාරී ධම්මික ඇතුළු කණ්ඩායම කැරලිකරුවන් කියලා සැක කරපු තරුණයින් දොළොස් දෙනෙකුයි, එක් තරුණියකයි අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව අරගෙන යන්නේ වවුල් කැලේ කියන කැලෑබද ප්‍රදේශයට. අදටත් ඒ නම ඇහෙද්දී ගම්පහ මිනිස්සුන්ගේ හදවත නතර වෙන්නේ එදා ඒ කැලෑව ඇතුළේ සිද්ධ වුණු අමානුෂික අපරාධය තාම ඒ මිනිස්සුන්ට මතක හන්දා. පස්සේ කාලෙක හෙළිවෙච්ච විදිහට, ඒ අහිංසක තරුණ ජීවිත ටික නිරුවත් කරලා, උපරිමයෙන්ම අවමන් කරලා, හිතාගන්න බැරි තරම් දරුණු වධහිංසා පමුණුවලා තියෙනවා.
ඒ තරුණියට අන්ත අසරණ විදිහට අතවර කරද්දී, අනෙක් තරුණයින්ට බලන් ඉන්න වුණේ මරණ බයත් එක්කයි. මේ හැමදේම කරලා අවසානයේ ඔවුන් ඒ තරුණ පිරිසට මාරාන්තික විහිළුවක් කරනවා. ඔවුන්ට කියනවා දැන් උඹලා දුවපල්ලා… පුළුවන් නම් පණ බේරගනිල්ලා කියලා.
අසරණ වුණු ඒ තරුණයෝ තමන්ගේ ජීවිතේ බලාපොරොත්තුවෙන් පණ කඩාගෙන දුවද්දී, ඔවුන්ගේ පිටුපසින් නරුම විදිහට වෙඩි තියන්න අර නීතිය රකින නිලධාරීන් කටයුතු කරනවා.
මේ අමානුෂික සංහාරයෙන් පණ බේරාගන්න ලැබුණේ එකම එක තරුණයෙකුට විතරයි. එයා කජු ගහක් උඩ හැංගිලා, තමන්ගේ යාළුවෝ දොළොස් දෙනාවම පණ පිටින් මරා දාන හැටි ඇස් දෙකෙන්ම දැක්කා. ඒ විතරක් නෙවෙයි, ඊටත් වඩා භයානක දේ තමයි ඒ සමහර තරුණයෝ තවමත් හුස්ම ගනිද්දීම ඔවුන්ගේ සිරුරු ටයර් දාලා පුච්චනවා බලන්න ඒ යාළුවට සිද්ද වුණා.
ඒ තරුණයාගේ නම තමයි රතු ගාමිණී. එයා පස්සේ කාලෙක ලබා දුන්න ඒ සාක්ෂිය හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතට පවා පත්වුණා. ඇය මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන හොයද්දී තමයි මුළු රටම හිරිවැටිලා යන ඒ සැබෑ ඇත්ත හෙළි වුණේ. මේක නිකම්ම දේශපාලන කතාවක් නෙවෙයි, නීතිය රකින නිලධාරීන්ම කරපු මහා අපරාධයක් කියලා CID එක තහවුරු කළා.
හැබැයි CID එක මේ වැරදිකාරයන්ව අල්ලන්න යද්දී, ලංකා ඉතිහාසයේ කවදාවත් නොවුණු දෙයක් වුණා. වීරඟුල පොලිසියේ නිලධාරීන් තමන්ගේ පොලිසියත් අතහැරලා පැනලා ගියා. ඇතුළට ගිය පරීක්ෂකයන්ට දකින්න ලැබුණේ තවත් බය හිතෙන දර්ශනයක්. මයිකල්ගේම සහෝදරයෙක් වුණු ලෙස්ලි විජේසේකරව ඒ වෙලාවේ පොලිසිය ඇතුළේ වධහිංසාවට ලක් කරමින් ඉඳලා තියෙනවා. එයා එදා බේරුණේ අනූ නවයෙන්.
මේ නූල් බෝලය ලිහෙන්න ගනිද්දී පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ බලය අනිසි ලෙස පාවිච්චි කරපු හැටි එකින් එක එළියට ආවා. පරීක්ෂණ වලදී ධම්මික පිළිගත්තා කියලා කියනවා එයාගේ අණ යටතේ විතරක් තරුණ ජීවිත 260 කට වඩා විනාශ කරලා තියෙනවා කියලා.
මේ කාලකන්නි අපරාධවලට ගොදුරු වෙච්ච තවත් එක් අහිංසක තරුණයෙක් තමයි මිල්රෝයි ගුණසේකර. 1989 දී තවත් හතර දෙනෙක් එක්ක මිල්රෝයිව පැහැරගෙන ගිහින් මරලා දාලා තිබුණා. මිල්රෝයිගේ අයියා ඒ වෙලාවේ හිටියේ ජපානයේ. තමන්ගේ මල්ලි මැරිලා කියන ඒ අමිහිරි ඇත්ත එයා දැනගත්තේ ගොඩක් පරක්කු වෙලා.
තමන්ගේ මල්ලිගේ වියෝවෙන් ඇතිවෙච්ච ඒ දරාගන්න බැරි වේදනාවයි, මේ අපරාධකාරයෝ ගැන ඇතිවෙච්ච පාලනය කරගන්න බැරි කේන්තියයි නිසා එයා තීරණයක් ගත්තා. ජපානයේ සැප ජීවිතය අත ඇරලා, හොර පාස්පෝට් එකකින් එයා ආයෙමත් ලංකාවට ආවා. ඒ ආවේ මල්ලිව මරපු අයට දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක වෙනකම් බලන් ඉන්න නෙවෙයි තමන්ගේම අතින් ඒ පළිය ගන්න.
අන්න ඒ සහෝදරයා තමයි ඔස්මන් මෙන්ඩෝසා ගුණසේකර.
අන්න ඒ විදිහට, අත්තනගල්ල උසාවියේදී ගිගුම් දුන්න ඒ වෙඩි හඬත් එක්ක ඔස්මන් තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කළා.
ඒ සිද්ධියෙන් පස්සේ ඔස්මන් ආයෙමත් හොර රහසෙම ජපානයට පැනලා ගියත්, වීසා ප්‍රශ්නයක් නිසා එහෙදි අත්අඩංගුවට පත්වෙනවා. 1993 දී එයාව ආයෙමත් ලංකාවට පිටුවහල් කළා. හැබැයි පුදුමේ කියන්නේ, මේ මිනීමැරුම ගැන නඩුව විභාග වෙද්දී එකම එක සාක්ෂිකරුවෙක්වත් ඔස්මන්ට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. මොකද, මුළු රටම දැනගෙන හිටියා ඔස්මන් මැරුවේ නීතිය රකින නිලධාරීන් නෙවෙයි, නිල ඇඳුම් ඇඳගත්ත භීෂණයේ සංකේත ටිකක් කියලා.
අන්තිමේදී 2002 අවුරුද්දේ ඔස්මන් නිදොස් කොට නිදහස් වුණා. මේ තීන්දුව නීතියේ තිබුණු ගැටලුවකට වඩා, එදා සමාජයේ තිබුණු පොදු හැඟීම නිරූපණය කළා කිව්වොත් හරි. මිනිස්සුන්ගේ ඇස් ඉස්සරහා ඔස්මන් කියන්නේ අපරාධකාරයෙක් නෙවෙයි, පද්ධතිය අසමත් වුණු තැනක යුක්තිය ඉල්ලලා ආපු ජනතා වීරයෙක් වගේ චරිතයක්.
ශාන්ත ගීතදේව නිෂ්පාදනය කරපු, චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ හදවත වෙන්නේ මෙන්න මේ කියන සංකීර්ණ සහ බරපතළ ඉතිහාසයය. මේක නිකම්ම ක්‍රයිම් ෆිල්ම් එකක් නෙවෙයි දේශපාලන ප්‍රචණ්ඩත්වය, සදාචාරාත්මක ගැටලු සහ යුක්තියයි පළිගැනීමයි අතර තියෙන ඒ නොපෙනෙන සීමාව ගැන කෙරෙන ගැඹුරු සිනමාත්මක විග්‍රහයක්.
විනිශ්චය අවි-නිශ්චිතය කියන තේමාවෙන් මේ චිත්‍රපටයේ හරය අපූරුවට පැහැදිලි කරනවා.
ඇත්තටම විනිශ්චය කරන්න අයිතිය තියෙන්නේ කාටද?
පද්ධතියම අපරාධකාරයෙක් වුණාම යුක්තියට මොකද වෙන්නේ?
ඒ වගේම පළිගැනීම විතරක්ම එකම විසඳුම වුණු තැනක, ඒකත් පවක් කියලා අපිට කියන්න පුළුවන්ද?
මේ චිත්‍රපටයට පණ පොවන නළු නිළියන්ගේ රංගනයත් මාරම ප්‍රබලයි. පූජන දණ්දෙනිය ඔස්මන්ගේ තරුණ කාලය හරිම හැඟීම්බරව රඟපාද්දී, ප්‍රවීණ නළු සෞම්‍ය ලියනගේ ඔස්මන්ගේ වැඩිහිටි චරිතයට මාරම ගැම්මක් දෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් රැසක්ම මෙහි ඉන්නවා. තවත් විශේෂ දෙයක් තමයි, ප්‍රවීණ ගායක චාමර වීරසිංහ ඔහුගේ දිගු කලා ජීවිතයේ පළමු වතාවට සිනමා පසුබිම් ගීතයක් ගායනා කරන්නෙත් මේ චිත්‍රපටයට වීම.
2026 ජනවාරි 9 වෙනිදා රට පුරා තිරගත වීම ආරම්භ වුණු Father චිත්‍රපටයට මේ තරම් ලොකු අවධානයක් ලැබෙන්න හේතුව ඒක නිකම්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් වීම විතරක් නෙවෙයි. ලංකාව සාකච්ඡා කරන්න අකමැති, හැංගිලා තිබුණු පරණ තුවාල ආයෙමත් පාරන්න තරම් මේ චිත්‍රපටය නිර්භීත වුණු නිසා.
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, තරුණ භීෂණය, සදාචාරය බිඳ වැටීම සහ ජීවත් වීම සඳහා කෙරෙන පළිගැනීම වගේ බරපතළ මාතෘකා ගැන කතා කරන මේ චිත්‍රපටය බලන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.
හැබැයි ඒක බලන්නම ඕනේ චිත්‍රපටයක් වෙන්නෙත් අන්න ඒ නිසයි.










