ඔබේ දරුවා මේ පුරුදු දහය ගැන දන්නවද ?

වර්තමානයේ ලෝකය කෙතරම් නවීන සහ වේගවත් වුවත් යහපත් පුරුදු සහ ආචාර ධර්ම   දරුවන් හට කුඩා කාලයේ සිටම හුරු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එය අනාගතයේදී ගෞරවනීය , කරුණාවන්ත සහ ආචාරශීලි පුද්ගලයන් බිහිකිරීම සඳහා හේතු වන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම කළ යුතුයි. හොඳ ආචාර ධර්ම දැන සිටීමේ සහ හුරුවීමේ වටිනාකම් දරුවන්ට ඉගැන්වීම ඔවුන්ට ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට, සංවේදනය වර්ධනය කිරීමට සහ ඕනෑම තත්වයකදී ධනාත්මකව පෙනී සිටීමට උපකාරී වන නිසා සෑම දරුවෙකුම කුඩා කල සිටම ඉගෙන ගත යුතු සහ ඔබ ඔබේ දරුවන්ට ඉගැන්විය යුතු අනිවාර්ය ආචාර ධර්ම කිහිපයක් ගැන ඔබට කරුණු ගෙන එන්නට අපි හිතුවා. 

“කරුණාකර” සහ “ස්තූතියි” කීම

“කරුණාකර” සහ “ස්තූතියි” වැනි සරල වචන හොඳ පුරුදු වල ශක්තිමත්ම පදනමයි. එමගින් දරුවන් අන් අය කෙරෙහි දක්වන ගෞරවය සහ අගය පෙන්වනවා. මෙම වචන දිනපතා  භාවිතා කිරීමට දරුවන්ට ඉගැන්වීම ඔවුන්ට කෘතඥතාව සහ කරුණාව තේරුම් ගැනීමට උපකාරී වන අතර, ඔවුන්ගේ අන්තර්ක්‍රියා වඩාත් ධනාත්මක සහ අර්ථවත් කරනවා.

වැඩිහිටියන්ට ගරු කිරීම

බොහෝ සංස්කෘතීන්වල, වැඩිහිටියන්ට ගරු කිරීම මූලික වටිනාකමක් ලෙස සැලකෙනවා. වැඩිහිටියන් කතා කරන විට සවන් දීම,ඔවුන්  උදව් ලබා දීම සහ ආචාරශීලීව කතා කිරීම මෙයට ඇතුළත් වන අතර දරුවන් වැඩිහිටි පුද්ගලයින්ට ගරු කිරීමට ඉගෙන ගන්නා විට, ඔවුන් ජීවිත කාලය පුරාවටම ප්‍රයෝජනවත් වන ගුණාංග වන ඉවසීම සහ නිහතමානීකම ද වර්ධනය කර ගන්නවා. විශේෂයෙන්ම ඔවුන් වැඩිහිටි වයසට පැමිණෙන විට අන් අයට ගරු කිරීම, අන් අය සමග ඉවසීමෙන් කටයුතු කිරීම සහ අසීරු අවස්ථාවන් වලට පහසුවෙන් මුහුණ දීමටද ඉගෙන ගන්නවා.

අන් අයට නිසි ලෙස ආචාර කිරීම

“සුබ උදෑසනක්” හෝ “හෙලෝ” වැනි උණුසුම් ආචාරයක් ඕනෑම පරිසරයක් තුළ මිත්‍රශීලී වාතාවරණයක් නිර්මාණය කරනවා . ගෞරවනීය බවකින් යුතුව සහ සිනහවකින් මිනිසුන්ට ආචාර කිරීමට දරුවන්ට ඉගැන්වීම ඔවුන්ට විශ්වාසය සහ සමාජ කුසලතා ගොඩනැගීමට උපකාරී වන අතර ඔවුන් අන් අයව පිළිගන්නා බවත් අගය කරන බවත් එයින් පෙන්නුම් කෙරෙනවා.

ආචාරශීලී භාෂාව භාවිතා කිරීම

රළු හෝ සැර පරුෂ වචන වලින් වැළකී සංවාද වලදී ආචාරශීලී භාෂාව භාවිතා කිරීම සඳහා දෙමාපියන් විසින් දරුවන් දිරිමත් කළ යුතුය. වචන වලට ඉතා විශාල බලයක් ඇති අතර,  කරුණාවෙන් කතා කිරීමට ඉගෙනීම ගැටුම් වළක්වා ගැනීමට සහ මිතුරන්, ගුරුවරුන් සහ පවුලේ සාමාජිකයන් සමඟ වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට සහ ඒවා පවත්වාගෙන යාම සඳහා උපකාරී වනවා.

ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටීම

සංවාදයකදී කතා කිරීම හෝ පෝලිමක සිටගෙන සිටීමකදී, ඔවුන්ගේ වාරය එනතුරු ඉවසිලිවන්තව බලා සිටීම දරුවෙකු විසින් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය සමාජ කුසලතාවයකි. මෙය දරුවන්ට ස්වයං පාලනයක් සහ අන් අයගේ කාලය සහ අවකාශයට ගරු කිරීම උගන්වන අතර එය කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමේ දීද විශේෂයෙන් වැදගත් වනවා.

Table manners 

මූලික table manners,  ආහාර ගන්නා අතරතුරදී  කතා නොකිරීම, උපකරණ නිසි ලෙස භාවිතා කිරීම සහ පිළිවෙලට වාඩි වීම වැනි හැසිරීම් රටා කෙනෙකු මේසයක් මත වාඩි වී  පරිභෝජනය කරන ආහාර වෙනුවෙන් ඇති  විනය සහ ගෞරවය පිළිබිඹු කරනවා.  මෙම පුරුදු ආහාර ගැනීම ප්‍රසන්න කරනවා පමණක් නොව, අනාගතයේ වැදගත් තත්ත්වයන්, වැදගත් පරිසරයන් සහ අවකාශයන් සඳහා දරුවන් සූදානම් කරනවා.

වැරදි වූ විට සමාව අයැදීම

තමන් අතින් වරදක් සිදුවූ විට එය පිළිගෙන “මට සමාවෙන්න” යැයි පැවසීම දුර්වලකමක් නොව ශක්තියේ ලකුණක් බව ඕනෑම දරුවක කුඩා කාලයේ සිටම දැන සිටියය යුතුය. දරුවන්ට අවංකවම සමාව අයැදීමට ඉගැන්වීම ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගකීම භාර ගැනීමට සහ ගැටුම් ඇති වූ විට සබඳතා අලුත්වැඩියා කිරීමට උපකාරී වනවා.

අන් අයට උපකාර කිරීම

අවශ්‍යතා ඇති කෙනෙකුට උපකාර කිරීම, පවුලේ සාමාජිකයෙකුට , පිටස්තර වැඩිහිටියෙකුට හෝ පන්තියේ මිතුරෙකුට උපකාර කිරීම ජීවිතයේ ඕනෑම කාලයකදී ඉතා වටිනා පුරුද්දකි. එය දරුවෙකුට සංවේදනය සහ කරුණාව උගන්වන අතර, දරුවන් තමන්ගෙන් ඔබ්බට සිතීමට සහ පරාර්ථකාමීව අන් අය පිළිබඳව සිතිය යුතු බව ඔවුන්ව හුරු කරවනවා. 

ස්තුති සටහන් ලිවීම

මෙම පුරුද්ද වර්තමානයේ එතරම් සුලභ නොවූවත්, ස්තුති සටහන් ලිවීම කල්පනාකාරී බව වර්ධනය කරන, දරුවන් අනිවාර්යයෙන් හුරු විය යුතු ක්‍රියාකාරකමකි. එය උත්සාහය සහ අගය කිරීම පෙන්නුම් කරන අතර විශේෂයෙන් තෑග්ගක් හෝ කිසිවෙකුගෙන් යම් උපකාරයක් ලැබීමෙන් පසු එවැනි ස්තූති සටහනක් ලබාදීම මගින් යහපත් සබඳතා පවත්වා ගැනීමට මග සලසනවා.ඊට අමතරව මෙම පිළිවෙත දරුවන්ට කෘතඥතාව සහ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීමටද උපකාරී වනවා.

වෙලාවට වැඩ කිරීම

නිසි වේලාවට වැඩ කිරීම අන් අයගේ කාලසටහන් සහ කැපවීම් වලට ගරු කිරීම පෙන්නුම් කරනවා. එම නිසා වෙලාවට වැඩ කිරීමේ වැදගත්කම දරුවන්ට ඉගැන්වීම ඔවුන්ට පාසලේදී සහ අනාගතයේදී ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ විශ්වාසදායක සහ වගකිවයුතු පුද්ගලයන් බවට පරිවර්තනය වීමට ඔවුන්ට උපකාරී වනවා. 

ආචාර විධි යනු දැඩි නීති හෝ යල් පැන ගිය සම්ප්‍රදායන් නොවන අතර එය අන් අය කෙරෙහි ගෞරවය, කරුණාව සහ සැලකිල්ල දැක්වීමේ ගුණාංගයි.මෙම කාලෝචිත වටිනාකම් දරුවන්ට ඕනෑම සමාජ තත්ත්වයක් තුළ පහසුවෙන් සැරිසැරීමට හැකි යහපත් හැසිරීම් ඇති, විශ්වාසවන්ත පුද්ගලයන් බවට පත්වීමට උපකාරී වනවා.

Related Articles

Don't Miss


Latest Articles