“සතුට ඇත්තේ සියලු බැමි අත හරින තැන බව කීවද
ගෑනු ආදරෙ ළඟදි හෙව්වෙ කිසිදිනක අතැර නොයෑමය”
කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනෙක්ව නැතිවෙන්න තියෙන හොඳම විදිය තමයි මරණය හන්දා නැති වෙන එක.
මං එහෙම කිව්වම ඔයාලා නිකන් මහ අමුතු විදියට ඒක දිහා බලන්න පුළුවන්.
ඔයාලා මගෙන් අහන්න පුළුවන් “තමන් ආදරේ කරන කෙනෙක් මැරෙනවා කියන එක නැතිවෙන්න හොඳම විදිය වෙන්නෙ කොහොමද?” කියලා. මරණය කියන්නෙ ශාරීරිකව අපි ඈත්වෙන එකක්. ඒකත් හිතට අරගෙන එන්නේ මාර වේදනාවක්. ඒ උනාට තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා ගියේ රවට්ටලා, වෙන කෙනෙක් එක්ක එක්කහුවෙලා, රණ්ඩුවෙලා, ගැලවෙන්න, නිදහස්වෙන්න බලාගෙන නෙවෙයි කියන එකම අර “ආදරේ කවදාවත් මාව දාලා ගියේ නෑ” කියන ඇශුවරන්ස් එක අපිට දෙනවා.
ඒ කිව්වෙ කෙනෙක් මැරුණම ඒක අන් බෙයාරබල් කියන දේ ඇත්තක්. හැබැයි ඒ වේදනාව පිරිසිඳු වේදනාවක්. ඒ වගේම ඒක ෆයිනල්. ඒක කවදාවත් පරණ වෙලා පණුවො ගහලා, කුණු වෙන්නෙ නැති විදියෙ තුවාලයක් හිත අස්සෙ තියාගෙන ඒක ආය ආය මතක් කරන වේදනා විඳිනවා වගේ කතාවක්. මොකද කොච්චර ලොකු වේදනාවක් ඒ තුවාලෙ හන්දා ලැබුණත්, ඒ වෙන්වීම හන්දා ලැබුණත් ඔයා එක දෙයක් ටක්කෙටම දන්නවා.
ඒ තමයි “එයාලා ගියේ එයාලට යන්න වෙච්ච හන්දා මිසක් යන්න ඕන වෙච්ච හන්දා නෙවෙයි” කියන එක.
අපිට හැම තැනින්ම ඇහෙනවනේ, ‘සතුට තියෙන්නේ බැඳීම් නැති තැන’ කියලා, හැමදේම අතහැරලා නිදහස් වුණාම තමයි නිවන ලැබෙන්නේ කියලා.
ඒක දාර්ශනික වශයෙන් හරිම උසස් කතාවක්.
ඒත් ඇත්තටම අපි කෙනෙකුට හදවතින්ම ආදරය කරද්දි ඔය logic වලට අනුව ඒක කරන්න බෑ කියන එක අපිට තේරෙන්න ගන්නවා. ආදරෙ වගේ සෑහෙනම emotional feeling එකක් ළඟදි අපිව පිස්සු වට්ටන්නේ ‘නිදහස් වීම’ නෙවෙයි, ඊට හාත්පසින්ම වෙනස්, අපිව හිරකරන, ආරක්ෂා කරන ඒ හැඟීම. වෙන හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් වුණත්, හිතට දැනුණු කෙනාගෙන් නිදහස් වෙන්න, එයාලව අතහරින්න අපිට හිතෙන්නේ නෑ. අපේ හිත ඇතුළෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, ඒ බැඳීමෙන් මිදීම නෙවෙයි, ඒ බැඳීම තවත් තද කර ගැනීම.
මේ නිසාම තමයි ලෝකේ දර්ශනත් එක්ක අපේ emotional feelings ගැටිලා ෆිලොසොපියෙන් පොල් ටොෆියට එන්න වෙන්නෙ.
ඇත්තටම ගෑනු ළමයෙක්ගේ හිතේ ආදරේ සම්බන්ධව තියෙන සරලම, ගැඹුරුම බලාපොරොත්තුව මොකක්ද?
ඉර, හඳ, තරු නෙවෙයි. එයාලා ආදරේ ළඟදී හෙව්වේ, හොයන්නෙ, “මොන ප්රශ්නය ආවත්, ඔයා මාව කිසිම දවසක දාලා යන්නේ නෑ” කියන පොරොන්දුව විතරයි. මේක දුර්වලකමක් නෙවෙයි. ඒ වගේම මහ අමුතු, අසාධාරණ ඉල්ලීමකුත් නෙවෙයි. ජීවිතේ අනිත් හැමදේම අස්ථිරයි, අද තියෙන දේ හෙට නෑ. හැබැයි ඒ හැම දෝලනයක් මැද, ආදරය කියන එක අපි වෙනුවෙන් ඉඳීවි, අපිව පරිස්සම් කරාවි, සනසාවි, සරසාවි කියලා එයාලා හිතනවා. ඒ ආදර බන්ධනය ඇතුළේ එයාලා ඉල්ලන්නේ ස්ථාවරත්වය. ඒක තමයි එයාලගෙ සතුට. තමන්ගේ ජීවිතේ අන්තිම නැවතුම් පොළ තමයි මේ කියලා දැනෙන එක. ඒ බය නැති කරලා දාන්න, ‘මම හැමදාම ඔයා ළඟ ඉන්නවා’ කියන සහතිකය එයාලා ඉල්ලනවා.
හැබැයි මේ සරල ඉල්ලීම මහ වේදනාවක් වෙන්නෙ මෙතනින් එක්කෙනෙක්ට ගැලවෙන්න, නිදහස් වෙන්න උවමනා වෙච්ච දවසට.
කවුරු හරි කෙනෙක් “මට මේ බැඳීමෙන් නිදහස් වෙන්න ඕනේ. මේ බැඳීම් ඔලුවට මහ බරක්” කියලා කිව්වම, සම්බන්ධයෙන් එළියෙ ඉන්න කෙනෙක්ට ඒක ඇහෙන්නේ හරිම උසස්, දාර්ශනික දෙයක් වගේ තමයි. ඒත් ඇත්තටම ඒ කතාව පිටුපස්සේ තියෙන්නේ, “මට මේ වගකීම, මේ බැඳීම දරන්න බෑ. මම ඔයාව දාලා යනවා, මට ඔයාව තවදුරටත් එපා” කියන වේදනාව කියන එක දන්නෙ ඒ relationship එකෙ අනිත් පැත්තෙ රැඳිලා ඉන්න කෙනා තමයි. එතකොට තමයි අපි රැවටුණා කියලා හිත කඩන් වැටෙන්නේ. මුළු ලෝකෙම “ර ලොකු දෙයක් විදිහට කිව්ව ‘නිදහස’ කියන එක, අපිට ‘කවුරු හරි දාලා යන්න හදනවා’ කියන වේදනාව බවට පත් වෙන්නෙ. තමන්ගේ හිතේ තියෙන අවිනිශ්චිතතාව සහ වගකීම් විරහිතකම වහගන්න ‘නිදහස’ කියන ලස්සන වචනය පාවිච්චි කරලා අපේ ආදරේ එක්තරා විදියටකට මෙතනදි පාවාදීමකට face කරනවා.
“මං විතරයි එයාට ආදරේ කරලා තියෙන්නෙ, එයා මට ආදරේ කරලා නෑ” කියලා ගොඩක් අය කියන්නෙ අන්න එතනදි.
අපිට එතනින් පස්සෙ ජීවිතේ හැමදේකටම face කරන්න වෙන්නෙ පොඩි shock එකක් එක්ක. මුලින්ම හිතෙනවා, ‘ආයෙත් කවදාවත් බැඳීම් ඇතිකරගන්නෙ නෑ’ කියලා. ඒත් ඇත්තටම කාලයත් එක්ක අපි ඉගෙන ගන්නවා අපි කරන්න ඕන “බැඳීම් ඇති නොකරගන්න එක” නෙවෙයි තමන්ට වටිනාකමක් දෙන “බැඳීම් තෝරගන්න එකයි කියලා. අපි හොයාගන්නවා ආදරයේ සැබෑ සතුට තියෙන්නේ අතහැරීමේ නෙවෙයි, කිසිදා අත නොහරින ශක්තිමත් බැඳීමක් හදාගන්න පුළුවන් තැනයි කියලා. ආදරය කියන්නේ නිදහස නැති කරන එක නෙවෙයි. අපි හැමෝටම ඉන්නෝන කෙනෙක් ලෝකෙ එක්ක මොන යුද්ධෙ කරලා ආවත් අපිව දරාගන්න, තුරුලුකරගන්න. ඒ බැඳීමෙන් තමයි අපේ ආත්ම විශ්වාසය හදන්නේ.
ඒ නිසා, ගෑනු ආදරේ ළඟදී ඉල්ලපු ඒ කිසිදා අතැර නොයෑම කියන එක, නිකම්ම ඉල්ලීමක් විදියට සලකන්න හොඳ නෑ.
අපි ආදරේ ළඟදී ඉල්ලපු ස්ථාවරත්වය අපිට නොලැබීම කියන වේදනාව, අපි ‘බොරුවක්’ විදියට කියන්න, දකින්න ඕනේ නෑ. ඒ දුක ඇත්තක්. ඒකෙන් අපිව ගලවගන්න ‘මට තනියම පුළුවන්’ කියන වචනය විතරක් ඇති වෙන්නේ නෑ.
මුලින්ම ඒ වේදනාවට අවසර දෙන්න ඕනේ.
ඒ දාලා යෑම අපේ වැරැද්දක් නෙවෙයි කියලා අපි අපේ හිතටම තේරුම් කරලා දෙන්න ඕනේ.










