ඒ1997 නොවැම්බර් මාසේ හැන්දෑවක්
ෆ්ලොරිඩාවල ලැන්ටානා පැත්තේ නයිට් ක්ලබ් එකකට ගිහින් සින්දුවක් අහලා, ඩ්‍රින්ක් එකක් දාලා පොඩි ආතල් එකක් ගන්න ආපු මේ 40 හැවිරිදි මනුස්සයා ක්ලබ් එකෙන් එලියට බැස්සේ රෑ බෝවෙලා.
පොලිස් වාර්තා කියන විදිහට එයා ඒ හැටි වෙරිමරගාතේ ඉඳලත් නැහැ. නයිට් ක්ලබ් එකෙන් එලියට එන්න කලින් එයා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කෝල් එකක් දීලා තියෙනවා.
“මම දැන්ම ගෙදර එනවා” ඒක තමයි එයා කිව්ව අන්තිම වචන ටික.
හැබැයි එයා කවදාවත් ගෙදර ආවේ නැහැ!
ඇත්තටම ඒ දුරකථන ඇමතුම තමයි මුළු ලෝකයාටම එයාගේ කටහඬ අහන්න ලැබුණු අන්තිම වතාව.
දවස් ගෙවිලා සති බවට පත් වුණා. සති මාස වෙලා, මාස අවුරුදු ගාණක් බවට පත්වුණා. පොලිස් නිලධාරීන් එක එක හෝඩුවාවන් පස්සේ පන්නලා බැලුවා, සැකකටයුතු හැමෝගෙන්ම ප්‍රශ්න කළා, හැම පැත්තක්ම පීරලා හෙව්වා.
ඒත්…
පණපිටින් හිටපු මනුස්සයෙක් එකපාරටම පොළොව පලාගෙන අපායට ඇදගෙන ගියා වගේ කිසිම සලකුණක් නැතුව එහෙම අතුරුදන් වුණේ කොහොමද කියන්න එකම එක උත්තරයක්වත් කාටවත් තිබුණේ නැහැ.
කාලයත් එක්කම මේක ඇමරිකාවේ විසඳන්න බැරි වුණු, අගක් මුලක් නැති අතුරුදන්වීම් ලැයිස්තුවටම එකතු වෙලා හැමෝටම අමතක වෙලාම ගියා.
හරියටම අවුරුදු 22ක් තිස්සේ විලියම් මෝල්ඩ්ට් (William Moldt) කියන මේ මනුස්සයා මේ මහ පොළොවෙන් සදහටම අතුගෑවිලා ගියා වගේ තමයි හැමෝටම පෙනුණේ.
ඔන්න ඊටපස්සේ, 2019 අවුරුද්දේ තමයි හිතාගන්නවත් බැරි පුදුම සහගත දෙයක් වුණේ.
ෆ්ලොරිඩාවේ වෙලින්ටන්වල ග්‍රෑන්ඩ් අයිල්ස් කියන තමන් ඉස්සර පදිංචි වෙලා හිටපු ප්‍රදේශය, එක්තරා පුද්ගලයෙක් නිකමට වගේ Google Earth එකෙන් බලබලා ඉඳලා තියෙනවා. එයා තමන්ට හුරුපුරුදු මේ පළාත zoom කර කර බලද්දී, එකපාරටම එයා හරි අමුතු දෙයක් දකිනවා.
ඒ තමයි ඒ ළඟ තිබුණු වැවක් ඇතුළේ මොකක් හරි වාහනයක් ගිලිලා තියෙනවා වගේ කියන එක.
මුලින්ම බලද්දී නම් ඒක වතුර යට තියෙන අපැහැදිලි හැඩයක් විතරයි. හැබැයි මේ ගැන ඇතිවුණු කුතුහලය නිසාම, එයා ඒ වැව කිට්ටුව දැනට පදිංචි වෙලා ඉන්න ගෙදරක කෙනෙකුට කතා කරලා තමන් දැකපු මේ අමුතු දේ ගැන කිව්වා.
මේ ගෙදර අයිතිකාරයා නිකන් ඉන්න හැදුවේ නැහැ, වැඩේ ඇත්ත නැත්ත හොයලා බලන්න තීරණය කළා.
එයා ඩ්‍රෝන යානයක් අරන් වැව උඩින් යවලා බැලුවා. සැටලයිට් පින්තූරෙන් දැකපු දේ 100%ක්ම ඇත්තක් කියලා එයාට තහවුරු කරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
වැව ඉවුර අයිනට වෙන්න වතුර යට සුදු පාට කාර් එකක් පැහැදිලිවම ගිලිලා තියෙනවා කියලා ටක්කෙටම තහවුරු කරගන්න ඒ අනුව මේ දෙන්නට පුළුවන් වෙනවා.
මේක දැකපු සැනින් එයා පමාවෙන්නේ නැතුව වහාම පොලිසිය දැනුවත් කරනවා.
පොලිස් නිලධාරීන් එතනට ඇවිත් සෑහෙන උත්සාහයකින් පස්සේ මේ වාහනය වතුරෙන් උඩට ගොඩගන්නවා.
අන්න එතකොට තමයි ඒක ඇතුළේ තිබිලා සිරුර කිලිපොලා යන දසුනක් දැකගන්න ලැබෙන්නෙ.
අවුරුදු ගාණක් වතුර යට තිබිලා හොඳටම දිරාපත් වෙලා, පාසි බැඳිලා තිබුණු ඒ කාර් එක ඇතුළේ මනුස්සයෙකුගේ ඇටසැකිල්ලක් තිබුණා!
ෆොරන්සික් පරීක්ෂණවලින් පස්සේ, ඒ මළසිරුර කාගේද කියලා පොලිසිය ස්ථිරවම තහවුරු කරගත්තා.
දන්නවද ඒ වෙන කවුරුත් නෙවෙයි
විලියම් මෝල්ඩ්ට්!

අවුරුදු 22කට කලින් කිසිම හෝඩුවාවක් නැතුව මහපොළොවෙන් අතුරුදන් වුණා කියපු මනුස්සයා, මේ මුළු කාලය පුරාම හිටියේ තමන් හැමදාම දැකපු ඒ වැව ඇතුළේ කියලා විශ්වාස කරන්න අමාරු උනත් විශ්වාස කරන්න හැමෝටම ඒ සාක්ෂිය එක්ක සිද්ද වුණා.
මේ හෙළිදරව්වෙන් පොලිස් පරීක්ෂකවරු පවා හොල්මන් වෙලා ගියා. හැබැයි ඒ හැමදේටම වඩා පුදුම හිතෙන, ඒ වගේම හිතාගන්න බැරි කතාවක් ඊටපස්සේ මතු වුණා.
ඒ තමයි මේ කියන කාර් එක වතුර යට තියෙනවා Google Earth සැටලයිට් පින්තූරවල අවුරුදු ගාණක ඉඳන් පැහැදිලිවම පෙනෙන්න තිබිලා තියෙනවා කියන එක. ඒත් 2019 ඒ මොහොත වෙනකම්ම ලෝකේ කිසිම කෙනෙක් ඒක දැකලා නැහැ කියන එක.
පොලිස් නිලධාරීන් කියන විදිහට, මේ ඛේදවාචකයට හේතුව හිතනවාට වඩා හරිම සරලයි.
එදා රෑ ගෙදර යන අතරතුර විලියම්ට අධික නිදිමතක් එන්න ඇති, නැත්නම් එයාට වාහනය පාලනය කරගන්න බැරි වෙන්න ඇති. ඒ කාලේ ග්‍රෑන්ඩ් අයිල්ස් නිවාස ව්‍යාපෘතියේ වැඩ තවම ඉවර වෙලා තිබුණේ නැහැ. වැව හදලා තිබුණට, ඒ වටේට හරියට පාරවල්, ආරක්ෂිත වැටවල්, හරිහමන් ලයිට් කණු කිසිම දෙයක් තිබිලා නැහැ. කළුවරේම පාරෙන් ලිස්සලා ගිහින් වැවට වැටුණු වාහනය අවුරුදු 22ක් යනකම්ම කාටවත් නොපෙනී වතුර යටම සැඟවිලා තිබුණා කියලා හිතනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් පොලිසියට හිතාගන්න පුළුවන් වෙන්නෙ නෑ.
කළුවර මහා රෑ, පාරෙන් එළියට පැනපු එයාගේ වාහනේ කෙළින්ම ගිහින් වැටෙන්න ඇත්තේ ඒ වැව ඇතුළට.
වතුර මතුපිටින් යට වෙලා, නිශ්චලව තිබුණු ඒ වතුර යට කාර් එකයි, ඒකේ රියදුරයි දෙන්නම දශක දෙකකට වඩා වැඩි කාලයක් කාටවත්ම නොපෙනී සැඟවිලා හිටියා.
ගොඩබිම ඉඳන් බලන කෙනෙකුට වැවේ කිසිම වෙනසක් හෝ අමුත්තක් පෙනෙන්න තිබුණේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ඒ අවට මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වුණා. තමන්ගේ ගෙවල්වලට මෙන්න මෙච්චර කිට්ටුවෙන්, අතුරුදන් වුණු මනුස්සයෙක්ගේ අවසාන නවාතැන තියෙනවා කියලා කවුරුත්ම හීනෙකින්වත් හිතුවේ නැහැ.
“අවුරුදු 22ක් පරණ මිනියක් මේ වතුර යට තියෙයි කියලා මම කීයටවත් විශ්වාස කළේ නැහැ,” මේ ඇත්ත දැනගත්තට පස්සේ ඒ අසල පදිංචි වෙලා හිටපු කෙනෙක් පස්සෙ පුදුමයෙන් ප්‍රකාශ කරලා තිබුණා.

විලියම් මෝල්ඩ්ට්ගේ පවුලේ අයට මේ සොයාගැනීමත් එක්ක දරාගන්න බැරි දුකක් වගේම ලොකු කම්පනයක් ඇති වුණා. හැබැයි ඒත් එක්කම, අවුරුදු 22ක් තිස්සේ තමන්ගෙන් උදුරාගෙන තිබුණු එකම එක දෙයක් එයාලට ආපහු ලැබුණා.
ඒ තමයි, මෙතෙක් කල් එයාලගෙ හිතට වද දුන් ප්‍රශ්න වැලට ලැබුණු අවසාන පිළිතුර!
ඔව්, හැමදාම හිතට වද දුන්නු ප්‍රශ්නවලට අවසානයේ පිළිතුරු ලැබුණා
දශක ගණනාවක් තිස්සේ එයාලව හොල්මන් කරපු, හිත රිද්දපු ඒ අභිරහස අවසානයේ විසඳුණා. හැබැයි ඒ අලුත් සාක්ෂිකරුවෙක් නිසාවත්, කවුරුහරි කරපු පාපොච්චාරණයක් නිසාවත්, නැත්නම් පොලිසියේ අති නවීන පරීක්ෂණ ක්‍රම නිසාවත් නෙවෙයි.
ඇදහිය නොහැකි විදිහට මේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළේ පරිගණකයක් ඉස්සරහා වාඩි වෙලා, Google Earth එකෙන් තමන්ගේ පරණ ගම බලබලා හිටපු සාමාන්‍ය මනුස්සයෙක්.
වැවක් පතුලේ, වතුර යට අවුරුදු ගාණක් සැඟවිලා තිබුණු අමතක වෙලා ගිය කාර් එකක්
අවසානයේ සොයාගත්ත අතුරුදන් වුණු මනුස්සයෙක්
මුළු ලෝකයටම අවුරුදු 22ක් තිස්සේ නොපෙනී තිබුණු මහා අභිරහසක්
තාක්ෂණයේ දියුණුව, එදා ඉඳන්ම එතන තිබුණු ඒ බිහිසුණු ඇත්ත ලෝකය ඉස්සරහා නිරාවරණය කරලා දෙනකම්ම ඒ හැමදේම වැව පතුලේම නිහඬවම වැතිරිලා තිබුණා කියන එක විශ්වාස කරන්න පුළුවන්ද?











