මනුස්ස ඇස්වලට ලේසියෙන් අහුවෙන්නේ නැති, හිමාල කඳු වැටි අතරේ මීදුමෙන් වැහුණු මාරම ගුප්ත නගරයක් තිබ්බා.
ඒ නගරෙට මිනිස්සු කිව්වෙ නීලගිරි කියලා. මේ නගරයේ කෙළවරක, කවුරුත් යන්න බයවෙච්ච අද්භූත නීල මාලිගාව පිහිටලා තිබුණා. ඒ මාලිගාවේ තිබ්බ හැම දොරක්ම, හැම ජනේලයක්ම මාරම අමුතු, තද නිල් පාට ගලින් නිමවලා, අත්භූත කැටයම්වලින් පුරවලා තිබ්බේ. ඒ නිල් පාට ද්වාරයන් දකිද්දීම ඕනම කෙනෙක්ගේ ඇඟ කිලිපොලා යන ගුප්ත බවක් දැනෙනවා. හැබැයි මේ හැම දේකටම වඩා ඒ මාලිගාවේ තිබ්බ ලොකුම අභිරහස වුණේ, හැමදාම හවසට ඒ මාලිගාවේ උඩ තට්ටුවේ තියෙන නිල් පාට කැටයම් කවුළුවෙන් එබිලා අහස දිහා බලන් ඉන්න මාරම ලස්සන කෙල්ලකගේ රූපය.
එයා නමින් මීරා.
හැබැයි එයා සාමාන්‍ය මනුස්ස ලෝකයේ කෙල්ලෙක් නෙවෙයි. එයා ඇත්තටම දිව්‍ය ලෝකයේ ජීවත් වුණු, මුළු ශරීරෙම රත්තරන්පාටින් බැබළුණු, මාරම බලගතු මායාකාරී මයුර-හංස පක්ෂියෙක්. දවසක් මීරා නිදහසේ අපේ ලෝකෙ උඩින් පියඹාගෙන යද්දී, පහළ හිටපු දරුණු දඩයක්කාරයෙක් එයාට විෂ ඊතලයකින් විදිනවා. ඒ විෂ පාරෙන් පණ බේරගන්න බැරුව අහසින් වැටෙන මීරා, කෙලින්ම ඇවිත් වැටෙන්නේ මේ නීල මාලිගාව ඇතුළටයි.
ඒ මාලිගාවේ ජීවත් වුණේ මුළු පළාතම තමන්ගේ අණසකට ගත්තු, මාරම කපටි වගේම මහා බලගතු මන්තරකාරයෙක්. අහසින් වැටුණු මේ දිව්‍යමය රන් කුරුල්ලව දැක්ක ගමන් මන්තරකාරයාගේ හිතේ ඇති වුණේ මහා ලොකු කෑදරකමක්. මීරා සතු වෙච්ච ඒ දිව්‍යමය බලය සදහටම තමන්ගේ යටතට ගන්න හිතපු මන්තරකාරයා, මීරා ජීවතුන් අතර ඉද්දීම එයාගෙ මුළු ඇඟේම තිබ්බ රන්වන් පිහාටු එකින් එක මාරම නපුරු විදියට ගලවන්න ගත්තා. ඒ හැම පිහාටුවක්ම ගලවද්දී මීරා වේදනාවෙන් විලාප දුන්නත්, ඒ කිසිම දෙයක් ඇහුණෙ නෑ වගේ මන්තරකාරයා ඒ හැම රන් පිහාටුවක්ම එකතු කරලා මන්තර බලයෙන් මහා ලොකු සළුවක් වියන්න ගත්තා.
තමන්ගේ දිව්‍යමය රන් පිහාටු සේරම නැතිවුණාම, මීරාට තමන්ගේ කුරුලු රූපය අහිමි වෙලා, එයා මාරම අහිංසක, ලස්සන මනුස්ස කෙල්ලෙක් බවට පත්වුණා. මන්තරකාරයා තමන් වියපු ඒ රන්වන් තිත් වැටුණු සළුවෙන් මීරාගේ මුළු ඇඟම වහලා, එයාට මාරම දරුණු ශාපයක් කරා. ඒ ශාපය නිසා මීරාට සදහටම මනුස්ස කෙල්ලෙක් විදියට මේ නිල් පාට කැටයම් කවුළුව ඇතුළේ හිරවෙලා ඉන්න සිද්ධ වුණා.එයාට ඒ නිල් කැටයම් ජනෙලෙන් එක අඩියක්වත් එළියට තියන්න බැහැ. එහෙම තිබ්බොත් මන්තර බලයෙන් එයා සම්පුර්ණයෙන්ම ගොළුවෙලා ඒ නිල් මාළිගාවෙ සදාතකින හිරකාරියක් බවට පත්වෙනවා.
හැමදාම ඉර බැහැන් යන වෙලාවට, මීරා තමන්ගේ ඒ ලොකු ඇස් දෙකෙන් මහා පාලු හුදකලාවක, වේදනාවක කතාවක් කියමින් අර නිල් කවුළුවෙන් එබිලා පිටත බලාගෙන ඉන්නවා. එයාගේ කොණ්ඩේ ගහලා තිබ්බ සුවඳ මලුයි, මුළු ඇඟම වහගෙන තිබ්බ රන්වන් සළුවයි එයාට මතක් කරලා දුන්නේ තමන්ගේ නැතිවුණු දිව්‍ය ලෝකය සහ පියාපත් ගැන. එයා ඒ නිල් පාට හිර ගේ ඇතුළේ හිරවෙලා, තමන්ගේ නැතිවුණු නිදහස වෙනුවෙන් නිහඬවම කඳුළු වැක්කුරුවා. හැබැයි මේ සාපෙන් තමන්ව ගලවගන්න කවුරු හරි එයිද කියලා එයා හීනෙකින්වත් දැනන් හිටියේ නැහැ. බලාපොරොත්තු වුණෙත් නැහැ.
කාලය අවුරුදු, දශක ගණනාවකින් ඉස්සරහට ඇදිලා යද්දී, මීරා අර නිල් පාට ගල් කුඩුව ඇතුළේම වයසට නොයන සිරකාරියක් වෙලා ඉතිරි වුණා. වලව්වේ නිල් කැටයම් කවුළුවෙන් එබිලා බලන එයාගේ ඒ බෝල ඇස් දෙක, මුළු නීලගිරි නගරයම මාරම ගුප්ත බයකින් තිගැස්සෙව්වා. මන්තරකාරයාගේ බලපුළුවන්කාරකමයි, ශාපයට තියෙන බයයි හින්දා වලව්ව පැත්ත පළාතකටවත් කිසිම මනුස්සයෙක් ආවේ නැහැ. හැමෝම හිතුවේ ඒ නිල් ජනේලෙන් එබෙන්නේ මිනිස්සුන්ව බිලිගන්න ඉන්න මහා මූසල යක්ෂණියක් කියලා.
හැබැයි ඔය අතරේ, නගරයේ කෙළවරක ජීවත් වුණු අනන්‍යා කියලා මාරම අහිංසක, දුප්පත් කෙල්ලෙක්ට මන්තරකාරයාගේ මාලිගාවේ කුස්සියේ වැඩට එන්න සිද්ධ වෙනවා. අනන්‍යා කියන්නේ කාටවත් කරදරයක් නැති, හිත හොඳ කෙල්ලෙක්. මාලිගාවට ආපු මුල්ම දවසේ ඉඳන් අනන්‍යාගේ හිත ගියේ අර නිල් කවුළුවෙන් බලාගෙන ඉන්න අභිරහස් රූපය කවුද කියලා දැනගන්න. හැමෝම එයාට බය වෙලා ශාප කරද්දී, අනන්‍යා විතරක් ඒ ඇස් දෙක ඇතුළේ තිබ්බ මහා ලොකු අසරණකම, පාලුව වගේම දරාගන්න බැරි වේදනාව මාරම හොඳට දැක්කා.
ටික දවසක් යද්දී මේ දෙන්නා අතරේ වචනවලින් නොවුණත්, මාරම ගැඹුරු නිහඬ යාලූකමක් ඇති වුණා. අනන්‍යා ඉඳ හිටක එයාට ඔය මාළිගාවෙ වත්ත පිරිසිදු කරන්න අවස්තාව හම්බුණාම ජනේලෙ දිහා උඩ බලලා හිනාවෙද්දී, මීරාත් තමන්ගේ රන්වන් සළුව අස්සෙන් මූණ පෙන්නලා පුංචි හිනාවකින් අනන්‍යාට සංග්‍රහ කරා. මීරාට තියෙන ආදරේ හින්දාම අනන්‍යාට ඕන වුණා කොහොම හරි එයාව මේ හිරගෙයින් නිදහස් කරන්න.
දවසක් හවස, මන්තරකාරයා මාලිගාවේ නැති වෙලාවක අනන්‍යා රහසින්ම එයාගේ අද්භූත පුස්තකාල කාමරයට රිංගුවා. ඒකෙ තිබ්බ දූවිලි ගෑවිච්ච, පරණ මන්තර පොත් පෙරළලා බලද්දී තමයි අනන්‍යාට මීරාගේ මේ සාපෙ ගැන සේරම විස්තර හොයාගන්න ලැබුණේ. පොතේ ලියවිලා තිබ්බ රහස දැකලා අනන්‍යාගේ ඇඟම කිලිපොලා ගියා.
මීරා පොරවන් ඉන්න මේ රන්වන් තිත් වැටුණු සළුව සාමාන්‍ය එකක් නෙවෙයි, ඒක එයාගෙම දිව්‍යමය පිහාටුවලින් වියපු එකක්. මේ සළුවේ තියෙන රන් නූල් එකින් එක ලෙහුවොත්, ඒ හැම නූලක්ම ආයෙමත් රන් පිහාටුවක් වෙලා මීරාගේ ඇඟට බද්ධ වෙනවා. හැම නූලක්ම ලෙහෙද්දී එයාට තමන්ගේ පරණ දිව්‍යමය කුරුලු රූපය ආයෙමත් ලැබෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මන්තරකාරයාට හොරෙන්, පිරිසිදු හිතක් තියෙන මනුස්සයෙක් තමන්ගේම පිරිසිදු මිනිස් ලේ බිංදු ඒ රන් නූල් උඩට වත් කරලා, මන්තරේ බිඳලා විතරයි.
“මම කොහොම හරි ඔයාව නිදහස් කරනවා මීරා” අනන්‍යා තමන්ගේ හිතින් ස්ථිරවම ගිවිසගත්තා. මන්තරකාරයාගේ දරුණු දඬුවම් ගැන වගේම තමන්ගේ ජීවිතයට වෙන අනතුර ගැනවත් නොහිතපු අනන්‍යා, එදා රෑ මන්තරකාරයා නින්දට යනකම් බලාගෙන හිටියේ මීරාගේ නිදහසේ දොරටුව අරින්න. හැබැයි ඒ මායාවේ සාපෙ පිටිපස්සේ තමන්ගේ ජීවිතයම සදහටම අඳුරේ ගිල්වන මහා දරුණු ඉරණමක් ලියවිලා තියෙනවා කියලා අනන්‍යා හීනෙකින්වත් දැනන් හිටියේ නැහැ.
එදා රෑ මුළු නීලගිරි පළාතම මහා කලුවර මීදුමකින් වැහිලා තිබ්බා. මන්තරකාරයා තමන්ගේ කාමරේ තද නින්දට වැටෙද්දීම, අනන්‍යා මාරම හෙමින්, හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්නේ නැති වෙන්න නිල් පාට කැටයම් කවුළුව ළඟට කිට්ටු වුණා. මීරා වෙනදා වගේම තමන්ගේ මහා ලොකු ඇස් දෙකෙන් බලාගෙන හිටියේ මාරම බයකින්. අනන්‍යා තමන්ගේ අතේ තිබ්බ තියුණු පිහියෙන් තමන්ගේම ඇඟිල්ලක් මාරම වේදනාවකින් කපාගත්තා.
එයාගෙ ඇඟිල්ලෙන් ගලාගෙන ආපු පිරිසිදු ලේ බිංදු, මීරා පොරවන් හිටපු රන්වන් සළුවේ මුල්ම නූල උඩට වත් කරද්දීම මුළු කාමරේම නිල් පාට ආලෝකයකින් පිරුණා. ඒත් එක්කම ඒ රන් නූල සළුවෙන් ගැලවිලා, ආයෙමත් ලස්සනම ලස්සන රන්වන් පිහාටුවක් වෙලා මීරාගේ ඇඟට බද්ධ වුණා. මීරාගේ මූණට මාරම සැනසීමක් එද්දී, අනන්‍යා තමන්ගේ වේදනාව අමතක කරලා හිනාවුණා.
ඔය විදියට හැමදාම රෑට මන්තරකාරයාට හොරෙන් අනන්‍යා තමන්ගේ ඇඟිලි කපාගෙන, ඒ ලේ බිංදුවලින් රන් සළුවේ නූල් එකින් එක ලෙහන්න ගත්තා. දවස් ගාණක් තිස්සේ තමන්ගේ ඇඟේ ලේ දීම නිසා අනන්‍යා මාරම විදියට සුදුමැලි වෙලා, පණ නැති වෙලා, ඇවිදගන්නවත් බැරි තරමට දුර්වල වුණා. හැබැයි මීරාගේ ඇඟ වටේට ආයෙමත් ලස්සන රන්වන් පියාපත් මතු වෙනවා දකිද්දී අනන්‍යාට තමන්ගේ ජීවිතේට වඩා ලොකු සතුටක් ඒවා දැකලා දැනුණා.
අන්තිම දවසේ රෑ, සළුවේ ඉතිරි වෙලා තිබ්බේ එකම එක අවසාන රන් නූල විතරයි. අනන්‍යා මාරම අමාරුවෙන්, තමන්ගේ අවසන් ලේ බිංදු කිහිපය ඒ නූල උඩට හැලුවා. ඒත් එක්කම මුළු වලව්වම දෙදරුම් කවමින් මහා විශාල, දිව්‍යමය රන්වන් ආලෝක ධාරාවක් අහසට විහිදිලා ගියා.
මීරා සදහටම මනුස්ස ශාපයෙන් මිදිලා, ආයෙමත් අර දිව්‍ය ලෝකෙන් ආව ලස්සන මයුර-හංස පක්ෂියා බවට පත්වුණා.එයා තමන්ගේ අලුත් පියාපත් විහිදුවලා, නිල් කවුළුවෙන් මිදිලා නිදහස් අහසට පියඹලා ගියේ මාරම සතුටින්.
හැබැයි ඒත් එක්කම, ඒ මායාවේ තිබ්බ මහා දරුණු ශාපය ක්‍රියාත්මක වුණා. මීරාගේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරපු හින්දා, අනන්‍යාගේ කටහඬ සදහටම ගොළු වෙලා, එයාගෙ ඇඟ සම්පූර්ණයෙන්ම ගල් වෙලා පණ නැති වුණා. මීරා නිදහස් වෙලා යද්දී, අනන්‍යා සදහටම ගොළු වුණු, අසරණ වුණු සිරකාරියක් විදියට අර නිල් පාට කැටයම් කවුළුව ඇතුළේ හිරවුණා.
අන්තිමේදී, මන්තරකාරයාගේ ශාපය තමන්ගේ ඇඟට අරන් අනන්‍යා ඒ නිල් කැටයම් ජනේලෙන් අසරණ වෙලා එළිය බලාගෙන ඉද්දී, අහසේ පියඹන මීරා හැමදාම රෑට තමන්ගේ පණ බේරගත්ත යාළුවා වෙනුවෙන් වලව්ව උඩින් රන් තරුවක් වෙලා පායන්න ගත්තා.











