ඔන්න එකමත් එක ඈත අතීතෙක, රාජස්ථාන්වල කාන්තාරයක්ම බයෙන් වෙවුලවපු, මිනිස්සු යන්න පවා බය වෙච්ච කුල්දරා කියලා මූසල, පාලු මාලිගාවක් තිබ්බා. ඒ මාළිගාව වටපිටාවෙ තිබ්බේ මහා මල පාලු ගතියක් වුණත්, මේ පාලු මාලිගාවේ ඉස්තෝප්පුව උඩ හැමදාම හවසට දකින්න ලැබෙන එකම එක මාරම ලස්සන, අභිරහස් දර්ශනයක් තිබුණා.
ඒ තමයි මෝහිනී.
එයා ඇඳලා හිටියේ හරියට අහසේ පායන ඉර එළිය වගේ දිලිසෙන, රත්තරන් කහ පාට සාරියක්. හැමදාම එයාගේ කොණ්ඩ කණ ළඟින් හිරකරලා ගැට ගහලා තිබ්බේ පුදුමාකාර සුවඳක් වටේටම විහිදුවන, කවදාවත් පරවෙන්නේ නැති සුදු පාට මලක්. මෝහිනී හැමදාම කිසිම කතාවක් බහක් නැතුව, මාරම සන්සුන් විදියට කාන්තාරයේ ඈත ක්ෂිතිජය දිහා බලාගෙන පැය ගණන් වාඩි වෙලා හිටියා. එයාගෙ ඒ අහිංසක, නිස්කලංක පෙනුම දැක්කම ඕනම කෙනෙක්ට හිතෙන්නේ එයා මේ මාලිගාව අස්සේ අතරමං වුණු, කාත් කවුරුවත් නැති අනාථ වුණු කෙල්ලෙක් කියලා. එයාගෙ ඇස්වල තිබ්බේ මහා ලොකු අසරණකමක්. කවුරු හරි දැක්කොත් හිතෙන්නේ මුළු ලෝකෙන්ම වද විඳලා, අන්තිමට හැංගෙන්න තැනක් නැතුව මේ පාලු මාලිගාවට වෙලා ඉන්න මහ කාලකණ්ණි කෙල්ලෙක් කියලා.
ඔය අතරේ ඒ පළාතේ හිටියා වික්‍රම් කියලා මාරම දරුණු, ඒ වගේම සල්ලි බලය තියෙන දඩයක්කාරයෙක්. මිනිහෙක්ටවත් බය නැති, ඕනම දරුණු සතෙක්ව තමන්ගේ කකුල් දෙක ළඟ දණගස්වන්න පුළුවන්කම තිබ්බ වික්‍රම්, දවසක් දඩයමේ යද්දී තමයි මාලිගාවේ ඉස්තෝප්පුව උඩ ඉන්න මෝහිනීව දකින්නේ. ඒ දැක්ක පළවෙනි තත්පරේම වික්‍රම්ගේ හිත ඇතුළේ ඇති වුණේ මහා ලොකු තණ්හාවක්. එයා දැක්කා මෝහිනීගේ තියෙන අහිංසකකම, වචනයක්වත් කතා නොකර බිම බලාගෙන ඉන්න ඒ නිහඬ, නිස්කලංක බව. වික්‍රම් හිතුවා මේ වගේ නිහඬ, ලෝකෙට බයෙන් හැංගිලා ඉන්න කෙල්ලෙක්ව තමන්ගේ කරගත්තොත් තමන්ට ඕන විදියට නටවන්න, තමන්ගේ කකුල් දෙක ළඟ දාලා පාගගෙන ඉන්න මාරම ලේසි වෙයි කියලා. එයාට ඕන වුණේ මේ කෙල්ලව තමන්ගේ මාලිගාවේ තවත් එක වහලෙක් කරගන්න. තමන්ගෙ ජීවිතේ අස්සෙ අග බිසව කියන නම දීලා යටත් කරගෙන ඉන්න.
වික්‍රම් මාරම රළු විදියට මෝහිනී ළඟට කිට්ටු වුණා. එයාගේ අතේ තිබ්බ දඩයම් පිහිය දිලිසෙද්දී, වටපිටාවේ හිටපු සත්තු පවා බයේ හැංගුණා. හැබැයි මෝහිනී වික්‍රම්ව දැකලත් කෑගැහුවේවත්, බය වෙලා අඬන්න ගත්තේවත් නැහැ.
“උඹ කාගේ කවුද කියලා මට වැඩක් නැහැ. අද ඉඳන් උඹ අයිති මට! මං කියන විදියට මගේ පස්සෙන් වරෙන්” වික්‍රම් මාරම නපුරු විදියට, අණ දෙන කටහඬකින් කියද්දී මෝහිනී කරේ මාරම නිහතමානී විදියට, තමන්ගේ දිග ඇස් දෙක බිමට හරවාගෙන වික්‍රම් කියන හැම දේටම එකඟ වුණා වගේ නිශ්ශබ්දව හිටපු එක විතරයි. එයා හීන් සැරේ වික්‍රම්ගේ පස්සෙන් ඇවිදගෙන යන්න ගත්ත හරියට වික්‍රම් කිව්ව දේට එකඟ වුණා වගේ.
වික්‍රම් හිතින් මාරම සන්තෝස වුණා. එයා හිතුවා තමන්ගේ තියෙන බලපුළුවන්කාරකම් සහ දරුණු පෙනුම ඉස්සරහා මේ අසරණ කෙල්ල සම්පූර්ණයෙන්ම ගැහෙන්න පටන් අරන් කියලා. තමන්ගේ දඩයම් ජීවිතේ දිනාගත්තු තවත් එක ලස්සනම ලස්සන සතෙක් කියලා හිතලා වික්‍රම් මෝහිනීව තමන්ගේ මහගෙදරට කැන්දන් ආවේ මාරම ආඩම්බරයකින්.
හැබැයි ඒ හැමදේම දිහා මෝහිනී බලාගෙන හිටියේ පුදුමාකාර සන්සුන්කමකින්. එයාගෙ නිශ්ශබ්දතාවය ඇතුළේ මොකක් හරි අමුතුම අභිරහසක් හැංගිලා තිබ්බා. හැබැයි ඒක වික්‍රම්ට පොඩ්ඩක්වත් තේරුණේ නෑ. මෝහිනී තමන්ගේ බිමට හැරිච්ච ඇස් දෙකෙන් වටපිට බලන ගමන් හීන් හිනාවක් දෙතොල් උඩ ඇඳගත්තෙ, වික්‍රම්ගේ මේ මහා මන්දිරය ඇතුළේ එයාටත් නොදැනීම ලොකු වෙනස්වීමක පළවෙනි පියවර තැබිලා ඉවරයි කියලා කවුරු නැතත් මෝහිනී දැනගෙන උන්න නිසා.
වික්‍රම් මෝහිනීව තමන්ගේ මහා මන්දිරයට කැන්දන් ආවට පස්සේ, මුළු පළාතම පුදුම වුණා. කාටවත් යටත් කරන්න බැරි, ගල් හිතක් තිබ්බ දරුණු දඩයක්කාරයා මාලිගාවක ඉඳන් මාරම ලස්සන, හැබැයි අහිංසක කෙල්ලෙක්ව උස්සන් ඇවිත් කියලා හැමෝම කතා වෙන්න ගත්තා. වික්‍රම් හිතුවේ මෝහිනී කියන්නේ තමන්ගේ ඔක්කොම පක්කලි වැඩ කරන්න, තමන් කියන පදයට නටන්න විතරක් ඉන්න තවත් එක ගෑනියෙක් විතරයි කියලා.
හැබැයි මෝහිනී මේ ගෙදරට පය තියපු දවසේ ඉඳන් මන්දිරය වටේම මාරම අමුතු දේවල් වෙන්න පටන් ගත්තා.
හැමදාම රෑ බෝ වෙද්දී මන්දිරය පිටිපස්සේ තියෙන කැලේ අස්සෙන් මාරම භයානක විදියේ ගෙරවුම් සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ සද්දෙට ගමේ මිනිස්සු විතරක් නෙවෙයි, වික්‍රම්ගේ දරුණුම ආරක්ෂකයෝ පවා බයෙන් ගැහෙන්න ගත්තා.
දවසක් හවස වික්‍රම් මන්දිරයේ සාලයට වෙලා ඉද්දී, එකපාරටම සාලේ දොර ඇරිලා මාරම දරුණු, රත්තරන් පාට හමක් තියෙන ලොකු දිවියෙක් ඇතුළට කඩා වැදුණා.
ඌව දැක්ක ගමන් වික්‍රම්ගේ ආරක්ෂකයෝ කඩුත් අරන් ඉස්සරහට පැන්නා. ඌ ලඟට එන හැමෝටම දත් විලිස්සලා, මරන්න වගේ පනින්න හැදුවේ. මුළු සාලෙම එකම කලබගෑනියක් වුණා කිව්වොතින් හරියටම හරි.
හැබැයි ඒ වෙලාවේ සාලේ කෙළවරක වෙනදා වගේම තමන්ගේ රත්තරන් කහ සාරිය ලස්සනට ඇඳගෙන, කොණ්ඩේ සුදු මලක් ගහගෙන හිටපු මෝහිනී කිසිම බයක් නැතුව හෙමින් හෙමින් අර දරුණු දිවියා ඉස්සරහට ඇවිදගෙන ආවා.
මෝහිනී ළඟට එනවා දකිද්දීම, අර මුළු සාලෙම බයෙන් වෙවුලවපු දරුණු සතා එකපාරටම මාරම අහිංසක වුණා. ඌ බිම දිගා වෙලා, හරියට පුස් පැටියෙක් වගේ මෝහිනීගේ කකුල් දෙක ළඟ ඇතිල්ලෙන්න ගත්තා. මෝහිනී හරිම ආදරෙන් ඌව බිම ඉඳගෙන අතගාන්න ගත්තා.
මේක දැකපු වික්‍රම් මහා හයියෙන් හිනාවෙලා, “මං හිතුවා උඹ බයගුල්ලෙක් කියලා… බලද්දී උඹ සත්තුන්ට ආදරේ කරන මහ අමුතු කෙල්ලෙක්නේ. එක අතකට හොඳයි, උඹ වගේම මේ තිරිසනත් මගේ කූඩුවේ වහලෙක් තමයි අද ඉඳන්” කියලා මාරම අහංකාර විදියට කිව්වා.
වික්‍රම් දවස් ගාණක් තිස්සේ මෝහිනීට එක එක විදියේ නපුරුකම් කරා. එයාට එක එක විදියේ නීති දැම්මා. සේවකයෝ ඉස්සරහා මෝහිනීට එක එක විදියේ නපුරු වචනවලින් බැන්නා. හැබැයි මෝහිනී ඒ හැමවෙලාවකම කරේ කිසිම වචනයක් නොකියා, මාරම නිහතමානී විදියට බිම බලාගෙන, අර දිවියාගේ පිට අතගාන එක විතරයි. වික්‍රම් හිතුවේ “මේකි මගේ බලයට බයයි, මේ සතත් මගේ බලයට බයයි” කියලා. හැබැයි වික්‍රම් දැක්කේ නැහැ, මෝහිනී බිම බලාගෙන ඉද්දී එයාගෙ ඇස්වලින් මාරම සීතල, භයානක එළියක් පිටවුනා කියන එක.
එදා රෑ, මුළු මන්දිරයම මළගිය සොහොනක් වගේ පාලුවට ගිහින් තිබ්බෙ.
කාන්තාරයෙන් හමාගෙන ආපු හුළඟ, මන්දිරයේ ජනෙල්වල වැදිලා මහා මූසල සද්දයක් ඇති කරා. වික්‍රම් තමන්ගේ කාමරේ ඇඳ උඩ වාඩි වෙලා, හිතේ තිබ්බ මහා ලොකු අසහනයක් එක්ක කල්පනා කර කර හිටියා. මෝහිනී මේ ගෙදරට ආව දවසේ ඉඳන් එයාගේ හිතට කිසිම සැනසීමක් තිබ්බේ නැහැ නේද කියන එක වික්‍රම්ට ඒ වෙද්දි ටිකක් තේරෙන්න අරන් තිබ්බේ.
එකපාරටම මන්දිරයේ සාලයෙන් මහා අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට මන්තර මතුරනවා වගේ, ගොරෝසු කටහඬවල් කීපයක් එකට කියවනවා වගේ මහා බය හිතෙන සද්දයක්. වික්‍රම් තමන්ගේ දඩයම් පිහියත් අතට අරන්, මාරම බයකින් කාමරෙන් එළියට ආවෙ මොකද්ද මේ සද්දෙ, කවුද මේ තමන්ගෙ මන්දිරේ ඇතුළෙ සද්ද කරන්නෙ කියලා බලන්න.
සාලයට එද්දීම වික්‍රම්ට දැනුණේ මහා ලොකු සුවඳක්. ඒ සුවඳ හුරුපුරුදුයි, හැබැයි ඒක සුවඳක් නෙවෙයි, හරියට මත් වෙන විදියේ ගඳක් වගේ. මුළු සාලෙම එකම ලා කහ පාට, මූසල දුමාරයකින් පිරිලා තිබ්බා.
ඒ දුම අස්සෙන් වික්‍රම් දැක්කා මෝහිනීව.
එයා වෙනදා වගේම අර රත්තරන් කහ සාරිය ඇඳලා, කොණ්ඩේ සුදු මලක් ගහගෙන, මාරම ගාම්භීර විදියට වාඩි වෙලා හිටියා. හැබැයි මේ වතාවෙ එයාගෙ මූණ වෙනස් වෙලා තිබ්බෙ. අහිංසක පෙනුම වෙනුවට, එයාගෙ ඇස්වලින් මාරම සීතල, භයානක එළියක් පිටවුණා. එයාගෙ පිටිපස්සෙන් අර දරුණු දිවියා ඉන්නවා කියන එකත්, උගේ ඇස් දෙකෙනුත් මාරම භයානක විදියට රතු පාට එළියක් විහිදෙනවා කියන එකත් වික්‍රම් ඒ අස්සෙම දැනුණා.
වික්‍රම්ට එකපාරටම දැනුණේ තමන්ගේ මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ. එයාට එක අඩියක්වත් ඉස්සරහට තියන්න පුළුවන් වුණේ නෑ. එයාගේ අතේ තිබ්බ පිහිය බිමට වැටුණා. එතකොටයි එයා දැක්කේ, එයාගේ හෙවනැල්ල මෝහිනීගේ කකුල් දෙක ළඟ හිරවෙලා තියෙන වග.
මෝහිනී හෙමින් හිනාවෙලා, මාරම සීතල, ගොරෝසු කටහඬකින් කතා කරන්න ගත්තෙ අන්න එවෙලෙ. ඒ වෙලාවෙ තමයි වික්‍රම්ට හිතුණේ ඒ කටහඬ මනුස්ස කටහඬක් නෙවෙයි කියලා.
“ඔයා හිතුවාද වික්‍රම්, මං ඔයාගේ බැනුම්වලට, ඔයාගේ නපුරුකම්වලට බයේ සද්ද නැතුව හිටියා කියලා? මං මේ තාප්ප හතර ඇතුළේ සද්ද නැතුව ඉද්දි, මං මගේ මායාවෙන් මේ ගෙදර, මේ ගමේ මිනිස්සුන්ගේ හිත් සේරම මට වහල් කරගෙන ඉවරයි. මං බිම බලාගෙන හිටියේ, ඔයාගේ හෙවනැල්ල මගේ පයට පෑගෙනකම්.
ඔයා මං දුර්වලයි කියලා හිතලා මට අණ කරපු හැම වාරයක් පාසාම, ඔයා මාව පයට පාගන්න හදපු හැම තත්පරයකදීම, මං මගේ ඒ මහා නිශ්ශබ්දතාවය ඇතුළෙන් මගේම ගැලවීම මාරම ලස්සනට ගොඩනඟමින් හිටියේ. ඔයා හිතුවා ඔයාට පුළුවන් වුනා කියලා මාව කූඩුවක හිර කරන්න කියලා. හැබැයි ඇත්තටම ඔයා කරේ මොකක්ද දන්නවද? ඔයාගේම බලකොටුව ඇතුළට මාව කැන්දන් ඇවිත්, ඔයාගේම අත් දෙකෙන් ඔයාව දණගස්වන්න මට පාර හදලා දීපු එක. ඔයා මහ ලොක්කෙක් වගේ කෑගැහුවට, ඔයාගේ හැමදේම දැන් පාලනය කරන්නේ මම.
මේ මාලිගාවේ, මේ රාජධානියේ සැබෑ පාලකයා ඔයා වගේ මෝඩ පිරිමියෙක් නෙවෙයි වික්‍රම්. ඒ මම
ඔයාලා වගේ පිරිමි හිතන්නේ කෑගහලා, රණ්ඩු කරලා, බලහත්කාරකම් පාවිච්චි කරලා ගැහැනියක්ව ලේසියෙන්ම යටත් කරගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි ඔයාලා දන්නේ නැහැ වික්‍රම්… ගැහැනියක්ගේ එකම එක සද්ද නැතිවීමක්, එකම එක නිශ්ශබ්දතාවයක් ළඟ ඔයාලා වගේ පිරිමින්ගේ නපුරු වචන දාහක් වුණත් සදහටම යටයි කියලා.
ඔයාලා වගේ පිරිමි නොදන්න දෙයක් තියෙනවා වික්‍රම්.
ගෑනියෙක්ගෙ හිතක් කියන්නේ ඔයා වගේ දඩයක්කාරයෙක්ට කැලේට වැදිලා ලේසියෙන් දඩයම් කරලා, කූඩුවක හිර කරලා යටත් කරගන්න පුළුවන් ජාතියේ තිරිසන් සතෙක් නෙවෙයි. ගෑනියෙක්ගෙ හිතක් දඩයම් කරගන්න, ඒ හිත සම්පූර්ණයෙන්ම යටත් කරගන්න පුළුවන් ලෝකේ තියෙන එකම එක ක්‍රමය ආදරේ විතරයි!
ඔයාට තිබ්බේ මහා ලොකු තණ්හාවකුයි, තිරිසන් බලපුළුවන්කාරකමකුයි විතරයි. ඔයාට ආදරේ කරන්න තේරුණේ නැහැ. ආදරයෙන් දිනාගන්න ඕන හිතක්, ඔයා වචනවලින් තලාපෙළලා බිඳලා දාන්න හැදුවා මිසක් “
එහෙම කිව්ව මෝහිනී අත දික් කරලා සංඥාවක් දුන්න ගමන්, අර දරුණු දිවියා වික්‍රම්ගේ ඇඟට පැන්නා.
වික්‍රම්ගේ පණ යන අවසන් තත්පරයේදී එයා දැක්කා, මෝහිනී තමන්ගේ රත්තරන් කහ පාට සාරිය හදාගන්න ගමන් මාරම ලස්සන, හැබැයි ඇඟ කිලිපොලා යන හිනාවකින් තමන් දිහා බලාගෙන ඉන්න හැටි.
ඒ හිනාව ඇතුළෙ මහ සමච්චලයක් තිබ්බා. ඒ සමච්චලේ ඇතුලෙ කවදාවත් තමන්ට තේරුණේ නැති, තමන් මෝහිනීගෙන් නොදැක්ක ගෑණුකමක් තියෙන විත්තියත් වික්‍රම් අන්තිමේදි ඇස් පියාගන්න කළින් දැක්කා.











