පැණි රස වලාකුළක් කමුද?

මොනවා හරි සැහැල්ලු, සරල කෑමක් කන්න හිත කියනවාද? 

අන්න ඒකට කියාපු මරු කෑමක් තමයි ජැපනීස් සුෆ්ලේ පැන්කේක් (Japanese soufflé pancakes) කියන්නේ!

අපි හැමදාම කන සාමාන්‍ය පෑන්කේක් වගේ නෙවෙයි, මේවා මාරම සොෆ්ට්. නිකන් පැණි රස වලාකුළක කෑල්ලක් කනවා වගේ තමයි දැනෙන්නේ. මේකේ මුළු රහසම තියෙන්නේ බිත්තර ටික ලෑස්ති කරගන්න විදියෙයි, හැමදේම හරිම පරිස්සමෙන් කලවම් කරන එකෙයි විතරයි.

ලොකු බඩු තොගයක් ඕනෙත් නැහැ, කුස්සියේ තියෙන හරිම සරල දේවල් ටිකක් තිබුණාම ඇති. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩේ කළොත්, ඔයාට පුළුවන් බිත්තර දෙකක් විතරක් පාවිච්චි කරලා ලස්සන කැෆේ එකක තියෙනවා වගේ මරු ඩෙසර්ට් එකක් තමන්ගේම කුස්සියේදීම හදාගන්න.

ඕන කරන බඩු ටික

  • බිත්තර 2ක් (මධ්‍යම ප්‍රමාණයේ)
  • කිරි තේ හැඳි 4ක් (මිලිලීටර් 20ක් විතර)
  • කේක් පිටි මේස හැඳි 2ක් – 3ක් (පාන් පිටි වුණත් අවුලක් නැහැ)
  • වැනිලා තේ හැඳි භාගයක්
  • සීනි තේ හැඳි 3ක්

Step 1: බිත්තර ටික වෙන් කරලා ලෑස්ති කරගමු

මුලින්ම බිත්තර දෙකේ සුදු මදයයි, කහ මදයයි බෝල් දෙකකට වෙන වෙනම වෙන් කරගන්න. මේක තමයි වැදගත්ම පියවර. මොකද මේ පෑන්කේක් එක වලාකුළක් වගේ පිම්බිලා එන්නේ හොඳට බීට් කරගන්න බිත්තර සුදු මදය නිසයි.

දැන් අර බිත්තර කහ මද ටික දාපු බෝල් එකට කිරි, වැනිලා සහ කේක් පිටි ටික එකතු කරන්න. ඊටපස්සේ හැන්දකින් හරි විස්ක් එකකින් හරි හෙමින් සීරුවේ කලවම් කරලා කෑලි නැති, සිනිඳු ක්‍රීම් එකක් වගේ බැටර් එකක් හදාගන්න. හැබැයි ඕනෑවට වඩා කලවම් කරන්න යන්න එපා බඩු ටික හොඳට මික්ස් වෙන ගානට විතරක් කලවම් කළාම ඇති.

Step 2: බිත්තර සුදු මද ටික බීට් කරගමු

හොඳට පිරිසිදු කරපු බෝල් එකකට බිත්තර සුදු මද ටික දාලා, ඒක හොඳට හිටින ගානට බීට් කරගන්න. ඒ කියන්නේ ඔයා බීටර් එක උඩට ගනිද්දී ඒ හැදෙන උල් උඩටම කෙලින් හිටින්න ඕනේ, බිමට නැමෙන්නේ නැතුව. හැබැයි ඕනෑවට වඩා බීට් කරන්නත් එපා, එහෙම වුණොත් මේක වේලිලා කැට කැට වගේ වෙන්න පුළුවන්.

Step 3: හෙමින් සීරුවේ කලවම් කරමු

දැන් අර බීට් කරගත්ත සුදු මදවලින් පොඩ්ඩක් අරන්, කලින් හදාගත්ත කහ මද බැටර් එකට දාලා හෙමින් කලවම් කරන්න. ඒකෙන් බැටර් එක ටිකක් බුරුල් වෙනවා. ඊටපස්සේ ඉතිරි සුදු මද ටිකත් ඒකටම දාලා හැන්දකින් හරිම පරිස්සමෙන්, යටි ඉඳලා උඩට පෙරළන ගමන් කලවම් කරගන්න. හදිසි වෙලා වේගයෙන් කලවම් කරන්න එපා, මොකද එහෙම වුණොත් අර බීට් කරලා ගත්ත හුළං ටික අයින් වෙලා පෑන්කේක් එක පිම්බෙන්නේ නැතුව යයි. මේ වෙලාවට මැෂින් පාවිච්චි කරන්නේ නැතුව අතින්ම කරන එක තමයි හොඳම.

Step 4: අඩු ගින්දරේ මෙලෙක් කරලා ගනිමු

නන්-ස්ටික් පෑන්  එකක් අරන් හරිම අඩු ගින්දරේ රත් කරගන්න. මේක තමයි මේ වැඩේ තියෙන ලොකුම රහස. ගින්දර වැඩි වුණොත් පෑන්කේක් එක ඇතුළ තැම්බෙන්න කලින් පිටිපස්ස පිච්චිලා යනවා.

දැන් හැන්දක් අරන් බැටර් එකෙන් ටික ටික පෑන් එකට දාලා, ටිකක් මහතට රවුම් හදාගන්න. උසට ලස්සනට ගන්න ඕන නම් එක උඩ තව බැටර් ටිකක් හැන්දෙන් තියන්න වුණත් පුළුවන්. ඊටපස්සේ පෑන් එක මූඩියකින් වහලා, හෙමින් සීරුවේ තැම්බෙන්න ඇරලා දෙපැත්තම රන්වන් පාට වෙනකම් පුච්චගන්න.

Step 5: මේසෙට යවලා රස බලමු

දෙපැත්තම ලස්සනට රන්වන් පාට වෙලා, හොඳට පිම්බිලා ආවට පස්සේ හෙමින් සීරුවේ පෑන්කේක් ටික පෑන් එකෙන් අයින් කරගන්න. මේවා නිවෙන්න කලින්ම උණුවෙන්ම මී පැණි, සිරප්, කැමති පළතුරු කෑලි ටිකක් හරි, නැත්නම් අයිසින් සීනි ටිකක් උඩින් ඉහලා මේසෙට යවන්න තමයි තියෙන්නේ.

සුෆ්ලේ පැන්කේක් හදද්දී ඉවසීම තමයි හැමදේම!

 අඩු ගින්දර, හෙමින් සීරුවේ කලවම් කරන එක සහ බිත්තර සුදු මද ටික හරියටම බීට් කරගන්න එක තමයි මේ පැන්කේක් එකට අර ගැස්සෙන, වලාකුළක් වගේ සොෆ්ට් ගතිය ගෙනත් දෙන්නේ. 

එක පාරක් මේක හරියටම කරගත්තොත්, රසම රස වලාකුළක් කන්න ඔන්න පුළුවන් වෙයි!

Related Articles

Don't Miss


Latest Articles