පාරමීගේ ජීවිතේ හිටි ගමන්ම මහා ආගාධයකට කඩාගෙන වැටුණේ, අම්මයි, තාත්තයි ආච්චියි තුන්දෙනාම සුළි කුණාටුව එක්ක වුන මහ නායයෑමට අහුවෙලා මියැදුනාට පස්සේ. ඒ වෙද්දී පාරමී යන්තම් සරසවි අධ්‍යාපනය ඉවර කලා විතරයි. මල්ලිලා දෙන්නම උසස්පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් වෙමින් උන්න නිසා, පාරමීගේ ජීවිතේට කිසිම හවුහරණක් තිබුණේ නැහැ. කොටින්ම රජයෙන් ගෙයක් හදාගන්න සුදුසු ඉඩමක් වෙන් කරලා දීලා, ගේ හදාගන්න මුදල් වෙන් කරලා දෙනකල්, පාරමීට මල්ලිලා දෙන්නා එක්කල ඉන්න තැනක්වත් තිබුණේ නැහැ. අන්තිමේදි පාරමීට සිද්ද වුනේ මල්ලිගේ මිතුරෙකුගේ සහෝදරයෙකුට අයත් නිවසක් කුලී පදනමට ඉල්ලගන්න.
” අයියා කිව්වා දැනට අක්කලාට මෙහෙ ඉන්න කියලා… සල්ලි ගැන හිතන්නෙපා කිව්වා.. අපේ අයියා මෙහෙ ගෙවල් හැදුවට ඉන්නේ කොළඹ … ඉඳලා හිටලා කොත්මලේ ආවත්, ඉන්නේ අපේ ගෙදර … අම්මලා නිකන් මාසෙට වතාව දෙවතාව ඇවිල්ලා මෙහෙ අස් කරන්න යන මහන්සිය විතරයි ..”
” අනේ එහෙම කරන්නෝනි නෑ මල්ලී .. මෙවෙලේ මෙහෙම තැනක් ලැබුණ එකම කොච්චර වටිනවාද ?.. නැත්නම් මේ දෙන්නා පාඩම් වැඩ ටික කරගන්නේ කොහොමද ?.. මං යාලුවෙක්ගේ ගෙදර හරි ඉන්නම් , මේ දෙන්නාට ඔයාලාගෙ ගෙදර හරි ඉන්න කිව්වට ඒ අහන්නේත් නැහැනේ….”
” එව්වා හිතන්නෙපා අක්කේ.. මුන් දෙන්නා කියන එක හරි .. අක්කාව එහෙම තනි තැනක තියලා මුන් දෙන්නාට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බැහැනේ..”
” නොකිව්වට මේ දෙන්නාව ඇස් මානෙන් පිට දාලා, දැන් මටත් සැනසීමක් නැහැ මල්ලී … ඒක නෙවෙයි .. මෙච්චර ලොකු ගෙදරකට හරියන්න රෙන්ට් එකක් ගෙවන්න මට මෙවෙලේ පුලුවන්කමක් නැහැ. ඒත් මට අයියාගේ අකවුන්ට් නම්බර් එකක් හරි ඉල්ලලා දෙන්නකෝ .. මම සාධාරණ ගානක් ඩිපොසිට් කරන්නම් .. අම්මලාගේ සේවින්ග්ස් වල විස්තර බැංකුවේ ඉන්න යාලුවෙක් හරහා ගන්න පුලුවන් වුනා… ඒ ටික සෙට්ල් කරගන්න පුලුවන් වේවි ඉක්මනට …”
” හරි අක්කේ .. එව්වා අයියා එක්ක කතා කරගන්න පස්සේ.. අයියා වීකෙන්ඩ් එකට සමහරවිට එන්න පුලුවන් …”
එහෙම කිව්වාට පස්සේ පාරමී ආයෙම ඒ ගැන ඇහුවේ නැහැ. මාස එකහමාරක් විතර ගත වෙද්දී ජීවිතේ වුන දරුණුම අහිමිවීම් මැද්දෙන් ඉස්සරහට යන්න පාරමී උත්සාහ කලා. ඒ අතරවාරයේදි දවසක, පාරමීට දුරකතන ඇමතුමක් ආවා.
” ආයුබෝවන්.. මිස් පාරමී සමරනායකද මේ …”
” ඔව් .. ආයුබෝවන් .. කවුද මේ ?..”
” මිස් අපි ලයිෆ් ඉන්ශුවරන්ස් එකෙන් කතා කරන්නේ … මට මිස්ට ටිකක් කතා කරන්න පුලුවන්ද ?… මිස් මේවෙලාවේ මොකක් හරි වැඩක නම් ඉන්නේ මට ගන්න පුලුවන් පස්සේ..”
” ආහ් නෑ … කතා කරන්න පුලුවන් …කියන්න..”
” මිස් ඉස්සරවෙලාම අපේ කණගාටුව පල කරනවා මිස්ට ඇන්ඩ් මිසී සමරනායකට සිද්ද වෙලා තියෙන දේ සම්බන්ධව… අපි මේ සිදුවීම් එකින් එක ෆයිනලයිස් කරගන්න ගමන් තියෙන්නේ.. අපට මිස්ව සම්බන්ධ කරගන්න ටිකක් අපහසු වුනා… මිස්ට සමරනායක අපට දීලා තිබුණ මිස්ගේ නම්බර් එක වැඩ කලේ නැහැ..”
” හරි ..මට පැහැදිලි නෑ ….”
” මිස් .. පාරමී …. මම ශාක්‍ය …. “
” හරි මිස්ටර් ශාක්‍ය …. කියන්න …”
” මිස් .. පාරමී ..ඔයාගේ තාත්තා අපේ ඉන්ශුවරන්ස් එක එක්ක ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාලා තිබුණා …. අපට ඒක මිස් පාරමී වෙනුවෙන් ප්‍රොසෙස් කරන්න පුලුවන් .. ඇත්තටම මේක මාසික වාරික විදියට අවුරුදු පහලොවක් යනකල් යන්න පුලුවන් … එහෙම නැත්නම්, එකවතාවටම ගන්නත් පුලුවන් .. අපි මිස් පාරමීට සජෙස්ට් කරන්නේ නම් වාරික විදියට ගන්න කියලා … “
එකපාරටම එහෙම ඇහෙනකොට පාරමීට හිතාගන්න බැරුව ගියා. පාරමී ඒ රක්ෂණ ආයතන නියෝජිතයෙකු මුන ගැහෙන්න වෙලාවක් වෙන් කරගත්තා. ඉන් පස්සේ ඒ නියෝජිතයා එක්ක එකතු වෙලා අදාල ලිපිගොනු වල වැඩකටයුතු කරගත්තා. මාසෙකට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් කියන්නේ, පාරමීට හිතාගන්නවත් පුලුවන් මුදලක් වුනේ නැහැ. ඒ නිසාම පාරමී ඒ සිදුවීම එක්ක ජීවිතේට ටහ්ව හයියක් ගත්තා.
කවදාවත් නොදැකපු මල්ලිගේ මිතුරාගේ සහෝදරයාට නිවස් කුලිය වෙනුවෙන් යම් මුදලක් තැන්පත් කරන්නත් ඉඩ ලැබුන එක ගැන පාරමී යම් සැහැල්ලුවක හිටියේ.
මාස කිහිපයක්ම ගෙවුණා. රජයෙන් පාරමීලාට ප්‍රමුඛතාවය අනුව මුල් ඉඩක් ලැබිලා තිබුණා. ඉක්මනින් ඉදිවුණ නිවසේ පදිංචි වෙන්න ඉඩ ලැබුනා.
” අනේ මල්ලි .. අපි මාස දහයක් මෙහෙ උන්නා.. ඒත් අයියාට එකම එක වතාවක්වත් මුන ගැහිලා ස්තූතියි කියන්න උනේ නැහැනේ…”
” ස්තූතියි කියන්න දෙයක් නෑ අක්කේ .. එව්වා හිතන්නෙපා.. මං කිව්වනේ, අපේ අයියා කොළඹ ඉන්නේ කියලා.. එයා මෙහෙ එන්නේ නැහැ..”
ඒත් පාරමී නොදැන උන්න දෙයක් තිබුණා.
ඉස්කෝලේ කාලේදි පාරමීගේ ප්‍රේමය වෙනුවෙන් බලන් උන්න කොල්ලෙක්, ඒ ප්‍රතික්ශේප වීමෙන් පස්සේ මහ ගොඩක් ගිරි දුර්ග පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා පාරමීගේ ජීවිතේට මහ හයියක් වෙමින් තිබුණා.
ව්‍යාජ ලිපි ලේඛණ එක්ක මිතුරෙක් මාර්ගයෙන් පාරමිව රක්ෂණාවරණයකට පටලවාගත්තේ පවා ඒ නොවෙනස්ව තිබුණ ප්‍රේමය.
ඒ විතරක් නෙවෙයි, තමන් නිදහසේ ඉන්න හදාගන්න ගෙදර පාරමී වෙනුවෙන් දීලා කාශ්ටක කොළඹට වෙලා උන්නේ ඒ ප්‍රේමය.
අන්තිමේදී මල්ලිලා දෙන්නාගේ උසස්පෙළ විභාග අවසන් වෙලා ඒ දෙන්නාම සරසවි වරම් ලබාගන්නකල්, පාරමීගෙ ජීවිතේ පස්සෙන් ඉඳගෙන බලාගත්තේ ඒ ප්‍රේමය
.
.
.
” මට හිතාගන්න බැහැ .. ඔයා මෙච්චර කල් බලාගෙන උන්නා කියලා…”
” මං ඔයාලාගේ අම්මලා එක්ක කතා කරලා උන්නේ පාරමී .. ආච්චි තමයි වැඩියෙන්ම මට ආදරේ වුනේ.. ඔයා නිවාඩුවට ගෙදර ඇවිල්ලා ගියාම … අම්මා මට කතා කරනවා, මගේ පංගුව දෙන්න … ඔයාට හදන කෑම එකෙන් මටත් කෑම එකක් හම්බුනා… “
” අපේ අම්මා ?..”
” හ්ම්ම් …. ඔයාගේ ෆයිනල්ස් ඉවර වුනාම .. මං මනමාලිව බලන්න එන්න උන්නේ.. ඒත් සති දෙකක් ඉස්සර වුනා සොබාදහම …”
දෙන්නාම නිහඬව උන්නා.
” ඉතින්..ඔයා ඇයි මට මෙ හැමදේම නොකිව්වේ?… අඩුම තරමේ මම ගෙදර ඉන්නකොට නාවේ?..”
” ඔයා කොහොම කෙල්ලක්ද කියලා මම දැනන්උන්නේ.. ඒ ඔක්කොම දේවල් පස්සෙන් ඉන්නේ මම කියලා දැනගත්තා නම් එහෙම ඔයා කීයටවත් ඒ උදව් පිළිගන්නේ නෑ කියලා මම දැනගෙන උන්නේ…මල්ලිලා මේ කතාව එහෙන් මෙහෙන් දැනන් උන්නෙ ..පස්සේ ඒගොලෝ මං කීව පිළිවෙලටම හැමදේම කලා ඉතින් …”
” අපේ මල්ලිලා ?…”
” නෑ නෑ ..අපේ මල්ලිලා මුලින් … ඔයාගේ මල්ලිලා දන්නේ පස්සේ ..”
පාරමී ඒ දිලිසෙන ඇස් වල තියෙන ආඩම්බරකාර හැඟීම ඉස්මුදුනෙන්ම වින්දා. ඉවසීම තියෙන ප්‍රේමයක අයිතිවාසිකම් කියන එක කොයි තරමේ ආඩම්බරකාර හැඟීමක්ද කියලා අත් වින්දා.











