රමණීයයි මේ මධුර ජවනිකා – 1 

” එතකොට  ඔයා ඔය පාර්ටියට යනවා?..”

වසුන්දරා අවසාන වතාවටයැයි සිතමින් කසුන්ගෙන් ඇහුවා. කසුන් වසුන්දරා දිහා බලලා තමන් තීරණය කරලා ඉවර බව ඇඟෙව්වා. වසුන්දරා හිස සැලුවා. තමන්ට ආයේම අහන්න දෙයක් නැති බව තේරුම් ගත්තා. කසුන් හැමදාම කරන්නේ තමන්ව යාල්ලුවෙන් නම්මගෙන, කසුන්ට ඕනි දේ කරගන්න එක කියලා වසුන්දරා තීරණය කලා. අවුරුදු තුනක් තිස්සේ  විටින් විට දිග ඇරෙන මේ චිත්‍රපටියේ කොටසක් වෙලා ඉන්න එක වසුන්දරාට ඇත්තටම තිත්ත වෙලා තිබුණේ.

” හරි එහෙනම් ඕනි එකක් කරගන්න …”

” ඕනි එකක් කරනවා නෙවෙයි වසූ … අනෝමා අක්කලගේ ඇනවසරි එක මඟ අරින්නේ කොහොමද මම ?… ඒ මිනිස්සු මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ ජීවිතේ උන්න අය …. “

” එතකොට මම දැන් මීට අවුරුදු දෙක තුනකට කලින් ඔයාගේ ජීවිතේට ආව නිසා, මට වඩා ඔයාගේ යාලුවෝ ලොකුයි කියනෙකද කියන්නේ?..”

” එහෙම මඟුලක්ද වසුන්දරා මම කිව්වේ?… මොන මඟුලක්ද  මෙ.. කියන්නේ එකක් .. හිතාගන්නේ තව එකක් .. මගේ ඔලුව කන එකද අප්පා විනෝදේ …. මිනිස්සුන්ගේ ජීවිත වලට සැනසීම තියෙන දවස් එක දෙකක් හරි තියෙන්න ඕනි ඕයි .. මේක  ඒහෙමද .. ඔෆිස් එකේ නැහිලා නැහිලා ආවහම, මෙතනත් මේ මඟුල්.. අනෙක මම තනියෙන් යන ගමනක් නෙවේයිනේ මේ?… මම කිව්වනේ ඔයත් යමු කියලා ..දැන් හතයි …ඔයත් ගියාම පැය තුන හතරක් ඉඳලා එන්න පුලුවන් …. මම තනියෙන් ගියාම එතන වෙලා ඇඳෙනවා.”

” ඔව් .. මගේ විනෝදේ මහ ලොකු කසුන් සමරනායකගේ ඔලුව කන එක …”

වසුන්දරා එහෙම කියලා කාමරේ ඇතුලට ගිහින් මහ සද්දේට දොර වහ ගත්තා. කසුන් ඉස්සරහ දොර වහගෙනම, මෝටර් රියට ගොඩ වුනා.

” එක අතකට එවෙලේ මං ගත්තේ ගන්න ඕනිම නැති තීරණයක්ද කියලත් මට හිතෙනවා…”

කසුන් වාහනය ගේට්ටුවෙන් එලියට දාලා, ගේට්ටුව වහලා ආයෙම මෝටර් රියට ගොඩ වෙන ගමන් හිතුවා.

සාදයට කසුන් යනකොට අනෙක් පිරිසම ඇවිල්ලා උන්නේ. පරිපාලන සේවයේ විධායක නිළධාරියෙක් වුන කසුන්ට මිතුරු ගොන්නෙන් ඉහල පිළිගැනීමක් ලැබුනා. ඒ අතරෙදි, වසුන්දරා එක්ක ආවේ නැති එක ගැන අවලාදත් නැඟුණා.

” උඹ හැමදාම ගෑණි හලලා ඇවිල්ලා මෙතන මල් කුමාරයා පාර්ට් එකෙන් ඉන්නවා කසුනා ඈ..”

” මල් කුමාරයා පාර්ට් එකෙන් ඉන්න, මෙතන ඉන්න එක හරි යමං කුමාරියෙක් පෙන්නපල්ලකෝ …”

කසුන් හිතේ තිබුණ වේදනාව, නොසන්සුන්කම පැත්තකට දාලා මිතුරු පිරිසට එකතු වුනා. මධුවිත  බෝතල් එක දෙක කැඩෙන්න ගත්තා. ගිටාර සද්ද වෙන්න ගත්තා. තාල තියවෙන්න ගත්තා. සංගීතේ ඉක්මවා නොයන්න හඬ ස්වර නැගුණා.

කසුන් වසුන්දරාව  සම්පූර්ණයෙන්ම අමතක කලා. මධුවිත අතරට මුහු වුනා.

වසුන්දරා ඇඳෙන් නැගිටිනකොට එකොළහත් පහු වෙලා. ඒ වෙද්දිත් කසුන් ගෙදර ඇවිල්ලා උන්නේ නැහැ. වසුන්දරා දිග හුස්මකට පස්සේ වතුර වීදුරුවක් හිස් කලා. කුසගින්න දරාගන්න බැරි තරමට දැනුන නිසා, ශීතකරණයේ තිබුන චීස් කෑලි දෙකක්ම කෑවා. ඊට පස්සේ කාමරේට ඇවිල්ලා ට්‍රැවලින් බෑග් එක එලියට ගත්තා. දූවිලි පිහිදලා දැම්මා. සාරි ටිකක්, ඇඳුම් ටිකක්, රූපලාවන්‍ය දේවල් ටික, සපත්තු ජෝඩු ටිකක් ඇහිරුවා. පොඩි බෑග් එකකට ලියකියවිලි දැම්මා. කණ්ණාඩි මේසේ උඩ තිබුන තමන්ගෙයි කසුන්ගෙයි සේයාරුවත් ට්‍රැවලින් බෑගයටම ඔබා ගත්ත. බෑග් තිබුන තැන් වලම තියලා නිදාගත්තා.

කසුන් ගෙදර එනකොට වසුන්දරා උන්නේ නින්දේ නෙවෙයි. ඒත් ඇය නින්දේ වගේම උන්නා. කසුන් ගත දොවාගෙන එහෙමම ඇඳට වැටුණා. දෙන්නාම උන්නේ තමන් දෙදෙනා කෙරෙහි වන කලකිරීම එක්කල.

වසුන්දරා හතරට ඇහැරුනා.  අද දිනයේ නිවාඩු බවට ඊමේලයක් යැව්වා. කිරි පෙට්ට්ටියෙන් භාගයක් බිව්වා. ගත දොවාගත්තා. පහන තියලා බුදුන් වැන්දා. පික් මී රියකට වෙන් කිරීමක් දැම්මා. බෑග් ටික සාලෙන් ඉස්තෝප්පුවට දැම්මා. දොර වැහුවා.

.

.

. කසුන් ඇහැරෙද්දී හයයි. කීයට කොහොම නිදාගත්තත් හැමදාම පහට ඇහැරෙන කසුන්ට නින්ද ගිහින් තිබුනේ දෛවයේ සරදමට වගේ.

” වසූ ..”

හැම රණ්ඩුවක්ම බත ඉදෙනකල් විතරක් කියන එක අත්දැකීමෙන්ම දැනන් උන්න නිසාද  කොහෙද, කසුන් වසුන්දරාව හෙව්වා. විනාඩි කිහිපයක් යනකල්, වසුන්දරා නිවසේ නැති බව වටහා ගන්න කසුන්ට පුලුවන් උනේ නැහැ. කසුන් දඩි බිඩියේ වසුන්දරාට ඇමතුමක් ගත්තා. ඒත් ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරලා තිබුනේ. කසුන් ඉදිරිපස දොර විවෘත කරගෙන මිදුලට ගිහින් බැලුවා. ඊටත් පස්සේ ආරක්ෂිත කැමරා දිහාව බැලුවා. එතකොට තමයි කසුන්ගේ ඔලුව ගිණි ගත්තේ.

” මොකක්ද මේ?.. කොහෙද යන්නේ ?…”

කසුන් ආයේ ආයෙම ඒ වීදියෝ දර්ශන බැලුවා. වසුන්දරා බෑග් දෙකක් අරගෙන නිවසින් පිටවෙලා යන බව ඔහුට එක තත්පරයකටවත් විශ්වාස කරන්න පුලුවන් වුනේ නැහැ.

කසුන් එහෙමම ඉඳගෙන ඊළඟට කරන්නේ මොකක්ද කියලා කල්පනා කලා.

” වසූ ෆෝන් එක ඕෆ් කරග්න .. එක්කෝ මාව බ්ලොක් කරලා වෙන්නත් පුලුවන් … එතකොට එයා කොහෙද මේ ගියේ .. අම්මලා ටුවර් එක ඉවර කරලා එන්න සති තුනක්  තියෙනේ.. එයා කීයටවත් මහ ගෙදර තනියෙන් ඉන්න යන්නේ නෑ … අයියලාගේ ගෙදර  යාවි හිතන්නත් බෑ දරුවා අසනීපෙන් ඉන්න නිසා මෙයා ගියාම කරදරයක් කියලා දන්නවනේ … අනෙක මෙච්චර පාන්දරින් ගෙදරින් එලියට බැහැලා, බස් එකකටවත් නැගගන්න පුලුවන්ද … එක්කෝ වසූව ගන්න කවුරු හරි ආවාවත්ද ?..”

කසුන්ගේ පපුව පිච්චෙන්න ගත්තා. වසුන්දරා තමන්ගේ ජීවිතේ කොයි තරම්  නම් ඉඩක ඉඳලා තියෙනවාද කියලා පලවෙනි වතාවට වැටහුනා.

” අයියාට කෝල් එකක් දීලා අහන්න මෙච්චර වේලාසන වැඩිද ?.. වසූ එහෙ යනවා හිතුවත් තව පැය දෙකක්වත් යාවි ..  වසූ පහට එලියට බැහැලා … “

කසුන් කරන්න ඕනි දේ හිතාගන්න බැරුව එගෙ මෙහෙ ඇවිද්දා. හත වෙනකොට කසුන් හිටියේ පියවි සිහියෙන් එහාට වෙවී.

” අට වෙනකල් ඉඳලා අයියාට ගන්නවා…  එතකල් ඉවසන්නෝනි … එහෙම නැත්නම් අයියලත් කලබල වෙනවා. වසු ගෙදෙට්ට ගියාට පස්සේ එයා එහෙ නේ.. ඒත් වසූ යනේ එහෙට නෙවෙයි නම් මම මොකක්ද කරන්නේ?… ශිට් … මොන මඟුලක්ද මේ වුනේ ?… වසූ කොහොමද මෙහෙම වුනේ?.. කොහොමද මෙහෙම තීරණයක් ගත්තේ ?… “

කසුන් වෙලා තියෙන දේ විශ්වාස කරගන අකමැති ගානට එහෙම තමන්ගෙන්ම අහගත්තා.

More Stories

Don't Miss


Latest Articles