” සීනි ” ඔබ ගන්නා සෑම ආහාරයකම අඩංගු වන අතර “සෞඛ්‍ය සම්පන්න” යැයි හඳුන්වන ආහාරවල පවා සීනි අඩංගු වනවා. නමුත් කාලයත් සමඟ දිනපතා වැඩිපුර සීනි පරිභෝජනය කිරීම ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල කිරීම ආරම්භ වෙනවා. සීනි පරිභෝජනය කිරීම අඩු කිරීම යනු සම්පූර්ණයෙන්ම සීනි හෝ පැණි රස භාවිතය නවත්වා දැමීම නොවේ. එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරයට දිනපතා සීනි කොපමණ එකතු කළ යුතුද යන්න පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමයි. කෙසේ වෙතත් ඔබ සීනි පරිභෝජනය අවම කළ විට සහ පාලනය කරන විට ඔබේ ශරීර සෞඛ්‍යය ඔබට දැකිය හැකි පැහැදිලි වෙනස්කම් කිහිපයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රයෝජන කිහිපයක් තිබෙනවා.ඒවා ගැනයි මේ ලිපිය.
ඔබේ ශක්ති මට්ටම් වඩාත් ස්ථායී වේ
සීනි සහිත ආහාර බොහෝ විට ශරීර අභ්‍යන්තරයේ හදිසි බිඳවැටීමකින් පසුව ඉක්මන් ශක්තියක් ලබා දෙනවා. මෙය සිදුවන්නේ සීනි ඉක්මනින් රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ නංවමින් ශරීරයට ඉක්මනින් ඉන්සියුලින් මුදා හැරීමට හේතු වන නිසායි.
ඔබ සීනි පරිභෝජනය අඩු කරන විට, ඔබේ ශරීරය ශක්තිය වඩාත් ස්ථාවර ලෙස භාවිතා කිරීමට පටන් ගන්නවා . එහිදී දිවා කාලයේදී අඩු වෙහෙසක් දැනීම සහ කුසගින්න සම්බන්ධ සිතුවිලි ඇති වීම අඩු වන බවත් ඔබට පැහැදිලි වේවි.
ඔබට සුව නින්දක් ලැබේ
අධික සීනි පරිභෝජනය නින්දේ ගුණාත්මක භාවයට බාධා එල්ල කරනවා. රාත්‍රියේ සීනි සහිත කෙටි ආහාර හෝ පාන වර්ග ගැනීමෙන් ශරීරය අධික ලෙස ක්‍රියාශීලීව තබා ගත හැකි අතර, නින්දට පෙර විවේක ගැනීම ශරීරයට දුෂ්කර කරවනවා.
සීනි පරිභෝජනය අඩු කිරීම මගින් ශරීරයට සෞඛ්‍ය සම්පන්න නින්දේ චක්‍රයක් පවත්වා ගැනීමට උපකාරී වනවා. වඩා හොඳ නින්දක් ලැබීමෙන් අවධානය, මනෝභාවය, මතකය සහ සමස්ත සෞඛ්‍යයේ යහපැවැත්ම වැඩිදියුණු කර ගත හැකි වන සීනි පරිභෝජනය අවම කිරීමෙන් ශරීරයට ඇතිවන එක් ප්‍රධාන වාසියක් ලෙස මෙය හැඳින්විය හැකියි.
ඔබේ සම වැඩි දියුණු කරගත හැකිවේ
අධික සීනි පරිභෝජනය ශරීරයේ දැවිල්ලට හේතු විය හැකි අතර එය ඔබේ සමටද බලපෑ හැකිය. සීනි සහිත ආහාර සහ පාන වර්ග අධික ලෙස පරිභෝජනය කරන විට කුරුලෑ වේගයෙන් වර්ධනය වීම ,සමේ අඳුරු බව සහ තෙල් සහිත බව වැඩි කරනවා.
සීනි භාවිතය අඩු කිරීම මගින් සහ වැඩිපුර ජලය පානය කිරීම මගින් කාලයත් සමඟ සම පැහැපත් වීම සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ගැනීම සිදුවනවා.එම ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු බොහෝ විට නිරෝගී සමට සහාය වන බැවින් නිවැරදි ආහාර පුරුදු පවත්වා ගැනීමට වගබලා ගන්න.
කාලයත් සමඟ සීනි සදහා ඇති කැමැත්ත අඩු වේ
සීනි භාවිතය පුරුද්දක් බවට පත්විය හැකි අතර ඔබ වැඩිපුර සීනි සහිත ආහාර අනුභව කරන තරමට ශරීරය ඒවාට ආශා කරනවා. එවිට ශරීරය නිතර පැණි රස භාවිතයට පුරුදු වී සිටින නිසා සීනි භාවිතා කිරීම අඩු කිරීම දුෂ්කර විය හැකියි.
කෙසේ වෙතත්, සීනි භාවිතය අවම කිරීමෙන් සති කිහිපයකට පසු, ඒ සඳහා ඇති ආශාව ක්‍රම ක්‍රමයෙන් දුර්වල වනවා. කාලයත් සමඟ රස අංකුර නැවත සකස් වන නිසා පලතුරු වැනි ස්වාභාවික රස කාරක මගින් පමණක් ඔබේ සීනි කෙරෙහි ඇති තෘෂ්ණාව සංසිඳුවා ගැනීමට හැකියාව ලැබෙනවා.
වඩා හොඳ දන්ත සෞඛ්‍යයක් හිමි වේ
සීනි මුඛය තුළ බැක්ටීරියා පෝෂණය කරන අතර එය කුහර සහ දත් දිරායාමට හේතු විය හැකියි. සීනි සහිත පාන වර්ග සහ අධික සීනි සහිත රස කැවිලි නිතර පරිභෝජනය කිරීම විශේෂයෙන් ශරීරයට හානිකර වනවා.
සීනි පරිභෝජනය කිරීම අඩු කිරීම මගින් දත් සහ විදුරුමස් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර දිනපතා දත් මැදීම සහ නිසි කාල වකවානුවලදී දන්ත සත්කාර කිරීමෙන් ඔබේ මුඛ සෞඛ්‍ය වඩාත් ශක්තිමත් කරගත හැකියි.
බර කළමනාකරණය කර ගැනීම පහසු වේ
බොහෝ සීනි සහිත ආහාරවල කැලරි බහුල නමුත් පෝෂණය අඩුය. මෘදු පාන වර්ග, පේස්ට්‍රි සහ සැකසූ කෙටි ආහාර මගින් පුද්ගලයෙකුට දිගු වේලාවක් පූර්ණ බවක් නොදැනෙන නිසා නැවත නැවත ආහාර පරිභෝජනය කිරීම සිදුවී ශරීරයට ලබාගන්නා කැලරි ප්‍රමාණය වැඩි කළ හැකියි.
එබැවින් සීනි පරිභෝජනය අඩු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් කිරීමට සහ සමබර බරක් පවත්වා ගැනීමට උපකාරී වනවා. එය පලතුරු, එළවළු, ප්‍රෝටීන් සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග වැනි වඩාත් පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම සඳහාද ඔබව දිරිමත් කරවනවා.
මනෝභාවය සහ මානසික පැහැදිලිකම වැඩි දියුණු වේ
සීනි අධික ලෙස පරිභෝජනය කිරීම චිත්තවේගීය සමතුලිතතාවයට බලපෑම් එල්ල කළ හැකි වෙනවා. එහිදී නිරන්තරයෙන් ශරීරයේ ශක්ති බිඳවැටීම් සිදුවී ඔබට කෝපයක්, කනස්සල්ලක් හෝ අවධානය යොමු කිරීමට නොහැකි බවක් දැනිය හැකියි.
නමුත් සීනි පරිභෝජනය වඩාත් සමබර වූ විට, දවස පුරා සන්සුන් මනෝභාවයක් තිබීම සහ මානසික පැහැදිලිකම වඩා හොඳ තත්ත්වයක පැවතීම සිදුවනවා.
සෞඛ්‍ය ගැටලු අවදානම අඩු වේ
දිගු කාලයක් තිස්සේ සීනි විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම මගින් තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග සහ මේද අක්මා රෝග ඇතුළු සෞඛ්‍ය තත්වයන් ශරීරයට ඇතිවීම සිදුවනවා.
සීනි අඩු කිරීම එම රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාරයක් නොවන නමුත් එය දිගුකාලීනව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ශරීරයේ ස්වාභාවික සමතුලිතතාවයට සහාය වීම සඳහා ඔබට ගත හැකි වැදගත් පියවරක්.
සීනි භාවිතය අඩු කිරීම යනු ආහාර පරිභෝජනය අතින් පරිපූර්ණ වීම හෝ සෑම පැණිරස භාවිතයක්ම සදහටම වළක්වා ගැනීම නොවේ. එය ශරීරය සහ මනස යන දෙකටම සහාය වන සෞඛ්‍ය සම්පන්න පුරුදු නිර්මාණය කිරීම පිළිබඳවයි . ඔබ ඔබේ ජීවන රටා තුළ නිරන්තරයෙන් සිදු කරන කුඩා වෙනස්කම් මගින් ශක්තිය, නින්ද, සමේ සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්මේ කැපී පෙනෙන දියුණුවක් ඇති කර ගන්නා අතර ඔබේ සෞඛ්‍යයේ අනාගතය සඳහා ද සිදු කරගන්නා ඉතා හොඳ ආයෝජනයක්.










