තාරායි මාධවයි කියන්නේ ඕනෑම කෙනෙක් දැක්ක ගමන් “අම්මෝ… මාරම පර්ෆෙක්ට් කපල් එකක්නේ” කියලා කියන ජාතියේ දෙන්නෙක්.
දෙන්නා ෆේස්බුක් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ නිතර ෆොටෝ දදා ලෝකෙටම පෙන්නනවා තමන් කොච්චර ආතල් එකේ, සන්තෝසෙන් ද ඉන්නෙ කියලා. ඕව දකින සමහරු ඉතින් හිත යටෙන් ඉරිසියාත් කරා “ඔය ලස්සන කුරුළු කූඩුව සුන්නද්දූලි වෙලාම යන්නෝන” කියලා.
මම මේ දෙන්නත් එක්ක හවසක සෙට් වෙලා කෝපි එකක් බොන ගමන් ඕපදූප කියවද්දී, තාරා නිතරම හරිම ආඩම්බරෙන්, හිනාවෙවී කියන ලස්සන කතාවක් තිබ්බා. “අනේ දන්නවාද, අපේ සම්බන්ධෙට දැන් අවුරුදු පහක්. හැබැයි අපි දෙන්නා නම් කවදාවත්ම රණ්ඩු වෙන්නේ නෑ, වෙලත් නෑ” කියලා. ඒ වෙලාවට මාධවත් ඔළුව වනලා ඒක අනුමත කරන්නේ හරියට ලෝකෙම දිනපු රජෙක් වගේ. ඇත්තනෙ ඉතින් රණ්ඩු වෙන්නෙ නැති ගෑනියෙක් ඉන්නවා කියන්නෙම කොච්චර වාසනාවක්ද මිනිහෙක්ට?
ඒ වුණාට මට සමහර වෙලාවට හිතුණත් එක්ක “කොහොමද එහෙම රණ්ඩු නොවී ඉන්නෙ?” කියලා. අනික එක ගෙදරක, එක කාමරයක් බෙදා හදාගෙන ඉද්දි එහෙම රණ්ඩු නොවී ඉන්න පුළුවන්ද කියන්නකො නේද?
අන්න ඒ හන්දයි මම ඕක ගැන තව පොඩ්ඩක් හිතන්න හිතුවෙ.
ඔය තාරායි මාධවයි කියන කතාව හැමවෙලේම ඔය හිතන තරම් සුන්දර, සෝබන කතාවක් නෙවෙයි!
මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවොත්, කවදාවත්ම රණ්ඩු වෙන්නෙ නැති කපල් එකක් කියන්නේ ඇතුළෙන් ලොකු පිපිරීමකට ලෑස්ති වෙන “ටයිම් බොම්බයක්” වගේ වෙන්නත් පුළුවන්.
පොඩ්ඩක් හිතන්න, අපි ඉපදුණු දවසේ ඉඳන් එකට හැදුණු වැඩුණු අම්මා, තාත්තා, සහෝදරයෝ එක්කත් දවසකට කී පාරක් නම් රණ්ඩු වෙනවාද? “මගේ චාජර් එක කෝ?”, “ඇයි මගේ ටවල් එක ගත්තේ?” කියලා පොඩි දේටත් ගෙදර යුද්ධ නේද? ඉතින් කොහේදෝ ඉඳන් ආපු, සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක හැදුණු, වෙනස්ම විදිහකට හිතන මනුස්සයෙක් එක්ක ආදරේ කරන්න ගත්තම කිසිම මතභේදයක් වෙන්නේ නෑ කියන එක වෙන්න පුළුවන් වැඩක්ද?
අනිවාර්යයෙන්ම බෑ.
ලෝකේ කිසිම රණ්ඩුවක් වෙන්නේ නැති කපල් එකක් ඉන්නවා නම්, එතන තියෙන්නේ ප්‍රශ්න නැතිකම නෙවෙයි. එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ හැඟීම්, අකමැත්ත ඔක්කොම හිත ඇතුළේ හිර කරගෙන ඉන්නවා. නැත්නම් “දැන් ඉතින් මූට කතා කරලා වැඩක් නෑ” කියලා එක පාර්ශවයකට මාර විදිහට කලකිරිලා තියෙන්නේ.
ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ, රණ්ඩු වෙන්න තියෙන බය නිසාම ප්‍රශ්න මඟහරින එකයි. හිතන්නකෝ තාරා කරන එක පුංචි පුරුද්දකට මාධව අකමැතියි කියලා. හැබැයි මාධව හිතනවා “අනේ ඕක කිව්වොත් ඉතින් රණ්ඩු වෙන්න වෙයි, රෑ තිස්සේ මූඩ් අවුල් යයි, ඒ හින්දා ඕන නෑ මං නිකන් ඉන්නවා” කියලා. ඔන්න ඔහොම හැමදාම “ඕන නෑ, ඕන නෑ” කියලා හිත ඇතුළට ඔබාගන්න දේවල් දවසක එකතු වෙලා, ලොකුම ලොකු රණ්ඩුවකින් කෙළවර වෙන්නේ නිකන්ම නෙවෙයි. එදාට ඉතින් අවුරුදු පහකට කලින් වුණු දේවලුත් ඇදලා අරන් තමයි මිනිස්සු බැණගන්නේ! ඉතින් ඔයාටම තේරෙනවා ඇති නේද, රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න එක හැමතිස්සෙම හොඳ දෙයක් නෙවෙයි කියලා.
ඔන්න ඕකයි ඇත්ත කතාව. ප්‍රශ්න හංගගෙන Perfect වෙන්න හදන එක නෙවෙයි ආදරේ කියන්නේ. ආදරේ කරද්දී රණ්ඩු වෙන එක මාරම සාමාන්‍ය දෙයක්. ඇත්තටම රණ්ඩු වෙන එකෙන් වෙන්නේ දෙන්නා එකිනෙකාට වෙනස් වෙන තැන් සහ කැමැත්තන් අකමැත්තන් ලස්සනට අඳුරගන්න ලැබෙන එකයි. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ “අපි රණ්ඩු වෙනවාද නැද්ද” කියන එක නෙවෙයි, “අපි රණ්ඩු වෙන්නේ කොහොමද” කියන එකයි.
ඔයාලත් රණ්ඩු වෙද්දී මේ දේවල් ටික මතක තියාගත්තොත්, ඒ රණ්ඩුවෙන් සම්බන්ධෙ බිඳෙන්නේ නෑ, තවත් ශක්තිමත් වෙනවා විතරයි :
- ප්‍රශ්නයට විතරක් බැණගන්න (Attack the problem, not the person): රණ්ඩුවක් වුණාම “ඔයා මහ මෝඩයෙක්, ඔයාට කවදාවත් බෑ” කියලා සහකරුගේ ආත්මගරුත්වයට බණින්න එපා. ප්රශ්නය මොකක්ද, ඒකට විතරක් කතා කරන්න.
- පරණ කුණු අදින්න එපා: අද වුණු රණ්ඩුවට, ගිය අවුරුද්දේ වුණු වැරදි ඇදලා ගන්න එපා. එතකොට ප්රශ්නය විසඳෙන්නේ නෑ, රණ්ඩුව දික්ගැස්සෙනවා විතරයි.
- දිනන්න හදන්න එපා: ආදරේ ඇතුළේ “මමයි හරි, ඔයා වැරදියි” කියලා කවුරුත් දිනන්න ඕනේ නෑ. දෙන්නාම එකතු වෙලා ප්රශ්නය පරද්දන්නයි ඕනේ.
ඉතින්, ඔයාලත් “අනේ අපි නම් කවදාවත් රණ්ඩු වෙන්නේ නෑ” කියලා බොරුවට Perfect වෙන්න හදන්න එපා.
පොඩි පොඩි ඔරොප්පු වීම්, රණ්ඩු වීම් මැදින්, ඒ ප්‍රශ්න ලස්සනට කතා කරලා විසඳගන්න එක තමයි ආදරේ තියෙන සැබෑම සුන්දරත්වය.
තාරායි මාධවයි වගේ ටයිම් බොම්බයක් උඩ ඉන්නවාට වඩා, පොඩි රණ්ඩුවක් වෙලා ඊටපස්සේ තවත් ආදරෙන් ලං වෙන එක මාරම ෂෝක් නේද?










