හීන හැබෑ නොවෙන්නේ ඕනෑවට වඩා කතා කරන හින්දද?

ඔයා කවදහරි ඔයා කරන්න යන ලොකු වැඩක් ගැන හැමෝටම කියලා තියෙනවද?

“මං මේක කරනවා”
“මං අරක පටන් ගන්නවා”
“මගේ ඊළඟ target එක මේක” කියලා හැමෝටම කියලා, ඒ වෙලාවේ ඒක ගැන හිතද්දි මාර ගැම්මක් දැනිලා තියෙනවද?

හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඒ ගැම්ම කොහෙදෝ නැතිවෙලා ගිහින්, අර වැඩේ පටන් ගන්නවත් හිතෙන්නේ නැති වෙලා තියෙනවද?

සමහර වෙලාවට අපි අපේ හීන ගැන ඕනෑවට වඩා කතා කරද්දී, ඒ හීන හැබෑ කරගන්න තියෙන ගැම්ම අඩු වෙන්න පුළුවන්.

මේක තේරුම් ගන්න ලස්සන කතාවක් තියෙනවා.

එකමත් එක්ක කාලෙක පුංචි ගමක සයිමන් කියලා තරුණයෙක් හිටියා. සයිමන්ට තිබුණ හීන ගොඩක්. එයා හැම සතියෙම අලුත් දෙයක් පටන් ගන්න ප්ලෑන් කළා.

එක දවසක් එයාට හිතුණා තමන්ගේම කඩයක් දාන්න ඕන කියලා. ඊළඟ සතියේ මැටි වලං හදන්න ඉගෙනගන්න තීරණය කළා. ඊට පස්සේ ගෙයක් හදන්නත් හීන දැක්කා.

හැබැයි සයිමන්ට තිබුණ අමුතු පුරුද්දක්. එයා මොනවාහරි දෙයක් පටන් ගන්න කලින්ම ඒ ගැන ගමේ හැමෝටම කියනවා. දවසක් එයා කඩමණ්ඩිය මැද්දෙන් ඇවිදගෙන ගිහින් සද්දෙට කිව්වා,

“මං මේ ගමේ ලොකුම කඩේ දානවා!”

මිනිස්සු අත්පුඩි ගැහුවා. හිනා වුණා. එයාට සුබ පැතුවා. ඒ වෙලාවේ සයිමන්ට දැනුණේ පුදුම සතුටක්. තමන් ලොකු දෙයක් කරන්න යන කෙනෙක් කියලා එයාටම හිතුණා. එදා රෑ එයාට හොඳට නින්ද ගියා. හැබැයි ඊළඟ උදේ ඇත්තටම කඩේ දාන්න වැඩ පටන් ගන්න වෙලාව ආවම එයාට ලොකු මහන්සියක් දැනුණා.

ඊයේ තිබුණු ගැම්ම අද නෑ.

“හෙට පටන් ගන්නවා” කියලා හිතුවා. හෙටත් ආවා. ඒත් වැඩේ පටන් ගත්තේ නෑ. දවස් ගණනක් ගෙවිලා ගියා. අන්තිමේදී සයිමන් කඩේ දැම්මෙම නෑ. ඊට පස්සේ එයාට අලුත් හීනයක් ආවා.

“මං ලස්සනම ලස්සන මැටි වලං හදන්න ඉගෙන ගන්නවා!”

ඒ පාරත් එයා ගමේ මිනිස්සු එකතු කරලා තමන්ගේ අලුත් හීනය ගැන සද්දෙට කතා කළා.

“මං හදන වලං ගමේ හැමෝම ගනී. මගේ වලං තමයි මේ ගමේ ලස්සනම වලං!”

මිනිස්සු එයාව ප්‍රශංසා කළා. දිරිමත් කළා. සයිමන්ට ආයෙත් මාර සතුටක් දැනුණා.

හැබැයි දවස් කීපයක් ගියාට පස්සේ ඒ හීනයත් එයාට එපා වුණා. මැටි ටිකක්වත් අල්ලලා බැලුවේ නෑ. මේ විදිහට අවුරුදු ගණනක් ගෙවිලා ගියා.

සයිමන් හැමදාම තමන්ගේ ඊළඟ හීනය ගැන අනිත් අයට කිව්වා.

මිනිස්සු ඒ වචන අහලා සතුටු වුණා. එයාව ප්‍රශංසා කළා.

හැබැයි සයිමන්ගේ අත් දෙක හිස්. එයාගේ ජීවිතේ කිසිම වෙනසක් වුණේ නෑ. අන්තිමේදී සයිමන්ට තමන් ගැනම ලැජ්ජාවක් දැනෙන්න පටන් ගත්තා.

“ඇයි මං හැමදාම මෙහෙම වෙන්නේ?”

“ඇයි මට කිසිම දෙයක් ඉවර කරගන්න බැරි?”

එයාටම ඒකට උත්තරයක් තිබුණේ නෑ.

හිත ඇතුළෙන් ලොකු දුකක් එක්ක, තමන් එකම තැනක හිරවෙලා වගේ එයාට දැනුණා. දවසක් හැන්දෑවක සයිමන් පරණ ළිඳක් ළඟ තනියම වාඩි වෙලා හිටියා. එතකොට ගමේ හිටපු වයසක මනුස්සයෙක් එයා ළඟට ආවා. මේ මනුස්සයා ගොඩක් නිහඬ, නිහතමානී කෙනෙක්. ගමේ මිනිස්සුත් එයාට ගොඩක් ගරු කළා. හැබැයි එයා වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි. වයසක මනුස්සයා සයිමන් ළඟින් වාඩිවෙලා හිමීට ඇහුවා,

“පුතේ ඇයි මේ ගොඩක් කල්පනා කරන්නෙ?” කියලා 

සයිමන් ලොකු හුස්මක් අරගෙන කිව්වා, “මට හීන ගොඩක් තියෙනවා. හැබැයි මං කවදාවත් කිසිම දෙයක් කරලා ඉවර කරන්නේ නෑ. මට මොනවා වෙලාද කියලා මටම තේරෙන්නේ නෑ” කියලා

එතනින් පස්සේ ඒ වයසක මනුස්සයා සයිමන්ට කියන කතාව තමයි මේ හීන ගැන අපිට තියෙන ලොකුම පාඩම.

ඒ වයසක මනුස්සයා හිමීට ඔළුව වනලා සයිමන්ගෙන් ඇහුවා,

“මට කියන්නකෝ ඔයාට අලුත් අදහසක් ආවාම ඔයා මොකද කරන්නේ?”

සයිමන් ඉක්මනටම උත්තර දුන්නා.

“මම හැමෝටම ඒ ගැන කියනවා. මම කරන්න යන දේ ගැන අනිත් අය දැනගන්නවට මම කැමතියි. එයාලා මං ගැන ආඩම්බර වෙනවා දකින්න මම ආසයි.”

වයසක මනුස්සයා හීන් හිනාවක් දාලා කිව්වා, “හෙට උදේ මාත් එක්ක එන්නකෝ. මට ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.”

පහුවදා උදේ සයිමන් ඒ වයසක මනුස්සයාව හම්බවෙන්න ගියා. එයාගේ අතේ ඇට වර්ග දෙකක් තිබුණා. වයසක මනුස්සයා එක ඇටයක් සයිමන්ගේ අතට දීලා කිව්වා,“මේක පොළොවේ හිටවන්න.” කියලා.

සයිමන් පොඩි වලක් හාරලා ඒ ඇටය ඒක ඇතුළේ තියලා පස්වලින් වහලා දැම්මා.

ඊට පස්සේ වයසක මනුස්සයා අනිත් ඇටය අතට ගත්තා. හැබැයි ඒක හිටවන්නේ නැතුව අත උඩට උස්සලා, ළඟ සෙල්ලම් කර කර හිටපු ළමයි ටිකකට කතා කළා.

“ඔක්කොමලා මෙහෙ බලන්න. මගේ ළඟ ඇටයක් තියෙනවා. ළඟදීම මේක ලස්සන ගහක් වෙනවා. බලන්නකෝ, මේක කොච්චර ලස්සන ගහක් වෙයිද කියලා!”

ළමයි අත්පුඩි ගැහුවා. හිනා වුණා.

වයසක මනුස්සයා ඒ ඇටය ගලක් උඩින් තියලා එතනින් යන්න ගියා.

දවස් ගෙවිලා ගියා.

වයසක මනුස්සයා පොළොව යට හිටවපු ඇටයට විතරක් වතුර දැම්මා.

ඒ ගැන එයා කාටවත් මුකුත් කිව්වේ නෑ.

සයිමනුත් නිතරම මේ වත්තට ආවා.

ටිකෙන් ටික පොළොවෙන් පුංචි දල්ලක් මතු වුණා. සතියෙන් සතිය ඒක තව ටිකක් ලොකු වුණා.

වයසක මනුස්සයා තාමත් ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නෑ. එයා කළේ නිහඬව ඒ පැළයට වතුර දාන එක විතරයි.

ඒ අතරේ ගල උඩ තිබුණු ඇටයට කිසිම වෙනසක් වුණේ නෑ. ඒක වේළිලා ගියා. කුරුල්ලෝ ඇවිත් ඒකෙන් කෑලි කඩාගෙන ගියා. අන්තිමේදී ඒ ඇටය කවදාවත් පැළ වුණේ නෑ. සති කීපයකට පස්සේ සයිමන් දැක්කා පොළොවේ හිටවපු ඇටයෙන් හැදුණු පැළය හොඳට වැඩිලා තියෙනවා. අනිත් ඇටය නම් එතන තිබුණෙවත් නෑ.

වයසක මනුස්සයා සයිමන් ළඟින් හිටගෙන හිමීට කිව්වා,

“සයිමන් ඇටයක් පැළවෙන්න නම් ඒකට නිහඬතාවය ඕනේ. ඒක අඳුරේ තියෙන්න ඕනේ. පොළොව යට හැංගිලා තියෙන්න ඕනේ. ඔයා ඒක එළියේ තියලා, ඒ ගැන හැමෝටම කියන්න ගියොත් ඒක වේළිලා යනවා. නැත්නම් කවුරුහරි ඒක අරන් යනවා. ඒක කවදාවත් ගහක් වෙන්නේ නෑ.”

සයිමන් අර පුංචි පැළය දිහා බලාගෙනම හිටියා.

එයාගේ හිත ඇතුළේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න පටන් ගත්තා.

වයසක මනුස්සයා දිගටම කතා කළා.

“ඔයා ඔයාගේ හීන ගැන කල්තියාම මිනිස්සුන්ට කිව්වහම, ඔයාට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ වැඩේ කරලා ඉවරයි වගේ හැඟීමක් ඔයාට එනවා. මිනිස්සුන්ගේ ප්‍රශංසාව ඔයාට සතුටක් දෙනවා. ඒ සතුට නිසා ඔයාගේ මොළේ හිතනවා මං මේ ඉලක්කයට ළඟා වෙලා ඉවරයි කියලා. ඒ නිසා දිගටම වැඩේ කරගෙන යන්න තියෙන ගැම්ම ටිකෙන් ටික නැතිවෙලා යනවා. වැඩ කරන්න ඕන කරන ශක්තිය, වචනවලින්ම වැය වෙලා යනවා.”

සයිමන්ට ලොකු ලැජ්ජාවක් දැනුණා. මොකද, එයා මෙච්චර කල් කරලා තිබුණෙත් ඒකමයි. එයා ප්ලෑන් එකක් ගැන හැමෝටම කියපු හැම වෙලාවකම, ඒක කරන්න කලින්ම එයාට මං සාර්ථකයි කියන හැඟීම ලැබුණා. මිනිස්සුන්ගේ ප්‍රශංසාව ලැබුණා. අත්පුඩි ලැබුණා. ඒ ප්‍රශංසාවත්, අත්පුඩිත් එක්ක එයා හොයපු ආඩම්බර හැඟීමත් එතකොටම ලැබිලා තිබුණා. ඒ නිසා ඇත්තටම ඒ දේ සම්පූර්ණ කරන්න මහන්සි වෙන්න තරම් අවශ්‍යතාවයක් එයාට ඉතිරි වුණේ නෑ.

වයසක මනුස්සයා සයිමන්ගේ ඔළුවට අත තියලා කිව්වා,

“හීන කියන්නේ පටන් ගන්නකොට ගොඩක් දුර්වල දේවල්. ඒවට ආරක්ෂාව ඕනේ. ඒවා නිහඬව තියාගන්න. ඔයාගේ මහන්සිය කියන අඳුරු පස ඇතුළේ ඒවාට හැදෙන්න දෙන්න. ගහක් ශක්තිමත් වුණාම හැමෝටම ඒක පේනවා. එතකොට ඔයාට කෑ ගහලා ඒ ගැන කියන්න ඕන වෙන්නේ නෑ.”

සයිමන් වයසක මනුස්සයාට ස්තූති කරලා හිමීට ගෙදරට ඇවිදගෙන ගියා.

එයාගේ ඔළුව පුරාම තිබුණේ එක එක කල්පනා.

එදා රෑ එයා එක තීරණයක් ගත්තා. මේ සැරේ එයා අලුත් දෙයක් උත්සාහ කරනවා. හැබැයි මේ සැරේ ඒ ගැන කාටවත් කියන්නේ නෑ. එයා හරිම සරල ඉලක්කයක් තෝරගත්තා. ලී පුටුවක් හදන එක. එයා ඒ ගැන කාටවත් කිව්වේ නෑ. මිනිස්සු එකතු කළේ නෑ. ප්‍රශංසා බලාපොරොත්තු වුණේ නෑ. එයා නිකන්ම වැඩේ පටන් ගත්තා.

හැමදාම හවස තමන්ගේ වැඩ ඉවර වුණාට පස්සේ, එයා නිස්කලංක තැනකට වෙලා ලී කෑලි අරගෙන වැඩ කළා. සමහර දවස්වල එයාට මාර උද්‍යෝගයක් දැනුණා.

අනිත් දවස්වල එයාට මහන්සි දැනුණා. හැබැයි කවුරුවත් මේ ගැන දන්නේ නැති නිසා කවුරුවත් එයාගෙන් ප්‍රශ්න ඇහුවේ නෑ. කවුරුවත් එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. එයාට කිසිම පීඩනයක් තිබුණේ නෑ. එයාට තිබුණේ එයාගේ අත් දෙකයි, ඒ ලී කෑලි ටිකයි විතරයි.

දවස් සති බවට පත් වුණා. පුටුව ටිකෙන් ටික හැඩ ගැහුණා. සමහර තැන්වල වැරදුණා. එයා ඒවා හදාගත්තා. ඒ වැරදිවලින් ඉගෙන ගත්තා. හිමීට පුටුව ශක්තිමත් වුණා. ලස්සන වුණා.

අන්තිමේදී වැඩේ ඉවර වුණාම සයිමන් ඒ පුටුවේ වාඩි වුණා. එයාට කවදාවත් දැනිලා නැති අමුතු හැඟීමක් දැනුණා. ඒක වචනවලින් ලැබෙන ආඩම්බරයක් නෙවෙයි. මිනිස්සු අත්පුඩි ගහලා දෙන ආඩම්බරයක් නෙවෙයි. තමන්ගේ අතින් දෙයක් කරලා, ඇත්තටම ඒක ඉවර කළාම දැනෙන නියම ආඩම්බරය.

දවසක් උදේ සයිමන්ගේ අල්ලපු ගෙදර කෙනා එළියේ තිබුණු මේ පුටුව දැක්කා.

“සයිමන්, මේක මාර ලස්සනයිනේ! ඔයා කවදද මේක හැදුවේ?”

සයිමන් හීන් හිනාවක් දාලා කිව්වා,

“මං ටික දවසක් තිස්සේ මේක හද හද හිටියේ.”

අල්ලපු ගෙදර කෙනා පුදුම වුණා.

“ඔයා කවදාවත් කාටවත් මේ ගැන කිව්වේ නෑනේ.”

සයිමන් ඔළුව වනලා කිව්වා,

“මට ඕන වුණේ මුලින්ම වැඩේ ඉවර කරන්න.”

ඒ කතාව හිමීට ගම පුරාම පැතිරුණා.

මිනිස්සු ඇවිත් මේ පුටුව දැක්කා. එයාලා පුදුම වුණා.

හැබැයි ඒ වෙද්දිත් සයිමන් එයාගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන ඉවරයි.

මේ සැරේ එයා ප්ලෑන් කළේ පොඩි මේසයක් හදන්න. ආයෙමත් සැරයක් එයා කාටවත් කිව්වේ නෑ. එයා නිහඬවම වැඩ කළා. සති ගණනක් ගෙවුණා. මේසය හැදිලා ඉවර වුණා. ඊට පස්සේ රාක්කයක්. ඊට පස්සේ තව පොඩි පුටුවක්. අවුරුදු ගණනක් ගෙවිලා ගියා. සයිමන් මුළු ගමේම දක්ෂ වඩුබාස් කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. හැබැයි එයා කවදාවත් එයාගේ ප්ලෑන් ගැන කලින් කිව්වේ නෑ. එයා එයාගේ වැඩ මිනිස්සුන්ට පෙන්නුවේ ඒවා සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ විතරයි.

එයා කතා කරපු වචනවලට වඩා එයා කරපු වැඩවලින් එයාගේ දක්ෂකම පෙනුණා.

ඒ නිසා මිනිස්සු එයාට කලින්ටත් වඩා ගරු කරන්න පටන් ගත්තා. සයිමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

වැඩක් පටන් ගන්න කලින් අනුන්ගෙන් ප්‍රශංසා ඕන වුණේ නෑ. ඒ හිස් ආඩම්බරය එයාට ආයෙත් ඕන වුණේ නෑ. ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් එයා හොයාගත්තා.

ඒ තමයි, තමන්ගේ අතින් ඇත්තටම දෙයක් නිර්මාණය කරලා ඉවර කරන එකේ තියෙන ඒ නිහඬ සතුට.

දැන් පොඩ්ඩක් ඔයාගේ ජීවිතය ගැනම හිතලා බලන්න.

ඔයා කොච්චර වතාවක් ඔයාගේ ඉලක්කයක් ගැන අනිත් අයට කියලා, ඊට පස්සේ ඒක කරන්න තියෙන ගැම්ම නැති කරගෙන තියෙනවද?

කොච්චර නම් හීන ඔයා කල්තියාම අනිත් අය එක්ක බෙදාගෙන, අන්තිමට ඒ හීන බොඳ වෙලා යනවා බලාගෙන ඉඳලා තියෙනවද?

ඔයා ඔයාගේ ප්ලෑන් ගැන කතා කරනකොට, සමහර වෙලාවට ඔයාගේ ශක්තිය අනිත් අයගේ ප්‍රතිචාරවලට බෙදා දෙනවා. ඔයාගේම මහන්සිය, අනිත් අයගේ ප්‍රශංසා සහ ප්‍රතිචාරවලින් යටපත් වෙන්න ඉඩ දෙනවා. ඒ නිසා සමහර හීනවලට වචනවලට වඩා නිහඬතාවය වැදගත්. ඔයාගේ හීන ඔයා ළඟම තියාගන්න. ඒවා පරිස්සම් කරන්න. ඔයාගේ නිර්මාණය ඉවර වෙනකල් ඒ ගැන හැමෝටම කියන්න අවශ්‍ය නෑ.

ඔයා හදමින් ඉන්නේ මොකක්ද කියලා මේ ලෝකෙට කලින්ම දැනගන්න ඕන නෑ.

ලෝකෙට ඕනේ ඔයා හදලා ඉවර කරපු දේ දකින්න විතරයි.

ඒ නිසා ඊළඟ වතාවේ ඔයාගේ ලොකු අයිඩියා එකක් ගැන හැමෝටම කියන්න හිතුණාම පොඩ්ඩක් නවතින්න.

නිහඬ වෙන්න.

ඒ ඇටේ අඳුරේම පැළවෙන්න ඉඩ දෙන්න.

ඔයාගේ මහන්සියෙන් ඒකට වතුර දාන්න.

ඒක ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න.

මොකද ගහ ශක්තිමත් වුණාම, ඔයා එක වචනයක්වත් නොකියාම ඒ ගහ හැමෝටම පෙනෙයි.

Related Articles

Don't Miss


Latest Articles