ඔයාලා කවදාවත් හිතලා තියෙනවද, හෝටලයක එක කාමරයක් එකපාරටම වහලා දාලා, අවුරුදු ගාණක් තිස්සේ කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැතුව තියෙන්නෙ ඇයි කියලා?
ඒ කාමරේ ඇතුළේ මොනවා තියෙනවා ඇතිද?
හැබැයි මේ කතාවේ තියෙන ප්රශ්නය ඒක විතරක් නෙවෙයි.
මොකද මේ කාමරය ගැන මිනිස්සු අතර එක එක කතා පැතිරෙනවා.
සමහරු කියන්නේ මේක ශාපලත් කාමරයක් කියලා. තවත් සමහරු කියන්නේ මේ කාමරේ ඇතුළේ හොල්මනක් ඉන්නවා කියලා. ඒත් මේ කතාව පටන් ගන්නවත් එක්කම, ඒ හැම කතාවක්ම නිකන් කටකතාවක් විතරක් නෙවෙයි වෙන්න පුළුවන් කියලා හිතෙන සිද්ධියක් සිද්ධ වෙනවා.
මොකද එකපාරටම මේ හෝටලේ වැඩ කරපු සේවිකාවක් අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා.
හෝටලේ හැම තැනම පරීක්ෂා කරලා බැලුවත් එයා ගැන කිසිම හෝඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එක තැනක් විතරක් තවමත් කවුරුවත් පරීක්ෂා කරලා නැහැ.
ඒ තමයි අර කාලෙක ඉඳන් වහලා දාලා තියෙන අභිරහස් කාමරය.
ඉතින් අතුරුදහන් වුණු සේවිකාව මේ කාමරයට ගියාද? එහෙමත් නැත්නම් මේ කාමරය ඇතුළේ හැංගිලා තියෙන්නේ කවුරුත් හිතාගන්නවත් බැරි වෙනත් රහසක්ද?
ඔන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තමයි අපි දැන් මේ කාමරය ඇතුළට යන්නේ.
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ඕම් බව්මන්. ඕම් කියන්නේ නවකතා ලියන ලේඛකයෙක්. මේ වෙද්දී ඕම් අලුත් නවකතාවක් ලියමින් ඉන්නේ. හැබැයි කතාවේ අවසානය ගැන තවමත් ඕම්ට හරිම අදහසක් නැහැ.
ඒක නිසා ඔලුව ටිකක් නිදහස් කරගෙන, කතාවේ අවසානය ගැන කල්පනා කරන්න ඕනේ කියලා හිතාගෙන ඕම් එයාගේ අම්මයි තාත්තයි කසාද බැන්දට පස්සේ මධුසමය ගත කරන්න ආපු හෝටලයට එනවා.
හැබැයි ඕම් මේ හෝටලයට ආවට පස්සේ දැනගන්නවා, එයාගේ අම්මයි තාත්තයි මධුසමය ගත කරන්න නවාතැන් ගත්ත ඒ විශේෂ කාමරය මේ වෙද්දී වහලා දාලා කියලා.

ඒ කාමරය ගැන හෝටලේ මිනිස්සු අතරත් එක එක කතා තියෙනවා. සමහරු කියන්නේ ඒකේ හොල්මනක් ඉන්නවා කියලා. තවත් අය කියන්නේ ඒක ශාපලත් කාමරයක් කියලා.
හැබැයි ඕම් නම් මුලින් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ.
ඒත් ටික දවසක් යන්නත් කලින්, හෝටලේ වැඩ කරමින් හිටපු සේවිකාවක් හිටි හැටියේම අතුරුදහන් වෙනවා.
හෝටලේ සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බැලුවත් එයා ගැන කිසිම හෝඩුවාවක් හම්බ වෙන්නේ නැහැ.
හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා.
අර වහලා දාලා තියෙන කාමරය තවමත් කවුරුවත් පරීක්ෂා කරලා නැහැ.
ඒක නිසා ඕම්ගේ හිතෙත් සැකයක් ඇති වෙනවා. සමහරවිට අතුරුදහන් වුණු සේවිකාව ඒ කාමරයට ගියාද දන්නෙත් නැහැනේ.
අන්න ඒ නිසා ඕම් තීරණය කරනවා, කවුරුත් ඇතුළට යන්න බය වෙලා ඉන්න මේ අභිරහස් කාමරය ඇතුළට ගිහින් පරීක්ෂා කරලා බලන්න.
හැබැයි ඕම් එතනදී දකින්නේ එයා කිසිම විදිහකින් බලාපොරොත්තු නොවුණු දෙයක්.
ඒ කාමරේ ඇතුළේ මොනවා තිබුණද?
ඇත්තටම ඒ කාමරේ හොල්මනක් හිටියද?
අතුරුදහන් වුණු සේවිකාවට මොකද වුණේ?
ඒ වගේම ඕම් මේ අභිරහස් කාමරය ඇතුළට ගියාට පස්සේ, එයාට ආපහු එළියට එන්න පුළුවන් වෙයිද?
ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ කුතුහලයෙන් පිරුණු හොරර් මිස්ට්‍රි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ.
ඉතින් වැඩි කතාබහක් නැතුව අපි දැන් බලමු, මේ වහලා දාපු කාමරය ඇතුළේ ඇත්තටම හැංගිලා තියෙන්නේ මොන වගේ අභිරහසක්ද කියලා.
ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ඕම්. ඕම් කියන්නේ ජනප්‍රිය නවකතා රචකයෙක්. මේ වෙද්දිත් ඕම් අලුත් නවකතාවක් ලියන ගමන් ඉන්නේ.
ඉතින් ඕම් ලියන මේ කතාවේ ඉන්නේ තාත්තෙකුයි පුතෙකුයි. මේ දෙන්නා මේ වෙද්දි කාන්තාරයක් මැද අතරමං වෙලා. කන්න කෑමක් නැහැ. බොන්න වතුරත් නැහැ. හැබැයි මේ කාන්තාරයෙන් එළියට යන පාර වගේම, මේ කාන්තාරයේ කොහේ හරි හංගලා තියෙන නිධානයක් ගැනත් සිතියමක් මේ තාත්තා ළඟ තියෙනවා.
හැබැයි ඒ සිතියම තියෙන්නේ බෝතලයක් ඇතුළේ. ප්‍රශ්නේ තමයි මේ බෝතලේ පියන කැඩිලා ගිහින්. අන්න ඒක නිසා සිතියම එළියට ගන්න නම් බෝතලේ බිඳින්න වෙනවා.

තාත්තා බෝතලේ වැලිවල ගහලා බලනවා. ඒත් කොච්චර උත්සාහ කළත් බෝතලේ බිඳෙන්නේ නැහැ. ඉතින් මේ කාන්තාරය මැදින් ගලක් හොයාගන්නත් විදිහක් නැහැ.
අන්තිමේදී තාත්තට තේරෙනවා වෙනත් විකල්පයක් නැහැ කියලා. ඒක නිසා එයා ගන්න හදන්නේ බොහොම දරුණු තීරණයක්.
තමන්ගේ දරුවාගේ ඔළුවේ මේ බෝතලේ ගහලා බිඳලා, ඇතුළේ තියෙන සිතියම එළියට ගන්න තමයි මේ තාත්තා හදන්නේ.
හැබැයි ප්‍රශ්නේ මේකයි. ඇත්තටම තමන්ගේ දරුවාගේ ජීවිතය අනතුරේ දාලා හරි, මේ කාන්තාරයේ හංගලා තියෙන නිධානය හොයාගෙන මෙතනින් පැනගන්න තාත්තා කෙනෙක් තීරණය කරයිද?
අන්න ඒක නිසා ඕම්ටත් තේරෙනවා, මේ නවකතාවට හිතාගන්නවත් බැරි තරම් දරුණු අවසානයක් තියෙනවා කියලා. ඒත් ඕම් කොච්චර කල්පනා කළත්, මේ කතාවට මීට වඩා හොඳ වෙනත් අවසානයක් හොයාගන්න බැහැ.
කොහොම නමුත් මේ කතාව ලියන ඕම්ගේ ජීවිතයත් මේ වෙද්දි ඒ තරම් සරල නැහැ.
මොකද ඕම්ගේ අම්මයි තාත්තයි මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. එයාලගේ අළු දාපු භාජන දෙක තවමත් ඕම් ළඟ තියෙනවා. හැබැයි මේ අළු කොහෙද තැන්පත් කරන්නේ කියලා ඕම්ට තවමත් හරියට අදහසක් නැහැ.
ඔන්න මේ අතරේ එකපාරටම තත්පර කිහිපයකට වගේ ඕම්ට පේනවා එයාගේ අම්මා එතන ඉන්නවා.
හැබැයි කලින් කිව්වා වගේම ඕම්ගේ අම්මා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. එහෙනම් ඕම්ට ඇත්තටම පේන්නේ මොකක්ද? කොහොම නමුත් ඊට පස්සේ ඕම් පරණ පෙට්ටියක් ඇතුළේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලනවා. ඒ පෙට්ටිය ඇතුළේ ඕම්ගේ අම්මයි තාත්තයි තරුණ කාලේ ගත්ත පරණ ෆොටෝ කිහිපයක් තියෙනවා.ඊට පස්සේ ඕම් මේ පෙට්ටිය ඇතුළෙන් තවත් ලී පෙට්ටියක් එළියට ගන්නවා. ඒකත් ඇරලා බලනවා.ඒ ලී පෙට්ටිය ඇතුළේ තියෙන්නේ පරණ ආයුධයක්. ඒ වගේම ඕම්ගේ අම්මයි තාත්තයි කසාද බැඳලා මධුසමය ගත කරන්න ගියපු බිල්බෙරි වුඩ්ස් කියන හෝටලයේ කාඩ් එකකුත් එතන තියෙනවා.
ඔන්න මේ වෙලාවේදී ඕම්ට අදහසක් එනවා.
ඕම්ගේ අම්මාගේ අළු කොහෙද දාන්නේ කියලා එයාට අදහසක් තිබුණේ නැහැනේ. ඒත් මේ හෝටලයේ කාඩ් එක දැක්කට පස්සේ ඕම් හිතනවා, අම්මාගේ අළු මේ හෝටලය ළඟ තියෙන වනාන්තරයට දැම්මොත් හොඳයි කියලා.
මොකද ඕම් අහලා තියෙන විදියට එයාගේ අම්මයි තාත්තයි ඒ හෝටලයේ ගොඩක් සතුටින් මධුසමය ගත කරලා තියෙනවා.
අන්න ඒ නිසා ඕම් තීරණය කරනවා අම්මාගේ අළුත් අරගෙන ඒ හෝටලයට යන්න.
ඉතින් ඕම් පිටත් වෙන්නේ බිල්බෙරි වුඩ්ස් කියන මේ හෝටලයට. මේ හෝටලය තියෙන්නේ අයර්ලන්තයේ බොහොම පරිසරකාමී, නිස්කලංක ගමක.
හැබැයි ඕම් මේ හෝටලය ළඟට ඇවිල්ලා වාහනයෙන් බැහැලා ඇතුළට යන්න කලින් දකින්නේ නම් ඒ තරම් හොඳ දර්ශනයක් නෙවෙයි.
මොකද හෝටලයේ වතුපිටියේ කෙනෙක් ඉන්නවා.
එයාගේ නම තමයි ෆර්ගල්.
ෆර්ගල්ගේ වාහනයට නිතරම වගේ එළුවෝ පනිනවා. එතකොට වාහනයට හානි වෙනවානේ. අන්න ඒක නිසා ෆර්ගල් දුන්නකින් විදලා එක එළුවෙක්ව මේ වෙද්දි මරලා දාලා තියෙනවා. ඉතින් ඕම් හෝටලය ඇතුළට යන්න කලින්ම දකින්නේ මේ දර්ශනය තමයි.
කොහොම නමුත් ඕම් ඒක ගැන වැඩි අවධානයක් දෙන්නේ නැතුව හෝටලය ඇතුළට යනවා.
ඉතින් මේ හෝටලයේ අයිතිකාරයාගේ නම තමයි කොබ්. කොබ් කියන්නේ ටිකක් වයසක මනුස්සයෙක්. මේ වෙලාවේ හෝටලයේ නැවතිලා ඉන්න පවුලක දරුවන් දෙන්නෙක්ට කොබ් හොල්මන් කතාවක් කියලා බය කරන ගමන් ඉන්නේ.
කොබ් මේ දරුවන් දෙන්නට කියන්නේ මායාකාරියක් ගැන කතාවක්. ඒ මායාකාරිය අතරමං වෙන සංචාරකයන්ව තමන්ගේ මායාවලට හසු කරගන්නවාලු. ඊට පස්සේ දම්වැල් දාලා ඒ සංචාරකයන්ව අපායට අරගෙන යනවාලු.
ඉතින් මේ කතාව අහගෙන ඉන්න දරුවන් දෙන්නා දැන් හොඳටම බය වෙලා. අන්න ඒ නිසා කොබ් ඒ දෙන්නව එතනින් යවනවා.
කොහොම නමුත් මේ අතරේ හෝටලයේ ඉන්න තවත් පිරිමි කෙනෙක් එතනට එනවා. එයාගේ නම තමයි මැල්.
ඇත්තටම මේ කොබ් කියන්නේ මැල්ගේ මාමා. මැල්ලා ඕම් මේ හෝටලයට එන්න කලින් දවස් කිහිපයකටම කාමරයක් වෙන් කරගෙන තියෙන්නේ.
ඕම් ගැන විස්තර අහද්දි මැල්ට යාන්තමට මතක් වෙනවා, ඕම් කියන්නේ ජනප්‍රිය නවකතා රචකයෙක් කියලා. හැබැයි මැල් නම් ඕම්ගේ රසිකයෙක් නෙවෙයි.
නමුත් මැල්ට පුතෙක් ඉන්නවා. ඒ පුතා නම් ඕම්ගේ රසිකයෙක්.
අන්න ඒක නිසා මැල් ඕම්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.
“මම ඔබතුමාගේ පොතක් අරගෙන ආවොත්, මගේ පුතා වෙනුවෙන් ඒකේ සමරු සටහනක් දාලා දෙන්න පුළුවන්ද?” කියලා.
හැබැයි ඕම් ඒකට කැමති වෙන්නේ නැහැ. “මට වැඩ ගොඩක් තියෙනවා. මම මෙහෙට ආවේ නිදහසේ ඉන්න. ඒ නිසා මට බාධා කරන්න එපා” කියලා ඕම් තමන්ගේ කාමරයේ යතුරත් අරගෙන එතනින් පිටත් වෙනවා.
හැබැයි මේ හෝටලයේ කාමර ගොඩක් තියෙනවා. ඒ අතරින් තමන්ගේ කාමරය තියෙන්නේ කොහෙද කියලා මුලින්ම ඕම්ට හිතාගන්න බැහැ.
අන්න ඒ වෙලාවේ තමයි ඕම්ට උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ.
ඒ තමයි මේ හෝටලයේ වැඩ කරන සේවිකාව ෆියෝනා.
ඕම්ට තමන්ගේ කාමරය හොයාගන්න අමාරු නිසා ෆියෝනා එයාට ඒකට උදව් කරනවා.
මේ අතරේ ඕම්ට ආපහු අර විශේෂ කාමරය දකින්න ලැබෙනවා. මේ හෝටලයේ මධුසමය ගත කරන අය වෙනුවෙන්ම වෙන් කරලා තිබුණු කාමරයක්. හැබැයි මේ වෙද්දි මොකක් හරි හේතුවක් නිසා ඒ කාමරය වහලා දාලා තියෙනවා.
ඒ කාමරය දැක්කට පස්සේ ඕම්ගේ හිතේත් පොඩි කුතුහලයක් ඇති වෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒ ගැන වැඩි දෙයක් හොයන්න ඕම් උත්සාහ කරන්නේ නැහැ.
ඔන්න ඊට පස්සේ ඕම් තමන්ගේ අම්මාගේ අළු ටිකත් අරගෙන හෝටලය පිටිපස්සේ තියෙන වනාන්තරය ළඟට යනවා. අම්මාගේ අළු ටික එතන තැන්පත් කරලා ඕම් ආපහු එන්න හදනවා.
හැබැයි එතනදී ඕම්ට මේ වනාන්තරයේ ඉන්න මනුස්සයෙක්ව දකින්න ලැබෙනවා. මෙයාගේ නම තමයි ජෙරී. ජෙරීට කියලා ස්ථිර ගෙයක් නැහැ. එයාට තියෙන්නේ රතුපාට වෑන් එකක්. ජෙරී ජීවත් වෙන්නේත්, නිදාගන්නේත් මේ වෑන් එක ඇතුළේ. ඒ විතරක් නෙවෙයි, මේ වෙද්දි ජෙරී හොඳටම බීලා මත් වෙලයි ඉන්නේ.
ඉතින් මේ මනුස්සයා කවුද? ඇයි එයා මේ වනාන්තරය ඇතුළේ ජීවත් වෙන්නේ? ඕම් මේ හෝටලයට ආවට පස්සේ එයාගේ ජීවිතයට ජෙරී සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ ප්රශ්නවල උත්තර නම් අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්.
ඉතින් ජෙරී තමන් හදාගන්න මේ විශේෂ මත්පැන්වලට භාවිතා කරන්නේ මේ වනාන්තරයේ තියෙන විශේෂ හතු වර්ගයක්. ඒ හතු වේලලා, කුඩු කරලා එළු කිරිවලට එකතු කරලයි ජෙරී මේක හදාගන්නේ.
ඔන්න ඕම්ත් ජෙරී හදලා තියෙන මේ විශේෂ මත්පැන්වලින් ටිකක් බීලා, ජෙරී එක්ක කතාබහ කරලා එතනින් පිටත් වෙනවා.
ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඒ දවසේ රෑ වෙන සිද්ධියක්.
ඕම් හෝටලයේ බාර් එකට ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් ගන්න අතරතුරේදී නිකමට වගේ ෆියෝනා එක්ක කතාබහ කරනවා. මේ වෙලාවේ ඕම් තමන් ලියමින් ඉන්න අලුත්ම නවකතාව ගැන වගේම, ඒකේ අවසානය ගැනත් ෆියෝනාට කියනවා.
හැබැයි ෆියෝනා නම් මේ නවකතාවේ අවසානයට ඒ තරම් කැමති වෙන්නේ නැහැ.
“තාත්තා කෙනෙක් මේ වගේ දෙයක් තමන්ගේම දරුවෙක්ට කරන්නේ නැහැ. ඒ නිසා මම නම් මේ අවසානයට ඒ තරම් කැමති නැහැ” කියලා ෆියෝනා ඕම්ට කියනවා.
ඔන්න මේ දෙන්නා කතාබහ කරගෙන ඉන්න අතරේ ඕම් ෆියෝනා දිහා බලලා එකපාරටම කියනවා, “ඔයාගේ පෙනුම හරියට මගේ අම්මා වගේ.”
අම්මා ගැන කතා කරපු නිසා ෆියෝනාටත් ඕම්ගේ අම්මා ගැන දැනගන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා ෆියෝනා ඕම්ගෙන් එයාගේ අම්මයි තාත්තයි ගැන විස්තර අහනවා.
ඕම්ගේ අම්මා මිය ගිහින් තියෙන්නේ ඕම් පුංචි කාලෙදිමයි.
හැබැයි ඒක නිකන්ම සිද්ධ වුණු මරණයක් නෙවෙයි. ඕම්ගේ අම්මා වැඩ ඇරිලා ගෙදර එනවත් එක්කම, කෙනෙක් එයාට වෙඩි තබලා ඝාතනය කරලා තියෙනවා.
මේ කතාව ඇහුවට පස්සේ ෆියෝනාටත් ගොඩක් දුක හිතෙනවා. ඒත් එයා ඕම්ගෙන් අහනවා, “ඔයාගේ අම්මාව ඝාතනය කරපු මිනිහව අල්ලගත්තද?” කියලා.
ඒත් ඕම් කියන විදියට, තමන්ගේ අම්මාට ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ වැඩිහිටි මිනිහෙක් නෙවෙයි. ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ පුංචි දරුවෙක්.
ඒ කතාවෙන් පස්සේ ෆියෝනා ඕම්ගෙන් එයාගේ තාත්තා ගැනත් අහනවා.
ඕම්ගේ අම්මාගේ හදිසි මරණයෙන් පස්සේ එයාගේ තාත්තා බීමට ඇබ්බැහි වෙලා. අන්තිමේදී ඒ නිසාම ඕම්ගේ තාත්තත් මිය ගිහින් තියෙනවා.
ඔන්න මේ විස්තර ටිකත් ඕම් ෆියෝනාට කියනවා.
ඊට පස්සේ ඕම් ෆියෝනාගෙන් අහනවා, මේ හෝටලයේ මධුසමය වෙනුවෙන්ම වෙන් කරලා තිබුණු කාමරය ඇයි මේ වෙද්දි වහලා දාලා තියෙන්නේ කියලා.
ඒ වෙලාවේ ෆියෝනා ඕම්ට කියනවා, ඒ කාමරය වහලා දාලා දැන් ගොඩක් කල් කියලා.
ගොඩක් අය විශ්වාස කරන්නේ ඒ කාමරය ඇතුළේ මායාකාරියකගේ හොල්මනක් තියෙනවා කියලා. ඒ වගේම ඒ කාමරය අවට එක එක අද්භූත සිදුවීම් ගොඩක් වෙලා තියෙනවාලු.
හැබැයි ෆියෝනා නම් ඒවා කියන්නෙ ඒ කතාවලට බය වෙලා වගේ නෙවෙයි.
“මට නම් ඇත්තටම ඔය කාමරය ඇතුළට ගිහින් බලන්න ලොකු ආසාවක් තියෙනවා. මම දවසක් මැල්ටත් කිව්වා කොහොමහරි ඒ කාමරේ යතුර කොබ් මහත්තයාගෙන් ඉල්ලගන්න කියලා. ඒත් මැල් මට යතුර අරගෙන දුන්නේ නැහැ.
යතුර තිබුණා නම්, අනිවාර්යයෙන්ම මම තනියම හරි ගිහින් ඒ කාමරය ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බලනවා,” කියලා ෆියෝනා ඕම්ට කියනවා.
හැබැයි ෆියෝනා ඒ වෙලාවේ දන්නේ නැහැ, තමන් මේ කියන්නේ ඊළඟට සිද්ධ වෙන්න යන භයානකම සිදුවීම්වලට සම්බන්ධ කාමරයක් ගැන කියලා.
ඕම් නම් මේ එක එක අද්භූත කතා ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ෆියෝනා මේ දේවල් ගැන කතා කරන විදිහෙන් නම්, එයාගේ හිතේ මේ අද්භූත සිදුවීම් ගැන ලොකු උනන්දුවක් තියෙනවා කියලා ඕම්ට තේරෙනවා.
අන්න ඒක නිසා ඕම් ෆියෝනාගෙන් අහනවා, “ඔයා ඇත්තටම මේ වගේ අද්භූත දේවල් විශ්වාස කරනවද?” කියලා.
ඒකට ෆියෝනා නිකන්ම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා තමන් ළඟ තියාගෙන ඉන්න රතුපාට පරණ පොතක් ඕම්ට පෙන්නනවා. මේ පොතේ තියෙන්නේ එක එක අද්භූත බලවේග ගැන වගේම මායාකාරියන් ගැනත් ලියපු විස්තර. ඒ පොතේ තියෙන විස්තරවලට අනුව, මායාකාරියක් කෙනෙක්ගේ පිටිපස්සෙන් එනවා නම් එයාගෙන් බේරෙන්න පුළුවන් පොඩි උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි තමන් ඉන්න තැන වටේට චෝක් එකකින් රවුමක් ඇඳගන්න එක. එහෙම කළාම මායාකාරියට ඒ රවුම ඇතුළට එන්න බැහැලු. ඒ කියන්නේ මේ වගේ අද්භූත දෙයක් ඇත්තටම සිද්ධ වුණොත්, බේරෙන්න පුළුවන් එකම ක්‍රමයත් ෆියෝනා මේ පොතෙන් හොයාගෙන තියෙනවා. ඔන්න මේ දෙන්නා මේ විදිහට කතා කර කර ඉන්න අතරේ හෝටලයේ වැඩ කරන තවත් සේවකයෙක් එතැනට එනවා. එයාගේ නම ඇල්බි. ඇල්බිටත් මේ වහලා දාලා තියෙන කාමරය ගැන කියන්න අමුතුම කතාවක් තියෙනවා.
ෆියෝනා ඇල්බිට කියනවා, එදා ඔයා දැකපු දේ ඕම් මහත්තයාටත් කියන්න කියලා.
ඇල්බි කියන විදිහට, දවසක් මේ වහලා දාලා තියෙන කාමරය ළඟ ඉන්නකොට එකපාරටම පිටිපස්සෙන් ලොකු හුළඟක් ඇවිල්ලා එයාගේ තොප්පිය බිමට වැටෙනවා. ඒකත් එක්ක ඇල්බි පිටිපස්ස හැරිලා බලනවා.
එතකොට තමයි අන්ධකාරෙ ඇතුළේ කාන්තාවක් හැංගිලා ඉන්නවා ඇල්බි දකින්නේ.
ඒක ඇත්තටම කාන්තාවක්ද? නැත්නම් ඒ කාන්තාවකගේ ඡායාවක් විතරද? ඇල්බිට නම් අදටත් ඒක හරියටම කියන්න බැහැ. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ඇල්බිට මේ කාමරය ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා.
ඒ වගේම ඇල්බි කියන්නේ ඕම්ගේ රසිකයෙක්. ඕම් වගේම නවකතා රචකයෙක් වෙන එක තමයි ඇල්බිගේ ලොකුම හීනය.
ඇල්බි මේ වෙද්දිත් නවකතාවක් ලියලා තියෙනවා. හෝටලයේ වැඩ කරන ගමන්, තවත් රැකියා කිහිපයක් කරන ගමන් තමයි එයා මේ නවකතාව ලියලා තියෙන්නේ.
ඉතින් ඕම් එක්ක කතා කරන අතරේ ඇල්බි බොහොම ආසාවෙන් තමන්ගේ නවකතාව ගැනත් කියනවා.
ඕම් ළඟත් පොඩි රෙකෝඩරයක් තියෙනවා. තමන් ලියමින් ඉන්න නවකතාව ගැන මොකක් හරි අදහසක් හිතට ආවොත් ඒක ඉක්මනින්ම පටිගත කරගන්න ඕම් මේ රෙකෝඩරය පාවිච්චි කරනවා.
ඔන්න මේ වෙලාවේ ඇල්බි ඕම්ගෙන් අහනවා,
“මම ලියලා තියෙන නවකතාව ඔබතුමාට වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන්ද? ඒකේ තියෙන අඩුපාඩු මොනවද කියලා මට පෙන්නලා දෙන්න පුළුවන්ද?”
හැබැයි ඕම් ඒකට නම් කැමති වෙන්නේ නැහැ.
ඒ වෙනුවට ඕම් විහිළුවක් කරනවා වගේ මේසෙ උඩ තිබුණු හැන්දක් රත් කරලා ඇල්බිගේ අතට ගාවනවා.
ඒකෙන් ඇල්බිට වේදනාවක් දැනෙනවා.
මෙන්න මේ වෙලාවේ ඉඳන් තමයි අපිටත් තේරෙන්නේ ඕම් කියන්නේ නිකන්ම ටිකක් අමුතු මනුස්සයෙක් නෙවෙයි කියලා.
ඕම් කියන්නේ ජනප්‍රිය නවකතා රචකයෙක් වුණාට, එයාගේ හැසිරීම් නම් කිසිසේත්ම සාමාන්‍ය මනුස්සයෙක්ගේ වගේ නැහැ කියලා. ඒක ඇල්බිටත් තේරෙනවා. ඒ නිසා ඊට පස්සේ ඇල්බි ආපහු ඕම්ගෙන් කිසිම දෙයක් අහන්න යන්නේ නැහැ.
ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඒ දවසේ මධ්‍යම රාත්‍රියේ සිද්ධ වෙන දෙයක්. ඕම් එයාගේ වාහනයේ බඩු වගයක් දාලා ගිහින් තියෙනවා. මේ බඩු ටික ෆියෝනා දකිනවා. ඒ නිසා ෆියෝනා ඒ බඩු ටිකත් අරගෙන ඕම්ගේ කාමරය ළඟට එනවා. හැබැයි මේ වෙද්දි ඕම්ගේ කාමරයේ දොර වහලා. ඒ වගේම “බාධා කරන්න එපා” කියන බෝඩ් එකකුත් දොරේ එල්ලලා තියෙනවා. ඒත් මේක දැක්කට පස්සේ ෆියෝනාගේ හිතට නිකන්ම සැකයක් එනවා.
අන්න ඒක නිසා ෆියෝනා දොරට තට්ටු කරනවා. ඒත් ඇතුළෙන් කිසිම සද්දයක් නැහැ.
ඒ නිසා ෆියෝනා ඇල්බිට කියනවා, “අමතර යතුරක් පාවිච්චි කරලා දොර අරිමු. සමහරවිට ඕම් මහත්තයාට මොකක් හරි කරදරයක් වෙලා ඇති.”
ඇල්බි නම් මුලින් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඕම් කියන්නේ ටිකක් තරහ යන කෙනෙක් කියලා ඇල්බි දන්නවා.
හැබැයි ෆියෝනා කියන නිසා අන්තිමේදී මේ දෙන්නා අමතර යතුර පාවිච්චි කරලා ඕම්ගේ කාමරයේ දොර අරිනවා.
ඒත් දොර ඇරපු ගමන් මේ දෙන්නා දකින්නේ නම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්.
ඕම් කාමරය ඇතුළේ ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා තිබුණා.
වෙලාවට ෆියෝනායි ඇල්බියි එතැනට ආපු නිසා ඕම්ව ඉක්මනින්ම රෝහල්ගත කරනවා.
ඊට පස්සේ ඕම්ට මරණාසන්න අත්දැකීමක් වගේ දෙයක් ලැබුණු නිසාද මන්දා, එයාට අමුතුම හීනයක් පේනවා. ඒ හීනයේදී ඕම් දකින්නේ තමන්ගේ අම්මාව.
ඊට පස්සේ දවස් කිහිපයක් ගත වෙනවා. අන්තිමේදී ඕම්ට සිහිය එනවා.
පහුගිය දවස් කිහිපය පුරාවටම තමන් රෝහලේ හිටපු බව ඕම්ට තේරෙන්නේ සිහිය ආවට පස්සේ. දැන් ඕම්ට ඒ තරම් ලොකු අමාරුවක් නැහැ.
හැබැයි ඕම් නොදන්න එක දෙයක් තියෙනවා. එයා මේ හෝටලයට ආපු දවසේ ඉඳන් සිද්ධ වුණු දේවල් අතරේ, තවමත් කවුරුත් හොයාගන්න බැරි අභිරහසක් හෙමින් හෙමින් එළියට එමින් තිබුණා.
ඇත්තටම මේ වහලා දාපු කාමරය ඇතුළේ තියෙන්නේ මොනවද?
ඕම්ගේ අම්මාගේ මරණය පිටිපස්සේ තියෙන ඇත්ත මොකක්ද?
හොඳට හිටපු ඕම් ඇයි එකපාරටම සියදිවි නසාගන්න තීරණය කරේ?
ඒ වගේම ඕම්ට එකින් එක සිද්ධ වෙන මේ අද්භූත දේවල්වලට හේතුව මොකක්ද කියලා දැනගන්න නම්, Hokum ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා.











