පිටින් ලස්සන පවුල ඇතුලෙ තිබුණ සැඟවුණු ඝාතකාගාරය

අවුරුදු ගාණක් තිස්සේ ඒ පැත්තෙ ගෙවල්වල මිනිස්සු හිතුවේ ගෙවල් අයිනෙන් යන කාණු පද්ධතියෙන් මොකක් හරි අමුතු ගඳක් එනවා කියලා.

එච්චර ගඳක් එද්දිත් ළමයි එළියේ පාරේ සෙල්ලම් කළා.

ගෙදරට ආපු අමුත්තො කිසි ගාණක් නැතුව ප්‍රධාන දොරෙන් ගේ ඇතුළට ආවා ගියා.

හැමදාම උදේට ලියුම් බෙදන මනුස්සයා ලියුම් ගෙනත් දුන්නා.

යාලුවෝ හවස් වරුවට තේ බොන්න ඒ ගෙදරට ගොඩවැදුණා.

බැලූ බැල්මට ඒක හරිම සාමාන්‍ය, ආදර්ශමත් පවුලක් ජීවත් වුණු ගෙදරක් වගේ තමයි පේන්න තිබුණෙ.

හැබැයි ඇත්තටම ඒක එහෙම වුණේ නෑ..

ඒ ගෙදර මිදුලේ පොළොව යට, ගෙයි බිම් මහලේ ගෙබිමට යටින් හංගලා, කාමරවල බිත්ති අස්සේ හංගලා තිබුණේ මීට අවුරුදු ගණනාවකට කලින් අභිරහස් විදියට අතුරුදන් වෙච්ච මිනිස්සුන්ගේ මළසිරුරුවල කොටස් කියලා මං කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?

ඒවත් තරුණ, නවයොවුන් වියේ ගෑණු ළමයි සහ පොඩි ළමයි කියලා මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?

ඒ අයගෙන් සමහරු තමන්ගේ ගෙවල්වලින් පැනලා ආපු අය. තවත් සමහරුන්ව අන්තිමට දැකලා තිබුණේ හිනාවෙලා කතා කරපු හිතවන්ත පෙනුමක් තිබුණු පිටස්තරයෙක්ගේ කාර් එකකට නගිනවා විතරයි.

හැබැයි ළමයි දහදෙනෙක්ව හදලා වඩන අඹුසැමි යුවළක් ඉන්න ගෙදරක් යට මේ වගේ දෙයක් තියෙයි කියලා කවුරුත්ම හීනෙකින්වත් හිතුවේ නැහැ.

අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ, බ්‍රිතාන්‍යයේ ග්ලොස්ටර් නුවර තිබුණු ඒ ගෙදර ඇතුළේ, එංගලන්ත ඉතිහාසයේ දරුණුම සහ බය හිතෙනම රහසක් හැංගිලා තිබුණා.

මේ මුළු විනාශයටම වගකියන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි.

ඒ නීත්‍යානුකූලව විවාහ වුණු බිරිඳක් සහ සැමියෙක්.  ඒ තමයි ෆ්‍රෙඩ් සහ රෝස් වෙස්ට්

හෙදර් වෙස්ට්ගේ අතුරුදන් වීම සහ සැකයේ ආරම්භය

හැමදේම කණපිට හැරිලා, මේ මහා විනාශයේ සුලමුල එළියට එන්න පටන් ගත්තේ එකම එක ගෑණු ළමයෙක් අතුරුදහන් වීමත් එක්ක.

එයාගේ නම හෙදර් වෙස්ට්.

අනිත් අතුරුදන් වුණු ළමයි වගේ නෙවෙයි, හෙදර් වෙන නගරෙකටවත්, වෙන රටකටවත් පැනලා ගිහින් තිබුණේ නැහැ. එයා 1987 අවුරුද්දේදී අතුරුදන් වුණේ තමන්ගේම ගෙදර ඇතුළෙදිමයි.

නෑදෑයෝ හරි අසල්වාසී හරි හෙදර් කෝ කියලා අහපු හැම වෙලාවකම, එයාගේ අම්මයි තාත්තයි ළඟ ඒකට කියන්න ලෑස්ති කරපු උත්තරයක් තිබුණා.

“එයා වෙන පළාතකට පදිංචියට ගියා. එයා යාලුවෝ එක්ක නතර වෙලා ඉන්නවා. එයාට ආයෙත් ගෙදර එන්න ඕනකමක් නැහැ” කියලා මෙයාල කිව්වට මොකෝ  වැඩේ කියන්නේ, ඒ දෙන හැම උත්තරයක්ම එකිනෙකට වෙනස්. වෙලාවෙන් වෙලාවට කතාව මාරු වුණා.

ඔහොම අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා. තමන් හිටගෙන ඉන්න පොළොවෙන් අඩි කිහිපයක් යටින් තියෙන ඒ දරුණු ඇත්ත මොකක්ද කියලා හිතන්න තරම් කාටවත්ම වුවමනාවක් තිබුණේ නැහැ.

නමුත් 1994 පෙබරවාරි මාසයේදී, පොලිසිය සර්ච් වොරන්ට් එකකුත් අරගෙන කෙළින්ම වෙස්ට් පවුලේ ගෙදරට කඩං පැන්නා.

මිදුල යටින් මතුවුණු බියකරු සත්‍යය

නිලධාරීන් මිදුලේ පොළොව හාරද්දී, ඒ අයට මිනිස් ඇටසැකිල්ලක කොටස් හමුවුණා.

ඒ ඇටසැකිල්ල අයිති වෙලා තිබුණේ අර “එයා වෙන පළාතකට පදිංචියට ගියා. එයා යාලුවෝ එක්ක නතර වෙලා ඉන්නවා. එයාට ආයෙත් ගෙදර එන්න ඕනකමක් නැහැ” කියලා අම්මයි තාත්තයි එක්කහු වෙලා කතාවක් ගෙතුව හෙදර්ට!

එයා ගෙදරින් පැනලා ගිහින් තිබුණේ නැහැ. කිසිම දවසක එයා ඒ ගෙදරින් පිටවෙලා තිබුණේ නැහැ. තමන්ගේම සහෝදර සහෝදරියෝ අවුරුදු ගණනාවක් තිස්සේ සෙල්ලම් කරපු ඒ මිදුලේ පොළොව යටමයි හෙදර්ව වළලලා තිබුණේ.

පොලිස් පරීක්ෂකවරු මේ ගැන ප්‍රශ්න කරද්දී ෆ්‍රෙඩ් වෙස්ට් තමන්ගේ වරද පිළිගත්තා. හැබැයි එයා දුන්නු ඒ නිදහසට කරුණ අහලා පොලිසියේ අයටත් පුදුම හිතුණා.

“මට කවදාවත් හෙදර්ට රිද්දන්න ඕන වුණේ නැහැ.මට ඕන වුණේ එයාව පොළඹවලා ගෙදරම නතර කරගන්න විතරයි.”

හැබැයි සාක්ෂිවලින් ඔප්පු වුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. හෙදර්ගේ බෙල්ල හිරකරලා මරලා, ඊටපස්සේ ඇඟ කෑලිවලට කපලයි ගෙදර මිදුලේ රහසින්ම වළලලා තිබුණේ.

වැඩේ කියන්නේ, මේ අද්භූත සොයාගැනීම මේ දරුණු කතාවේ ආරම්භය විතරක් වෙච්ච එක.

පොලිසිය ඒ වත්තයි ගේයි හැමතැනම හාරන්න පටන් ගත්තට පස්සේ, ඒ මූසල ගෙදර තමන් ඇතුළේ හංගගෙන හිටපු රහස් ඔක්කොම එකින් එක එළියට දාන්න පටන් ගත්තා වගේ වුණා.

තවත් මිනී වළක්. ඊටපස්සේ තවත් එකක්. ඊටත් පස්සේ තවත් එකක් විදියට පොළොව හාරන්න හාරන්න මිනී මතුවෙන්න පටන් ගත්ත. පරීක්ෂණ පවත්වපු නිලධාරීන්ට වැඩි කල් යන්න කලින් තේරුණා, ඔය පොළොව යට වැළලිලා ඉන්න එකම ගොදුර හෙදර් විතරක් නෙවෙයි කියලා.

පහුගිය අවුරුදු විස්ස තිස්සේ අතුරුදන් වුණු තරුණ කාන්තාවන් කිහිපදෙනෙක්ම, මොන යම් හෝ විදියකින් මේ ෆ්‍රෙඩ් සහ රෝස් වෙස්ට් කියන අඹුසැමියන්ගේ දැලට අහුවෙලා තිබුණා.

සමහරු ඒ අයගේ වාහනේට ගොඩවෙලා තිබුණා. තවත් සමහරුන්ට ඒ අය රස්සාවල් දෙනවා කියලා රවට්ටලා තිබුණා. ඉතිරි අයට ගෙට එන්න කියලා ආරාධනා කරලා තිබුණා.හැබැයි ඒ කිසිම කෙනෙක් ආයෙමත් පණපිටින් ඒ ගෙදරින් එළියට ආවේ නැහැ.

අන්තිමේදී, ඒ නිස්කලංක ප්‍රදේශයක තිබුණු සාමාන්‍ය පවුලක ලස්සන ගෙදර, මිනිස් මළසිරුරුවලින් පිරුණු මහා සුසාන භූමියක් බවට පත්වෙලා තිබුණා.

දරුවන් විඳි අමානුෂික වධහිංසා සහ ළමුන්ගේ බියකරු විහිළුව

පොලිස් පරීක්ෂකවරුන්ව තව බය කරන්න හේතු වුණේ ඒ මූසල ගෙදර ඇතුළේ පණපිටින් බේරිලා හිටපු ළමයි ගැන දැනගන්න ලැබුණු තොරතුරු නිසයි.

පොලිසිය කරපු ප්‍රශ්න කිරීම්වලදී අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ළමයි විඳපු අමානුෂික ශාරීරික, මානසික වගේම දරුණු ලිංගික වධහිංසා ගැන හැමදේම එළියට ආවා.

ඒ අයගේ දුවෙක් වුණු මේ විස්තර කළේ, තමන්ගේම තාත්තා අතින් හැමදාම වගේ තමන් දරුණු ලිංගික අපයෝජනයට ලක්වෙච්ච හැටි.

වැඩිමහල් පුතා වුණු ස්ටීවන් පස්සේ කාලෙක පිළිගත්තා, එයාට ගෙදරට වඩා ඉස්කෝලේ ආරක්ෂිතයි කියලා හිතුණු බව.

“අපිට ගෙදර ඉන්නවට වඩා ඉස්කෝලේ ඉද්දී මාර සතුටක් දැනුණේ.ගෙදරට වඩා ඉස්කෝලේ හැම අතින්ම හොඳ තැනක් වුණා.”

තමන්ගේ අම්මා, ඒ කියන්නේ රෝස්ට එකපාරටම එන ඒ පිස්සුව ගැනත් එයා මතක් කළා. “එයා අපිට ගහන්න පටන් ගත්තොත් නවත්තන්නෙ නෑ. මට හිතුණේ එයාට ඒක නතර කරගන්න පුදුම අමාරු වුණා කියලා.”

මේ හැමදේම සිද්ධ වෙද්දී ළමයි කොච්චර බයවෙලා හිටියාද කියනවා නම්, ඒ අය තමන්ට වෙන දේවල් කාටවත්ම කියන්න ගියේ නැහැ. ඒ අයට හිතුණේ රජයේ ළමා ආරක්ෂක අංශවලට මේ ඇත්ත දැනගන්න ලැබුණොත්, තමන්ගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම සදහටම වෙන් කරලා දාලා තනි කරයි කියලා.

හැබැයි පුදුමයකට වගේ, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුම serial killersලා දෙන්නෙක්ව ලෝකය ඉස්සරහ නිරුවත් කරන්න නොදැනුවත්වම උදව් වුණේ මෙන්න මේ අහිංසක ළමයි ටිකම තමයි.

ඒ පවුල ඇතුළේ කාලෙක ඉඳන් හැමෝම අතරේ කියවුණු විහිලු කතාවක් තිබුණා.

ළමයෙක් මොකක් හරි නරක වැඩක් කළොත්එයා අන්තිමට නතර වෙන්නේ “මිදුලේ පොළොව යට” කියන එක.

වැඩිහිටියෝ ඒක ළමයින්ගේ මෝඩ කතාවක් කියලා ගණන් ගත්තේ නැහැ.

නමුත් ඒක විහිළුවක් නෙවෙයි බය හිතෙන ඇත්තක් කියන එක හැමෝම තේරුම් ගත්තෙ මේ ඔක්කොම එළි වුණාම.

අවුරුදු ගණනාවකට පස්සේ පරීක්ෂණ පවත්වපු නිලධාරීන් පිළිගත්තා, ළමයින්ගේ කටින් පිටවුණු ඒ බය හිතෙන වචන ටික තමයි තමන්ව කෙළින්ම හෙදර් වළලලා හිටපු වළ ළඟටම අරන් ගියේ කියලා.

එදා ඒ ළමයි තමන්ගේ බය පැත්තකින් තියලා ඇත්ත කතා කරන්න තරම් නිර්භීත වුණේ නැත්නම්, ඔය පොළොව යට අදටත් වැළලිලා ඉන්න සමහර මිනී කිසිම දවසක කාටවත්ම සොයාගන්න ලැබෙන්නේ නැහැ.

අපරාධයේ ඇරඹුම

පොලිස් පරීක්ෂකවරු මේ අතීතයේ සුලමුල එකින් එක ගළපලා බලද්දී තමයි තේරුණේ, මේ දරුණු විනාශය හෙදර්ගෙන් පටන් ගත්තු එකක් නෙවෙයි කියලා.

මේක පටන් අරන් තිබුණේ ඊට අවුරුදු ගණනාවකට කලින්.

1969 අවුරුද්දේදී වයස අවුරුදු 27ක් වුණු ෆ්‍රෙඩ් වෙස්ට්ගේ ඇහැ ගැටෙනවා චෙල්ටන්හැම් නුවර බස් හෝල්ට් එකක බලාගෙන ඉන්න, ලැජ්ජාශීලි පෙනුමක් තිබුණු අවුරුදු 15ක පාසල් කෙල්ලෙක්ව.එයාගෙ  නම රෝස්මරී ලෙට්ස්.

රෝස් හැදී වැඩුණෙත් දරුණු විදියේ මානසික පීඩනයක් තිබුණු පවුලක. දරිද්‍රතාවය, ශාරීරික හිංසනය සහ ලිංගික අපයෝජනය කියන දේවල් එයාගෙ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුණා.

මුලින්ම රෝස්ට ෆ්‍රෙඩ්ව පෙනුණේ කිසිම පිරිසිදුකමක් නැති, කැත මනුස්සයෙක් විදියට. හැබැයි ෆ්‍රෙඩ් ලෙහෙසියෙන් ගේම අතඇරියේ නැහැ. එයා රෝස්ට පුදුම විදියේ අවධානයක් දුන්නා. සති කිහිපයක් යන්න කලින් රෝස් තමන්ගේ රස්සාවත් අතඇරලා ෆ්‍රෙඩ්ගේ කලින් සම්බන්ධතාවයකින් ලැබුණු ළමයින්ව බලාගන්න ඒ ගෙදරට ආවා. මාස කිහිපයක් යද්දී තමන්ගේ පවුලත් අතඇරලා එයා ෆ්‍රෙඩ් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තා.

අන්න එහෙමයි මේ හැමදේම පටන් ගත්තෙ.

“මට ඕන විදියට මම රෝස්ව ට්‍රේන් කරගත්තා. එයා මගේ ලයිෆ් ස්ටයිල් එකට මරුවට ගැළපුණා.” කියලා ෆ්‍රෙඩ් කිව්වෙ අන්න ඒ හන්දා.

1960 අවුරුද්දෙ අන්තිම කාලෙ ඉඳන් තරුණ කෙල්ලො එකින් එක අතුරුදන් වෙන්න පටන් ගත්තා. සමහරු ගෙවල්වලින් පැනලා ඇවිත් නතර වෙන්න තැනක් හොයපු අය. සමහරු රස්සාවක් හොයපු අසරණ කෙල්ලන්. තවත් සමහරු කළේ නරකම මනුස්සයෙක්ව විශ්වාස කරපු එක විතරයි.

හැබැයි ඒ හැමෝටම වගේ 25 ක්‍රොම්වෙල් ස්ට්‍රීට් කියන ඒ ගෙදෙට්ට ඇතුල් වුණාට පස්සේ ආයෙමත් පණපිටින් එළියට එන්න ලැබුණේ නැහැ.

අවසාන නීතිමය ක්‍රියාමාර්ග සහ නොවිසඳුණු අභිරහස්

පොලිසිය ඒ ගෙදර වගේම ඒ අවට තිබුණු හැම තැනක්ම හාරලා පරීක්ෂණ ඉවර කරද්දී, එළියට ආපු අපරාධ තොගේ දැකලා මුළු බ්‍රිතාන්‍යයම ගල් ගැහුණා.

ෆ්‍රෙඩ් වෙස්ට් තමන් කරපු මිනීමැරුම් ගොඩක්ම පොලිසිය ඉස්සරහ පිළිගත්තා. හැබැයි උසාවියෙන් දඬුවම් ලබන්න කලින්ම, 1995 ජනවාරි මාසයේදී එයා හිරගෙදර ඇතුළේදී තමන්ගේම ජීවිතය නැති කරගත්තා.

නමුත් රෝස් තමන් කිසිම මිනීමැරුමකට සම්බන්ධ නැහැ කියලා අන්තිම වෙනකම්ම බොරු කිව්වා. හැබැයි ජූරි සභාව එයාගෙ ඒ කෙප්ප විශ්වාස කළේ නැහැ. මිනීමැරුම් දහයකට සෘජුවම වගකිවයුතුයි කියලා රෝස්ව වරදකාරිය කරපු උසාවිය, එයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. එයා අදටත් ඉන්නේ ඒ හිරගෙදර බිත්ති හතර ඇතුළේ.

අවුරුදු ගණනාවක් ගතවුණත්, පරීක්ෂණ පවත්වපු නිලධාරීන් අදටත් විශ්වාස කරන්නේ මේ පොළොව යට තවමත් කාටවත්ම හොයාගන්න බැරි වෙච්ච තවත් අහිංසක ගොදුරු හැංගිලා තියෙන්න පුළුවන් කියලා.

Related Articles

Don't Miss


Latest Articles