1976 ජූලි 15 වෙනිදා හැන්දෑවේ 4.00ට විතර, කැලිෆෝනියාවේ චව්චිලා කියන ප්රදේශයේ ගම්බද පාරකින් ස්කූල් බස් එකක් ගමන් කරන ගමන් තියෙනවා.
ඒක එඩ් කියන රියදුරාටත් හොඳට හුරුපුරුදු සාමාන්ය දවසක්. එයාගේ රාජකාරිය වුණේ ළමයින්ව පිහිනුම් පුහුණුවකට අරගෙන ගිහින්, ඒ වැඩේ ඉවර වුණාට පස්සේ ආයෙමත් ගෙවල්වලට ඇරලවන එක.
එදා බස් එක ඇතුළේ ළමයි 26 දෙනෙක් හිටියා. ලොකුම ළමයාට අවුරුදු 14යි. ගොඩක් දෙනෙක් අවුරුදු 10ටත් අඩුයි. බස් එකේ ඉන්න පොඩිම ළමයාට වයස අවුරුදු 5යි.
ඒත් ඒ දවසේ මේ සාමාන්ය ගමන, ටික වෙලාවකින් ඇමෙරිකානු ඉතිහාසයේ අමතක කරන්න බැරි සිදුවීමක් බවට පත්වෙන්න යන බව එඩ්වත්, මේ ළමයි 26 දෙනාවත් ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ.
ගම්බද පාරේ ටික දුරක් යද්දී එඩ්ට ඈත තියාම පේනවා සුදු පාට වෑන් එකක් පාර හරස් කරලා නවත්තලා තියෙනවා. පාර දෙපැත්තෙම කාණු තිබුණු නිසා, ඒ වෑන් එක අයින් නොකර ඉස්සරහට යන්නත් බැහැ. එඩ් බස් එක ඒ ළඟටම අරගෙන ගිහින් නතර කරනවා. වෑන් එකේ දොරක් ඇරලා. හැබැයි කිසිම කෙනෙක් පේන්න නැහැ.
එඩ් මුලින් හිතන්නේ, “මේක කැඩිලා වෙන්න ඇති. ඩ්රයිවර්ට උදව් ඕන වෙලා ඇති.” කියලා.
ඒ නිසා එයා බස් එකෙන් බහින්න හදනවා. ඒත් එයාට ඒක කරන්න වෙන්නේ නැහැ.
මොකද ඊළඟ තත්පර කිහිපයේදී සිද්ධ වෙන්නේ එයා කිසිම විදිහකට බලාපොරොත්තු නොවුණු දෙයක්. වෑන් එකෙන් එකපාරටම මූණ වහගෙන ඉන්න මිනිස්සු තුන්දෙනෙක් එළියට එනවා. එයාලා එඩ්වට බස් එකේ දොර අරින්න කියනවා. එඩ්ට තේරෙනවා මේක සාමාන්ය සිද්ධියක් නෙවෙයි කියලා. ඒ වෙලාවේ එයාට හිතුණ එකම අදහස තමයි බස් එක ඇතුළේ ඉන්න පොඩි ළමයි 26 දෙනාගේ ආරක්ෂාව. ඒ නිසා එයා දොර අරිනවා.
ඊට පස්සේ එඩ්ව බස් එකෙන් බස්සලා, බස් එකේ පිටිපස්සෙන් ගිහින් ළමයි ළඟ වාඩි වෙන්න කියනවා. එතකොට පැහැරගැනීමට ආව එක මනුස්සයෙක් බස් එකේ රියදුරු අසුනෙ වාඩි වෙනවා. තවත් කෙනෙක් එඩ් එක්ක බස් එකට නගිනවා. තුන්වැනි මනුස්සයා සුදු වෑන් එකට නැගලා ඒක පදවන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ බස් එක ඇතුළේ හිටපු ළමයින්ට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බැහැ.
මූණු වහගෙන ඉන්න අමුත්තෝ. අතේ ආයුධ. ගෙදර යන්න තිබුණු ගමනක් හදිස්සියේම වෙන පැත්තකට යනවා. ගොඩක් ළමයි ඒ වෙනකම් ආයුධ දැකලා තිබුණේ රූපවාහිනියෙන් විතරයි. ඒ නිසා එයාලට හිතෙන්නේ “අපිව කොහෙද අරගෙන යන්නේ? අපි ආයෙත් ගෙදර යයිද?” කියලයි. ටික වෙලාවකට පස්සේ බස් එකත්, සුදු වෑන් එකත් ප්රධාන පාරෙන් ඉවත්වෙලා අතුරු පාරකට හැරෙනවා. ඒ පාර වැටෙන්නේ වියළි ගංගා පතුලක් වගේ පැත්තකට.
දෙපැත්තේම උසට වැවුණු පඳුරු නිසා එළියෙන් බලන කෙනෙකුට ඇතුළේ සිද්ධ වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. තවත් ටික දුරක් ගියාට පස්සේ බස් එක නවත්වනවා. එතන තවත් කොළ පාට වෑන් එකක් සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ සිද්ධියේ ඊළඟ භයානක කොටස පටන් ගන්නේ. වෑන් දෙක එකිනෙකට ළඟින් නවත්වලා තියෙන්නේ, බිමට බැහැලා යන්නෙ නැතුව එකකින් අනිකට මාරු වෙන්න පුළුවන් විදිහට. ළමයින්ට එකිනෙකා පස්සේ පෝලිමට යන්න කියනවා. ඒත් ඒ වෑන් එක සාමාන්ය වාහනයක් නෙවෙයි. පිටතින් බැලුවම සාමාන්ය වෑන් එකක් වගේ පෙනුණත්, ඇතුළත ඒක සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට සකස් කරලා තිබුණා. ජනේල වහලා තිබුණා. ඇතුළත ශබ්දය පිටතට නොයන විදිහට සකස් කරලා තිබුණා. දොර වැහුවට පස්සේ ළමයින්ට පිටත ලෝකයත් එක්ක තිබුණු සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
ඒ අතරේ කැලිෆෝනියාවේ ජූලි මාසයේ දැඩි උණුසුමත් තිබුණා.
බයත්, රස්නයත්, සිද්ධ වෙන්නේ මොකක්ද කියලා නොදැනීමත් එක්ක පොඩි ළමයි අඬන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ චව්චිලා නගරයේ තවත් තැනක, මේ ළමයින්ගේ දෙමව්පියෝ මේ කිසිම දෙයක් දන්නෙ නැතුව හිටියා.
ස්කූල් බස් එක සාමාන්ය වෙලාවට ගෙදර එන්නේ නැති නිසා මුලින් එයාලා හිතන්නේ,
“ස්විමින් ප්රැක්ටිසස් වෙනදට වඩා වැඩි වෙලාවක් තියෙනවා ඇති ” කියලයි.
ඒත් විනාඩි ගණනක් ගත වෙද්දී ඒ අදහස වෙනස් වෙනවා. මොකද මේ බස් එක මෙච්චර වෙලා කවදාවත් පරක්කු වෙලා නැහැ. එන්න එන්නම වෙලාව ගත වෙනවා. දෙමව්පියන්ගේ බයත් වැඩි වෙනවා.
අන්තිමේදී එයාලට හිතෙන්න පටන් ගන්නේ එකම දෙයක්. ඒ තමයි “අපේ ළමයින්ට මොකක් හරි වෙලාද?” කියලා. ඒත් ඒ වෙලාවේ එයාලා දන්නේ නැහැ තමන්ගේ ළමයි 26 දෙනා දැනටමත් නගරයෙන් බොහෝ ඈතකට අරගෙන ගිහින් කියලා. ඒ වගේම, මේක නිකම්ම පැහැර ගැනීමක් නෙවෙයි. ඊළඟට එයාලව ගෙනියන්න සූදානම් කරලා තිබුණේ කවුරුත් හිතන්නෙවත් නැති තැනකට.
ඒ අතරේ චව්චිලා නගරයේ දෙමව්පියෝ එකිනෙකාට කතා කරලා බලනවා. කවුරුහරි මේ ගැන මොනවාහරි දන්නවද කියලා හොයනවා. ඒත් කිසිම කෙනෙක්ගෙන් කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. අන්තිමේදී කරන්න දෙයක් නැති තැන මෙයාල පොලිසියට යනවා.
චව්චිලා කියන්නේ ලොකු නගරයක් නෙවෙයි. පොඩි ටවුන් එකක්. ඒ නිසා මේ වගේ සිද්ධියක් රහසක් වෙලා තියෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට මුළු නගරයම වගේ දැනගන්නවා ළමයි 26 දෙනෙක් එක්ක ස්කූල් බස් එකක් අතුරුදන් වෙලා කියලා. පොලිසිය තමන්ගේ මෙහෙයුම් පටන් ගන්නවා. ඒත් චව්චිලා අවට හැම තැනම හොයලා බැලුවත් කිසිම හෝඩුවාවක් හම්බවෙන්නේ නැහැ. නගරයේ මිනිස්සුත් පොඩි පොඩි කණ්ඩායම් හැදිලා තමන්ට පුළුවන් විදිහට බස් එක හොයන්න පටන් ගන්නවා. හැබැයි හැන්දෑවේ 6.30 වෙනකම්ම කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා පොලිසිය තීරණය කරනවා ගුවනින් සෝදිසි කරන්න.
රෑ 7.00ට විතර, එක්තරා පයිලට් කෙනෙක්ට චව්චිලා නගරයෙන් සැතපුම් 9ක් විතර ඈතින් තිබුණු උණ පඳුරු අතරේ අමුතු දෙයක් පේනවා. ටිකක් පහළට ගිහින් බලද්දී එයාට පේන්නේ අතහැරලා දාලා තියෙන ඒ ස්කූල් බස් එක.පොලිසිය එතනට ඉක්මනින්ම යනවා. ඒත් බස් එක ඇතුළට ගිහින් බලද්දී තවත් අමුතු දෙයක් දකින්න ලැබෙනවා.
ඒ තමයි එකම ළමයෙක්වත් නැහැ. ලේ පැල්ලමක්වත් නැහැ. ළමයින් එක්ක සිද්ධියක් වෙලා තියෙන බව පෙන්වන කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා පොලිසියට මුලින්ම හිතෙන්නේ මේක සල්ලි ඉල්ලලා කරපු පැහැර ගැනීමක් වෙන්න ඇති කියලා. හැබැයි මෙතන තියෙන ප්රශ්නයක් තිබුණා.
එකවර ළමයි 26 දෙනෙක්?
ඒ වෙනකම් ඇමෙරිකානු ඉතිහාසයේවත්, ලෝකයේ වෙනත් රටකවත් මේ තරම් ළමයි පිරිසක් එකවර පැහැරගෙන ගිය සිද්ධියක් වාර්තා වෙලා තිබුණේ නැහැ.
මේ නිසා සිද්ධිය FBI එකටත් භාර වෙනවා. තවත් විශාල සෝදිසි මෙහෙයුම් පටන් ගන්නවා.
ඒ අතරේ ළමයින්ගේ දෙමව්පියන් ඉන්නේ හොඳටම බයෙන්.
පාසල්වල, පල්ලිවල මිනිස්සු එකතු වෙලා තමන්ගේ දරුවන්ට කිසිම කරදරයක් නොවී ආපහු ගෙදර එන්න කියලා යාඥා කරනවා.
දැන් පැය ගණනාවක් ගත වෙලා.
ඒත් පැහැරගත් අයගෙන් එකම දුරකථන ඇමතුමක්වත් නැහැ. මුදල් ඉල්ලීමක්වත් නැහැ. ඒක තමයි හැමෝටම තිබුණු ලොකුම ප්රශ්නය.
“ඇයි තාමත් කිසිම කෙනෙක් කතා නොකරන්නේ?” මේ අතරේ තවත් බය හිතෙන කතාවක් පැතිරෙන්න පටන් ගන්නවා. “සමහරවිට ළමයින්ට අතරමඟදී මොනවාහරි වෙලා ඇති.” ඒ නිසා පැහැරගත් අය බය වෙලා සල්ලි ඉල්ලන්නවත් බැරි තත්ත්වයකට පත්වෙලා ඇති කියලා සමහරු හිතනවා. මේ වගේ කතා නිසා දෙමව්පියන්ගේ බය තවත් වැඩි වෙනවා. සිද්ධිය මේ වෙද්දී මුළු ප්රදේශය පුරාම පැතිරිලා. ඒ ගැන දැනගත්තට පස්සේ එවකට ඇමෙරිකානු ජනාධිපති Gerald Ford ආරක්ෂක අංශවල නිලධාරීන් මේ මෙහෙයුමට යොදවන්න උපදෙස් දෙනවා. පොලිසියට දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා. හැමෝටම දැනගන්න ඕන එකම දේ “ළමයින්ට මොකද වුණේ?” ඒත් ඒ වෙලාවේ, පොලිසියවත් දෙමව්පියන්වත් දැනගෙන හිටියේ නැහැ ළමයි 26 දෙනා තවමත් ජීවතුන් අතර කියලා.
මේ අතරේ පැහැරගත් වාහන දෙක පැය 11කට ආසන්න කාලයක් ගමන් කරලා තිබුණා. වාහන ඇතුළට හරියට හුළං එන්නේ නැහැ. වතුරත් නැහැ. කෑමත් නැහැ. ඇතුළ සම්පූර්ණයෙන්ම කළුවරයි. බයත්, තෙහෙට්ටුවත් නිසා ළමයින්ට නින්ද යනවා. ටික වෙලාවකින් වාහනය ගැස්සෙනකොට ආයෙත් බය වෙලා ඇහැරෙනවා.
“අපිව කොහෙද අරගෙන යන්නේ?”
“අපිට මොනවා කරයිද?”
ඒ කිසිම ප්රශ්නයකට උත්තරයක් මේ දරුවන්ට නැහැ.
ඒ අතරේ ළමයි “අපිට යන්න දෙන්න!” කියලා කෑගහනවා.
ඒත් රියදුරාගෙන් ලැබෙන්නේ තවත් තර්ජනයක්. “කෑගහන එක නතර නොකළොත් තත්ත්වය තවත් නරක වෙයි.” ඒකෙන් ළමයි තවත් නිහඬ වෙනවා. පැය 12කට විතර පස්සේ වාහන දෙක ප්රධාන පාරෙන් ඉවත් වෙලා තවත් අතුරු පාරකට හැරෙනවා.
ටික දුරක් ගිහින් වාහන දෙකම නවත්වනවා. මුලින්ම එඩ්ව එළියට ගන්නවා. ඊට පස්සේ වෑන් එකේ දොර ආයෙත් වහනවා. ටික වෙලාවකට පස්සේ ඊළඟ කෙනාව එළියට ගන්නවා. ආයෙත් දොර වහනවා. මේ විදිහට එක් එක් කෙනාව වෑන් එකෙන් එළියට ගන්නවා. ඒත් අමුතුම දේ තමයි, ඊළඟ ළමයාව එළියට ගන්න දොර ඇරෙනකොට කලින් එළියට ගත්තු කෙනා පේන්නවත් නැහැ.
ඒ නිසා ළමයින්ට හිතෙන්නේ “එළියට ගත්ත අයව මේ මිනිස්සු මරලා දානවා.” ඒ බයත් එක්ක සමහර ළමයි එළියට යන්න අකමැති වෙනවා. ඒත් එයාලට බලෙන්ම වාහනයෙන් එළියට බහින්න සිද්ධ වෙනවා. අන්තිමට එළියට ගන්නේ ජූඩි. එයා වෑන් එකෙන් එළියට බහිනකොට වටපිටාව සම්පූර්ණයෙන්ම කළුවරයි. එක මිනිහෙක් එයා පිටුපසින් ආයුධයක් තියාගෙන ඉස්සරහට යන්න කියනවා. ජූඩිට ඉස්සරහ මොනවා තියෙනවද කියලා පේන්නේ නැහැ. ඒත් ඉදිරියට යන්න යන්න, එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සු ළමයින්ව මෙච්චර දුරකට අරගෙන ආවේ නිකම්ම නෙවෙයි කියලා.ඒ වෙලාවේ එයාට තේරෙනවා, තවත් මේ විදිහට හිටියොත් හැමෝම ලොකු අනතුරකට වැටෙන්න පුළුවන් කියලා. දරුවන්ව ගිහින් දාන්නෙ නිකන් පොළොව යට තියෙන ලොකු වලක් වගේ තැනක හදලා තියෙන තැනකට. මේ වෙලාවෙ මෙතන ඇතුළෙ හිර කරලා ඉන්නෙ මයිකල් කියන දරුවට තේරෙනව තමන් මේ වෙලාවෙ මොනවා හරි නොකරොත් හැමෝම අනතුරේ කියලා. ඒ නිසා එයා වහාම උඩට එන්න පුළුවන් විදිහක් හොයන්න පටන් ගන්නවා. ට්රේලර් එක ඇතුළේ තිබුණු මෙට්ට කිහිපයක් අරගෙන, වහලේ තියෙන ඒ සිදුර ළඟට ගෙනත් එකපිට එක තියනවා. ඒකට නැගලා බලනකොට යකඩ තහඩුවක් ඒ සිදුර වහලා තියෙනවා. මයිකල් ඒක පැත්තකට තල්ලු කරන්න උත්සාහ කරනවා. ටිකක් එහාට වෙනවා. හැබැයි ඊට වඩා තල්ලු කරන්න බැහැ. ඒත් එයා අතහරින්නේ නැහැ. බිම වැටිලා තිබුණු පොල්ලක් අරගෙන, යකඩ තහඩුවේ හිඩසට ඒක දාලා එඩ් එක්ක එකතු වෙලා මුළු ශක්තියෙන්ම තල්ලු කරනවා. අන්තිමේදී ලොකු සද්දයක් එක්ක යකඩ තහඩුව ගැලවිලා යනවා. ඒත් ඒ එක්කම තවත් ප්රශ්නයක් මතු වෙනවා.
උඩ තිබුණු පස් තට්ටුව කඩාගෙන ඇතුළට වැටෙන්න පටන් ගන්නවා. වාසනාවකට කාටවත් ලොකු තුවාලයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඒගොල්ලන්ට ඉස්සරහින් පේන්නේ අහස.
ඒ කියන්නේ එළියට යන්න පුළුවන් වෙන්න පුංචිම පුංචි අවස්ථාවක් හරි ලැබිලා තියෙනවා.
හැබැයි කිඩ්නැපර්ස්ලා මේක කලින්ම හිතලා තිබුණා. ඒ නිසා ට්රේලර් එකේ උඩින් තියෙන පිටවීමේ තැන ලොකු, ශක්තිමත් ප්ලයිවුඩ් පෙට්ටියකින් වහලා තිබුණා. මයිකල් ඒ පෙට්ටියට නැගලා, ඒකේ තිබුණු සිදුරකට අත් දෙකෙන්ම පහර දෙන්න පටන් ගන්නවා. එයා එක දිගටම පහර දෙනවා. පෙට්ටියේ කෑලි එකින් එක කැඩිලා යනවා. ඒත් ඒ එක්කම පස් ටිකත් ඇතුළට වැටෙන්න පටන් ගන්නවා. මයිකල් පස් අයින් කරන අතරේ අනිත් ළමයිනුත් එයාට උදව් කරනවා.
අන්තිමේදී පොළොව මතුපිටට එන තරම් ලොකු සිදුරක් හදාගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. හැමෝටම ඒ මොහොතේ දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.
ඒත් ඒ සතුට සමරන්න වෙලාවක් නෙමෙයි. කිඩ්නැපර්ස්ලා තාමත් කොහේ හරි මේ අවට ඉන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මයිකල් සිදුරෙන් ඔළුව එළියට දාලා වටපිට බලනවා. කවුරුත් පේන්න නැති බව තහවුරු කරගත්තට පස්සේ එයා එළියට එනවා. ඊට පස්සේ අනිත් ළමයිනුත් එකා පස්සේ එකා එළියට එනවා. වටපිටාව නම් හරිම අමුතුයි. තැන තැන ලොකු පස් ගොඩවල්, ගල් ගොඩවල් අතහැරලා දාලා වගේ පේන විශාල භූමියක්.
ඒක පරණ ගල්කොරියක්.
ළමයි 26 දෙනාම එකට ඉන්න නිසා කාටවත් හිතෙන විදිහට එතනින් නිකන්ම පැනලා යන්නත් බැහැ. ඒ නිසා කිසිම සද්දයක් නොකර, ගල් ගොඩවල් සහ යන්ත්ර අතරින් හැංගි හැංගි ඉස්සරහට යන්න පටන් ගන්නවා.
ඒත් එකපාරටම පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවා.
ඒත් එක්කම කවුරුහරි කතා කරනවා. ළමයි හැමෝම එකපාරටම නතර වෙනවා.
ආපහු හැරිලා බලනවා.
එතන මිනිහෙක්.
එක මොහොතකට හැමෝටම හිතෙන්නේ
“ආයෙත් අපිව අල්ලගන්න ආවා.”
ඒත් මේ පාර වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්. ඒ මිනිහා කියන්නේ,
“ඔයාලව මුළු රටම හොයනවා.” එයා කිඩ්නැපර් කෙනෙක් නෙමෙයි. මේ ළමයිව දැකපු ගමන් එයා ඉක්මනටම පොලිසියට දැනුම් දෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් පොලිසිය එතනට එනවා.
පැය ගණනාවක් තිස්සේ බියෙන්, කළුවරේ, කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු ළමයි 26 දෙනාට අන්තිමේදී නිදහස ලැබෙනවා. පොලිසිය ඒගොල්ලන්ව ඉක්මනටම ළඟම තිබුණු වෛද්ය මධ්යස්ථානයකට අරගෙන යනවා. එතනදී වෛද්ය කාර්ය මණ්ඩලය ළමයින්ට කෑම බීම දීලා, අවශ්ය ප්රතිකාර ලබාදෙනවා.
ඒත් මේ කතාවේ අවසානය එතනින් ඉවර වෙන්නේ නැහැ.
මොකද මේ ළමයි 26 දෙනාව මෙහෙම පැහැරගෙන යන්න මේ මිනිස්සු තුන්දෙනාට ඇත්තටම ඕන වුණේ මොකක්ද?
ඒ වගේම, මේ හැම දෙයක්ම සැලසුම් කරලා තිබුණේ කොච්චර කාලයක ඉඳන්ද?
ළමයි ටිකක් හරි සන්සුන් වෙලා ඉන්න තත්ත්වයකට ආවට පස්සේ තමයි පොලිසිය ඒගොල්ලන්ගෙන් ප්රශ්න කරන්න පටන් ගන්නේ.
ඒත් පොලිසිය එකපාරටම හැමෝගෙන්ම එකට ප්රශ්න කරන්නේ නැහැ.
එක් එක් ළමයාව වෙන වෙනම අරගෙන තමයි සිද්ධ වුණේ මොකක්ද කියලා අහන්නේ.
ඒ විස්තර ටික එකතු කරගත්තට පස්සේ තමයි ළමයින්ව ආපහු චව්චිලා නගරයට අරගෙන යන්නේ. එතනදී මේ ළමයි 26 දෙනාවම ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට බාර දෙනවා. හැබැයි ඒ වෙලාවේ හැමෝගෙම හිතේ තිබුණු ඊළඟ ප්රශ්නය එකම එකයි.
කවුද මේ ළමයින්ව පැහැරගෙන ගියේ?
ඒ වගේම ඇයි මේ වගේ දෙයක් කළේ?
පොලිසිය මුලින්ම අවධානය යොමු කරන්නේ ළමයින්ව වළලලා තිබුණු ගල් කොරිය ගැන.
මොකද ඒක සාමාන්ය කෙනෙක්ට අවසර නැතුව ඇතුළු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි.
ඒ කොරිය අයිති වෙලා තිබුණේ වුඩ්ස් පවුලට.
ඒ වගේම කොරියේ ආරක්ෂක නිලධාරියෙක් පොලිසියට වැදගත් තොරතුරක් දෙනවා.
මීට මාස තුනකට විතර කලින්, ළමයින්ව හංගලා තිබුණු තැනට කට්ටියක් ඇවිල්ලා ලොකු වළක් හාරලා තිබුණා.
ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරියාට ඒක ගැන කිසිම සැකයක් හිතිලා තිබුණේ නැහැ.
මොකද ඒ වගේ වැඩ මේ කොරියේ සාමාන්යයෙන් සිද්ධ වෙන දේවල්.
හැබැයි මේ තොරතුරත් එක්ක පොලිසියට තවත් වැදගත් දෙයක් දැනගන්න ලැබෙනවා.
ඒ වළ තිබුණු තැනට යන්න අවසර තිබුණු කෙනෙක් තමයි ෆ්රෙඩ්රික් නීල් වුඩ්ස්.
එයා වුඩ්ස් පවුලේ කෙනෙක්. වයස අවුරුදු 24යි.

ඒ නිසා පොලිසිය කෙලින්ම යන්නේ වුඩ්ස් පවුලට අයිති වත්තට. ඒත් එතනදී පොලිසියට හම්බ වෙන්නේ ඒගොල්ලෝ හිතුවටත් වඩා ලොකු දෙයක්. ෆ්රෙඩ්රික්ගේ කාමරේ තිබිලා, මේ මුළු පැහැර ගැනීම ගැනම ලියපු සාක්ෂි ගොඩක් පොලිසියට හම්බ වෙනවා.
ඒ කියන්නේ මේ මුළු වැඩේ පිටිපස්සේ හිටියේ ෆ්රෙඩ්රික් වෙන්න පුළුවන් කියන සැකය දැන් තවත් තද වෙනවා. ඒත් ෆ්රෙඩ්රික් තනියම මේක කරලා තිබුණේ නැහැ. මීට අවුරුදු දෙකකට විතර කලින් ලොකු වාහන හොරකමකට ෆ්රෙඩ්රික්ව අත්අඩංගුවට අරගෙන තිබුණා.
ඒ වැඩේටත් එයා තනියම නෙමෙයි සම්බන්ධ වෙලා තිබුණෙ. එයාත් එක්ක තවත් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ජේම්ස් ෂෝන්ෆෙල්ඩ්. අනිත් කෙනා ජේම්ස්ගේ මල්ලි රිචඩ් ජේම්ස්. ෆ්රෙඩ්රික්ට අවුරුදු 24යි. රිචඩ්ට අවුරුදු 22යි. මේ තුන්දෙනාම හැදී වැඩිලා තිබුණේ සල්ලි තියෙන පවුල්වල. ඒගොල්ලන්ගේ දෙමව්පියෝ සැන් ෆ්රැන්සිස්කෝවල ජීවත් වෙන සල්ලි තියෙන මිනිස්සු. ඒත් මේ තුන්දෙනා පවුලේ ව්යාපාරවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමති වුණේ නැහැ.
ඒ වෙනුවට ජීවත් වුණේ පවුලෙන් ලැබෙන සල්ලිවලින්. අන්තිමේදී ඒ සල්ලිත් සීමා කරපු නිසා, ලේසියෙන්ම ලොකු ගානක් හොයාගන්න පුළුවන් විදිහක් හොයන්න මේ තුන්දෙනා තීරණය කරනවා. ඒ තමයි පැහැර ගැනීම.
හැබැයි මේක එකපාරටම හිතලා කරපු වැඩක් නෙමෙයි. මේක පිටිපස්සේ අවුරුද්දකට විතර කලින් ඉඳන් කරපු සැලසුමක් තිබුණා. පොලිසියට ෆ්රෙඩ්රික්ගේ කාමරෙන් හම්බ වෙන ලියකියවිලිවල, මේ මුළු ප්ලෑන් එකම මුල ඉඳන් අගටම ලියලා තිබුණා.
කොහේදී මොනවා කරන්නද, මොකක් හරි වැරදුණොත් ඊළඟට ගන්න ඕන පියවර මොකක්ද, ඒ වගේම පැහැරගන්න නියමිත ළමයින් ගැන තොරතුරු පවා ඒගොල්ලෝ එකතු කරලා තිබුණා.
ඒ විතරක් නෙමෙයි. ඉල්ලන්න හිටපු කප්පම් මුදල ගැනත් වෙනම සටහනක් තිබුණා.
මුලින්ම ඒගොල්ලෝ තීරණය කරලා තිබුණේ ඩොලර් මිලියන 2.5ක් ඉල්ලන්න.
පස්සේ ඒකත් වෙනස් කරලා ඩොලර් මිලියන 5ක් ඉල්ලන්න තීරණය කරලා තිබුණා.
අද මුදලේ වටිනාකමෙන් බැලුවොත් ඒක දළ වශයෙන් ඩොලර් මිලියන 24කට ආසන්න මුදලක්.
ඒ වගේම මේ අපරාධයට පාවිච්චි කරපු ආයුධත් පොලිසියට හම්බ වෙන්නේ ඒ කාමරයෙන්මයි.
දැන් පොලිසියට අවශ්ය සාක්ෂි ඕනෑවටත් වඩා තිබුණා.
ඒ නිසා මේ තුන්දෙනාටම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරනවා.
හැබැයි පොලිසිය එයාලව අත්අඩංගුවට ගන්න කලින්ම මේ තුන්දෙනාට සිද්ධ වෙලා තියෙන දේ තේරෙනවා.
ඒගොල්ලෝ ඉන්න තැන්වලින් පැනලා යන්න පටන් ගන්නවා. හැමෝම උත්සාහ කරන්නේ කොහොමහරි රටෙන් පැනගන්න. හැබැයි මුළු ඇමරිකාවම දැන් මේ තුන්දෙනාව හොයනවා. ඒ නිසා රිචඩ්ට තේරෙනවා තවදුරටත් හැංගිලා ඉන්න එක ලේසි නැහැ කියලා. අන්තිමේදී, සිද්ධියෙන් දවස් අටකට පස්සේ රිචඩ් පොලිසියට භාර වෙනවා. ජේම්ස් නම් දෙපාරක්ම රටෙන් පැනගන්න උත්සාහ කරනවා. හැබැයි ගමන් බලපත්ර සහ වෙනත් ලියකියවිලිවල තිබුණු අඩුපාඩු නිසා ඒ දෙපාරම වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. අන්තිමේදී පාරේදී එයාව දැකපු කෙනෙක් පොලිසියට දුන්නු තොරතුරකින් ජේම්ස්වත් අත්අඩංගුවට ගන්නවා.
දැන් ඉතුරු වෙලා ඉන්නේ. ෆ්රෙඩ්රික් විතරයි. අන්තිමේදී ජූලි 17 වෙනිදා, බොරු නමකින් ගුවන් යානයකට නැගලා රටෙන් පිට වෙන්න උත්සාහ කරද්දී ෆ්රෙඩ්රික්වත් පොලිසියට කොටු වෙනවා. දැන් තුන්දෙනාම අත්අඩංගුවේ.
ඒගොල්ලන්ගෙන් ප්රශ්න කරද්දී තමයි පොලිසියට මේ පැහැර ගැනීමේ සැබෑ අරමුණ ගැන තවත් තොරතුරු හම්බ වෙන්නේ. මේගොල්ලෝ ළමයින්වම තෝරගෙන තිබුණේ හේතුවක් ඇතිව.
ළමයි වැඩිහිටියෝ වගේ සටන් කරලා බේරෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතලා තිබුණා. ඒ නිසා එකපාරටම ළමයි ලොකු ප්රමාණයක් පැහැරගෙන රජයෙන් සහ ඒ ළමයින්ගේ දෙමව්පියන්ගෙන් ලොකු කප්පම් මුදලක් ඉල්ලන්න තමයි සැලසුම් කරලා තිබුණේ. මොකද තමන්ගේ ළමයි වෙනුවෙන් දෙමව්පියෝ ඕනම මුදලක් ගෙවයි කියලා ඒගොල්ලෝ හිතලා තිබුණා. හැබැයි මේ මුළු සැලසුමම එක තැනකින් අවුල් වෙනවා. ළමයින්ව පැහැරගෙන ගිය පස්සේ කප්පම් මුදල ඉල්ලලා පොලිසියට කතා කරන්න ඒගොල්ලෝ උත්සාහ කරලා තිබුණා.
ඒත් ඒ වෙලාවේ චව්චිලා නගරය පුරාම එකම දේ සිද්ධ වෙමින් තිබුණා. හැමෝම පොලිසියට කෝල් කරමින් හිටියා. ළමයි 26 දෙනෙක් අතුරුදන් වෙලා කියන ආරංචියත් එක්ක ඇති වුණු මේ දැවැන්ත කලබලය නිසා පොලිස් දුරකථන පද්ධතියට එක දිගටම කෝල් එන්න පටන් ගත්තා.
ඒ නිසා මේ තුන්දෙනාට පොලිසිය කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ට්රැෆික් එක අඩු වුණාම ආපහු කතා කරනවා කියලා හිතාගෙන. ඒගොල්ලෝ නිදාගන්න යනවා.
ආපහු නැගිට්ටට පස්සේ තමයි තේරෙන්නේ. මුළු ප්ලෑන් එකම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා කියලා. ඒ නිසා තමයි මේ තුන්දෙනා පැනලා යන්න උත්සාහ කරන්නේ.
නඩුව විභාග කරන වෙලාවේ මේ තුන්දෙනා වැරදිකරුවන් කියලා ඔප්පු කරන්න පොලිසියට ලොකු අමාරුවක් වෙන්නේ නැහැ.
හැබැයි එක ප්රශ්නයක් තිබුණා. ළමයි 26 දෙනාටම ජීවිතය බේරගන්න පුළුවන් වුණා.
ඒ නිසා මේ තුන්දෙනාට යම් කාලයකට පස්සේ නිදහස ලැබෙන්න පුළුවන් කියන බය දෙමව්පියන්ට තිබුණා. ඒගොල්ලෝ ආපහු මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා කාටවත් සහතික වෙන්න බැහැ. ඒ නිසා මේ සිද්ධියට මුහුණ දුන්නු ළමයින්ගේ දෙමව්පියෝ එක තීරණයකට එනවා. මේ තුන්දෙනාව ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා කියලා.
සිද්ධියෙන් මාස 16කට පස්සේ නඩුව විභාග වෙනවා. ඒ වෙලාවේ මේ සිද්ධියට මුහුණ දුන්නු ළමයි හැමෝම උසාවියට සහභාගී වෙනවා. ඒක තමයි ඒ ළමයින්ට තමන්ව පැහැරගෙන ගිය මිනිස්සුන්ව පළවෙනි වතාවට මුහුණට මුහුණ දකින්න ලැබෙන්නේ. උසාවියේදී ඒ ළමයි තමන්ට සිද්ධ වුණු දේ ගැන කතා කරනවා.
ඒ වෙලාවේ තමන්ගේ අම්මලා තාත්තලා ආපහු දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතපු විදිහ, පැය ගණන් බයෙන් ගත කරපු විදිහ, ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ විස්තර කරනවා.
අන්තිමේදී උසාවියෙන් මේ තුන්දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා. ඒ තීන්දුවත් එක්ක දෙමව්පියන්ටයි, ළමයින්ටයි ලොකු සහනයක් දැනෙනවා.
හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ.
මොකද ඒ සිද්ධියෙන් බේරුණා කියලා ඒ ළමයින්ට ඒ දේවල් අමතක කරලා සාමාන්ය ජීවිතයකට ආපහු යන්න ලේසි වුණේ නැහැ.
මේ වගේ දැඩි කම්පනකාරී අත්දැකීමකට පස්සේ ඇති වෙන්න පුළුවන් මානසික තත්ත්වයක් තියෙනවා.
ඒකට කියන්නේ Post-Traumatic Stress Disorder, නැත්නම් PTSD කියලා. මේ ළමයින්ගෙන් බොහෝ දෙනෙක් ඒ වගේ මානසික පීඩනයකට මුහුණ දෙනවා.
ඒ අතරේ අවුරුදු හතරක් විතර ගත වුණාට පස්සේ තවත් නරක ආරංචියක් එනවා.
ෆ්රෙඩ්රික්ගේ නීතිඥයෝ මේ නඩුව ආපහු අභියාචනය කරන්න තීරණය කරනවා.
ඒ කියන්නේ මේ මිනිස්සු තුන්දෙනාට ආපහු නිදහස ලැබෙන්න ඉඩක් තියෙනවා.
ඒ ආරංචියෙන් පස්සේ මේ ළමයි ආපහු ඉස්සරහට එනවා. හැම අවුරුදු තුනකටම සැරයක් මේ තුන්දෙනා නිදහස ඉල්ලලා අභියාචනා කරනවා. ඒ හැම අවස්ථාවකම මේ සිද්ධියට මුහුණ දුන්නු ළමයි ඒකට විරුද්ධ වෙනවා.
ඒගොල්ලන්ගේ තර්කය එකම එකයි. මේ වගේ අපරාධයක් කරපු මිනිස්සු සමාජයට ආපහු යවන්න බැහැ.
කාලය ගෙවිලා ගියා.අවුරුදු ගණනක් ගෙවිලා ගියා.
අන්තිමේදී 2012 ජූනි මාසයේදී සිද්ධියෙන් අවුරුදු 36කට පස්සේ රිචඩ්ට නිදහස ලැබෙනවා.
ඒ වෙද්දී එයාගේ වයස අවුරුදු 60කට ආසන්නයි. ඊට අවුරුදු තුනකට පස්සේ ජේම්ස්ටත් නිදහස ලැබෙනවා. හැබැයි ෆ්රෙඩ්රික්ගේ තත්ත්වය වෙනස්. මොකද මේ මුළු සැලසුමේ ප්රධාන චරිතය එයා. ඒ වගේම හිරේදීත් එයාගේ හැසිරීම හොඳ මට්ටමක තිබිලා නැහැ. අවස්ථා කිහිපයකදී එයා ළඟ නීතිවිරෝධී දේවල් හම්බ වෙලා තිබුණා. ඒ නිසා එයාට නිදහස ලැබෙන්න තවත් කාලයක් ගත වෙනවා.
අන්තිමේදී සිද්ධියෙන් අවුරුදු 46කට පස්සේ, 2022දී ෆ්රෙඩ්රික් වුඩ්ස්වත් නිදහස් කරනවා. ඒ වෙද්දී එයාගේ වයස අවුරුදු 70යි.
ඒත් ඉතින් ඒ වයසෙදිත් ඔය මිනිස්සු තුන්දෙනාට එහෙම දෙයක් කරන්න බෑ කියලා කියන්න පුළුවන් කාටද නේද?











