පළිඟු මන්දිර – 30

1
967

සඳක් තරම්, මලක් තරම් සිය ඇතුළාන්තයත් සිතිවිලිත් මොළොක් වූයේ කොහොමද කියා පළිඟු නො දැන සිටියා ය. නමුත් මේ ඉන්නේ අලුතෙන් ම උපන් පළිඟු කෙනෙක් බව ඇය ට සහතික ය. ආදරය ඉසියුම් ව හදවත පිරිමදිමින් තිබිණි. තනිව සිටියදීත් ඈ මුවග මඳහසක් නළියන්නට විය. ජීවිතය පිළිබඳව දැනෙමින් පැවතියා වූ සියල් පිරිපත දූරිංභූත ව ගියා වන් අතිශය සැහැල්ලුවක ඈ පා වෙවී හිටියා ය. ආදරය වූ කලී ඒ තරමට ම සව්මිය වූ සමනල හැඟීමකැයි මීට පෙර ඇය දැන සිටියේ නැත. මානවකයෙකු ගේ ප්‍රේමාරාධනයකට ලක් වීම තුළ යුවතියක ප්‍රේමණීය පුනරුත්පත්තියක් ලැබ සිටියා ය.

විශ්ව විද්‍යාලය හා අවන්හල ආශ්‍රිත පදික වේදිකා රොබරෝසි මලින් අහස් වියන් ද බිම් පාවඩ ද එලා තිබිණි. වෙනදාට වඩා උදයෙන් ම පැමිණි කිසල්, අවන්හල ඉදිරියේ යතුරු පැදිය නවතා හෙල්මට් එක අතට ගත්තේ ය. කෝපි මල් සිනහවකින් මුව සරසා ගත් පළිඟු, හෙමිහිට මිදුලට බැස්සා ය.

අද ඔහු ගේ බැල්ම වෙනස් ය. අද ඔහු ගේ දෑස් වල එළිය වෙනස් ය. අද ඔහු ගේ මුවග වන මන්දස්මිතය වෙනස් ය. යෞවනයා ද පළිඟු වෙනුවෙන් අලුතෙන් ම ඉපදී සිටියේ ය.

“එන්න ඇතුළට”

ඔහු දෙස බලාන ඈ ඒ වචන දෙක වුව කියා ගත්තේ අමාරුවෙනි. කිසල් ගේ දෑස් යුවතිය මත නතර වී ගෙන ම තිබිණි. මින් පෙර අත්විඳ නැති ආකාරයේ මිහිරි අපහසුතාවයකින් ඇය බිම බැලුවා ය.

“සොරි”

පළිඟු යළි නෙතු නගා බැලූයේ ඉතා හෙමිහිට ඇසුණ කිසල් ගේ ඒ හඬට ය. ඇගේ ඇස් වල ‘ඇයි’ කියන ප්‍රශ්නය විය.

“මෙච්චර දවසක් ඔයාව රිද්දුවට”

තත්පර කිහිපයක් ඒ නැවුම් මිහිරෙන් හදවත නැහැවෙන්නට හැරි යුවතිය ඉතා ම හෙමිහිට හඬ අවදි කළා ය.

“තෑන්ක් යූ…”

ඈ හුස්ම ගන්නා හඬ පවා ඔහු ට ඇසිණ. 

“මට මේ මොහොත දුන්නට. එ්ක එච්චර දිග නැති වෙයි. ඒත්…සදහටම මට ඒ ඇති”

“මොකද බං…”

ඔවුන් දෙදෙනා ම තිගැස්සී ගියේ අවන්හල දෙසින් ඇසුණ වත්සලා ගේ ඒ හඬටයි. වත්සලා දෑත් ඉණෙහි ගසාගෙන නාටකීය ස්වරූපයකින් යුවළ දෙස බලා උන්නා ය.

“යකෝ මුන්ට කොච්චර මිමිණුවත් ඇති වෙන්නෑනෙ. මොන මළ සමයමක්ද මේ…මට උදව්වක් ගන්න ඉන්න කෙල්ලට ඒ වැඩේ කරන්න දෙන්නෑනෙ පාන්දරම මෙතනට ඇවිත්..”

පළිඟු ගේ සේ ම කිසල් ගේත් මුහුණු මතට සිනහවක් වැඩියේ ය.

“ඔයාට ජෙලස් නේ…”

යෞවනයා සිනහවෙන් ම ඇසුවේ ය.

“මොකට කියනවද ඉතිං…”

කිසල් යතුරු පැදිය මතින් බැස්සේ ය. පළිඟු ට වඩාත් ලං ව, ඇය ගැන වන සංසාරික අයිතියක් ගැන නො කියා කියමින් වාගේ ය ඔහු ඒ පඩි දෙක තුන නැංගේ. මේ පඩි පෙළ වඩ වඩාත් දික් ව, මේ තරංම ප්‍රේමයෙන් ඔහු ට ලං ව පිය නගන්නට තිබුණා නම් කියන රහසිගත සිතිවිල්ලෙන් යුවතිය රසවත් වෙමින් සිටියා ය.

“ඇත්තටම මට හරි ආස හිතෙනව බං…උඹල දෙන්නව ඔහොම දකිනකොට. ඇස් වහක් කට වහක් වදින්නෙපා. ජීවිතේ පුරාම ඔහොම ඉන්න තමයි ඕනෙ. උඹලගෙ ඇස් වල ඔය තියෙන ආදරේ වේලිලා යන්නෙ නැතුව හැම දාම ඔය විදිහටම තියෙන්නයි ඕනෙ”

වත්සලා ගේ ස්වරය හෘදයාංගම විය. පළිඟු , ගෙදරින් හදා ගෙන ආ කිරිබත් කෑල්ලක් පීරිසියක් මතින් තබා කිසල් ඉදිරියේ මේසය මතින් තැබුවා ය. ඔහු නගා ගත් සිනහවේ වූයේ කතාවකි.

“මොකද්ද මොකද්ද ඒ හිනාවෙ තේරුම.”

වත්සලා හාරා ඇවිස්සුවා ය. පළිඟු ගේ වත රතු වෙමින් තිබිණ.

කියවන්න :  පළිඟු මන්දිර -7

“නෑ ආන්ටි මේ…කිරිබත් වුණත් රසයි ඉතිං…කවුරුහරි කවනවනං…මං කියන්නෙ ඉතිං…හොස්පිටලයිස් වෙන්න ඕනම නෑනෙ කවන්න…නේද…”

“පළිඟු මේ…මං උඹට එකක් කියන්නං. මේක ජීවිත කාලෙටම මතක තියා ගනිං කෙල්ලෙ. පිරිමි ඉන්නව නේද…”

පළිඟු හ්ම් මිටි තැබුවා නොවේ. නමුත් ඇගේ ඇස් වල වූ සිනහව ඒ කතාවට අනුබල දුන්නේ ය.

“පිරිමින්ට වැඩිය ආදරේ පෙන්නන්න හොඳ නෑ. හිතේ තිබුණට ඕනවට වඩා පෙන්නන්න හොඳ නෑ. පෙන්නුවොත් අර පොඩි එවුං වගේ තමයි. ඒකෙං අයුතු ප්‍රයෝජන ගන්න බලනව. ඒක නිසා ටිකක් තදින් ඉන්න ඕනෙ”

“හරි හරි කවන්න ඕන නෑ. අතිං කන්න පුළුවන් අපිට”

“මං කෝපි හදන්නං”

දුරක සිට වුව ආදරය පෙන්වන්නට කෙල්ලකට කෙතරම් හැකියාවක් තිබේද යන්න කිසල් අලුතෙන් ම උගනිමින් සිටියේ ය.

වර්ෂා සිටියේ මේ උදයේත් මොරීන් එක්ක පැටලෙමිනි. ඇය අවන්හලට යන එක නවත්වන්නට මොරීන් ට අවැසි විය. වර්ෂා මෙහෙම හැසිරුණොත් කිසල් ව පාලනය කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව ඕ තොමෝ දැන උන්නා ය.

“අම්මි මං දැං පොඩි ළමයෙක් නෙවෙයි. ඡන්දෙ දාලා රටට පාලකයො පත් කර ගන්න අපිට අයිතිය ලැබිල තියෙන්නෙ වැඩිහිටියො නිසානෙ. හොඳ නරක කියන දෙක අතරෙ තියෙන වෙනස මං හොඳට දන්නව. ඒක නිසා අම්මි බලෙං මාව නවත්තන්න හදන්නෙපා”

වර්ෂා පැහැදිලිව කීවා ය.

“මං ඔය කෙල්ලව අදම කැම්පස් එකෙං දොට්ට දානව. අර පාං කඩේට වෙලා බනිස් විකුණනකොට තේරුං ගනීනෙ තමුංගෙ තරම”

“අම්මි පළිඟු ව එළියට දැම්මොත් මං ඔය කැම්පස් එකට අඩියක් තියන්නෑ. මං කිව්වොත්නං කිව්වා අම්මි. ඒ ළමයට ඒ අසාධාරණේ කළොත් අම්මිගෙ දුවත් හයර් ස්ටඩීස් කළේ නැතුව අතරමග නතර වෙච්ච කෙල්ලෙක් වේවි”

මොරීන් ගල් ගැහුණා සේ ය. වර්ෂා කියන්නේ පොඩි කාලේ සිට ම හිතුවක්කාරකමක් පෙන්වූ දැරියකි. කිසල් වාගේ ඇය නිශ්ශබ්දව ඕනෑ ම දෙයක් නො පිළිගත් අතර ඇයට අවශ්‍ය පරිදි දේවල් සිදු කර ගැනීම වෙනුවෙන් නිරන්තර අරගල කළා ය. වර්ෂා සාමාන්‍යයෙන් කරන්නේ නැති දෙයක් කියන්නියක නොවේ. කියන දෙයක් නො කර සිටින්නියක ද නොවේ.

“ඔයා මොකටද මේකට ඉන්වෝල්ව් වෙන්නෙ…මේක ඔයාගෙ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අයියගෙ ප්‍රශ්නයක්”

“මං මැදිහත් වෙන්නෙ මගෙ යාළුව වෙනුවෙං. එයාට සිද්ද වෙන්න යන අසාදාරණේ වෙනුවෙං”

ඉදිරියට ගත් පය පසුපසට තබන්නට මොරීන් ට සිදු වූයේ එසේ ය.  පළිඟු තව දුරටත් විශ්ව විද්‍යාලයේ සිටිනුත්, කිසල් ගේ ඇස් වල ඈ වෙනුවෙන් දැල්වෙන සෙනෙහසත් දුටු අක්ෂි උමතු වූවා සේ ය. එදා භෝජනාගාරයේ දී පළිඟු ගේ අතින් ද අල්ලා කිසල් ඔහු ගේ මුවට බත් කටක් කවාගනු ඇය බලා සිටියා ය.

“කාට කියන්නද දෙයියනේ ඉතිං මේවා…ඊයෙ එක්කෙනෙක් වෙන ටේබල් එකකට ගිහිං තනියම බත් කෑවා. අද කසාද බැඳපු ජෝඩුව වගේ මුකුළු කර කර කවෝගන්නව”

උතුම් කම්මුලේ අතක් තියාගෙන කීවේ ය. 

“ඒක තමයි උඹලට කියන්නෙ අනුංගෙ පවුල් ප්‍රශ්න වලට අත නොදා පාඩුවෙ ඉන්න කියල”

කිසල් ගේ කතාවට පළිඟු ‘හිචිස්’ ගා සිනහ වූවා ය. උතුම් ඉන් තවත් නෝක්කාඩු වූයේ ය.

“ඇත්ත ඇත්ත. තේරුණා ඒකනං”

හිටි හැටියේ ජීවිතය ඒ තරම් චමත්කාර ජනක වූයේ කොහොමද කියා පළිඟු දන්නේ නැත. මතුවට පැමිණිය හැකි කරදර පිරිපත ගැන කිසිත් නො සිතා ඉන්නට ඇය ඇගේ ම හදවතට පිළිණ දී තිබිණ. කිසල් වෙනුවෙන් ඕනෑම මොහොතක ශිෂ්‍යත්වය හැර යන්නට ඈ සූදානම් ය. ආදරය වෙනුවෙන් අහිමි කර ගන්නට බැරි දෙයක් මිනිසුන්ට නොමැති බව පළිඟු අත්විඳීමෙන් ඉගෙන ගනිමින් සිටියා ය.

කියවන්න :  පළිඟු මන්දිර - 33

පෙම්වතියක නොවීම පිළිබඳව සමවයස් කෙල්ලන් ප්‍රසිද්ධියේ සේ ම උනුන් අතර රහසේ ද පළිඟු ගැන කී කතා ඇය දැන සිටියා ය. මේ ගැන හීන් මදි කමක් ඇගේ හිතට ද වද නො දුන්නා ම නොවේ. පාසලේ සම වයස් බොහෝ බාලිකාවන් ට වඩා රුවින් මුල් තැන සිටිය ද පිරිමි ළමයෙකු ගෙන් කිසි දා ප්‍රේමාරාධනයක් නො ලැබීම  විටෙක ඇයට ම ද ගැටළුවක් වූවේ ය. පළිඟු ඇතැම් දිනෙක කැඩපත ඉදිරියට වී තමන් දෙස බලා සිටියා ය. පිරිමියෙකු ගේ නෙතට ලක් නො වන්නට ඇගේ වූ අඩුපාඩුව කුමක් දැයි නිරීක්ෂණය කරන්නට ඈ පොහොසත් නොවූ අතර මේ පිළිබඳව ඉතා කුඩා හෝ පසු තැවීමක් ඈ තුළ වන බවක් කිසිවෙකු ට හඟවන්නට ද ඕ කිසි සේත් නො පෙළඹුණා ය.

මේ වන තෙක් කිසල් වෙනුවෙන් ම පේ වී හිඳීම ගැන අද පළිඟු තුළ වන්නේ වචන වලින් විස්තර කළ නො හැකි විදිහේ ප්‍රීතියකි. එය වූ කලී දෙවියන් වෙනුවෙන් පේ වූ දේව දාසියකට දැනෙන විදිහේ දිව්‍යමය ප්‍රීතියකි. ඔහු ගේ ස්පර්ශය ලබන තෙක් කොතැනකදී හෝ කිළිටි නොවූ අතැඟිල්ලක් පවා කුළුඳුල් ප්‍රේම සංස්පර්ශක තෘප්තිය අත් වින්දේ ය.

“පළිඟු”

පළිඟු සේ ම කිසල් ද හැරී බැලූහ. අක්ෂි ඔවුන් ට තරමක් ඈතින් හිඳ පළිඟු ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටියා ය.

“පොඩ්ඩක් කතා කරමුද…”

යුවතිය කිසල් දෙස බැලුවා ය. 

“දැං බෑ කියන්න”

ඔහු කොඳුළේ ය. නමුත් එහෙම කියා ඇගේ හිත රිදවන්නට පළිඟු ට හිත් නො දුනි.

“මං බලල එන්නං ඇයි කියල”

පළිඟු ගේ ඇස් වල වූයේ හිතුවක්කාර මුරණ්ඩු බවක් නොවේ. ආදරණීය අයැද සිටීමකි. ඒ ඉල්ලීමට එරෙහි වන්නට කිසල් අපොහොසත් වූයේ එබැවිනි.

“ගිහිං කුණු ගොඩක් පටලෝගෙන එන්නකො”

යුවතිය අක්ෂි වෙත ගියා ය. භෝජනාගාරයෙන් නික්මුණ ඔවුහු එළිමහන් හරිත උයනට පිවිසියහ. රොබරෝසි මල් වල රෝස පැහැය තැන තැන ඉහිර තිබුණේ ය. ලෝකයක් සනහන්නට පිපී ඒ විදිහට පයට පෑගී යන එමල් ගැන සන්තාපයක් පළිඟු ට දැනෙමින් තිබිණ.

“ඔයා ඔයාටම කරගන්නෙ අපරාදයක් කියලයි මට හිතෙන්නෙ”

අක්ෂි කතාව ඇරඹූයේ මහා කරුණාවකිනි.

“මොරීන් ආන්ටිගෙ හැටි ඔයා දන්නෑනෙ. අපරාදෙ ඔයාගෙ ස්කොල් එක කෑන්සල් කළොත් එහෙම. ඔයාට තියෙන්නෙ ඔන්න ඕව අතෑරල දාල ඉගෙන ගන්න”

පළිඟු අක්ෂි ගේ කරුණාවට දෝරෙ ගලා යන්න ඉඩ දී ටික වෙලාවක් ඔහේ සිටියා ය.

“මොරීන් ආන්ටි එකම දේ දෙපාරක් කියන කෙනෙක් නෙවෙයි. ඔයාට මේ වගේ චාන්ස් එකක් ආයෙ ලැබෙන එකක් නෑ පළිඟු”

“හ්ම්…ඒක එහෙම වෙන්න පුළුවන්”

පළිඟු ගේ හදවතෙහි සුසුමක් බිඳී ගියේ ය.

“මැඩම් මට කිව්ව කිසල් ද ස්කොල් එකද කියන දෙකෙන් එකක් තෝරගන්න කියල”

ඒ තරම් හද පාරන දෙයක් එහෙව් ඉවසීමකින් හා සංයමයකින් කතා කරන්නට ඇය ශක්තිමත් වීම ගැන දෙවියන් පවා පුදුම වනු ඇත.

“මං කිසල්ව තෝරගෙන එළියට බැහැල යනව අක්ෂි. කිසිම දුකක් නැතුව…කිසිම පසුතැවීමක් නැතුව…මං එයාගෙ ආදරේ විතරක් හිතෙං අරගෙන මේ කැම්පස් එකෙං පිට වෙලා යනව”

අක්ෂි දෙදරා ගියා ය. පළිඟු වගේ ජීවිතය පත්ලේ හිඳින කෙල්ලක වෙතින් එහෙවු නිර්භීත බවක් දැකිය හැකි වනු ඇතැයි කොහොම සිතන්න ද? අක්ෂි පළිඟු දෙස බලා උන්නේ මුව ද මඳක් විවර කර ගෙන ය.

4.1 7 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Diyamanthi
Diyamanthi
1 month ago

චිත්ත්‍රයක් සිතුවම් කරන්නා වගේම කලාත්මකය් ,කවියක් ලියන්නා සේ සොදුරය්.ලස්සනයි .