සුළං සීනු – 16

චාරුනී කෙටි කෑම වර්ග කිහිපයක් ගෙන මේසය මත තැබුවා ය.කෑමට පිරියක් නැති මම හිස් බැල්මක් පා කරමින් සිටියෙමි.පුපුරා එන තරම් කකියන හිස අතකින් තද කරගනිමින් හුන් මගේ දෑසට හසු වූයේ ගැබිණි යුවතියක අතින් අල්ලාගෙන යන මවකගේ දසුනකි.”අම්මා ඕනෑ” යන හදිසි සිතුවිල්ලක් හිත පුරා අකුණු ගසන්නට විය. එහෙත් අම්මා හිඳින්නේ ඈතක ය. වසර පහක් පුරා නංගිගේ අසල රැඳෙන අම්මාටත් තාත්තාටත් මවෙත එන්නට ඕනෑකමක් ඇත්තේම නැත. නංගි ඈ ආදරය කළ තරුණයා හිමි කරගන්නට වාසනාවන්ත වූවා පමණක් නොවේ. ඈ අම්මා සහ තාත්තා ද ඇගේ ඇස්මානයේම තබා ගන්නට වාසනාවන්‍තියක වූවා ය.මගේ ගැබිණි සමයවත් මා අසල රැඳෙන්නට අම්මා ආවේ නැත.

“සංකල්පගේ අම්මා ඔයාට නොබලා ඉන් නෑනේ.. මං ආවොත් නංගිට මේ කොල්ලො දෙන්නා එක්ක හති වැටෙයි..”

අම්මා පැවසුවේ එහෙම ය.සංකල්පගේ අම්මා “ඕවත් ලෙඩදැයි” අසන සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙකු වූයේ නැත. ඈ එවකට මා ළඟ හුන් සේවිකාවට මා වෙනුවෙන් වතුර උගුරකුදු සකසන්නට දුන්නේ නැත.සියල්ල පිළියෙළ කරමින් මා රැක බලා ගන්නටත් අපහසුතා ගැන තිස්සේම විමසන්නටත් ඈ ආදරණීය වූවා ය.එහෙත් අම්මාට තරම් නැන්දම්මට දුක කියන්නටත් ඉල්ලීම් ඉදිරිපත් කරන්නටත් නොහැකි බව මම සිතීමි.

“පවනි දූ මොනවටද ආස?” සීනු ලැබෙන්නට හිඳිද්දී සංකල්පගේ අම්මා තිස්සේම ඇසුවේ ඒ පැනය ය.මා කිසිත් නොකියා හිනැහී ගිලගත් පිළිතුරක් විණි.

“මට අපේ අම්මගෙ උකුලේ ඔලුව තියන් ඉන්න ආසයි..”

ඒ අතීතයකි. නමුත් වේදනා සුව වී නැත.

“ඔයාට අයිස් කොෆී හොඳද පවනි..” චාරුනීගේ කටහඬ මා වත්මනට ඇද දැමී ය.මගේ හිස වැනීමට ඈ අයිස් කෝපි වීදුරුවක් ද ඈ වෙනුවෙන් වෙනත් පානයක් ද ගෙන ආවා ය.

“මං කෝපි බොන එක නවත්තලා අවුරුදු කීපයක් පවනි..”

නීතාගෙන් තිස්සේම කෝපි ඉල්ලන සංකල්පව සිතෙහි ඇදී මැකී ගියේ ය.මා ඉදිරිපිට සිටින රූමත් වෛද්‍යවරිය කෝපි නොබොන්නට හේතුව වටහා ගත හැකි වුව ද මා ඒ ගැන අමනාප වූයේ නැත. ආදරය එහෙම ය. දේවක ප්‍රිය කරන සමහර ආහාර මා අදට ද අනුභව කරන්නේ වැඩි ලුණු රසයකිනි. කඳුළු මුසු කරමිනි.

“කන්න පවනි.. බයක් වෙන්න හේතුවක් ඇත්තටම නෑ..”

චාරුනී යළි වතාවක් සිහි කළා ය. මට ඈ සමඟ මොනවා හෝ දොඩන්නට සිත් පහළ විය.

“ඔයා සංක එක්ක තරහ නැද්ද?”

ඈ සිනාවකින් වත සරසා ගත්තා ය. අනතුරුව මට පැනයක් යොමු කළා ය.

“ඔයා සංකට කලින් කාට හරි ආදරේ කරානම් පවනි.. දැන් ඒ බෝයි එක්ක තරහින්ද?”

මට ඉකි ගැසිණි. සංසාරය තිබෙන තුරු අමතකව නොයන දීප්තිමත් දෑස මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නාක් බඳු ය.

“මගෙ ෆස්ට් ලව් එක නැති වෙලා අදට අවුරුදු හතක් චාරුනී. එයා නැති වුණෙත් ඇක්සිඩන්ට් එකකින්..”

චාරුනී මගේ අතක් තදකොට අල්ලා ගත්තා ය.සමාව යදින බැල්මකින් මගේ දෑසට එබුණා ය.

“මම ඒ ගැන දන්නව නං කීයටවත් අහන්නෙ නෑ පවනි..අයිම් රියලි සොරි.. ඒත් ඔයා මෙච්චර ටෙන්ෂන් වෙලා ඉන්නේ අතීතය ආයේ ආයේ වෙයි කියල නම් ඒක කීයටවත් වෙන්නේ නෑ.. සංකට සනීප වෙනව..”

තමා වෙතින් ගිලිහී යන ප්‍රේමවන්තයාට හෙණ ඉල්ලන ගැහැනු හමුව ඇති මට චාරුනි ගැන දැනුණේ ඉහළ හැඟීමකි.ඈ සුවය ප්‍රාර්ථනා කරන්නේ ද විශ්වාසය තබන්නේ ද ඇගේ අත අතහැර දැමූ පිරිමියෙකු ගැන ය.මට ඇගේ විසල් හදවත ගැන දැනුණේ ආදරයකි.

“ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නංකො. මං තරහ නෑ. තරහ වෙන්න හේතුවක් නෑනේ පවනි.. සංකට මාව අත් අරින්න වුණේ අම්මලගෙ බලකිරීමට. සාම්ප්‍රදායික මිනිස්සු හැටියට මට ඒ අම්මලගෙ වරදක් පේන්නෙත් නෑ..”

ඈ නිවී සැනසිල්ලේ කියන්නී ය.

“ඔයා මගෙ ෆුල් නේම් එක දන්නවද..මං චාරුනී බාලසුබ්‍රමනියම්. මගෙ තාත්තා ටැමිල්. අම්මා සිංහල නිසා සිංහල මීඩියම් ඉගෙන ගත්තට මම ටැමිල් ගර්ල් කෙනෙක්..දැන් ඔයා හිතන්නකො ඔයාගෙ මදර් ඉන්ලෝ වගේ ලේඩි කෙනෙක් ටැමිල් ලේලියක් බාර ගනීද කියලා..ඔයා මේ කතාව දන්නේ නෑ කියල හිතලයි මං කිව්වෙ.. සංක කියලා ඇතිනෙ.”

චාරුනී සන්සුන් සිනාවකින් මා නොදැන සිටි කතාව හෙළි කළා ය.මට ඈට කියන්නට දෙයක් තිබිණ.

“මට සංක කියලා නෑ චාරුනි. ඇත්තටම මං ඔයා ගැන මොකුත්ම එයාගෙන් අහල නෑ. මොකුත්ම. මං දේවක ගැන කියලා අඬන, මොකුත්ම නොකියා හොරෙන් අඬන වෙලාවට එයා දේවක ගැන මං කියන දේවල් අහන් හිටිය.. ඒත් මං එයාට නිකමටවත් ඔයා මතක් වෙනවද අහල නෑ..”

ඈ සිනාවකින් බලා සිටියා ය.

“එහෙම මතක් කරන්න තරම් අපි අපේ අතීතය ගැන වොරි වෙන් නෑ පවනි. ඔයාගෙ කතාව වෙනස්නෙ. ඒක ශොක් එකක්. කතාබහ කරලා වෙන් වුණු අපිට ආයේ ආයේ මතක් කර කර අඬන්නවත් වෛර කරන්නවත් අතීතයක් නෑ.. මං ආයේ සංක එක්ක කතා කරොත් කතා කරන්නෙත් අතීතෙ හිටිය සංකට නෙවේ. මගෙ අලුත් යාලුවා පවීගෙ හස්බන්ඩ් එක්ක..”

“ඒත් ඔයාලට අත නෑරගෙන ඉන්න තිබ්බ.. ඕක වෙන් වෙන්න හේතුවක් කරගත්තෙ ඇයි.. සංක ඔහොමමයි. ෆයිට් කරන්න ආසම නෑ..”

මම නෝක්කාඩු කීවෙමි. චාරුනි කෙලිලොල් සිනාවක් නගා ගත්තා ය.

” එයා අයිති වෙන්න තිබ්බෙ ඔයාට. ඒවා වෙනස් කරන්න අපිට බෑ.. අනික එයා ෆයිට් නොකරන මනුස්සයෙක් නෙවෙයි.. මේ දැනුත් අයිසීයූ එකේ බෙඩ් එකකට වෙලා එයා කරන්නෙ ෆයිට් එකක්.. ඉක්මනින් දිනන ෆයිට් එකක්..”

නිසල්ගෙන් ඇමතුමක් ආවේ ඒ මොහොතේ ය.අවන්හල වෙත එන්නැයි කීවිට එය ප්‍රතික්ෂේප කළ තිසුරි නිසා ඔහු ද අපට එක් වූයේ නැත.

“ඉක්මනින් එන්න පවී.. හදිස්සියක්..”

පෙබරවාරි පළමුවැනිදා සිට සුළං සීනු සතියේ දින පහේම උදෑසන 11.30ට කියවන්න.

5 2 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments