fbpx

සුළං සීනු – 20

සංකල්ප නිවසට ආවේ දෙසතියක් ද ඉක්ම යන තැන ය.වෙළුම් පටි පටලවා ගත් ඔහු දුටු හැටියේ සීනු කළේ කෙළවරක් නැතිව වැලපීම ය. ඈ සැනසීම අපහසු විය. තමන් ලෙඩ වූ විට කර මත තබා නළවන තාත්තා අසනීපයෙන් පසු වීම ඈට උසුලාගැනීමට නොහැකි මට්ටමක විය. තාත්තා හොඳින් බව පෙන්වන්නට සංකල්පට තුවාල වෙළුම් පටි සහිතවම සීනු නහවන්නට,කවන්නට පොවන්නට හා සෙල්ලමේ යෙදෙන්නට පවා සිදු විය.

සංකල්ප අසනීප වූ බොහෝ අවස්ථාවල ඔහුගේ සියලු ඇප උපස්ථාන කළේ නීතා ය. නිකමට හෝ ඔහුට අවැසි දේවල් විමසීම මට මඟ හැරුණි. මඟ හැර ගත් තැන් ද ඇත. එහෙත් මේ අවස්ථාවේ මට ඔහු අසලම රැඳෙන්නට ඕනෑ විය.

වසත් සමය උදා වී තිබිණ.

නීතාගේ කුඩා බට් අඹ ගස මල් පුරවා ගත්තේ ඉක්මනින් ගෙඩි දෙන්නට පොරොන්දු වූ ලෙසකිනි. ඈ ගෙඋයන සැලසුම් කර ඇති ආකාරය ඉතා අපිළිවෙල බවත් එය මනරම්ව සැකසිය යුතු බවත් මට සිතුණු අතර මහන්සි වී උද්‍යානය සකසන මා වෙනුවෙන් ලෝචනා මල් පැළ බොහොමයක් රැගෙන ආවා ය.සීනු මඩකරියෙකු වෙමින් මල් පොහොර ද පස් ද අනමින් නටන්නට ගත්තා ය. තවම සුව නොවූ කකුල සමඟ උදව්වට විත් එය පාරා ගැනීම ගැන සංකල්ප මගෙන් බැනුම් ඇසුවේ වරක් දෙවරක් නොවේ.

චාරුනී අප බලන්නට ආවේ කලින් දන්වා ය.

“චාරු කන්න ආස දේවල් ඔයා දන්නවද?”

මා සංකල්පගෙන් ඇසුවේ සරදමට ය. එවැනි විහිලුවක් කර හිනැහෙන්නට තරම් ඔහු මට සමීප ව සිටියේ ය.

“මං එයාව දන්නෙ යුනිවර්සිටි කාලෙනෙ.. දැන් ඔයා නේද යාලුවා?”

ඔහු පිළිවදන් දුන්නේ එසේ ය.චාරුනී අතක් පිරෙන්නට තෑගි රැගෙන විත් කියවමින් හිඳ යන්නට ගිය දා හවස ඕනෑම දෙයක් පැවසිය හැකි තරමේ සමීප මිතුරියක හමු වීම ගැන මා සිටියේ සන්තෝසයෙනි. ඈ සංකල්ප දෙස මිත්‍රත්වයකින් බැලීම ද අතීතය සහමුලින්ම අමතක කර ඔවුන් හැසිරෙන ආකාරය ද ගැන මට දැනුණේ සතුටකි.ජීවත් ව හිඳින සංකල්ප ව හදවතේ ඉහළ තැනක රඳවා අපේ කැදැල්ලට බැල්මකින් හෝ අවැඩක් නොකරන්නට ඈ සමතියක නම් දේවකගේ ආත්මයට සැනසිල්ලක් දිය යුතු නොවේදැයි මම බොහෝ වර සිතුවෙමි.ඔහු ගැන සිතමින් මා හඬා වැළපෙන්නට ගත් විට ඔහුට සැනසීමක් නොලැබෙන බව සිතූ මා වඩවඩාත් සංකල්ප ට නැඹුරු වන්නට පටන් ගතිමි.

“සංක.. මට පොඩි අයිඩියා එකක් ආවා..”

දිනක් හවස් වරුවේ මම සංක වෙත ගියේ බොහෝ දවසක් මා සමඟම තර්ක කළ කාරණාවක් ගැන අවසාන පිළිතුරක් සොයා ගන්නට ය.

“මං ජොබ් එකෙන් අයින් වෙන්නද?”

සංකල්ප ප්‍රශ්නාර්ථයක් රැඳි මුහුණින් මා දෙස බලා සිටියේ ය.

“වැඩ වැඩීද පවී..”

“නෑ.. මට සීනු එක්කයි ඔයා එක්කයි ඉන්න කාලේ මදි කියල හිතුණ. ඊළඟ අවුරුද්දේ ඉඳන් සීනු ඉස්කෝලේ යනවනෙ. එතකොට එයා ගැන මීට වඩා බැලෙන්න ඕන..ඔෆිස් එකේ වැඩ වැඩී.. අපිට සල්ලි ප්‍රශ්න එන එකක් නෑ කියල ඔයාට විශ්වාසයි ද මට අයින් වෙන්න..”

සංකල්ප මඳ වෙලාවක් නිහඬව හිඳ මා අතකින් අල්ලා ගත්තේ ය.

“පවී මෙහෙමයි.. දැන් මං එදා නැති උනානං.. ඔයා සීනු එක්ක හොඳින් ජීවත් වෙන්න ඕන.. මං මැරුණත්, අපි ඩිවෝස් උනත් ඔයාට වෙන කසාදයක් නම් කරගන්න බැරි නෑ තමයි. ඔයා ලස්සනයි.. ඒත් ඔයා ඉගෙන ගත්තු දේවල් අහකට දාන්නම එපා. අඩුම තරමේ ඔයාට ෆ්‍රීලාන්සින් හරි කරන්න පුලුවන්නෙ. ගෑනියෙක් රස්සාවක් තියනකොට හරි ස්වාධීනයි. පහුගිය අවුරුදු වල ඔයා මගෙන් එක රුපියලක් ඉල්ලල නෑනේ.. අන්න ඒ තත්වෙ නැති උනාම ඔයා අවුල් වෙන්නේ නැත්නම් ඔයාට හොඳ දේ කරන්න..”

එය සැබෑවකි. ආර්ථික ස්වාධීන බව තරම් ගැහැනියකට ආභරණයක් නැත.නමුත් මේ මොහොතේ පවුල ගැන වඩා ආදරයක් මගේ හදවතේ පිටාර ගලමින් තිබිණ.වගකීම් සහ යුතුකම් ඉටු කරමින් නිවසේ රැඳෙන්නටත් අතපසුව ගිය පස් වසරක ප්‍රිතීය වහ වහා සොයා ගන්නටත් මට ඕනෑ විය. අනිත් කාරණාව මට නිසල්ගෙන් ඈත් වන්නට ද ඕනෑ විය. ඔහු සමඟ ඕනෑවට වඩා සමීප වූ පහුගිය මාස කිහිපය ගැන මගේ ඇතුළු හදවත ලැජ්ජා වන බව මම වටහා ගතිමි.

අවසානයේ රැකියාව අතහරින තීරණයට මම පැමිණියෙමි.

ඒ උදෑසන මා අවදි වූයේ ලෝචනාගේ ඇමතුමකට ය. ඈට මගේ තීරණය ගැන කාර්යාලයේ දී ම කියන්නට සිතමින් මම ඇමතුම හා සම්බන්ධ වූයෙමි. ලෝචනා සිටියේ හඬමිනි. මා භීතියට පත් කරමින් බොහෝ වෙලාවක් ඉකි ගැසූ ඈ අන්තිමේදී කතා කළ කාරණාව පැවසුවා ය.

“පවී… පවී.. අනේ මං ප්‍රෙග්නන්ට්..”

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x