fbpx

තමන් දරුකමට හදා ගත් අයෙක් කියන සත්‍යය දැනගත්තු දරුවෙක්ගේ සංවේදී කතාවක්.

“ඔයා හිතන්නේ ඇත්තටම ඕක කරන්න ඕනෑ වැඩක් කියලද”

මගේ පෙම්වතිය ටාෂියා එහෙම අහද්දී මම කළේ වේගයෙන් කාරය පදවපු එක.ටාශියා මරණයට බයෙන් වගේ ඇස් දෙක පියා ගනිද්දී හොඳටම කලබල වුණු ආතතියට පත් වුණු මං ගැන මම කෝපයටත් ඊටපස්සේ ශෝකයටත් පත් වෙන්න පටන් ගත්තා.

“මේ අහන්න ආයුෂ්..”

කාර් එක නතර කරලා සුක්කානමේ හිස ගසා ගත්තු මගේ හිසකෙස් ටාශියා අතින් ආදරයෙන් පිරි මැදෙනකොට ආදරය ළඟ නිවෙන ඕනෑම පිරිමියෙක් වගේ මම නිවෙමින් හිටියා.

“අපිට පුලුවන් ජීවිතේ පුරා ඔය රහස රකින්න. මම පොරොන්දු වෙනවා කවදාවත් මේ කතාව මගේ අම්මටවත් කියන්නේ නෑ..”

ටාෂියාගේ වචන මාව ආයෙම කේන්තියට පත් කළා.

“ඒ නොකියා ඉන්න හේතුව මම දන්නවා.මුම්බායිවල ඉන්න ලොකු සල්ලිකාරයෙක්ගේ පුතාට දුව කසාද බන්දන එක ගැන සන්තෝසෙන් ඉන්න ඔයාගේ අම්මලා ඒ කොල්ලගේ ඇඟේ දුවන්නේ ඨාකූර්ලගේ ලේ නෙවෙයි කියලා දැන ගත්තම අපේ කසාදෙට විරුද්ධ වෙනවට ඔයාගෙ තියන බය..”

ටාෂියා කම්පිත දෑසකින් මං දිහා බලාගෙන මිනිත්තු කිහිපයක් හිටියා.එයාගේ කටහඬ මට ඇහුණේ බොහොම වෙලාවකින්.

“නෑ.. මං කැමති ඔයා ඨාකූර් පවුලෙම තමයි කියලා ඔයා හිතනවට. අහම්බයකින් දැන ගත්ත දෙයක් පස්සේ පන්න පන්නා ඔයා ඒක හැමෝටම කියනවට මං ඇත්තටම ආසා නෑ.. ඒක නිසා රිදෙන්නේ ඔයාට නෙවෙයි. ඔයාගේ අම්මාට..”

ඇය කියන්නේ කේන්තියෙන්.

අගහිඟකම් නැති ව්‍යාපාරික පවුලක එකම පුතා වීම මගේ ජීවිතයේ තියන හොඳම දේ නෙවෙයි. ඒත් හැම මොහොතකම මාව තේරුම් ගත්තු අම්මා තාත්තා කෙනෙක් ලැබීම මං ලබපු ලොකුම වාසනාව කියලා මං හැම තත්පරයකම හිතුවා. එයාලා ඒ තරමට මාව තේරුම් ගත්‍තා. මට ආදරය කළා.

පුංචි කාලේ කවදාවත් මං රිපෝට් කාඩ් හංගලා නෑ. මට ගණිතයට ලකුණු තිස් ගාණක් තිබුණේ හතේ පන්තියේදී.”මට හතේදී ගණං වලට තිබ්බේ දාහතක්. ඔයා මට වඩා ටැලන්ට් කොල්ලෙක්”.තාත්තා එහෙම රහසක් මට කියද්දී මට තවතවත් දක්ෂ වෙන්න ඕනෑ වුණා. මගේ උපාධියත් භෞතික විද්‍යාව සම්බන්ධයෙන්.ඔව්!! මම තාත්තාට මං ඒ තරම් දක්ෂයි කියලා ඔප්පු කරා. පොඩි දඟ වැඩක් ලොකු දඟ වැඩක් වෙනකම් දුරදිග යද්දී පවා මං ගුටි නොකා බේරුණේ ආදරය විතරක් පිරුණු ගෙදරක ජීවත් වුණු නිසා. ඒත් අම්මා “හොඳ කොල්ලෙක්” වෙන පාඩම මට ආදරයෙන් ඉගැන්නුවා.

මම උස්මහත් වුණේ ඒ ආදරය එක්ක. ඒ මනුස්සකම් එක්ක.

අම්මාගේ පරණ අල්මාරියෙන් මං හදා ගන්න ගත්තු දරුවෙක් කියලා තහවුරු වෙන ලිපිගොනුව ලැබිලා දැන් පැය කිහිපයක්. පහුගිය අවුරුදු විසි හතක්ම මම අම්මාගේ හැඩ රුව ඇති පුතෙක් කියලා හිතපු මට මේක මහ දරුණු වේදනාවක්. ටාශියාගේත් මගේත් විවාහයට වෙහෙසෙමින් ඉන්න මගේ අම්මා මගේම අම්මා නෙවෙයි කියලා දැන ගැනීම මොනතරම් වේදනාවක් ද?

මුම්බායි නගරයෙන් ඈත ගමක ජීවත් වෙන මගේ ඇත්ත අම්මා දකින ආසාව සහ වේදනාව මිශ්‍රිත හැඟීමකින් හැම වැඩක්ම අතපසු කරලා යන්න හදන මාව සන්සුන් කරන්න මහන්සි වෙන ටාෂියාගෙන් අහන්න දෙයක් මට මතක් වුණා.

“අවුරුදු විසි හතකට පස්සේ මාව දැක්කම අම්මට ගොඩක් දුක හිතෙයි නේද?”

ටාෂියා හිස් අහස දිහා බලාගෙන උත්තරයක් කල්පනා කළා.

“අවුරුදු විසි හතකට පස්සේ අම්මලා දෙන්නම දුක් වෙයි ආයූ. ඔයාව හදවතේ දරාගෙන හිටිය අම්මාට කවමදාවත් සනීප නොවන හිත් වේදනාවක් ඉතුරු වෙයි..අතීතයට නොයා ඉන්න ඕන තැන් තියනවා ආයු. අපි හදිස්සියෙ හිතට එන හැඟීම් නිසා අතීතයට දුවන්න හදන වේගෙන් ආපිට හැරිලා එන්න බෑ. අන්තිමට හිස් හැඟීමකුයි වේදනාවකුයි විතරක් ඉතුරු වෙයි. එයා ඔයාව දුන්නේ ඔයාව දරා ගන්න බැරි වුණු නිසානේ. ඒ දරා ගැනීම දැන් එයාට තියනවා කියලා ඔයා කොහොමද හිතන්නේ..”

ටාෂියා වේගයෙන් කියවාගෙන යනවා

“මාව බිහි කරන්න එයා වේදනා විඳින්න ඇති..”

“ඔයාව හදාවඩා ගන්න තීරණය ගන්න මේ අම්මලාට ලොකු ශක්තියක් තියෙන්නත් ඇති..”

අම්මා කියන්නේ කුසේ දරා ගත් ගැහැනියට ද? නැත්නම් අවුරුදු විසි හතක් පුරා ලෝකයේ තියන පිරිසිදු ම ආදරය මට දුන් ගැහැනියට ද? මාව දරා ගැනීම අපහසු බව එක් අයෙක් කියද්දී අනිත් කෙනාට මාව දරා ගැනීම ලෝකයේ තියන සුන්දරම අත්දැකීම වෙන්න ඇති.

මං මේ යන ගමන මාව අත් හැරපු අම්මාට අතීත වේදනාවක් යළි මතක් කිරීමක් විතරක් නෙවෙයි. මාව දරාගත් දෙමාපියන්ට අනාගත වේදනාවක් ගෙන ඒමක් තමයි.

“අපි යමු ටාෂි.. අම්මා බලාගෙන ඇති…”

මෝටර් රථය හරවා ගන්න ගමන් මම කිව්වා.

අම්මා කියන්නේ ආදරයට. මාව අත්හරිමින් මට වඩා යහපත් තැනක උස්මහත් වෙන්න දුන් අම්මාත් මට ආදරය සහ ජීවිතය දෙමින් වඩා යහපත් උගත් ආයුෂ් කෙනෙක් ලෙස මාව හදාගත්තු අම්මාත් ආදරය පර්යාය පද තමයි.ඒත් මම වැඩියෙන්ම මට දැනෙන ආදරේ ළඟම නතර වෙනවා.

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x