ඔබට ඇහෙනවනම් – 8

1
990

කෙනෙකු ගේ පෞද්ගලික ජීවිතයෙහි යම් කිසි තත්වයක් වෙනත් කෙනෙකු කෙරේ බලපෑමක් ඇති කරන්නේ ඔහු හෝ ඇය එකී තැනැත්තා ට හෘදයාංගම සමීප බවක් ඇත්නම් පමණකි. එය ආත්මීය ගනු දෙනුවක ප්‍රතිඵලයකි. එසේ නො වත්දී අපි අනෙකා කෙරේ සංවේදී වන මුත් එය සිදු වන්නට බැරි දෙයක් නො වන බව දැන සන්සුන් වන්නෙමු. කොටින් ම එය අපේ අභ්‍යන්තරයෙහි විසල් කැළඹීමක් ඇති කරවන්නේ නැත. පිටස්තරයෙකු ගේ මරණයක් ගැන වුව අප ශෝකයට පත් වනවා කියා කීවාට සැබවින් ඒ වචන මාත්‍රයක් නො වන්නේ ද? 

නමුත් මා දික්කසාද ගැහැනියක ය යන ආරංචියෙන් කුලාන් සැබවින් ම කම්පනය ට හා කැලඹීමට පත් විය. එ් සුළි කුණාටුව ඔහු ගෙන් බැහැරට ගමන් කොට ඔහු හෙමිහිට යථා තත්වයට පත් වන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටියෙමි.

“ඒකත් එහෙමද…”

ඒ වචන දෙක පිටව ගියේ සුසුම් කුණාටුවක පැටලී ගෙන ය. ඔහු එහෙම සසැලී හිඳියදී මා මේ විදිහට හිස කෙළින් තබා ගෙන ඉන්නට හේතුවක් වුව මට සිතා ගත නො හැකි ය.

“නිම්නා…ඔයා දැං යන්න. අපි පස්සෙ කතා කරමු”

කුලාන් කතා කළේ බොහොමත් ම පහළ ස්වරයකිනි. නමුත් ඒ තුළ වූ ව්‍යාකූලත්වය වෙන් කොට හැඳින ගන්නට මට බැරි නැත. මම හී ගසක් සේ නැගී සිටියෙමි. එතැනින් පලා යාමේ අවශ්‍යතාවය ඒ තරමට මා පෙළමින් තිබි බවක් වුව මා වටහා ගත්තේ ඒ වෙලාවේ ය.

මගේ කුටියේ අසුනට වැටුණ ඉක්බිති හිතට දැනුණේ පුදුම සැහැල්ලුවකි. වීදුරු බිත්ති වලට එපිටින් මට පැහැදිළිව ම ඔහු පෙනිණි. අප අතර විනිවිද භාවය හදිසියේ ම දැඩි වූවා සේ මට දැනෙන්නට ගති. මම ඉක්මනින් හා අලුත් සතුටකින් වේගවත් ව වැඩ කර ගෙන ගියෙමි. සැබවින් සතුට කියන්නේ පුදුම දෙයකි. අප තුළ ම සැඟවී ගෙන එය අප හා හැංගිමුත්තන් කරයි. 

පස්සේ කතා කරනවා කීවාට, හැන්දෑවේ අප වැඩ නිම වන තෙක් ම කුලාන් යළි මා කැඳෙව්වේ නැත. බස් නැවතුම තෙක් ඇවිද යන අතර වාරයේ අශිකා නන් දෙඩවූවා ය.

“ඔයා දිහා බලනකොට බලනව කුලාන්ගෙ ඇස් දෙක දිහා. එතකොට ඒවගෙ තියෙන්නෙ අනිත් අය දිහා බලන බැල්ම නෙවෙයි. මන්නං කියන්නෙ කොල්ලා ඔයාට ලව්. එහෙම තමයි. මුහුදු හතක් එතෙර වෙලා ආවට පස්සෙත් ආදරේ මුණගැහෙන්න පුළුවන් නෙ”

මම කට කොනකින් හිනැහුණෙමි.

“ඔන්න ඔය හිනාව තමයි මට අල්ලන්නෙ නැත්තෙ. හැම මගුලටම හිනා කෑල්ලක් දානව. එතකොට දැං හිතං ඉන්වෙ අර බඩ තඩි එළෝළු වෙළෙන්දව බඳින්නද…”

“බිස්නස් කිව්වහම පත්තර වුණත් එළවළු වුණත් මාළු වුණත් බිස්නස් තමයි. එහෙම වෙළෙන්දන්ට විතරද බඩ තියෙන්නෙ…ලොකු පිස්නස් කාරයන්ට තියන ලොකු ලොකු බඩවල් ඒ ගොල්ලංගෙ ලොකුකමේ, නැත්තං පර්සනලිටි එකේ කොටසක්…එහෙමද…”

“මොන බූරුවෙක්ද මන්දා. මන්නං සදහටම නොබැඳ හිටියත් ඒ වගේ මිනිහෙක්ව බඳින්නෑ”

“ඔයාගෙයි මගෙයි තත්වෙ වෙනස් අශී. අපි එක වයසෙ වුණාට මං දැං ඩිවෝස් වෙච්ච ගෑනියෙක්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔයා තරුණ කෙල්ලෙක්. එතනදි අපි දෙන්නගෙ වටිනාකම් වෙනස්. සමාජය එහෙමයි කියන්නෙ. දැං මට බඳින්න කෙනෙක් හොයද්දියි ඔයාට බඳින්න කෙනෙක් හොයද්දියි සලකා බලන දේවලුත් වෙනස්”

“මගුලක් කතා කරනව. ඔයා වගේ අයත් ඔහොම හිතනකොට…”

“මං කුලාන් සර්ට කිව්ව”

“මොනාද…”

“මං ඩිවෝස් වෙච්ච කෙනෙක් කියල”

“ඔයාට ඕනෙ එයා බලාපොරොත්තු තියං ඉන්නවනං ඒක නැති කරවන්න නේ…”

ඇය මා කියවන්නට දන්නී ය. මම නො දනිමි. ඇයට හිතෙන්නේ එහෙම නම් මට ඕනෑ වී තියෙන්නට ඇත්තේ එය කියා පිළිගත යුතු ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 5

“එයාගෙ එහෙම බලාපොරොත්තුවක් නෑ”

මම උගුර යටින් අසීරුවෙන් කියා ගතිමි. 

“අරගොල්ලො අහල එවල තිබුණා අදත්…කැමතිද කියල”

හැන්දෑවේ මා දිය නා ගෙන තේ එකක් තොල ගාත්දී අම්මා කීවා ය.

“කවුද…”

සත්තකට ඈ කියන්නේ කුමක් ගැනදැයි ඒ වෙලාවේ මට මතක් වූයේ නැත.

“අර මනමාලයගෙ පැත්තෙං ළමයො. කපුවා තාත්තට කෝල් කරල අහල තියෙනව”

‘ඉතිං…’ යන ප්‍රශ්නය නැගුවේ මගේ හිතයි. මම මුවින් ඒ ගැන නො විමසීමි. අනිත් අතට මෙතෙක් නොවූ දැවිල්ලක් ද බඩ පපුව දවාගෙන පැතිර යනු මට දැනිණි. මගේ ඉරණම ලියැවෙන්නට යන ආකාරය ගැන අවංක වේදනාවක් මට වේ.

“ඔයා තාමත් අපිට හරි උත්තරයක් නොදීපු නිසා තාත්ත කපු මහත්තයට හරි උත්තරයක් දුන්නෙත් නෑ”

මට සැනසීමක් නො දැනුණා ම නොවේ. නමුත් හිතේ එකක් තියා ගෙන මම වෙනකක් කීවෙමි.

“ඇයි මං කිව්වෙ…”

“ඒක හරි උත්තරයක් නෙවෙයි කියල මං දන්නව පුතේ”

අම්මා සුළි සුළඟක් බඳු හුස්මක් හෙළා ළය බරින් මිදීමේ උත්සාහයක් ගත්තා ය.

“තාත්ත වුණත් ඒක නොදන්නව නෙවෙයි. අපිට වුණත් වේදනාවයි දරුවො. ඔයා අපි ඇස් දෙකේ තියං හදපු දරුවා. මගෙ ආඩම්බරේ. තාත්තගෙ හුස්ම. ඔයා රජ කුමාරයෙක් එක්ක කුමාරියෙක් වගේ ජීවත් වෙනව දකින්නයි අපිට ඕන කළේ”

“ඉතිං එළෝළු මුදලාලි කෙනෙක්ට රජ කුමාරයෙක් වගේ ඉන්න බැරිද…”

මගේ මුවග මඳහසක් විය. මම එය වියැකී නො යනු වස් වග බලා ගතිමි.

“ඒත් මේක කරන්න තාත්තටයි මටයි දෙන්නටම හිත් දෙන්නෑ පුතේ”

“මට බෑ අම්මෙ. මට ඒක කරන්න බෑ”

හදවතේ ගැඹුරු ම පත්ලක සිට බුර බුරා නැගී ආ හැඟීම් සමුදායක් වචන කිහිපයකට පෙරළා මම කියා දැම්මෙමි. එවෙලේ මා තුළ වූයේ ඉරණමට යටත් නොවී ඉරණම සමග පොර බැදීමේ අවශ්‍යතාවයක් පමණකි. මට ඕනෑ ලෙස මගේ ඉරණම ලියා ගැනීමේ අයිතිය මා වෙනකෙකු අතට දිය යුතු ද? අශිකා කියනවා සේ සදහට ම අවිවාහක ව සිටියත් මොකද? නො ගැලපෙන මිනිසෙකු සමගින් එක වහළක් යටට වීමේ වරදට එක වරක් මම දඬුවම්  ලදිමි. ඒ වරද දැන දැන ම යළිත් වතාවක් කළ යුතු ද? නැතැයි කියා යටි හිත කෑ ගසා කීවේ ය.

“ඒකනෙ…ඔයා ඉතිං හිතේ තියං ඉන්නෙ නැතුව ඒක කියන්නනෙ තිබුණෙ”

හීනයකින් සේ මට ඇහුණේ තාත්තා ගේ හඬ ය. සිහි එළවා ගැනීමේ උත්සාහයක් ගනිමින් මම තාත්තා දෙස බැලුවෙමි. අභය යදින එළදෙනක ගේ දෑසේ වන බැල්ම මගේ ඇස් මත්තේ වූවා කියා සිතමි.

“ඔයා ආයෙ කසාදයක් කර ගන්න ඕනෙ තමයි. හැබැයි ඒ ඔයා කැමති කෙනෙක් එක්ක”

මේ තරම් සැනසිල්ලක් මගේ හදවතට දැනෙන්නට කාරණා කිම? මම නො දනිමි.

“ඒත් නිම්නා ඉස්සර පිරිමි ළමයෙක්ගෙං හොයපු දේවල් දැං බලාපොරොත්තු වෙන්න බෑ කියන යථාර්ථයත් ඔයා තේරුං අරං ඉන්න ඕනෙ”

ඉස්සරහා ට ඕනෑ දෙයකි. මේ මොහොතේ මින් ගැලවුණා කියන සැහැල්ලුවට පත් වීම පමණක් මට සෑහේ.

එපුවතින් මටත් වඩා සතුටට පත් වූයේ අශිකා ය. වචනයක් හෝ නොකීවා ට ඇගේ මුහුණෙන් මට එය හැඳින ගත හැකි විය.

එදා දිවා ආහාර වෙලාවේ දී කුලාන් කාර්යාල පරිශ්‍රය තුළ හිටියේ නැත. ශ්‍රීනාත් මහතා ගේ ලේකම් වරිය වශයෙන් මා කුලාන් ගේත් ලේකම් තනතුරට නිරායාසයෙන් පත් වී ද ඔහු කොහි යන්නේ දැයි මට දන්වා ගියේ නැත.

“මටනං හිතා ගන්න පුළුවන්”

කෑම කන ගමන්, කල්පනාවට වැද උන් අශිකා හදිසියේ ම කීවා ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -33

“කුලාන් ලන්ච් වලට හිටියෙත් නැත්තෙ ඔයාව මගාරින්න”

“ෂ්…”

මම දෙතොල් මත දබරැඟිල්ල තබා නිහඬ වන්නැයි ඇයට ඉඟි කළෙමි.

“නම කියන්න එපා මෝඩියෙ. ඒ අපේ බොස්”

“කවුරු වුණත්…”

ඒ පියවර හඬ ඇහෙන්නට ගත්තේ එතකොට ම ය. ඇතෙක් සේ ඔහු බරට පිය තබන්නේ මගේ ළය මත වන සෙයින් ඒ බර මට දැනිණ. නමුත් මොකක්දෝ හේතුවකට ගැහැනු සිත ප්‍රීතියෙහි දිය බුං ගසන්නට පටන් ගෙන ඇති අයුරු ද  දැනිණ. අශිකා ගේ දෑස් මත මනමාල සිනහවක් උපන.

පියවර හඬ අපේ මේසය ළඟ නැවතිණ. හිස ඔසවා නො බලන්නට තරම් මම මගේ සිත් හි පාලනය අතට ගෙන සිටියෙමි.

“අපි ඒත් හිතුව සර් ලන්ච් වලට එළියට යන්නැති කියල”

අශිකා සතුට තැවරි හඬකින් කතා කළා ය. ඔහු මගේ දකුණු අත පැත්තේ සුපුරුදු අසුනට බර වූයේ ය. පෙනහළු සුවඳවත් වෙත්දී මගේ ඇස් මට අකීකරු වූයේ ය. එක මොහොතකට මගේ ඇස් ඔහු ගේ ඇස් ලුහුබැඳ යන්නට විය. ඒ හැංගිමුත්තමෙන් පැරදී මම ඉක්මන් සිනහවක් නගා බිම බැලුවෙමි. මට නොතේරෙන රිදුම් බර ගැස්මක් හදෙහි විය.

“අපි කිව්වෙ…”

ඔහු ප්‍රශ්න  කළේ කිරි දරුවෙකු ගේ බඳු ළෙංගතු ස්වරයකිනි. බත් පත අත පත ගෑවා මිස ඒ පියවර හඬ ඇහුණ මොහොතේ සිට තවමත් මා බත් කටක් මුවට ගෙන තිබුණේ නැත.

“අපි කිව්වෙ ඉතිං මායි නිම්නායි. නිම්නා බැණ බැණ හිටියෙ ඒත්…”

ඇස් වල රත් වීමක් මට දැනිණ.

“බැණ බැණ…”

“බැණ බැණ කිව්වට ඉතිං…බයේ…”

“ඇයි බයේ…”

අශිකා මොනවා කියවනවා දැයි කොහෙත්ම මට සිතා ගත හැකි වූයේ නැත.

“නෑ ඉතිං…බොස් කොහේ ගියාද කියල සෙකට්‍රි දන්නැති වුණාම අවුල්නෙ…බැරි වෙලාවත් එම් ඩී සර් හරි කෝල් කරල ඇහුවනං එහෙම”

“ඒක මිසක්…නිම්නා ඉතිං ඩියුටි කොන්ෂස්නෙ…නේද…”

තමන් සම්බන්ධ නොවී, තමන් ගැන කරන කතාවකට අනිත් අය සම්බන්ධ වී සිටින විට දැනෙන අපහසුව මම අත්විඳමින් සිටියෙමි. ඒ මොනවා වුණත් සිත රහසිගත සතුටක සීමා මායිම් සොයමින් සිටියේ ය. නො අයිතිය ගැන කිසිදු හැඟීමක් හිතට වගක් වූයේ ද නැත.

“තාමත් අතගානවද…මං කාලත් ඉවරයි”

කියා ගෙන හදිසියේ ම අශිකා නැගිට ගත්තා ය. මට දැනුණේ හුස්ම හිර කරවන දුෂ්කරතාවයකි. කුලාන් සමගින් ඕනෑ තරම් මම තනි ව කතා බහ කොට ඇත්තෙමි. ඔහු ගේ කුටියට මා කැඳවා ද, මගේ කුටියට ම ඇවිදින් ද අපි ව්‍යාපාර කටයුතු ගැන කොතෙකුත් තනිව දොඩමළු වීමු. මුද්‍රණාලය වෙත ඔහු සමගින් දෙතුන් වරක් මම තනිව ගොස් ඇත්තෙමි. වතාවක් ඔහු මත්තෙගොඩ තෙක් මා රියෙහි කැටුව ගියේ ය. ඒ කිසිදු අවස්ථාවක නො දැනුණ හුස්ම හිර කරවීමකි මෙය. මම බත් පත හකුලමින් නැගිටින්නට ගියෙමි. මට ඕනෑ වූයේ එතැනින් පලා යන්නට ය.

“නිම්නා”

මට වඩා තත්පරයෙන් සීයෙන් එකකට ඔහු ඉස්සර වූයේ ය.

“කෑම ටික ඔක්කොම කන්න”

ඒ විධානයක් ද? රාජකාරියේ දී හැර මෙවන් පෞද්ගලික කටයුත්තක දී ඔහු මට අන පනත් පනවන්නේ කෙසේද? ඊට එරෙහි නො විය යුතු ද? නමුත් මගේ යටි හිත කැමැත්තෙන් ම ඒ විධානයට අවනත වන සූදානමක නො සිටියේ ද?

“ඇති සර්”

මම කොඳුරා ගතිමි.

“කෑම කාලා බොඩි එකට ඕන එනර්ජි දුන්නැත්තං කොහොමද වැඩ කරන්නෙ…ම්…”

හදවත් පටක නාය යන්නට වූයේ ය. නමුත් සයුරක ගැඹුරු ම පත්ලෙහි දී දිය මතු පිට නිසල වන්නේ යම් සේ ද එලෙසින් මම මතුපිටින් පාෂාණිභූත වී සිටියෙමි.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamari
2 months ago

Yyou are my favorite writer . I have read lot of booka of yours. Congratulations .