ඔබට ඇහෙනවනම් -24

1
2992

ගැහැනුන් කුමක් බෙදා හදා ගත්තත් ආදරය හෝ ආදරය කරන පිරිමියා ව බෙදා ගන්නට රිසි නො වන වග මම අසා ඇත්තෙමි. එය මටත් අදාල දැයි සිතන්නට තරම් මම දුර්වල ගැහැනියක නොවෙමි. මන්ද යත් කුලාන් පිළිබඳව සියලු අයිතිවාසිකම්, කුෂ්ලානි විසින් සපුරා ඇති බව මා දන්නා නිසාවෙනි. හිත පුච්චා ගෙන යන මේ ඊර්ෂ්‍යාවේ ගිනි පුළිඟු නිකම් ගැහැනු කමට ය.

“කුෂ්ලානි මේ ගමන ඇවිත් තියෙන්නෙ මැරි කරමු කියන යෝජනාවත් එක්ක” 

කුලාන් බිම බලාගෙන වාගේ හෙමිහිට කොඳුලේ ය. සිරුරට බැඳගත් බෝම්බයක් පුපුරවා ගත් බෝම්බ කරුවෙකුට සිදු වන දේ මට සිදු විය. නමුත් එය සිදු වූයේ බාහිරයේ නොවේ. සම්පූර්ණයෙන් ඇතුළත ය. හදවත් පටක ඉසිහින් කැබලි වලට ඉරී යන්නට ඇත. කන් දෙකෙන් දුම් දමනවා මට දැනුණේ ය. ඒ සියල්ල අවසානයේ මම මන්දස්මිතයකින් ඔහු දෙස බැලුවෙමි.

“ඒක මැඩම්ගෙ අයිතියනෙ සර්”

ස්වරයෙහි කිසිදු වෙව්ලීමක් නො වන්නට මම වග බලා ගතිමි.

“එයාට හිතිල ඇති එයත් දැං නවතින්න ඕනයි කියල. සමහර විට…මේක මාත් කාලයක ඉඳල බලං හිටපු දෙයක් වෙන්න ඇති…”

ඔහු මගේ ඇස් වල පැටළුණේ ය. මම දුටිමි. මම හැඳින්නෙමි. ඒ ඇස් වල අයිතිකාරයා අන්ත අසරණයෙකි.

 අශිකා එදා රෑ අපේ ගෙදර නවතින්නට ආවා ය. අම්මා බැලීම ඒ ගමනේ අභිමතාර්ථය වුණත්, පසු දා සෙනසුරාදාවක් බැවින් සැලසුමක් නො තිබුණත් යමක් කිරීමේ අදහසක් අප ට විය. 

“දැං ඉතිං මේ දුවත් පිළිවෙලක් වෙන්න හිතන එක හොඳයි”

අම්මා අශිකා ට මතක් කළේ විවාහයක් ගැන ය. අම්මා අවතීර්ණ වූයේ තහනම් මාතෘකාවකට යයි මට සිතුණත්, ප්‍රශ්නය නැවත ඉල්ලා අස් කර ගන්නට නුපුළුවන.

“එක අතකට ඔහොම ඉන්න එක හොඳයි. බඳින්න ඕනමයි කියල මිනිස්සු කියන නිසා බඳින්න ඕන නෑ”

ඇගේ හිත නො රිදෙනු වස් මම කීවෙමි. අම්මා ඊට එරෙහි වූවා ය.

“දික්කසාද වෙච්ච ගෑනියෙක්ගෙං කසාදයක් ගැන හොඳක් අහන්න පුළුවන් කමක් නෑ තමයි නිම්නා. ඒත් මේ වගේ ළමයෙක්ව අධෛර්ය කරවන්න එපා”

“අනේ නෑ ආන්ටි. මගෙ එහෙම බයක් නෑ. අනික ඉස්සරහට හම්බ වෙන බල්ලත් අහන්නෙ දැන්ම බඳින අදහසක් නැද්ද කියල තමයි”

අශිකා සිනහ වෙවී කීවා ය.

“සමහරු හිතා මතාම ඇහැට ඇඟිල්ලෙං අනින්න ඕන වුණාම කියන්නෙ දැන් වයසත් පහු වේගෙන යනව නේද කියල. ඒ අර අපි දැං වයසට යන ගමං කියල මතක් කරල දෙන්න වගේ”

“අනේ මන්නං එහෙම හිතකින් කිව්ව නෙවෙයි දරුවො. දැන් නොදැනෙන තනිකමක් වයසට යද්දි දැනෙන්න ගන්නව. දරුවො මුණුබුරෝ ආශිර්වාදයක් වෙන්නෙ ඒ කාලෙට. වයසට යද්දි දැනෙන තනිකම මහ දරුණු දෙයක් පුතේ. උල් කටු වලිං පපුව හූරල දාන…”

අම්මා කතා කළේ ඇගේ හදෙහි වන හුදෙකලාවේ ශෝකයෙන් බව මට වහා දැනිණ. මගේ දරුවෙකු ගේ පුරා දුව ඇවිද්දා නම් ඇයට ඇගේ වයසට යාමේ භීතිය මගහැර ගන්නට තිබිණි. රෝද පුටුවක් මත්තේ හුදෙකලාව දවස දිය කර හරින මවු පියන් ගේ හදවත් වල කතාව කවුරුවත් නො දන්නා එකකි. ඒ, එය මුවින් නො බිනී හදවත් වලට සීමා වී පවතින බැවිනි.

“අම්ම කිව්ව දේට අප්සට් යන්නෙපා අශී”

රෑ කෑමෙන් පස්සේ තණ පලස පාගමින් මිදුලට ඇවිද යන ගමන් මම කීවෙමි. සඳ දැන් පුර පසට මෝරා වැඩී තිබේ. තඹ පාට සඳ කිරණ, තුරු පත් මත කාන්තිමත් රටා තබා වැතිර ගෙන හිඳී. සඳ පිනි දිය, තණ පලසෙහි සැඟවී හිඳ අපේ නග්න දෙපා වැළඳ ගත්තේ සීතල හැඟීමක් දනවමිනි.

“දැං මං ඔය ප්‍රශ්නෙ ගැන එච්චර වද වෙන්නෑ නිම්…ඒත් අඩුවක් නැතුව නෙවෙයි. අඩුවක් නොදැනෙනවත් නෙවෙයි. හිතේ කොනක කියා ගන්න නොතේරෙන අඩුවක් දැනෙන වෙලාවල් තියෙනව. ඒක නිසා ඔයාගෙ අම්ම අර කිව්ව වයසට යද්දි දැනෙන හුදෙකලාව ගැන කතාවට මං එකඟයි”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -31

හිත කීරි ගැසිණි. ගැහැනු හිතක් කියවනවා කියන්නේ විශ්ව කෝෂයක් කියවනවා වැනි කාරියකි. කියෙව්වත් වටහා ගත හැකි වන්නේ ඉන් කිසියම් කොටසක් පමණකි. සිනා සෙමින් විහිළු කරමින් සිටියාට, කාටවත් නො කියන හුදෙකලාවකින් අශිකා පෙළෙමින් සිටින්නී ය.

“මිනිස්සු අහන දේවල් ගැනනං මං හිතන්නෑ. බැන්දම කියමු. එදා ඉඳලම මිනිස්සු අහන්න ගන්නව වෙනසක් නැද්ද කියල. කොටිංම අපිට ඕන වෙලාවට නෙවෙයි අපි බඳින්නයි ළමයි හදන්න ඕනෙ රටේ එවුන්ට ඕන වෙලාවට”

“ඇත්තටම තනිකම කියන දේ දරා ගන්න අමාරු වෙලාවක් එනව අශී”

මා එසේ කීවේ සුසුමකිනි. ඒ මොහොතේත් මසිතේ ඇඳෙමින් මැකෙමින් තිබුණේ රෝහලේ විදුලි සෝපානයේ දී කුලාන් මා ව වැළඳ ගත් දර්ශනයයි.

“එහෙම වෙලාවට දරා ගන්න බැරි අසරණකමක් අපිව යට කර ගන්නව.ඒත් තනිකම නිවන්න පුළුවන් අයව නිතරම අපිට ලැබෙන්නෑ අශී. හොයන්නත් බෑ. අහම්බෙන් හම්බවුණොත් තමයි…”

තරුවක නිවෙමින් දිළෙන කාන්තිය පවා හදෙහි සියුම් තත් පිරිමදිමින් බින්දේ ය. කෑ ගසා හැඬුවත් හිත ඉල්ලන ඒ පිරිපුන් බව ලබා දිය හැකි කෙනෙක් අත පොවන මානයේ නැත්තේ ය. ඇතැම් විට ඔහු තව ම හමු වී නැත. නැත්නම් වෙන් වී ඇත. ජීවිතය දෝලනය වන්නේ ඒ දෙක අතරේ හිස් අවකාශයක ය. මේ දැනෙන හුදෙකලාව වූ කලී එහිස් අවකාශයේ ඉඩ පුරවා දමන ශුද්ධ වූ මිනිස් හැඟීමයි.

අශිකා ද සිටින නිසාවෙන් සෙනසුරාදා උදේ පුතා ද රැගෙන කොහේ හෝ ඇවිදින්න යන්නට මම සිතුවෙමි. එහෙම සිතිවිල්ලක් ටික දිනෙක සිට හිතේ වූවත්, තනිව කොහේවත් යන්නට මා තුළ වූයේ කම්මැළි කමකි.

“ඒක හොඳයි. පොඩි එකත් ආස වෙයි ටිකක් එළියෙ ඇවිදින්න යන්න”

අම්මා ගත් කටට ම කීවා ය. නමුත් තාත්තා ගේ මූණේ හොඳක් වූයේ නැත.

“මොන එහෙකට ඇවිදිනවද තැන් තැන් වල. ඒ ළමය ඉන්නෙ තාත්ත ළඟනෙ. එයා ළමයව එක්කගෙන යනව නැතෑ. ඕව මේ ගෑනු උදවියට කරන්න පුළුවන් දේවල් නෙවෙයි”

තාත්තා තවමත් මා ගැන සිතන්නේ පාසල් යන බාලිකාවකගේ තත්වයට දමා ය. මේ වෙලාවේ මම තර්ක කර ඔහු ගේ හිත රිදවන්නට නො ගියෙමි.

“අශිකා ඉන්නවනෙ තාත්තෙ. අනික මං හිතුවෙ පුතාව සූ එකට එක්ක යන්න. මහ දුරකට නෙවෙයිනෙ”

එවර හෙතෙම නිහඬ වූවේ ය. නමුත් ඒ හිත් සතුටකින් නොවන බව මම දනිමි.

“ඔයා තාමත් තීරණයක් ගත්තෙ නැද්ද නිම්නා…පුතා වෙනුවෙංවත් ඔයාට ඒක කරන්න බැරිද…පුතාට අම්මයි තාත්තයි දෙන්නම ළඟ ඉන්න ඕන කියල ඔයා හිතන්නැද්ද…”

කසුන් සාමකාමී ව කතා කළේ ය. මගේ මුවට ආවේ සමච්චල් සිනහවකි.

“ඔය වචන….ඔයා ඩිවෝස් එක ඉල්ලපු වෙලේ මං කියපු ඒව කියල මතකයි”

“දැං ඔය පරණ කතා වැඩක් නෑ නිම්නා”

“මට ආයෙ බඳින්නවත් බැඳෙන්නවත් ඕන නෑ”

“ඔයා හොඳට රස්සාව කරං නිදහසේ ඉන්නව. මං තනියම ළමයෙක් හදන්න ඕනෙ”

එවර ඔහු පාලනයකින් තොර ආවේගයකින් කතා කළේ ය.

“ඉතිං ඔයානෙ පුතාව මගෙං උදුර ගත්තෙ. මං කිව්වෙ නෑනෙ පුතාව ගන්න කියල. අද වුණත් දෙන්න. මං පුළුවන් විදිහට දරුවව හදා ගන්නං. මට ඔයාගෙං සතයක්වත් ඕනත් නෑ. මගෙ දරුව මට බරක් නෙවෙයි කසුන්”

කරබා ගෙන ඔහු යන්න ගියත්, පුතා ගේ වගකීම දැන් ඔහු ට බරක් වී ඇත්ද යන ප්‍රශ්නය මවෙත ඉතිරි විය. කල්පනා කරන්නට දේවල් අපමණ වී ද මේ ඊට සුදුසු වෙලාව නොවේ. දෙහිවල සත්වෝද්‍යානයට පුතු කැටිව යනු පිණිස ත්‍රීරෝද රියක් ගෙන්වා ගනු වස් මම දුරකතනය අතට ගතිමි. එකොට ම කුලාන් ගෙන් ඊට ඇමතුමක් ආවේ ය.

“මං මේ ඔෆිස් එකට යන ගමං. නිම්නා පුතා ගන්න ඇවිත් මගද ඉන්නෙ…”

 මහ මග වාහන වල හඬ ඇසීම නිසා ඔහු ට මගේ සෙනසුරාදා දින චර්යාව සිහිපත් වෙන්නට ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -32

“ඔව් සර්. අද අශිකාත් ඉන්නව. අපි පුතා එක්ක සූ එකට යන්නයි හදන්නෙ”

“මහරගමද ඉන්නෙ…”

“ඔව් සර්”

“ඉතිං ඉන්න මං එතනට දාන්නං”

මා එපා කියන්නටත් පෙර දුරකතන සම්බන්ධය බිඳ වැටිණ. අශිකා ගේ වත මත මනමාල සිනහවක් ඇඳිණ.

“මොකෝ…”

බොරු නෝක්කාඩුව ද රහසිගත ප්‍රීතිය ද ඇති ව මම ඇයට රැව්වෙමි.

“යකෝ මේවනෙ ෆිල්ම්ස් කියන්නෙ”

“මං කිව්වෙ නෑනෙ එන්න කියල”

“නෑ නෑ එහෙම කියන්න ඕන නෑ”

විනාඩි දෙක තුනකට වඩා එතැන රැඳෙන්නට සිදු වූයේ නැත. කුලාන් ගේ රිය අප ඉදිරියෙහි නැවතිණ. මේ වෙලාවට මා පුතු ගන්නට විත් මහරගම සිටින බව අනුමාන කිරීම නිසා ඔහු මට කතා කළා ද? නැත්නම් ඔහු මේ වෙලාව අල්ලා මහරගම ට ආවාද? හිත මගෙන් ප්‍රශ්න කළේ ය. නමුත් මම පිළිතුරු නො දැන සිටියෙමි.

“පුතා එන්න අපි පිටිපස්සෙ යං”

කියමින් අශිකා පුතා ව පසුපස අසුනට ගත්තා ය. මගේ හිතේ තැතිගැන්මක් නොවූවා කීවොත් මුසාවකි. කසුන් මේ අසලක සිට සිදු වන සියල්ල දෙස බලා ඉන්නට ඇතැයි මට සිතිණ. සතියකට වතාවක් හෝ පුතු මට නොදී ඉන්නට ඔහු එය හේතුවක් කර ගනිතැයි බියක් හදවතට රිංගා ගති. නමුත් එන විදිහකට මුහුණ දෙන්නෙමැයි ඊළඟට මම හිත හදා ගතිමි.

කුලාන් හිටියේ සැහැල්ලුවෙනි. පෙර දා කුෂ්ලානි කාර්යාලයට ඇවිත් ගිය පසු ඔහු ගෙන් දකින්නට ලැබුණ වියළි ශෝකී බව පහ වී තිබිණ. එය මගේ හදවතට සහනයක් දැනවූවත්, කුෂ්ලානි ගේ තියුණු ඇස් වරින් වර සිහිපත් වෙමින් මට කිසියම් අනතුරු ඇඟවීමක් නො කළා ද නොවේ. ඒ නිසා ම මා පසු වූයේ දෙබිඩි මානසිකත්වයක ය. සිත විසිර යත්දී සතුට ඈතකට පලා යන්නේ ය!

කුලාන් පුතාටත් අශිකාටත් විහිළු තහළු කළේ ය. ඒ අතරේ මගේ හිතත් එක්ක තනි වෙන්නට මට ඉඩ ලැබිණ. මේ ගමනේ කෙලවර කෙතරම් බියකරු ප්‍රපාතයක් වනු ඇත්දැයි සිතන්නට මට ඕනෑ විය. කුලාන් ගෙන් කිසිත් නො පතා ඉන්නට පුළුවන. නමුත් පුහුදුන් ගැහැනු සිතක් වශයෙන්, දිනෙක මගේ හිත පත් විය හැකි පාළු හුදෙකලා තත්වය ගැන නො සිතා සිටිය හැකි ද? 

සත්වෝද්‍යානය අසල අපව බස්වනවා කීවාට කුලාන් ද රියෙන් බැස්සේ ය. 

“මාත් සෑහෙන කාලෙකිං සූ එක බලල නෑ”

කියමින් හෙතෙම ටිකට් පෝලිමට ද එක් වූවේ ය. අශිකා යමක් කියන්නට කට හැදුවෙන් මම ඉක්මනින් ඉවත බලා ගතිමි.

වෙනදා ට ඔහු ළඟ දී දැනෙන සැනසිල්ල වෙනුවට, මගේ හදවත බරකින් පිරී තිබෙනවා මට දැනිණ. මගේ පුද්ගලික ගමනකට මේ අයුරින් කුලාන් එක් වීම කෙබඳු බලපෑමක් කරාවිද කියන සිතිවිල්ල මා අඩ පණ කොට තිබෙන්නට ඇත.

“මං ආපු එක වදයක්ද…”

අප මඳ දුරක් ඉදිරියට යන විට, මගේ සවන ළඟින් කුලාන් ගේ හඬ ඇනිණ. මම තිගැස්මෙන් ඔහු දෙස බැලීමි.

“අනේ නෑ සර්”

වචන එහෙම කීවාට හිතේ වූ කැළඹීම ඔහු දකින්නට ඇත.

“මං දන්නව”

ඔහු දන්නේ කුමක්දැයි මම නො දනිමි. ඒ ගැන විමසන දිරියක්, ඉස්සර වගේ දැන් ඔහු අස දී මට නැත්තේ ය.

“ඔයා කුෂ්ලානි ගැන හිතනව කියල”

මම බිම බලා ගතිමි.

“මට තීරණයක් ගන්න ඕනෙ නිම්නා”

මා මගේ පාලනයෙන් කෙතෙක් මිදී තිබිණිද යත් ඔහු ට මා වඩාත් සමීප ව තිබිණ. ඈත් විය යුතු යයි සිතත්දී මගේ අතැඟිල්ලක් ඔහු ගේ අතක වැදුණේ ය. එය වූ කලී විදුලි සැර වැදීමකි.

“ඊයෙ රෑ එළි වෙනකල් ම කල්පනා කළා…මට පිස්සු වගෙයි නිම්නා”

ඔහු ගේ හිස මගේ ළමැදෙහි හොවා  සනසන්නට තරම් ලෝභී හැඟීමක් මා වසා ගෙන නැගී සිටියේ ය. නමුත්, සිරුරේ වූ රුධිරය බිඳුවක් ගානේ සිඳී ගිය සෙයින් මම මුළුමනින් අකර්මණ්‍ය වී සිටියෙමි.

4.6 8 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
1 month ago

කතාව දානකල් බලන් හිටියා….. ❤️