ඔබට ඇහෙනවනම් -30

2
3037

කුලාන් ගේ රියෙන් ඔහු පමණක් නොව අශිකා ද බැස ගනු දුටු මගේ ඇස් විශ්මයෙන් ඇලලිණි. හවස එන ගමන් මම ඇය ව ගේ ළඟින් බස්වා ආවෙමි. දැන් ඈ කුලාන් ගේ රියෙහි කොයින් ද?

“මොකද නිකං හොල්මනක් දැකල වගේ බයෙං මං දිහා බලං ඉන්නෙ…”

අශිකා හඬ නගා හිනැහුණා ය.

“නෑ මං මේ කල්පනා කළේ අර මාත් එක්ක හවස ආවෙ හොල්මනක් ද එතකොට කියල”

“මේ කුලාන් සර් කරන වැඩ වලට අපිත් හොල්මන් වෙලා යනව අප්ප. නාල ටිකක් හාන්සි වෙන්න හැදුව විතරයි මෙන්න අපේ දොරකඩ”

කුලාන් ගේ ඇස් වල දඩබ්බර බවක් විය. නො හික්මුණු කමක් කළ දහයේ පන්තියේ කොල්ලෙකු ගෙන් දකිත හැකි පෙනුමකි එය.

“ලෑස්ති වෙන්න”

ඒ ඇරයුමක් නොවේ. විධානයක් ද නොවේ. ඒ දෙක අතරෙහි විය හැකි තමන්ගේ හැඟීමක් මට  දැනිණ. ඔහු ගේ ඇස් වල හැංගුණ සිනහවක් ද කතාවක් ද වූ අතර මම ඒ වටහා ගැනීමේ උත්සාහයක් දැරුවෙමි.

“කොහෙ යන්නද සර්…”

“ලෑසිති වෙන්නකො ගිහිං. ආ මේ…අම්මටයි තාත්තටයිත් කියන්න ලෑස්ති වෙලා එන්න කියල”

මම හැරී බැලුවෙමි. ගෙදොරකඩ හිඳ තාත්තා බලා සිටියේ ය. අම්මා ද එක කකුලක් කොර ගගහා එතැනට එමින් සිටියා ය. දැන් අම්මා රෝද පුටුව අතැර ගේ ඇතුළේ ඇවිදින්නී ය. නමුත් එක කකුලක කොට ගතියක් තියේ. ශල්‍ය වෛද්‍යවරයා කීවේ අනිත් දණහිසෙහි ද සැත්කම කර අවසන් වූ පසු එය යථා තත්වයට පත් වන බවයි.

“ඇයි නිම්නා…”

තාත්තා ගේ හිතේ තියෙන ප්‍රශ්නය අම්මා මුවින් ඇසුවා ය.

“මේ සර්…අම්මලටත් ලෑස්ති වෙන්නලු. මන් දන්නෑ හැබැයි කොහෙ යන්නද කියල”

ඔහු අපායට යන්න අඬ ගැසූවත් ඒ වෙලාවේ මම සතුටෙන් දෝරෙ ගගලමින් සිටියෙමි. නමුත් තාත්තා ඉදිරියේ ඒ සතුට පෙන්වන්නට මම බිය වීමි. සත්තකට අද තව වන තුරුත් තාත්තා ඉදිරියේ මා පාසල් වියේ නව යෞවනියක සේ දැනෙන්නේ ඇයි දැයි සිතා ගත නො හැකි ය.

“ඇයි අම්මෙ අද කොහෙ හරි ගිහිං හොඳට කාලා බීලා සෙලිබ්‍රේට් කරන්න ඕන දවසක් නෙ”

කුලාන් අම්මලා වෙත යමින් කීවේ ය. ඔහු ගෙන් විද්‍යමාන වූ හැසිරීම කෙරේ මම ආශක්ත ව සිටියෙමි. ලෝකයේ කිසිදු මිනිසුන් දෙදෙනෙකු එක වාගේ නො වන බවත්, ඔවුන් නො සැසඳිය යුතු බවත් දැන සිටියා වුණත්, කසුන් මේ වාගේ පිරිමියෙකු වී නම් මගේ ඉරණම මීට වඩා වෙනස් වන්නට තිබුණා නොවේ දැයි මට සිතුණි.

“අනේ පුතේ අපිටත් ඉතිං සතුටුයි තමයි. ඉහළට යන්නයි කියල නැග්ග ඉණිමගට පයිං ගහන්න එපා කියලයි මං නිම්නා ට කිව්වෙ. අද එයාට ඒ අවංක කමට උත්තර ලැබුණනෙ”

අම්මා ගේ ඇසක කඳුළක් නැගෙනු මා බලා ගෙන ය. සාමාන්‍යයෙන් ඒ ඇය ගේ හැටියකි. වචන දහයක් එක දිගට කතා කර ගත නො හැකි ව ඇය සංවේදී වන්නී ය. ඇගේ ජාන සංයුතිය සහිත ව උපන්නත් අම්මා ගේ දියණිය නම් කඳුළු හංගන්නට කැමති එකියකි.

“නිම්නා ඒ ගැන මට හරි කියල තිබුණනං මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒක නිසා නො කියපු එක හොඳයි”

මම කුලාන් දෙස බලා බිම බැලුවෙමි. නව යෞවනියක ට තරුණයෙකු අසල දී දැනිය හැකි විදිහේ ලජ්ජාශීලී බවක් මගේ ලේ නහර වල දුවමින් තියෙන්නට ඇත.

“කොහොමහරි අන්තිමට නිම්නාට ලැබුණෙ එයාට ලැබෙන්න ම ඕන දේ”

ඔහු මා දෙස බැලූ ඇස් වල මොන තරම් ආදරයක් විණි ද? එවන් බැල්මකින් හදවත පුරවා ගෙන ජීවිතයක් ජීවත් කරවන්නට ආදරණීය ගැහැනියක ට පිළිවන.

හැම කෙනෙකු ගේ ම අවධානය යොමු වෙන සේ මගෙන් සුසුමක් ගිළිහෙන්නට ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -16

“නිම්නාට මෙහෙම වුණත් එළියට යන්න හිතෙන්නෙ නැතුව ඇති. මට තේරෙනව. පුතා නැතුව ඔයා සම්පූර්ණ නෑ. ඔයාට අඩුවක් දැනෙනව. ඒත් ඉතිං අපි වෙනුවෙං අද ගිහිං එමු. නේද අශිකා…”

“නැත්තං. දැන්නං තියෙන්නෙ හොඳට කන මූඩ් එකක්. ඒ මූඩ් එක කාල දාන්නෙපා හරිද…”

“හරි හරි. අපි ලෑස්ති වෙමු මානෙල්”

තාත්තා අම්මා ගේ උරහිසකට අත තබා එසේ කීවේ මගේ හෘදය හොලවා දමමිනි. ඔහු ගේ දෙතොල් මත වූ සිහින් සිනහවත් මගේ හිතේ පත්ලේ ම නැවතිණි. තාත්තා කියන්නේ අම්මා වාගේ දියවෙන හදවතක් ඇත්තෙකු නොවේ. ඔහු මේ විදිහට නම්‍යශීලී වෙතැයි මම කොහෙත් ම බලාපොරොත්තු නො වුණෙමි. විශේෂයෙන් ම කුලාන් වාගේ තරුණයන් ඉදිරියේ, තාත්තා වූ කලී දැඩි හදක් ඇති මුරණ්ඩු පුද්ගලයෙකි.

“බය වෙලා වගේ බලං ඉන්නෙ. ජී එම් මැඩම්…ඔයත් ලෑස්ති වෙන්න ඉතිං”

අශිකා මට යළි සිහි කළා ය. කුලාන් ගේ ඇස් වල බර විඳ ගත නො හැකි ව පවතින සෙයක් මට දැනිණ. කතා බහකින් තොර ව, ඔහු ගේ වසත් පපුතුර ඇස් පියාන හිතේ හැටියට තුරුලු ව හිඳීමේ පිපාසාවක් හදිසියේ ම මට නො දැනුණා නොවේ. නමුත් ඒ සිත ඔහු වුව දකීවියි මම බිය වීමි.

“මොකද්ද මං අඳින්නෙ…”

අල්මාරිය ඇර ගෙන මම අශිකා ගෙන් ඇසීමි. ඒ ඇසූ මෝඩ කම යයි ඊළඟට පසු තැවුණෙමි.

“අඳින්නෙ මොනාද…ඇයි දැං එතකොට ඔක්කෝම තියල මුලිංම ශොපින් කරන්නද වෙන්නෙ…යකෝ මේක මාර විකාරයක්නෙ. මේ කුලාන් එක්ක හනිමූන් යනව නෙවෙයි”

ඈ ඒ අන්තිම වාක්‍යය කීවේ හඬ වඩාත් බාල කොට වට පිට ද බලමිනි. ඒත් මම දබැරැඟිල්ල දෙතොල් මත තබා ‘ෂ්…’ කීවෙමි. කාටවත් ඇහේවියි බියක් තිබුණත්, අශිකා ගේ ඒ විහිළුව මා තුළ කිසියම් රසවත් බවක් ජනිත කළ බව කිව යුතු ය.

සරල දිග ගවොමකින් සැරසී, තෙත කොණ්ඩය උනා දමා මා ආලින්දයට එත්දී කුලාන් ගේ ඇස් වල වූ බැල්ම මා විනිවිදින්නට සමත් වූ එකකි.

“බලාගෙන…ගිලී”

අශිකා මගේ කනට කොට කීවා ය. එය කුලාන් ට නො ඇසුණත්, ඒ තමන් අරබයා පැවසූවකැයි ඔහු ට දැනෙන්නට ඇත. එනිසා දෝ ඔහු ගේ මුවට සිනහවක් පැමිණියේ ය. කුලාන් ඒ සිනහව පිපෙන්නට ඉඩ නොදී ගිලගන්නට දරනා උත්සාහය, ගැහැනු හදක චමත්කාර ජනක හැඟීම් දල්වනාකාරයේ එකකි.

මා යොවුන් දැරියක නො වන බව මම දැන සිටියෙමි. මට ද දරුවෙකු සිටින බව අමතක වූවා ද නොවේ. නමුත් ඒ වෙලාවේ මට මගේ ජීව විද්‍යාත්මක වයස හෝ මගේ දික්කසාදිත බව හෝ කුෂ්ලානි ව  කිසි සේත් අදාල නො වන්නට ඇත. කුලාන් ගේ නෙතට රසඳුනක් වීමේ මිහිරෙහි ගිලෙන්නට මගේ මුළු හිතට ඕනෑ විය. මම හිත අවුරා පවුරු බඳින්නට  නො ගියෙමි.

“සර්ට තේ එකක් හදන්නද…”

මා එසේ ඇසුවේ ඒ නිහඬ බව මා ව ම අපහසුවට පත් කරමින් තිබියදී ය.

“ම්…බොන්නනං බැරි නෑ. ඒත් ඉතිං ඔයා දැං වද වෙන්න ඕනත් නෑ”

“මං හදන්නං”

අශිකා මගේ පස්සෙන් කුස්සිය ට ආවා ය. ඇය යමක් කියන්නට අරාඳින බව දැනුණත් මම හාරා අවුස්සන්න ට නො ගියෙමි.

“කුෂ්ලානිට කුද ගහගන්න කියල කුලාන්ව බඳිනව නිම්…”

කෝප්පයට දමමින් උන් සීනි හැන්ද, අත ගැස්සී පසෙකට විසි විණි. 

“ඒකා ඔයාට ආදරෙයි”

මම මඳ වෙලාවක් නිහඬ ව මගේ වැඩේ කර ගෙන ගියෙමි. අශිකා ඒ ගැන නො රිස්සුම් වූවා ය.

“මොකද මුකුත් කියන්නැත්තෙ…ඒක බොරුවක් නෙවෙයි කියල ඔයත් දන්නවනෙ. අනික දැං ඔය දෙන්න හැම අතිංම මැච් වෙනව”

කියවන්න :  ඔබට ඇහෙනවනම්- 19

“පිරිමි ඇස් වල බැල්මවල් ගැන අනාවැකි කියන්න ඉක්මන් වෙන්න හොඳ නෑ අශී”

මගෙන් සුසුමක් ගිළිහුණේ මටත් නො දැනී ය. නෙතු මහත් කර ගෙන බලා උන්නා මිස අශිකා ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න ට උනන්දු වූයේ නැත. ඇතැම් විට ප්‍රේමය විෂයේ ඇයට වන අත්දැකීම්, ඇය ව එසේ ගොළු කොට තබන්නට ඇත.

මා පුදුමයට පත් කරමින් තාත්තා ද සතුටින් හිටියේ ය. රියෙහි ඉදිරි අසුනේ හිඳ උන් ඔහු කුලාන් සමගින් රටේ වර්තමාන දේශපාලන තත්වය ගැන බෝ වෙලාවක් කියවූවේ ය.

“එක අතකට ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. මොකා දිනුවත් අපි පරාදයි සර්”

තාත්තා ඒ කතා බහ හමාර කළේ එසේ ය. සිය තුරුණු වියේ දී තාත්තා වාමාංශික දේශපාලනය කෙරේ උනන්දු වූ  බව අම්මා මට කියා තිබේ. දකුණේ භීෂණය උත්සන්න වූ සමයේ හෙතෙම එකී දේශපාලනයට ද ආයුබෝවන් කියා ඇත්තේ දරුවන් දෙදෙනා හා බිරිය ගැන සිතීමෙනි. 

“අපිනං දැං ඉතිං වළ පයයි ගොඩ පයයි තියං ඉන්න මිනිස්සු. අපේ රටේ අනාගතේ අයිති දරුවො ගැන හිතනකොට තමයි පපුව හෝස් ගාලා පිච්චිල යන්නෙ”

“ඇත්තටම වෙන රටක ජීවත් වෙන එක හරි පහසුයි තාත්තෙ. ඒත් මොකක්දෝ කියන්න නො තේරෙන හේතුවකට මේ රටටම එන්න හිතෙනව”

“ඒක තමයි දරුවො තමංගෙ හැඟීම කියන්නෙ. කොයිතරං සැප පහසු ලෝක වල කරක් ගැහුවත් තමංගෙ දුප්පත් පැළට ඇවිත් වැටුනහම දැනෙන තරං සනීපයක් වෙන කොතනකවත් නෑ”

තාත්තා කියන්නේ ඕනෑ ම ගැහැනියක ගේ ජීවිතයේ මුල් තැන් හි හිඳින වීරයා ය. ඇගේ හද බැඳ ගන්නා තරුණයා කෙරේ තාත්තා දක්වන දැඩි ප්‍රතිපත්තිය, බොහොමයක් කෙල්ලන් ගේ හදවත දවා ලන හේතුවකි. එසේ ම ඔවුන් දෙදෙනා මිතුරන් සේ සුහද ව කතා බහ කරනු දැකීම ගැහැනු හිතකට මොන තරම් සැනසීමක් දැයි මම අලුතෙන් වටහා ගනිමින් සිටියෙමි.

පානදුර වෙරළෙහි සුවදායී සුළඟ විඳිමින් ද රළ පහස දරා ගනිමින් ද රාස්සි ගේ හෝරාව ගෙවී ගියේ ය. ගිනි බෝලයක් වූ හිරු මුහුදේ ගිලෙන අන්තිම නිමේෂයේ දී මම නෙතු පිය නො සලා ඒ දර්ශනය දැක බලා ගතිමි. හිත සව්මිය වී තිබියදී කුලාන් අප කැටිව සුඛෝපභෝගී අවන්හලක් වෙත ගියේ ය. ලොකු කුස ගින්නක් නො වූවත් මගේ හිත පිරී තිබිණි. කුලාන් ගේ නෙත් සර පහර, විටින් විට මා වසා ලමින් වැටිණි. කෑම වල රසකුදු මට මතක නැතිවා ට ඒ රාත්‍රිය මට අමතක නොවන ඉතා ස්වල්පයක් වූ මතක අතරේ සදා නිදන්ගත ය.

“අද නං බඩ පැලෙන්න ම කෑවා”

තාත්තා කෑමෙන් පස්සේ කුස දිගු කර පිරිමැද්දේ අප හැම දෙන සිනා ගන්වමිනි.

“ඇත්තට මං වෙනදටනං කඩ කෑම කන්න කැමති කෙනෙක් නෙවෙයිනෙ. නේද මානෙල්…ඒත් අදනං කෑවා”

“දුවගෙ ප්‍රමෝෂන් එක ගැන අංකල්ට තියෙන සතුටට තමයි ඒ”

අශිකා හේතුවක් සොයා ගත්තා ය.

“පුතා අපි ගැන හුඟක් කරදර වෙනව. අනේ ඒත් ඉතිං ඒ වෙනුවෙං අපිටනං දෙන්න දෙයක් නෑ”

අම්මා කීවා ය. හරි වේගයෙන් මගේ ඇස් කුලාන් ගේ ඇස් වල හැපිණ. මම හෙමිහිට නෙතු මුදා ගතිමි. ඒ ගැටීමෙන් ඇති වූ කම්පනය තව දුරටත් හදවතේ ඉතිරි වී පැවතිණි.

එදා දවසේ ආත්මය පුරවා දමා තිබූ සතුට දෙදරා ගියේ, අප යන විටත් ඉස්තොප්පුවේ පුටුවක හිඳ උන් කසුන් දැකීමෙනි.

“ආ…මේක නේ එහෙනං දැං සෙල්ලම”

අප රියෙන් බසිත්දී ම ඔහු ගෝරනාඩුවක සරින් පෙරට ආවේ ය. කසුන් බීමත් ව හිඳින බව මට වහා වැටහිණ.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

❤️

දිල්හාරා ❤️
1 month ago

ගංගා, ස්තූතියි….❤️