fbpx

ඔබට ඇහෙනවනම් -37

ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක්  මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය. අධිවේගී මාර්ගය ඔස්සේ ඉක්මනින් ගමනාන්තයට එළඹුන ද මුහුදු තීරය අපට දිගු දවසකට ඇරයුම් කළේ ය. රිදී පැහැ හිරු කිරණ සයුරත් වෙරළත් සිඹ සිඹ හාදු දෙමින් තිබිණ. අපේ නවාතැන වන තරු පන්තියේ හෝටලයේ, ප්‍රණීත උදාසන ආහාරයක් අප වෙනුවෙන් බලා සිටියේ ය. අශිකා සෙවනැල්ලක් සේ මා ළඟ ම සිටියා ය. අප ට කතා කරන්නටත් සිනහ වෙන්නටත් ඉතා කුඩා දේවල් ඕනවටත් වඩා ප්‍රමාණවත් වූ හැටි පුදුම ය!

“ගෑනු ළමයි ලැජ්ජ වෙන්නැතුව හොඳට බඩ පිරෙන්න කන්න ඕනෙ හරිද…”

කියමින් කුලාන් අප දෙදෙනා හිඳ උන්, සයුරු මායිමේ මේසය වෙත පැමිණියේ ය. වෙනදාටත් වැඩිය මගේ ඇස් පිහාටු වල බර ගතියක් මට දැනිණ. 

“කන්න ලැජ්ජ වුණානං අපි මේ සයිස් එකට ඉඳීද සර්…”

අශිකා හයියෙන් සිනහ වූවා ය.

“ඒ වුණාට මෙයානං කන බවක් පේන්නෑනෙ”

ඔහු ඇස් වල මා නතර කර ගත්තේ ය.

“ඒ ඉතිං සමහරුන්ට පේන්න”

මම මේසය යටින් අශිකා ගේ කකුලක් පෑගුවෙමි. ඇය ඒ දැනුණ බවක් හෝ නො හැඟවූවා ය.

“නැත්තං ඉතිං බස බස ගාල සවල් පාර තමයි”

එවර කුලාන් ගේ සිනහව සාගර ගීතිකාව ද අභිබවමින් පැතිර ගියේ ය. තැන් තැන් වල මේස වල වට වී කෑම කමින් උන් පිරිසේ ඇස් අප වෙත යොමු වූ හැටි මම දුටිමි. ඒ ඇස් වල වූයේ ඊර්ෂ්‍යාව මිස වෙනකක් නොවන බව මට හැඳිනිය හැකි විය.

“බොරු සර්”

නිදහසේ ස්ත්‍රීත්වයට ආවේණික හුරතලය පෙන්වන්නට මට ඕනෑ විය. 

“මගෙ කටේ බලේට මේ ආවෙ. නැත්තං ඉතිං මේ වෙලාවෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ”

“මොකද්ද මොකද්ද එ් කතාව…”

ඔහු නො දන්නා අවකාශයක සිදුව ඇති ඒ දේ දැන ගැනීමේ කුහුලින් කුලාන් විශ්මිත වූයේ ය. කිසිත් නො පවසා සිටින ලෙස මගේ ඇස් බැගෑපත් වුණත්, අශිකා මෙල්ල වූයේ නැත.

“අංකල් කැමති වුන් නෑ නිම්නා මේ ගමන එනවට”

“ආ…”

මගේ ඇස් බිම ට බර විය. නමුත් කුලාන් ගේ බැල්ම මා වසා වැතිර පවතින බව මට දැනෙමින් තිබිණ.

“තාත්ත කෙනෙක් හැටියට…එක සැරයක් පනිෂ් වෙච්ච තාත්තා කෙනෙක් හැටියට අංකල් හිතන විදිහ හරි සාදාරණයි සර්. ඒ තාත්ත ගෙ හිතේ පත්තු වෙන ගින්දර ගැන හරියට විස්තර කරන්න හොඳ ම නවකතා කාරයෙක්ටවත් පුළුවන් කියල මං හිතන්නෑ”

“ගෑනු ළමයිංගෙ ආරක්ෂාව ගැන වගකීමක් ඇතුවනෙ අපි මේක ඕගනයිස් කළේ”

කුලාන් ගේ හඬ ඉතා පහළ ස්වරයක් දැරුවේ ය. මගේ හිත ඇතුළෙන් මට ඉකි බිඳුමක සර ඇසිණ. 

“අනේ වැරදියට හිතන්න එපා සර්. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිස්සු කණාමැදිරි එළියටත් බයයි කියනවනෙ. තාත්තත් මං ගැන මහ පුදුම බයක් පපුවෙ දරා ගෙන ඉන්නෙ. ඔය ගැන කතා කරන හැම වෙලාවකම තාත්තා කියන්නෙ මං ඇරෙන්න මුළු ලෝකෙම එයාට අවිශ්වාසයයි කියල. ඒක තාත්තගෙවත් මගෙවත් වරදක් නෙවෙයි සර්”

කිසි ම දෙයක් නො ඇසෙන දැඩි නිහැඬියාවකට පත් ව තිබි මා අවට පරිසරය එක් වන ම යළි ක්‍රියා කරන්නට පටන් ගත්තා සේ ය. සයුරේ රළ ගොස මගේ සවන් සිප ගත්තේ ය. කුලාන් ගේ සුසුමක හඬ පවා ඒ අතරින් මට ඇසිණ.

“අංකල්ට මං ඇප පිට පොරොන්දු වෙලයි නිම්ව ට්‍රිප් එකට ජොයින් කර ගත්තෙ. ආයෙ ගෙදර ගිහිං බාර දෙනකල් දැං මගෙ ඔළුව උඩ තියෙන්නෙ මාර වගකීමක්. බලන්නෑ හරිද කොල්ලෙක් දිහා එහෙම”

අන්තිම වාක්‍යයත් එක්ක ඕ මවෙතට දබරැඟිල්ල දිගු කළේ ආදරයෙනි. කුලාන් ගේ මඳ මුදු සිනහව ඈත දියඹ දෙසින් හමා ආ සුළඟක් සමග මුහු විය. සිතිජයෙහි නෙතු රඳවා හිඳින ඒ වත දෙස ඕන තරම් වෙලාවක් වෙහෙසකින් තොර ව බලා සිටිය හැකි වෙතැයි මට සිතිණි. නමුත් මොහොතකින් ඒ සිතිවිල්ල ගැන මම ලැජ්ජාශීලී වීමි. ඒ වගේ ආදර සිතිවිලි මේ විශ්වයෙහි කෙතරම් නම් හමා යමින් ද එහෙ මෙහෙ වෙමින් ද පවතිනු ඇත් ද? නමුත් ප්‍රායෝගික ජීවිතය ට එළඹෙත්දී, ඒ වාගේ හැඟීම් වලට වටිනාකමක් ලැබෙන්නේ කෙතරම් කෙටි කලකට ද? 

උදාසන ආහාරයෙන් පසු හැම කෙනෙක් ම වෙරළට වන්හ. ජල ක්‍රීඩා කරමින් ද පිහිනමින් ද ගිලෙමින් ද වසරක වෙහෙස සෝදා හරින්නට වූහ. මා ඒ සයුරු වෙරළෙහි වැලි ඇටයක් වූවත්, කුලාන් ගේ ඇස් පහසුවෙන් මා සොයා ගත්තේ ය. 

“කොතනක හිටියත් කොල්ලගෙ ඇස් දෙකයි හිතයි තියෙන්නෙ මෙතන වගෙයි”

අශිකා විහිළු කළා ය. 

“නෑ. කම්පනි එකේ හැම කෙනෙක් ගැන ම කුලාන් සර් හොයල බලනව. එයා වගේ සෙල්ලක්කාර කොල්ලෙක්ගෙං මන්නං හීනෙකිංවත් ඒ වගේ වගකීම් සහගත පිරිමියෙක්ව බලාපොරොත්තු වුණේ නෑ”

“සමහර මිනිස්සු දිහා පිටිං බලල තීරණ ගන්න බෑ නිම්නා. හරී හොඳයි වගේ පෙන්නගෙන ඉන්න සමහර උන් මාර අවුල් ඇත්තක් හංගගෙන යි ඉන්නෙ. කුලාන් ල වගේ උං ඕපන්. මොන ඉලව්ව කළත් ඒක ලෝකෙට පේන්නයි කරන්නෙ”

මුද්‍රණාලයේ තරුණයන් පිරිසක් වෙත කුලාන් ගල් කුලක් නගිනු මම බලා සිටියෙමි. ඔහු ලිස්සා යනුත් මම හොඳට ම දුටිමි. තරුණයෝ ඔහු වට කර ගත්හ. ඉන්පසු මට ඔහු නො පෙනී ගියේ ය.

“සර්…”

මගේ මුවින් එහඬ පිට වූවා ද කියාත් සැක සහිත ය. මම ඔවුන් සිටි දෙසට දිව යන්නට පටන් ගතිමි. අශිකා ද මා හා දිව්වා ය. 

“ටිකක් කැපිල වගේ”

කිසිවෙකු එහෙම කියනවා මට ඇසිණි. මම පිරිමි ළමයි අතරින් කුලාන් වෙත ලං වීමි.

“මොකද වුණේ සර්…”

“පොඩ්ඩක් තුවාල වුණා”

ඔහු පොඩි දරුවෙකු සේ සිනාසුණේ ය. පොඩ්ඩක් කැපුණාට ගලමින් තිබුණේ පොඩි ලේ ප්‍රමාණයක් නොවේ.

“ඉක්මනට ඩොක්ට කෙනෙක් ළඟට අරං යං. ලේ යනවනෙ”

මම කෑ ගැසුවෙමි.

“එච්චර කැපිලනං නෑ වගෙයි නිම්නා මිස්”

කවුදෝ කීවේ ය. 

“ඒ වුණාට මෙහෙම ලේ ගලන්න හොඳ නෑනෙ. බෙහෙත් ටිකක් දා ගමු”

“මේ ඉර මුදුන් වෙලාව නිසයි ලේ යන්නෙ”

ගලෙන් බිමට බට මම හෝටලය වෙත දිව යන්නට වූයෙමි. හේතුවක් නො දැන වුව අශිකා මා සමග වූවා ය.

“මොකද ඕයි මේ පිස්සු හැදිල වගේ දුවන්නෙ…”

“අයිස් කැට ටිකක් ඉල්ලගමු”

අයිස් කැට පමණකුදු නොව ප්‍රථමාධාර පෙට්ටියක් ද ඔවුන් ගෙන් ලද හැකි විය. අයිස් කැට තබා ලේ නතර කිරීමෙන් පසු මම තුවාලයට බෙහෙත් දැම්මෙමි. ඒ කාරිය නිම වන විට එකා දෙන්නා බැගින් හැම කෙනෙක් ම වාගේ එතැනින් නික්ම ගොස් සිටියහ.

“අනේ පරිස්සමෙන් සර්. මීට වැඩිය ලොකු දෙයක් වුණානං එහෙම”

ඉතා ලං ව අපේ ඇස් හමු විය. ඔහු ගේ වත මත තැන් තැන් හි දහ බිඳු නැගී තිබිණි. අපිවෙලට කම්මුල් පුරා වැවි රැවුල් කොට අතරේ මට හිතුවක්කාර පිරිමියෙකු මුණ ගැහිණ.

කුලාන් කිසිත් වදනින් නො කීවේ ය. නමුත් ඔහු ගේ ඇස් වල ලියැවුණු කතාවක් තිබිණි.

හෝරා ගෙවුණේ ඉගිළෙමිනි. හැන්දෑව අඳුරට හැරෙත්දී අපට කාමර වල යතුරු ලැබිණි. ආයතනයේ සාමාන්‍යාධිකාරිනිය වශයෙන් මට තනි කාමරයක් වෙන් වී තිබුණේ ය. අශිකා සිය අඩුම කුඩුම ගෙන ඒ වෙත ආවා ය.

“අපේ සෙක්ෂන් එකේ උං දැං පුපුරනව. මං උං එක්ක රූම් එකේ ඉන්නැතුව මෙහෙට ආවට. මං කිව්ව මං යන්නෙ ජී එම් ගෙ රූම් එකට නෙවෙයි මගෙ යාළුවගෙ රූම් එකට කියල”

“මටත් වෙනම රූම් එකක් ඕන නෑ අශී. කුලාන් සර් ඇරේන්ජ් කරල නිසා ආව”

දිය නා ඇඳුම් මාරු කිරීමෙන් පසු මම අම්මා ට දුරකතන ඇමතුමක් ගතිමි. 

“අනේ ගෙදර ගැන හිත හිත ඉන්න එපා දරුවො. ඔයා යාළුවොත් එක්ක විනෝද වෙන්න. අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ”

අම්මා ගත් කටට ම කීවා ය. 

“තාත්තා තාම කේන්තියෙන් ද අම්මෙ…”

“අනේ එයාගෙ කේන්තිය”

අම්මා උදහස් වූවා ය.

“ළමයිංව හැමදාම අපේ උකුලෙම හංගගෙන ඉන්න බෑ. උන්ටයි කියලත් නිදහසක් තියෙන්න ඕනනෙ”

ඒ අතින් අම්මා හා තාත්තා හැම දා ම සිටියේ දෙ අන්තයක ය. නමුත් ගෙදර දී නිරන්තර දිනුවේ තාත්තා ගේ තීරණ ය.

“ඔන්න ආන්ටි අංකල් ට කියන්න මං නිම්නාව හොඳට පරිස්සං කරනව කියල. අපි දෙන්න ඉන්නෙත් එකම රූම් එකේ”

අශිකා මගේ දුරකතනය ට ලං ව කෑ ගෑවා ය. තාත්තා එක්ක කතා කරන්නට තරම් උවමනාවක් නැත ය කියා අම්මා දුරකතන සංවාදය අවසන් කළා ය.

“මොනා වුණත් ඔයාගෙ අම්මානං මාර ජොලි”

මම පුතා එක්ක කතා කරන අදහසින් කසුන් ට ඇමතුමක් ගතිමි. ඔහු මගේ ඇඟට කඩන් පැන්නේ ය.

“උඹට මං මගෙ ළමයත් එක්ක කතා කරන්නවත් දෙන්නෑ. දැනගනිං. උඹේ අර අලුත් මිනිහා හරි චණ්ඩියනෙ. පුළුවන් නං ඌට කියල කතා කරපංකො බලන්න ළමයට. මෝඩ ගෑනි”

කසුන් ට මොනවා වී ද කියා මට සිතා ගැනීමට හෝ නො හැකි ය. මේ වෙලාවේත් ඔහු සිටියේ බීමතිනි. කසුන්  ගේ ජීවිතය අවුල් සහගත තත්වයකට ඇද දැමුවේ ඔහු ගේ මව විසින් ය යන සිතිවිල්ල සුසුමක් ව බැහැර විය. පුතා එක්ක එක මොහොතක් කතා කරන්නට කසුන් මට ඉඩ නො දුන් සන්තාපය නිසා මා රාත්‍රී ආහාර ගත්තේ වුව ප්‍රීතිමත් මනසකින් නොවේ.

රෑ කෑමෙන් පසු පිරිස සංගීත සාජ්ජ පටන් ගත්හ. ස්ත්‍රී පාර්ශවය ටික ටික රෑ වෙත්දී කාමර බලා පිටත් වූහ. මමත් අශිකාත් වෙරළ දෙසට හෙමිහිට පිය නැගීමු.

“මට ලොකු ආසාවක් තිබුණ රෑ වෙලා බීච් එකකට වෙලා ඉඳං ඉන්න. හුඟාක් වෙලා”

“එහෙනං අද ඒ ආසාව ඉෂ්ට කර ගන්නකො”

සුළඟ වඩාත් සීතල හා තෙත්බර වූයේ ය. ගොඩ බිම සිට මුහුද දෙසට නො නවත්වා සුළං හමමින් තිබිණි. අප දෙදෙනා රැල්ල ඇවිත් තෙත් නො කළ වෙරළ මායිම හිඳ ගතිමු. අහස තාරකා වියනක් මවා  තිබිණි.  එය වූ කලී දිව්‍යමය සුරතකින් නිමැවූ සිතුවමක් වන් රාත්‍රියකි. ඒ මනස්කාන්ත බව තුළ මෝහනයට පත් වීමේ උමතු ආශාවක් මට දැනිණ. අප අතර කතාවක් නැතිව ටික වෙලාවක් ගෙවී යන්නට ඇත. 

“මං හිතුව දෙන්නත් එක්ක මේ පැත්තෙ ඇති කියල”

පිටුපසින් ඇසුණ හඬ කුලාන් ගේ ය. මේ වෙලාවේ මෙතැන ඔහු දකින්නට මම කොහෙත් ම අපේක්ෂා නො කළෙමි.  ඒ ඇස් වල වූ තරු කැල්ම, මගේ ගැහැනු හිත ඇතුළේ අනපේක්ෂිත රහසිගත මිහිරක් දැනවී ය.

කුලාන් මගේ වම් අත පැත්තෙන්, මඳ පරතරයක් ඇති ව, ඒත් සුවඳ දැනෙන තරමට ලං ව හිඳ ගත්තේ ය. තරුවක් තරු නෙතු ඉඟි මැරනවා මට පෙනිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
3
0
Would love your thoughts, please comment.x
()
x