Chat with Smartlady – සංජානා ගමාරච්චි

Chat With Smart Lady අද අපේ කතා බහට එකතු වෙන්නෙ නව පරපුරේ දක්ශ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.මේ දවස් වල ටෙලිනාට්‍යය කීපයක් ඔස්සේ වගේම Music Videos වලිනුත් ඔබ හමුවට එන ඇය සංජානා ගමාරච්චි.

මොනවද මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් ටෙලිනාට්‍යය කීපයකම වැඩ කටයුතු කරගෙන යනවා.ඊට අමතරව bridal shoot, Music Video වගේ වැඩ වලත් යෙදෙනවා

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වන්නේ?

රංගන ශිල්පිනියක් විදියට මම මුලින්ම දායක වෙන්නේ ITN නාලිකාව ඔස්සේ විකාශය වුන ” ජීවිතය ඇති තුරා ” කියන ටෙලිනාට්‍යයට. ඒකේ තමයි මම මුලින්ම ප්‍රධාන චරිතයක් හැටියට රංගනයෙන් දායකවුනේත් මගේ පලවෙනි ටෙලිනාට්‍යය උනේත්.ඒකෙන් පටන් ගත්ත රංගන ජීවිතය තමයි මේ වෙනකන් ආවේ.හැබැයි මට ඒක අවස්ථාව හම්බුනේ මම 2019 වසරේ ටීවී දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තුන්වන ස්ථානය ලබා ගත්තට පස්සෙ.

රංගන ක්ශේත්‍රයේ නවක නලු නිලියන්ට හැදෙන කට කතා ගැන ඔබට තියන අදහස මොකද්ද?

ඒක එච්චර දෙයක් නෙමෙයි.ඕන කෙනෙකුට ඕන විදියේ කට කතා හදන්න පුලුවන්.මේ ක්ශේත්‍රයේ හොඳට හිටියත් ,නරකට හිටියත් කට කතා හැදෙනවා.කට කතා ඕන කෙනෙකුට කියන්න පුලුවන්.ඇත්තටම අපිට ඒක අදාල දෙයක් නෙමෙයි.මම නම් කට කතා බොහොම සුලු වශයෙන් තමයි බලන්නේ.මොකද කට කතා කියන්නේ විශේෂයෙන් highlight කරන්න ඕන මාතෘකාවක් නෙමෙයි.

ක්ෂේත්‍රයට පිවිසෙන සමහර රංගන ශිල්පීන්ව නිර්මාණ එකකින් දෙකකින් පස්සෙ දකින්න ලැබෙන්නෙ නෑ.ඒකට හේතු විදියට ඔබ දකින්නෙ මොනවද?

ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.සමහරවිට මම ටෙලිනාට්‍යය හතරක් පහක් කරලා ගෙදර ඉන්න පුලුවන් .සමහරවිට මම තව ඉදිරියට යන්න පුලුවන්.කෙනෙක්ගේ වාසනාව සහ දක්ශතාවය කියන දේවල් මේකට බලපානවා.ඉතින් ඒකට හරියටම උත්තර දෙන්න මට අමාරුයි.උදාහරණයකට මම ගත්තත් මම ඉදිරියට මේ රංගන ජීවිතේ ඉඳියිද නැත්තම් වෙන ව්‍යාපාර කටයුත්තක් කරයිද කියලා කියන්නෙ බෑනේ.ඒ නිසා ඒක එකිනෙකාට වෙනස් වෙනවා.

ඔබ නිර්මාණ බාරගන්නේ යම් කිසි සීමාවක් තුල ඉඳලද?

මෙගා නාට්‍ය කියන සීමාවල් තුල නම් මම නැහැ.මොකද මම රංගන ශිල්පිනියක් නෙ.එතකොට මම කැමතියි මට ටෙලිනාට්‍යය එනවා නම්.මම කැමතියි රඟපාන්න.එතකොට මම මෙගා නාට්‍ය විතරයි කරන්නේ ,නැත්තම් මම මෙගා නාට්‍ය කරන්නෑ කියලා තැනක මම නැ.සමහර අය ඉන්නවා ෆිල්ම් කරන අය ටෙලිනාට්‍යය කරන්නෑ කියලා.ඉන්දියාව වගේ රටක නම් අපිට පුලුවන් ෆිල්ම් වල විතරයි රඟපාන්නෙ කියලා ඉන්න.ඒක මම හිතන්නෑ ලංකාව වගේ රටකට සුදුසු වෙයි කියලා.මොකද අපේ රටේ චිත්‍රපට පැත්ත ගත්තොත් ගොඩක් දියුණු වෙලා නෑනේ.ඒ නිසා මම මට පුලුවන් හැම නිර්මාණයකටම දායක වෙනවා.මට සීමා තියෙන්නෙ මගේ අඳින ඇඳුම් පැළඳුම් වල , කරන සීන් වල වෙනස්කම් වලින් තමයි.

නව පරපුරේ රංගන ශිල්පිනියක් හැටියට ඔබ ඔබේ රූපය ලස්සනට පවත්වාගෙන යන්න සැලකිලිමත් වෙන්නෙ කොහොමද ?

සාමාන්‍යයෙන් මම නම් හැම කෑමක්ම කන කෙනෙක්.ලොකුවට දෙයක් මම කරන්නෙ නෑ.මම හැමදාම තැඹිලි බොනවා.ඒක අනිවාර්යයෙන්ම මම කරන දෙයක්.සහ මම යෝගට් කනවා.ඒක හැමෝම කරන දෙයක් නේ.ඊට අමතරව අපි ශූටින් ගිහිල්ලා ඇවිල්ලා වෙලාව තිබ්බොත් කඩල පිටි පැක් එකක් වගේ මූනට දාගන්නවා.ඒ වගේ දේවල් තමයි කරන්නෙ.එහෙම නැතුව ලොකුවට විශේශ දේවල් නෑ.මම ඩයට් කරනවා කියලා නෑ.මම සාමාන්‍ය විදියට කාලා බීලා ඉන්නවා.

මේ දවස් වල විකාශය වන ඔබ රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යය ගැන කතා කලොත් ? ඒ අතරින් ඔබ වැඩිපුර කැමති ඒවා මොනවද?

මම දායක වෙන හැම නිර්මාණයකටම මම කැමතියි.මේ දවස් වල ITN එකේ Bro කියන ටෙලිනාට්‍යය යනවා.ඒ වගේම ස්වර්ණවාහිනියෙ අග්නි පියාපත් කියන ටෙලිනාට්‍යය යනවා.ඊට පස්සෙ දෙරණ නාලිකාවේ මුතුලෙන්දොර කියන ටෙලිනාට්‍යයත් යනවා.ඒ තුනම හරිම ලස්සන නිර්මාණ තුනක්.ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා බලන්න කියලා.

ඔබ මේ ක්ශේත්‍රයට ඇවිත් මුලින්ම නිර්මාණ වලට සහභාගී වෙනකොට ඔබට ප්‍රවීණ ශිල්පීන් ගෙන් ලැබුන සහයෝගය මොන වගේද?

මට ලොකු උදව්වක් හම්බුනා.මොකද මම 2018 වසරේ ඉඳන් මම කලේ තනිකරම Tv commercials විතරයි .2019 වසරේ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ශය උනේ.ඒ කියන්නෙ අවුරුදු කුමාරී වීම සහ ටෙලිනාට්‍යය වලට ඒම.මගෙ පලවෙනි ටෙලිනාට්‍යය වුන ජීවිතය ඇති තුරා කියන නාට්‍යයේදි මට රඟපාන්න හම්බුනේ බොහොම ජේශ්ඨ පිරිසක් එක්ක.ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා , ගයාත්‍රි අක්කා, චනුක ප්‍රබුද්ධ ,පැතුම් රුක්ශාන්, ගිරිරාජ් කෞශල්‍යය අයියා සහ ශිරෝමි අක්කා වගෙ ලොකු පිරිසක් හිටියා .ඉතින් මම Dialogs deliver කරන විදිය , මම ඉන්න ඕන විදිය ,සමහර කොටස් කරන හැටි පවා මට ගොඩක්ම ඉගැන්නුවේ එයාලා තමයි.ඉතින් ප්‍රවීණයන් හැටියට එයාලාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුනා මට

මේ දවස් වල රැල්ලට වගේ මෙගා ටෙලිනාට්‍යය බිහිවෙනවා.මේ මෙගා ටෙලිනාට්‍යය ටෙලිනාට්‍යය ගැන ඔබේ අදහස මොකද්ද ?

මෙගා නාට්‍ය වලටත් දායක වෙන්න මම කැමතියි.මෙගා නාට්‍ය‍යක් උනත් ඉස්සරහට යන්නේ ඒක මිනිස්සු බලන නිසා.ඒ දවස් වල යන මෙගා නාට්‍ය උනත් මිනිස්සු බලනවනෙ.කවුරු කොහොම කොච්චර බැන්නත් ඒක telecast වෙනවා.බැන බැන හරි මිනිස්සුත් බලනවා.ඉතින් එහෙම එකක රඟපාන්න කිසිම රංගන ශිල්පියෙන් අකමැති වෙන එකක් නෑ.

ඔබේ ළමා කාලය ගැන කතා කලොත් ? ඔබ ඒ කාලෙත් නිර්මාණ කටයුතු වලට දායක උනාද ? රංගනය හැදෑරීම් කලාද?

මේ දවස් වල මම රංගනය හදාරමින් ඉන්නෙ.මොකද කිසිම දෙයක් හදාරලා නෙමෙයි මම මේ ක්ශේත්‍රයට ආවේ.පොඩි කාලේ මම කිසිම බාහිර ක්‍රියාකාරකමක් කලේ නෑ.මොකද මගේ තාත්තා එච්චර කැමති උනේ නෑ.මගේ අම්මයි තාත්තායි දෙන්නාම ගුවන් හමුදාවේ officers ලා.මම එයාලගේ පලවෙනි දරුවා නිසා ලොකු ආරාක්ශාවක් යටතේ තමයි මම හැදුනේ.අඩුම ගානේ dancing team එකේ වත් dance කරන්න දුන්නෙ නෑ තාත්තා මට.එයාලා හරි බයයි.ඒ නිසා ගේ අස්සටම කරලා හදපු ළමයෙක් මම.සමහරවිට මාව එහෙම හදපු නිසා වෙන්න ඇති මගේ නංගි ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කරනවා.එයා ඉගෙන ගන්නත් දක්ශයි.මම ඉතින් ඉගෙනීම පැත්තෙන් විතරයි පොඩි කාලේ හිටියේ

ඔබ මේ ක්ශේත්‍රයට සම්බන්ධ වෙන්නෙ අහම්බෙන් නේ. එතකොට ඔබ කවුරු වෙන්න හිතාගෙනද හිටියේ?

තාත්තලා මාව කොච්චර එහෙම හැදුවත් මගෙ ඔලුවෙ වැඩ කරේ වෙනම දෙයක්.මම සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත ළමයෙක් පොඩි කාලේ කවුරුහරි මගෙන් ඇහුවොත් කවුරු වෙන්නද කැමති කියලා මම කියන්නෙ මම නිළියක් වෙන්න කැමතියි කියලා .ඒක නිසයි මම අවුරුදු කුමාරි තරඟයට අයදුම් කලෙත් .ඒකට ගෙදරින් ලොකු බලපෑමක් තිබ්බා.මම හැම චැනල් එකකටම වගේ ඇප්ලයි කලා.ඒවයින් එන්න කියලත් ආවා.දෙරණට ඇප්ලයි කලාට පස්සෙ කොහොම හරි කියල කියලා අඬලා ලොකු යුද්ධයක් කරලා තමයි ඇත්තටම කියනවා නම් මම තරඟයට ගියේ.ඊට පස්සෙ හොඳම 12 දෙනාට තේරුනා.ඒක ගෙදර ඇවිල්ලා තාත්තාට කිව්වට පස්සේ එයාට සතුටුයි.ඒත් එයා හරි බයයි එහෙම යවන්න..ඊට පස්සෙ මම ජයග්‍රහණය කලා.ඊට පස්සෙ ගොඩක් දෙනා කතා කරලා මට විශ් කලා.මට ගොඩක් තෑගි හම්බුනා.ශූටින් යද්දි උනත් අම්ම එක්ක ශූටින් යන්න කියලා තමයි තාත්තා කියන්නෙ.දැන් මට ඒ අවස්ථාව නෑ මොකද මගෙ අම්මා නැතිවුනා ලඟදි .ඉතින් දැන් තනියම ශූටින් යන්නේ.

ඔබ කැමතිද ඔබේ අම්මගෙන් ලැබුන සහයෝගය සහ ඒ මතකය අවදි කරන්න?

අම්මා තමයි මට මගේ ලෝකේ පලවෙනියා.මම මොනදේ කලත් අම්මා තමයි මගේ පස්සෙන්ම හිටියේ.මම ක්ශේත්‍රයට එද්දු , තරඟ වලට යද්දි අම්මා තමයි මාව එක්කගෙන ගියේ.සමහර ශූට් වලදි පැය ගණන් වාඩිවෙලා හැමදේම කලේ අම්මා.මට කියන්න වචන නෑ ඇත්තටම මට හරි අමාරුයි අම්මා ගැන කතා කරන්න.

ඔබ මේ ක්ශේත්‍රයේ ප්‍රිය කරන ජේශ්ඨ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඉන්නවද? ඔබ මේ වගේ වෙන්න කැමතියි කියලා හිතන?

මට එහෙම කියන්න අමාරුයි මම මෙයාටයි කැමති කියලා .මම කවුරුවත් වගේ වෙන්න උත්සහ කරන්නෙ නෑ.මොකද මම හැමෝගෙම ටෙලිනාට්‍යය ,චිත්‍රපට බලනවා.එයාලා කොහොමද රඟපාන්නෙ කියලා බලනවා.එයාලාගෙන් ගන්න පුලුවන් උපරිම දේ ගන්න මම උත්සහ කරනවා.ප්‍රවීණයො හැම කෙනෙක්ම දක්ශයිනෙ.ඉතින් මම හැමෝටම කැමතියි.

නිර්මාණ කාර්‍ය්යන් වලදි විවිධ විදියට ඒවාට දායක වෙන අය ඉන්නවා.මුදල් වෙනුවෙන් සහ නිර්මාණයට ඇත්තටම ආදරය කරන අයත් ඉන්නවා.සංජානා කියන්නෙ මේ අතරින් කොයි වගේ කෙනෙක්ද ?

කරන වැඩේ උපරිමයෙන් කරන්න බලන කෙනෙක් තමයි මම.මොකද අපි පුලුවන් තරමක් කල් මේ ක්ශේත්‍රයේ රැඳෙන්න උත්සහ කරන්න ඕන.මොකද රංගන ක්ශේත්‍රය කියන්නෙ හැමදාම යෙදෙන්න පුලුවන් රැකියාවක් නෙමෙයි.ඒක දිගටම රැඳෙන්න අමාරු රැකියාවක්.ඒ නිසා අපි කරන වැඩේ ඕනවට එපාවට කලොත් අපිට හෙට ගෙදර යන්න වෙනවා.මට කරන්න පුලුවන් උපරිම මම කරන නිසා අද වෙනකන් කරපු හැම ටෙලිනාට්‍යයකට මට හොඳ ප්‍රතිචාර තියනවා.මම අදටත් මේ ක්ශේත්‍රයේ ඉන්නේ ,මට ටෙලිනාට්‍යය වකට දායක වෙන්න ලැබෙන්නෙ ඒ නිසා කියලා මම විශ්වාස කරනවා.මම කාට උනත් කියන්නෙ තමන් කරන රැකියාව පුලුවන් උපරිමයෙන් කරන්න උත්සහ කරන්න.

ඔබ කලින් කිව්වා ඔබ ක්ශේත්‍රයට පිවිසුනේ රංගනය හදාරලා නෙමෙයි ,නමුත් දැන් ඔබ රංගනය හදාරනවා කියලා.ඇයි ඔබට රංගනය හදාරන්න ඕන කියලා හිතුනේ?

මම මගේ පලවෙනි ටෙලිනාට්‍යය කරේ ඉගෙන ගෙන නෙමෙයි, කට්ටිය එතනදි කියලා දුන්න දේවල් වලින්.සමහර අය ඉන්නවා මම අදටත් දකිනවා හරිම දක්ශයි එයාලා.සහජ හැකියාව කියලා අපි කියන්නේ.එහෙම අය.මට හිතුනා මම ඉගෙන ගත්තොත් මට මීට වඩා දෙයක් දෙන්න පුලුවන් කියලා.ඒ නිසා තමයි මම ඉගෙන ගන්න උත්සහ කරන්නෙ.සමහරු කියනවා ක්ශේත්‍රයට එනවා නම් ඉගෙන ගෙන එන්න ඕන ,නැත්තම් ගමනක් යන්න බෑ කියලා.එහෙම නෙමෙයි.ක්ශේත්‍රයට ඇවිල්ලා උනත් කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් .මම නම් කියන්නේ ඕන කෙනෙකුට එන්න.ඇවිල්ලා බලන්න.

මේ ක්ශේත්‍රයට පිවිසෙන තරුණ ගෑණු ළමයින්ට විවිධ බලපෑම් එල්ල වෙනවා.ඔබත් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියනවද?

ඒක මෙහෙමයි.ගොඩක් වෙලාවට මගේ පස්සෙන් අම්මා හිටියනේ.අම්මත් එක්ක යද්දි කවුරුත් මට බලපෑම් කරන්න එන්නෑනේ.දැන් උනත් ගොඩක් අය දන්නවා මගේ පවුල් පසුබිම.ඒ නිසා බලපෑම් එන ප්‍රමාණය හරි අඩුයි.සහ මම තැනකට ගිහින් හැසිරෙන විදියෙන් තමයි මට බලපෑමක් එනවා නම් එන්නේ.මම සාමාන්‍යයෙන් දගලන කරන කෙනෙක් නෙමෙයි.ඒ නිසා මට එහෙම බලපෑම් එල්ල වෙලා නෑ තාම

ඔබ තවමත් මේ ක්ශේත්‍රයට පිවිසිලා ටික කාලයයි. රංගන ක්ශේත්‍රයට පිවිසෙන්න ආසාවෙන් ඉන්න නවකයින්ට ඔබට තියෙන පණිවිඩය මොකද්ද?

මම කියන්නෙ එන්න මේ ක්ශේත්‍රයට.වැරදි මාර්ග වල නොයා හරි මාර්ග වල යන්න.මම උනත් එකපාරටම ක්ශේත්‍රයට ආව කෙනෙක් නෙමෙයි.මම අවුරුදු කුමාරි තරඟයකට සහභාගි වෙලා ඒකෙන් ජයග්‍රහණයක් ලබලා තැනකට ඇවිල්ලා තමයි මම ක්ශේත්‍රයට ආවේ .අපේ පවුලේ කිසිම කෙනෙක් රංගන ක්ශේත්‍රයට සම්බන්ධ අය නෙමෙයි.ඒ නිසා තමයි මට අර වගේ මාර්ගයක එන්න පුලුවන් උනේ.කවුරු හරි කෙනෙක්ගෙ පවුලේ කෙනෙක් රංගන ක්ශේත්‍රයට සම්බන්ධ නොවුනත් , එයාලට පුලුවන් විවිධ තරඟ වලට සහභාගි වෙලා ඒ ඔස්සේ එන අවස්ථාවන් ලබා ගන්න.සමහර වෙලාවට රංගන පාසල් වලින් අවස්ථාවන් ලබාගන්නත් හැකියාව තියනවා.ඒ නිසා මේ ක්ශේත්‍රයට එන්න.ඔයාලට කරන්න පුලුවන් දේවල් බලන්න.ඔයාලා රංගනයට දක්ශද නිවේදනයට දක්ශද බලන්න.එහෙම නැත්තම් හඬකැවීමට දක්ශද බලන්න.බලලා තමන්ට පුලුවන් මාර්ගයේ ඉස්සරහටම යන්න කියලා තමයි මම නම් කියන්නේ

අද අපිත් සමඟ Chat With Smart Lady කතා බහට එකතුවුනු සංජානා ගමාරච්චි නම් තරුණ රංගන ශිල්පිනියගේ අදහස් වලින් ඔබ ජීවිතයට යමක් එකතු කරගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.ඇගේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්නට Smart Lady අපි සුබ පැතුම් එකතු කරනවා.
ඉතින් ලබන සතියේත් මෙවැනිම වූ හරවත් කතා බහකින් ඔබ වෙත එන්නට අපි බලාපොරොත්තු වෙනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles