මන්දාරම් හැන්දෑවක – 39

ජනිඳු නිවසට ඇතුළු වූයේම කෝපයෙනි.තාත්තා මුදල් උපයන ආකාරය ඔහුට ගැටලුවක් වූයේ නැත.පිහිනිය හැකි තරමට මූල්‍ය වත්කම් පමණක් පැතූ ඔහු ඒවා පැමිණෙන මාර්ගය ගැටළුවක් කර ගන්නට නොසිතුවේ ය.ඔහු කෝප වන්නේ කාරණා දෙකකට ය.එකක් මේවාට උදව් දී ඒවා ලෝකයෙන් සැඟවිය යුතු මාමා මෙහෙයුමේ ප්‍රධාන නිලධාරියෙකු වීම ය.අනිත් කාරණාව වීරසේකර පවුලේ පුතුන් තිදෙනාගෙන් ව්‍යාපාර වලට සම්බන්ධ ජනිඳු පමණක් බව කියා තමන්ව සාක්ෂි ලබා ගැනීමට කැඳවීම ය.ඔහු දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයෙන් පිඹිමින් ඉහළ මාලයට ආවේ ඇඳ බදා නිදා ගන්නට ය.හදිසි සිතුවිල්ලකට ඔහු තරිඳුගේ කාමරයට එබී බැලුවේ ය.

එහි සිටියේ තරිඳු පමණක් නොවේ.දිනිඳු ද එහි විය.සය වසරකට පසු දුටු අයියා වැලඳ තමන් බොහෝ වෙලාවක් සිටි බව තරිඳුට මතක ය.හදිසියේ කාමරයට කඩා වැදුණු මල්ලී ද එසේ කරනු ඇතැයි ඔහු සිතී ය.එහෙත් ජනිඳු ඔහු දෙස බැලුවේ අපහාසාත්මක බැල්මකිනි.

“හැංගිලා හිටියට ඔයාට නිව්ස් නම් යනව නේද සිං ගාලා.ඇයි ඉතිං ආවේ? තාත්ති ආයේ එළියට ගන්න අමාරු හින්දා දේපල බෙදා ගන්නද?”

ජනිඳු අවඥාසහගත ලෙස කියමින් තරිඳුගේ කාමරය සිසාරා බැල්මක් හෙළී ය.බොහෝ වසර ගණනාවකට පෙර තිදෙනාම එක් කාමරයක් බෙදා ගත් අන්දම ඔහුගේ සිතේ ඇඳී මැකී ගියේ ය.”ලොකු අයියා” ළඟ නිදා ගන්නට පොර කෑ කුඩා කොලුවෙකු තමන් ඉදිරිපිට උසුළුවිසුළු කරන බවක් ඔහුට දැනෙන්නට විය.ජනිඳු වහා මුහුණ පිසදා ගත්තේ හැඟීම් ද මැකී යන ලෙසට ය.

“මං ආවේ ඔයාව මුණ ගැහෙන්න චූටි.තාත්ත ගැන මොකුත් මම එනකංම දන් නෑ.මට ඒ ප්‍රශ්නෙ වැඩකුත් නෑ.ඒත් ඔයා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕන..”

කුඩා කාලයේ ගණිතයට ලකුණු හයක් රැගෙන විත් හොර බැලුම් හෙළන කොලුවා අමතන සන්සුන් ස්වරයෙන්ම දිනිඳු පැවසුවේ ය.එහෙත් එදවස “පුලුවං වෙනතුරු ගණං කියා දෙන්නැයි” ඉල්ලූ කොලුවා ඕනෑවටත් වඩා වැඩී ගිය අසංවර ඇට්ටරයෙකු වී සිටියේ ය.

“කියන්න ඉතිං..”

පපුව මත දෑත් බැඳ ගනිමින් ජනිඳු පැවසුවේ අහංකාරකම හිතට ගනිමිනි.

“උඹ ආව විතරනෙ මල්ලි.වොෂ් එකක් දාගෙන මොනවහරි කාල වරෙං..අයියා අද ඉන්නව..”

තරිඳු මැදිහත් වූ නමුත් ජනිඳුගේ අහංකාරයට ඒ ආදරයට අලගු තැබිය හැකි වූයේ නැත.ඔහු ඇඳ මත හිඳ ගත්තේ මුහුණ හතරැස් කරගෙන ය.

“මට එහෙම ෆ්‍රී එකේ කයිය ගහන්න වෙලාවක් නෑ..කියන්න තියන දෙයක් දැන් කියන්න..”

“මං කතා කරන්න ආවේ මේඝා ගැන..”

දිනිඳු වඩා පැහැදිලි ස්වරයකින් ඉතා කෙටියෙන් පවසද්දී ජනිඳු උස්හඬින් හිනැහෙන්නට ගත්තේ ය.

“ඒ බඩුව ගැන මොනව කතා කරන්නද..ඔයා මේ හෙන කාලෙකින් මතු වෙලා එයා ගැන මට ටෝක්ස් නම් දෙන්න එපා. ඒකි කොහෙ ඉඳන් කොහොම අනුකම්පාවක් ඔයාලගෙන් ඉල්ලනවද මං දන් නෑ. ඒ වීඩියෝ එකේ එයාගෙ පර්ෆෝමන්ස් දකින්න ඇතිනෙ.ආස විදියකට ඔයාලත් හෙල්ප් කරගන්න..මට අදාළම නෑ..ඒත් ලෝකෙ ලීක් උනු පළවෙනි වීඩියෝ එක වගේ නටන්න එපා.බණ කියන්නත් එපා.”

ජනිඳු එතැනින් කතාව හමාර කොට යන්නට ගියේ නම් ඔහුගේ දෙටු සොහොයුරන් ඔහුට සමාව දෙන්නට ඉඩ තිබිණ.නමුත් ඔහු දිනිඳුගේ දරුණුම තුවාලය පෑරවූයේ ඉතා සතුටිනි.එවගක් නොදන්නා තරිඳු පවා කම්පනයට ඇද දමමිනි.

“මේ හරියට දන්නෙවත් නැති ගෑනියෙක්ගෙ ලීක් උනු වීඩියෝ එකකට නටන්න එපා ලොකූ.තාත්තිගෙ හොඳ මිසක්ක නැත්තං ඔයාගෙ ගෑනිගෙත් වීඩියෝ ලීක් වෙන්න තිබ්බා.ඔයාට ළමයි ඉන්නවද, සමහරවිට හනිමුන් බේබි කෙනෙක් කියල ඔයා උඩ දාගෙන බලා ගන්නෙ ඔයාගෙම නංගි හරි මල්ලි හරි වෙන්න ඇති..”

දැඩි නිහඬතාවයක් ඉතිරි වූයේ තත්පර කිහිපයකට ය.දිනිඳු කිසිවක් කියා ගත නොහැකි තරම් කෝපයෙන් ගල් ගැසී ගිය අතර කතාවේ අගමුල වහා වටහා ගත් තරිඳු ජනිඳුට වේගවත් අතුල් පහරක් එල්ල කළේ ය.ඔහු සිටියේ වෙව්ලමිනි.තාත්තාට ඇප ලබා ගත හැකි ක්‍රමයක් හෝ උදව් ගත හැකි හොඳම නීතිඥයෙකු ගැන තරිඳු සිතමින් සිටියේ දිනිඳුට රහසිනි.එහෙත් ඔහු ඒ හැඟීම හදවතෙන් උගුල්ලා දැමුවේ පිළිකුල හදවත පුරා පැතිරෙද්දී ය.තරිඳු ලොකු අයියාගේ මුහුණ දෙස බැලුවේ ශෝකයෙනි.එහි ඇඳී ඇති වේදනාත්මක රැලි පැවසුවේ ජනිඳු පවසන්නේ අසත්‍යයක් නොවන කටුක ඇත්ත ය.තරිඳු වහා පැන බාල සහෝදරයාගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේ ය.

“උඹ හරි හපන්කමක් වගේ කුණු කතා කියෙව්වට සමාධි අක්කා ජීවතුන් අතරෙත් නෑ.කැන්සර් එකකින් එයා නැති වෙලා සෑහෙන කාලයක්.උඹට උඹේ තාත්තගෙ වැඩ හරි ලොකු ඇති. ඔය කියන සක්කිලි කතා ඇත්ත උනත් නැතත් අයියා සමාධි අක්කා මැරෙනකම්ම එයාට ආදරෙන් හිටියා. මේඝා ගැන කතා කරන්න අයියා ආවේ දැන් අක්කගෙ තැනට රිප්ලේස් වෙලා ඉන්නේ මේඝා නිසා.උඹව හුරතල් කරන්න ආව ගමනක් නෙවෙයි මේක.උඹට මතක් කරල යන්න ආව ගමනක්..”

ජනිඳු මහත් පුදුමයට පත් විය.මේඝා අතුරුදහන් වී පස්මසක් පමණ ගෙවී ගොස් ය.ඒ පස් මස තුළ ඈ අයියාගේ ජීවිතයට සමීප වූ අන්දම කල්පනා කරමින් ඔහු පැටලිල්ලක ගිලී ගියේ ය.

“චූටි මල්ලි, මං උඹව හුරතල් කරන්න ආවෙ නෑ.උඹ මේඝගෙ යාලුවෝ මීට් වෙලා එක එක තර්ජන කරනව කියල අපි දන්නව.උඹ ගාව දැන් වීඩියෝ නෑ ඒවා පුහු තර්ජන කියලත් අපි දන්නව.හැබැයි, ආයේ වචනෙකින් හරි මගෙ වයිෆ්ට කරදරයක් වෙලා තිබුණොත් උඹත් තාත්තා ඉන්න තැනටම යවන්න මට පුලුවන්.මං ආවේ ඒක කියන්න.ඉල්ලීම් කරන්නයි පිංසෙණ්ඩු වෙන්නයි නෙවේ..”

දිනිඳු පවසද්දී ජනිඳුට ඇති වූයේ විශාල ආවේගයකි.මේඝා අයියාගේ බිරිඳ බව ඇසීම ම ඔහුට කම්පනයක් විය.ඈ විනාශ කර දමන්නට සිදු කළ දේ අවසන් වූයේ ඇය තමන්ගේ නෑනන්ඩිය වීමෙන් බව පිළිගන්නටවත් ජනිඳු කැමති වූයේ නැත.ඔහු කාමරයෙන් නික්ම ගියේ කෝපයෙනි.

“මූ හැමදාම ගත්තෙ තාත්තගෙ හයිය.දැන් ඒ හයිය නෑ කියල දන්නවනෙ. නැටිල්ල නැවතුණොත් ඒ ඇති.කොහොමත් ආයේ මේඝාට කරදරයක් නෑ.ඕක කියන්න ඔයාම ආපු එක වටිනවා”

තරිඳු පැවසුවේ ජනිඳුගේ නික්ම යාමෙන් පසු ඇති වූ නිහඬතාවය බිඳ දමමිනි.අනතුරුව ඔහු එක්වරම දිනිඳුව වැලඳ ගත්තේ ය.

“අර කියපු දේවල් වල ඇත්ත නැත්ත මට අදාළම නෑ අයියෙ.ඒවා ආයේ පාර පාර ඔයාව හර්ට් කරන්න මට ඕනෑත් නෑ.හැබැයි පොඩි කාලෙදි ඔයා හැම ප්‍රයිස් ගිවින් එකේම තෑගි ගන්නව බලාගෙන ඒ මගෙ අයියා කියපු ආඩම්බරේ මට ආයෙ දැනෙනව..කෙල්ලො සෙල්ලම්බඩු කරගත්තු ගෙදරක උඹ වගේ අයියෙක් ඉන්න එකම මට ඇති..”

දිනිඳු මඳ සිනාවක් හෙළී ය.අනතුරුව දෑස් පිස ගත්තේ ය.

“මද කිපිච්ච උන් නිසා වෙන වැරදිවලට ඒ කෙල්ලො හැමදාම දුක් විඳින්න ඕන නෑ මල්ලි..මට ඒවා ගැන අනුකම්පාවක් ඇවිල්ලත් නෑ හැබැයි.චූටි දුව එන්න ඉන්නව කියල දැනගත්තත් මං සමාධිට ආදරේ අඩු කරේ නෑ.ඒක එයාව අතාරින්න හේතුවක් උනේ නෑ.මං මේඝාට ආදරේ කරන්නෙත් එයාව බාර ගන්න කෙනෙක් නැති වෙයි කියල බයකට නෙවෙයි.සමාධි නැතිව පාළු වෙච්ච හිතට එන්න පුලුවං උනේ එයාට හින්දා.දූට අම්මෙක් වෙන්න පුලුවන් එයාට හින්ද..”

තරිඳු වැඩිමහල් සහෝදරයා දෙස බලා සිටියේ සන්තෝසයෙනි.ආදරයෙනි. තමන්ගේ ජීවිතයට ලැබෙන්නටත් ඇති යහපත ද ඔහුට ලැබේවායැයි තරිඳු පැතුවේ ය.

“මට ඉස්සරල හිතුණා මේඝාවත් අරන් මාත් එක්ක ඇමරිකා යං ද අහන්න..හයිස්ටඩීස් පටන් ගන්නත් එක්කම.ජෙනුත් මේඝටයි දූටයි පණත් දෙයි.ඒත් දැන් හිතෙනව මේඝාට රට දාලා යං කියන්න ඕන නෑ.එයා ඉන්න ඕන.වෙච්ච දේවල් ගණං ගන් නෑ කියල පෙන්නගෙන එයා නිදහසේ ඉන්න ඕන.”

දිනිඳු අටමස්ථානය පෙනෙන නොපෙන දුරින් පිහිටි රජරට සුවඳ ඇති ගම්මානය සිහි කළේ ආදරයෙනි.වහා නිවසට යෑමේ උවමනාවක් ඔහුට ඇති විණි.උපන් දා පටන් හැදී වැඩුණු මෙතැන “ගෙදර” නොවන බවත් ගෙදර ඇත්තේ පෙරිමියන්කුලමේ බවත් ඔහු වටහා ගත්තේ ය.

“ඉනූ කවදාහරි එයි.ඒත් මං එන්නේ නෑ මල්ලි.ඇත්තටම මගේ කියල කියන්න පුලුවන් මිනිස්සු මට හම්බුණේ එහෙදි..මං එන්නේ නෑ..”

එසේ කී දිනිඳු යළිත් තරිඳුට දුන්නේ වේදනාත්මක සිනාවකි.සත්‍යය වශයෙන්ම ලොකුම ගැටළුව තවම විසඳී නැත.එය විසඳෙන්නේ කෙසේදැයි ඔහුට අදහසක් ද නැත.

“සමහරවිට මට එන්නත් වෙයි.දූව අරන් එන්න වෙයි.මේඝා තාම දන්නේ නෑ මගෙ චූටි මල්ලි කියන්නෙ ජනිඳු කියල.ඒක දැන ගත්තම මේ හැමදෙයක්ම නැතිවෙලා යන්නත් පුලුවං..”

එහෙත් ඒ සටන ද ජයගත යුතු බව තරිඳු විශ්වාස කළේ ය.මෙය අයියා දඬුවම් විඳින්නට අවශ්‍ය ගැටලුවක් නොවේ.ඒ නිසා ලෝක සාධාරණත්වය ඔහු සමඟ රැඳිය යුතු බව තරිඳු විශ්වාස කළේ ය.

“අයියෙ,මෙහෙ හිටිය කියල මේ නඩුවලට අපි ඉන්වෝල් වෙන් නෑනෙ..පොඩ්ඩක් රෙස්ට් කරල අපි හෙට උදෙන් ආපහු යං..මාත් එන්නං.අපි මේක මේඝාට කියමු.ඊට පස්සෙ වෙන දේ බලමු..මොකක් උනත් මං ඉන්නව.බිනරයත් ඉඳීවි..”

තරිඳු පැවසුවේ විශ්වාසයෙනි,පැහැදිලි විශ්වාසයෙනි.

5 2 votes
Article Rating
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
4 months ago

දැන්මම ගියා නම් වඩා හොඳයි වගේ..

Chamira
4 months ago

👍

සුජා
3 months ago

දිනිඳු , තරිඳු මොන තරම් හොඳ උනත් ජනිඳු කියන්නෙම ජරා සතෙක්,, තාත්තාටයි පුතාටයි දෙන්නට එකට හිරේ ඉන්න සලස්වන්න ඕනෙ,, අම්මටත් දඬුවක් ලැබෙන්නම ඕනෙ,,