මන්දාරම් හැන්දෑවක – අවසාන කොටස

දුරුතු මාසයේ සඳ පායා එන්නට අහස් තලයම පැහැදිලි වූ හැන්දෑවක
දිනිඳු නිවසට පැමිණියේ සවස හයේ කණිසම ද ඉක්මවද්දී ය.මෝටර් රථය මිදුලේ නැවතෙද්දී ම හිනා කටක් පුරවාගෙන දිව එන ඉනුලි පෙනෙන්නට නැත.දිවා කාලය මුළුල්ලේ වෙද ගෙදර විසීමේ පිළිවෙල කඩින් කඩ නැවතී යාමෙන් ඈ ශෝකයෙන් දැයි ඔහුට හදිසි සිතුවිල්ලක් පහළ විණි.ඔහු නිවස තුළට නික්මුණේ ද ඒ ගැන සිතමිනි.

මුළුතැන්ගෙයට එබී බලද්දී ඔහු මේඝා බොහෝ කාර්යබහුලව හිඳින බව දුටුවේ ය.ඇය පිසින්නේ මොනවාදැයි බලන්නට ඉතා ඕනෑකමින් පුටුවක් මත නැග ගත් ඉනුලි දුටු දිනිඳුට සිනාවක් මතු වූයේ සැනසීමෙනි.බොහෝ කාලයකට තිස්සේ දකින්නට ආශා කළ දසුනක් නෙත පිරෙන්නට දිස් වීම ම ඔහුට සැනසෙන්නට හේතුවකි.ඔහු දුටු ඉනුලි දෑත් විදා තාත්තා වෙත දිව එද්දී අලුත් මනාලිය හිස හරවා දිනිඳු සමඟ හිනැහිණ.

“අද අම්මියි මායි මුළු ගේම අස් කළා. අම්මි කිව්වා ආයෙ අපි ගේ හැඩි කළොත් එහෙම එයා කියම්මලගෙ ගෙදර යනව කියල..”

තාත්තා වෙතට දිව ආ ඉනුලිට අලුත් අම්මා ගැන පැමිණිලි ද ඇත.දෑස් විදා ඔබමොබ බලද්දී නිවස පුරා ඇති සිරියාව ද පිළිවෙල ද දිනිඳුට සිහි කළේ ඈත දවස් ය.එහෙත් අතීතය ගැන මතක කැන්දා මේඝාට වේදනාවක් ගෙන එන්නට ඔහුට උවමනා නොවී ය.

“සමාධි අක්කා පිළිවෙලකට ලස්සනට තියන් හිටිය ගේ තාත්තියි දූයි යස්ස පිට්ටනියක් කරල තිබ්බෙ.මං ඔන්න හොඳටම අස් කළා..ආයේ හැඩි කරන්නකෝ බලන්න..”

සත් මසකට එහා දිනයක දී වෙද මහතාගේ නිවසේ දී දුටු දා ලැජ්ජාශීලිව නෙතු නගා සිනාසුණු යුවතිය දිනිඳුගේ නෙත් පුරා මැවෙන්නට විය.ඇය අත අත නෑර ජීවිතය පුරා එන්නට පිළිණ දුන්නේ ජනිඳු පෙරිමියන්කුලමට පැමිණ ගොස් දින තුනකට පසුව ය.සතියකට පෙර පැවති කුඩා විවාහ මංගල්‍යය ඒ ආදරයට ලැබුණු හොඳම ත්‍යාගය ය. එතැන් පටන් සැනසීම ජීවිතයෙන් පලා ගිය මොහොතකුදු තිබුණා දැයි දිනිඳු සිතුවේ ය.මේඝාගේ ගලා හැලෙන කිංකිණි සිනාව ජීවත් වන්නට අප්‍රමාණ හේතු සකසමින් හිඳින බව ඔහු විශ්වාස කළේ ය.

“තනියම අස් කළේ නෑ ඉතිං.. බිනරයි සඳුයි අද දවල් වරුවම හිටියේ මෙහෙ.අපි ඉතින් ගේ සම්පූර්ණයෙන් කනපිට හැරෙව්වා..”

මේඝා පවසන්නේ ඉනුලි වෙනුවෙන් ආහාර සකසන අතර ය. වරින්වර නිවසට ආ සේවිකාවන් කුඩා දැරියට වෙනම ආහාර නොපිසූ බව ඇය දනියි.වෙද හාමිනේ ද පොඩි අක්කාද ඉනුලි ගැන සැකසිලිමත් නොවූවා නම් දැරියගේ වර්ධනය අඩාල වන බොහෝ කාරණා සමාධිගේ වියෝව ද දිනිඳුගේ කාර්යබහුලත්වය ද නිසා සිදු ව ඇති බව මේඝා ඉක්මනින් වටහා ගත්තා ය.දැන් ඇයට උවමනා ගෙවී ගිය කාලයේ පවා ඉනුලිට ගිලිහී ගිය ජීවිතය ආදරයෙන් පුරවාලන්නට ය.

“මං වරුණටත් කිව්වා ලීලාව එවන්න කියල. අද ඒ මනුස්සයා ආවද මේඝා?”

නිවසේ අත්උදව්වට කාන්තාවක ගෙන්වා ගන්නට දිනිඳු සිතුවේ මේඝා තරුණ සැමියෙකු සමඟ අලුත් ජීවිතයක් නොඅරඹා පියෙකුගේ සහ දියණියකගේ ජීවන ගමනට හවුල් වූ නිසාවෙනි.ඈට ඕනෑවටත් වඩා වැඩ පවරන්නට ඔහුට තිබුණේ දුකකි.එහෙත් මේඝා මේ කුඩා නිවසේ අම්මා බවට පත් වුයේ සතුටිනි.තමන්ගේ ම කියා පවුලක් ලැබීම ම ඈට ප්‍රමාණවත් ය.

“මේ පුංචි ගෙදර ලීලටයි මටයි දෙන්නෙක්ට කරන්න වැඩක් නෑනෙ අයියෙ.අපේ අලුත් ගෙදරට ගියාම ඕන නම් ගෙන්නා ගමු..”

ඇය කියන්නේ දිනිඳුට උණු තේ කෝප්පයක් සකසන අතරේ ය.ඉතා වෙහෙසින් ගෙට ගොඩ වී තේ කෝප්පයක් සකසා ගත් දවස් අතීතයට එක්වීම ගැන ඔහුට තිබුණේ සැනසීමකි.එහෙත් ළාබාල යුවතියක වූ මේඝාට කුස්සිය මුල්ලේ සිරවී හිඳිනවාට වඩා කරන්නට අප්‍රමාණ වැඩ ඇති බව ඔහු විශ්වාස කළේ ය.අනෙක් කාරණාව අලුත් ගෙදර කටයුතු නිම වන්නට තව දෙතුන් මසක් ගෙවෙනු ඇත.

“අද නිමාෂා අක්කා කෝල් කරා.ලෝ එන්ට්‍රන්ස් දාන්න කියල ආයෙ ආයෙ මතක් කරා.”

මේඝා සැඟව හුන් මුළු කාලය පුරාම ඈ සොයා ගන්නට අපොහොසත් වූ නිමාෂා මේඝාව මුල් වරට දුටුවේ මේඝාගේත් දිනිඳුගේත් කුඩා විවාහ උත්සවයේ දී ය. ඇය මේඝාට නීති ප්‍රවේශයට සූදානම් වන්නට සිහි කළා ය.ඒ අනාගත අරමුණක් උදෙසා ය.

“නිම් කියන්නෙ ඇත්ත.ඔයා තුවාලෙක වේදනාව හොඳටම දන්න කෙල්ලක්.ඒ වගේ අසාධාරණකම් වෙන ගෑනු ළමයි ගැන කතා කරන්න පෙනී ඉන්න ඔයාට කොහොමත් යුතුකමක් තියනව. ඕක ලියලා කොහොමහරි පාස් වෙන්න ඕන.මොන්ටිසෝරි වැඩයි, ගෙදර වැඩයි, ඉනූගෙ වැඩයි ඔක්කොම එක්ක ඒක බැරි නිසා තමයි මම ලීලා ගෙන්නා ගන්න හිතුවෙත්..”

දිනිඳු පවසන්නේ තදිනි.මේඝා ඒවා අසා හිඳින්නේ සිනාවකිනි.

“මං එක්සෑම් පාස් වෙනවා.පාස් වුණොත් මං ආස රටකට ට්‍රිප් එකක් එක්ක යන්න අද ජෙනීයි තරිඳු අයියයිත් ප්‍රොමිස් උනා..”

මේඝා විශාල විවාහෝත්සවයක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා ය. ඒ පෝරුවේ නගින්නට ඇති මෝඩ බිය යැයි කියමින් බිනර නොනවත්වාම බැන වැදුණ ද ඇය එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කරන්නට හේතුව ජනිඳුගේ අභාවය බව දිනිඳුත් තරිඳුත් දැන සිටියහ.පැරණි පෙම්වතා මිය යාමටත් වඩා තමන්ගේ මස්සිනා මිය යාම මේඝා කම්පනය කරන්නට ඇති බව දිනිඳුට වැටහිණ.බන්ධනාගාර ගත වූ නොයෙල් ද ජීවිතයෙන් නික්ම ගිය ජනිඳු ද නිසා අවසානයේ විවාහ උත්සවය කුඩා ප්‍රිය සාදයකින් කෙළවර විණි.මධු සමය සඳහා අයියාත් නෑනාත් විදේශ සංචාරයකට පිටත් කර හරින්නට තරිඳුට ඕනෑ වුව ද මේඝාට සීත කඳුකරය ප්‍රමාණවත් විණි.ඉනුලිව මාධවීට පවරා ඒ ගමන යන්නට ද ඇය එකඟ වූයේ කණගාටුවෙනි.ඒ තරමට ඇය ඉනුලිට අම්මා වී සිටියා ය.

“අම්මා ආයේ සෝෂල් වර්ක්ස් පටන් අරන්. මං හවස ඔයාට ලෝ කරන්න කීවෙත් අම්මලගෙ ඔය සෝෂල් සර්විස්වලින් කරදර විඳින කෙල්ලන්ට තඹ සතේක වැඩක් නෙවෙන හින්දා මේඝා.නිම්ලට උදව්වට තව අය ඕන. අම්මා එයාගෙ විදියට ඕක කරන් යයිනෙ. ඔක්කොම බිස්නස් ටිකත් අම්මම කරන් යන්නෙ.කුරිරු පෙම්වතිය අතින් ඝාතනය වුණු පුතා ගැන වේදනාව මාකට් කර කර එයා අලුත් ගමනක් පටන් අරන්..”

දිනිඳු ඒ ඕපාදූපය මේඝාට පැවසුවේ නිස්කලංක රාත්‍රියේ දී ශ්‍රී මහා බෝධියට යන ගමනේ දී ය.පෙරිමියන්කුලම වැව අසල දී ඒ වැව් පත්ලේ සැඟවෙන්නට යත්න දැරූ යුවතිය ඔහුට හදිසියේ සිහි විණ.ඒ තැත වළකා ගන්නට හදිසියෙන් එතැනට ආ තරිඳුට හැකි වුව ද ජනිඳු ඝාතනය වනතුරුම කිසිවක්ම වළකන්නට නොහැකි වීම ගැන දිනිඳුට කණගාටුවක් නොදැනුණාම නොවේ. එහෙත් සමනලයන්ගේ තටු කඩමින් කුඩා පූස් පැටවුන් වතුර භාජනවල ඔබමින් ප්‍රීති වූ කුඩා දරුවෙකු කාලයේ සිටම ජනිඳුට වරදක් පෙන්වා දීම අපහසු විණි.අයියලා ඔහුව නිවැරදි කරන්නට යන ඕනෑම මොහොතක අම්මා කළේ ජනිඳුට දොස් පැවරීම ගැන වැඩිමලුන්‍ට දඬුවම් දීම ය.ඒ හුරතලය අවසන් වූයේ ඛේදවාචකයකිනි.

“නිමාෂා අක්කා කිව්වා මිෂෙල්ටත් සහනයක් ලැබෙයි කියල.මිෂෙල් පලි ගත්තේ එයාට ජනිඳු කරපු දේටනෙ.අනික ලොකු රණ්ඩුවක් ගිහින් ඒක හදිසියේ වුණේ කියලත් ඔප්පු කර ගන්න පුලුවන්ලු..”

මේඝා කියද්දී දිනිඳු එය අසා සිටියේ උපේක්ෂාවෙනි.

“හැම කෙල්ලම ඔයා වගේ හැංගිලා පාඩුවෙ ඉඳී කියල හිතපු තැන තමයි චූටිට වැරදුණෙ.එයාටත් වඩා මිෂෙල්ලා ජීවිතේ ගැන හිතන්නෙ සෙල්ලක්කාරකමින් කියල හිතුව නන් ඕක වෙන් නෑ.කෙල්ලන්ගෙන් පලි ගන්න ගියාම ඊටත් වඩා දරුණු පනිෂ්මන්ට් එකක් තමන්ට එයි කියලා එයාට හිතන්න තිබ්බා.ඒත් අපිට වෙන්න තියන ඒවා වෙනස් කරන්නත් බෑනෙ..අම්මා හිත හදාගෙන නිසා අපිත් හිත හදා ගමු.තරිඳුත් ආපහු මෙහෙ පදිංචියට එන්නෙත් නැත්නම් අපිටත් බිස්නස් ඕනම නැත්තං අම්මා ඕවා පුලුවන් කාලයක් කරයිනෙ..”

මේඝා හිස වනමින් අසා සිටියා ය.අර වීඩියෝව නොවන්නට මේඝා ළමයෙක් ඉන්නා තාත්තා කෙනෙකු සමඟ දීග යා යුතු නැතැයි ඇගේ තාත්තා පොඩි අක්කා සමඟ දෙස් තැබූ බව ඈ දැන සිටියා ය.ඒ තාත්තාගේ හඬ වූවාට වචන පුංචිගේ බව ද ඇයට නොතේරුණා නොවේ.තාත්තා ද පුංචි ද මල්ලී ද වරුණ අයියා කිහිපවතාවක් ම ඉල්ලා සිටිය ද විවාහයට පැමිණියේ නැත.ඔවුන් තමන්ගෙන් ගිලිහී අවසන් බව මේඝා වටහා ගත්තා ය.

“ගෑනු කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න හරි අමාරුයි අයියෙ. අයියලගෙ අම්මට අපෙ පුංචිට වුණේම ඒක..” මේඝා පැවසුවේ පුංචි සිහි වෙද්දී ය.

“ඔයා ආයේ ඔයා දිහා බලලා ඔය කතාව කියන්න, අම්මා කෙනෙක් වෙන එක අමාරු නෑ..ඔයා මගෙ දරුවට දෙන්නේ ආදරයක් නෙවෙයි මුළු ජීවිතයක්ම..මට ඊට වඩා සැනසීමක් නෑ..”

“අම්මලා විවිධාකාරයි අයියෙ. තාත්තලත් එහෙමයි.වෙද නැන්දා මට දෙන ආදරේ බලන්න.මං මේ කිලෝ මීටරේ දුරට ආවා කියල පොඩි අක්කටත් වඩා ඇඬුවෙ එයා.සමහර අම්මලා අනිත් අය දිහා බලලා ලස්සන තීරණ ගන්නවා.මේ ප්‍රශ්න තියන් අපි බැන්දනම් කුල ප්‍රශ්න තිබ්බට බිනරටයි සඳලිටයි රිද්දන්න ඕන නෑ කියල බිනරලගෙ අම්මා ඉගෙන ගෙන දවස් කීයද..අම්මලා එහෙම තමයි අයියේ.ආදරේ වෙනුවෙන් අඬනවා, දරා ගන්නවා, කැප කිරීම් කරනවා. ඒක අම්මෙක් කරන්නෙ ආසාවෙන්.ඒ අතරේ අයියගෙ අම්මා වගේ තමන්ගෙ හීන නිසා ළමයි අතාරින අයත් ඉන්නවා. ඒත් ඒක නරකයි.ළමයි මේ ලෝකෙට එන්නේ එයාලා ඉල්ලලයැ. අපේ උවමනාවටනෙ.ඉතින් ළමයෙක් උස්මහත් කරන්න ඕන මේ ලෝකෙ පරිස්සමින්ම කරන්න තියන වැඩේ ඒක කියලා හිතාගෙන.ගොඩක් අම්මලට අමතක වෙන්නෙත් ඒක..”

ජීවිතය දෙවැනි වරට ද සුන්දරම ගැහැනියක ජීවන සහකාරිය ලෙස ලබා දීම ගැන දිනිඳුට මහා සතුටක් දැනෙන්නට විය. ඔහු මේඝාට මුදු බැල්මක් හෙළී ය.

“පවුලක් ඇතුළේ තියන ආදරේ අවුරුදු දොළහෙන් පස්සෙ මටත් අමතකම උනා. අයියටත් සමාධි අක්කා එක්ක උන්නු පොඩි කාලේ මිසක් ඒක දැනිලම නෑනේ..ඒත් පවුල කියන්නේ මේ ලෝකෙ ලස්සනම දේට. අපිත් අපිට පුලුවන් තරම් ආදරෙන් ජීවත් වෙමු.අපිට ඒක අමතක වෙන වෙලාවටත් ඉනූ ඒක මතක් කරලා දෙයි..”

පූජා භූමියට පිවිසෙන්නට පෙර කුඩා කඩයකින් මල් මිටක් ගත් දිනිඳු එය මේඝා අත තැබුවා ය.ඇය තවත් මල් මිටක් අවැසි බව කීවා ය.

“මල් පොකුරු දෙකක්ම ඕන.අපි අද යන්නේ අපේ අම්මලා දෙන්නටම පින් දෙන්න.අපි දිහා බලාගෙන එයාලා අපිට ආශිර්වාද නොකරන්න අපි මේ තරම් සතුටිං ඉන්න එකක් නෑ.ඉනූගෙ අම්මයි මගේ අම්මයි දෙන්නම ඇත්තේ සතුටින්. අපි පවුලක් හදා ගත්තු නිසා.”

දිනිඳු රිය ධාවනය කළේ සැහැල්ලුවෙනි.මේඝාත් ඉනුලිත් මොකක්දෝ සංවාදයක පැටලී ය. සිනා උතුරා යන කුඩා මෝටර් රථයේ වේගය මඳක් අඩු කරන්නට දිනිඳුට සිත් විණි.තව යා යුතු දුර බොහෝ ය.පරෙස්සම්සහගත ගමනක සෙමින් යා යුතු බව ඔහු සිතී ය.ජීවිතය ඒ ගමන අතරමැද තව මොනතරම් සුන්දර දෑ තමන් අත තබනු ඇතිදැයි ඔහු සිතුවේ සැනසීමෙනි;ආදරයෙනි.මේඝා දෑසින් හිනැහෙමින් ඔහු දෙස නෙත් අලවාගෙන ම සිටියා ය.ආදරය උතුරා ගලා යමින් තිබිණ.ඒ ආදරය ජීවිතය අතරමැද අත්වැල ගිලිහී ගිය පියෙකු සහ දියණියක ද මඟ වැරදී ගිය යුවතියක ද යළි ජීවත් වීමට පොළඹවා තිබිණ.

මේඝා අනාන්තාපරිමාණ ආකාසයට නෙත් යොමු කළා ය.තරු කැට සිය දහස් ගණනක් හිරු සහ වළාකුළක ප්‍රේමයේ කතාන්දරය සඳ සමඟ බෙදා ගනිමින් සිටින බව ඇය සිතුවා ය. ඒ කතාන්දරය ප්‍රේමයෙන් පමණක්ම ලියා තබන්නට ඈ තමාටම පිළිණ දුන්නා ය.

සමාප්තයි!

තටු සිඳුණු කිරිල්ලගේ කතාව “ඈත දුර ආකාසේ” සමඟ හෙට සිට හමුවෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...