පෙමාතුර -40

කුළී නිවසින් නික්ම යන්නට පෙර විසල් අපේ ගෙදරට විත් අම්මලා සමගින් රාත්‍රී ආහාරය ගෙන තිබේ. සැබවින් ඒ ඔහු යන ආරංචියට අම්මලා කළ ඇරයුමක් නිසාවෙනි. 

කාලයක් තිස්සේ ගෙදරින් කළ ඉල්ලීමක් නිසා සිය රක්ෂණ සමාගමේ මහනුවර ශාකාවට මාරුවක් ලබා ගත් බව එහිදී ඔහු පවසා තිබේ. ඉෂිනි ට ඕනෑ වූයේ ද ඔහු ව යළි කොළඹින් කැටුව යන්නට ය. 

“විසල්ට තව ටික දවසක් බලන්න තිබුණා”

කියා පුංචි කියා තිබේ. සමහර විට ඈ ඉන් අදහස් කරන්නට ඇත්තේ මා හා ඔහු අතරේ සන්නිවේදනයක් ඇති වෙන තෙක් මඳක් ඉවසන්නට තිබුණා කියා දැයි මම නො දනිමි. පුංචී මට එහෙම කීවේත් නැත. අප දෙදෙනා ගැන කිසිවක් ම ඔවුන් මා හා විවෘත ව කතා කරන්නේ නොවේ. මට අවශ්‍ය කරන යමක් වී නම් එය  ඉටු වෙනවා දකින්නට ඔවුහු ඉත සිතින් රිසි වූහ. 

“මං එහෙම කිව්වහම කොල්ල අහිංසක විදිහට හිනා වුණා. මට ඒ හිනාවෙ තේරුමක් ගැන හිතා ගන්න බෑ”

පුංචි තව දුරටත් කීවා ය. 

ඒ වෙලාවේ තුෂ්ණිම්භූත ව ඔවුන් කියනා දෙයක් අසා ගෙන උන් මා මී දෙනක සේ හඬන්නට ගත්තේ දුරකතන සංවාදයෙන් පස්සේ ය. මා හඬන්නේ ඇයි කියන ප්‍රශ්නය මම ම මගෙන් අසමින් සිටියෙමි. එය සංවේගයක් සන්තාපයක් නොව පරාජයක් ගැන හැඟීමක් නිසා උපන් වේදනාවක් බව මා තේරුම් ගත්තේ පසුව ය. මම පැරදී සිටිමි. ඉෂිනි පියවරක් මා පරයා පියවර තබා තිබේ.

විසල් ගැන විසල් වූ හැඟීමකින් පපුව පුරවා ගෙන මා පසෙකට වූයේ ප්‍රේමය ගැන කිසියම් විශ්වාසයක් ඇතිව ය. පෙම් කළේත්, අසම්මත ලෙස මුලින් ම ප්‍රේමය ප්‍රකාශ කළේ ත් මා වී තිබියදී මම සියල්ල හැර පියා ආවෙමි. එතැන දී මා විසල් ට අසාධාරණයක් කළ බව ඕනෑ ම කෙනෙකුට හුවා දක්වන්නට පුළුවන. මා වැරදිකරු කොට දඬු කඳේ ගසන්නටත් පුළුවන. නමුත් මගේ අත් හැරීමේ ඊට වඩා ගැඹුරක් තිබිණ. ප්‍රේමය පවතිත්දී ම ඔහු ව වචනයේ පරිසමාප්තියෙන් ම නිදහස් කිරීම මගේ අරමුණ විය. ඔහු මා වටහා ගත්තා නම් ප්‍රේමයේ ගැඹුර නො දැනෙන්නේ කෙසේ ද? මා පෙම් කළ බව දැනුණා නම් මට කිසි දා ඉන් අත් මිදිය නො හැකි බව නො දැනිණි ද? මා දැනුම් දී ගියත් දැනුම් නොදී ගියත් ඒ ප්‍රේමයෙහි හිස් තැන් නො පැවති බව නො දැනෙන්නේ කෙසේ ද?

මා පෙම් කළේ ඔහු ගැන කිසිවක් නො දැන වී ද ඒ ප්‍රේමය වාචික ව ප්‍රකාශ කරත්දී ඔහු හා විවාහාපේක්ෂාවෙන් තරුණියක බලා හිඳින බව දැන ගතිමි. මගේ ප්‍රේමය ලබා ගැනීමේ සීමාවන් අතික්‍රමණය කළ එකක් නිසා ඔහු ට ඔහු ගේ අවකාශය තෝරා ගැනීම සඳහා අවශ්‍ය කරන පූර්ණ නිදහස ලබා දෙන්නට මම සමත් වීමි. වැදගත් වන්නේ ඔහු ට මා අවශ්‍ය ද කියනා එක මිස මා බලා හිඳිනවා ද කියනා එක නොවේ. බලා සිටියේ ඉෂිනි ය. පෙම් කිරීම මිස බලා හිඳීම මගේ කාර්ය නොවී ය. 

ඉතින් ඔහු ඇතා නැතා පෙම් කළ හැකි කෙල්ලක ලෙස, මා ඇතා නැතා පෙම් කරන්නට ඔහු ට හැකි නම් පමණක් මම විසල් වෙත දෝත දිගු කර ගෙන සිටියෙමි. ඔහු ගේ තෝරා ගැනීම මා නොවී ඉෂිනි වුව දිගට ම පෙම් කරන්නට මා සූදානම් ව සිටි බව ඇත්ත ය. නමුත් ඒ ඇත්ත කෙතරම් තිත්ත ද කියා දැනෙන්නේ දැන් ය. ඔහු මා පසු කර ගෙන ඉතා වේගයෙන් ඉතා ඈතට ඇදී යමින් සිටිනා බවක් මට දැනෙන්නට ගති. තෝරා ගැනීමේ දී පේන්නට නැති මට වඩා ලොකු තැනක් පේන්නට සිටිනා ඉෂිනි ට ලැබෙන්නට යනවා කියන සිතිවිල්ල මා වේදනාවටත් අවතක්සේරුවටත් පත් කොට තිබිණ.

එදා හැන්දෑවේ ඔහු ගෙන් ලිපියක් තිබිණි.

මං දන්නෙ නෑ කිසා මේ ලියුම් කියවනවද නැත්තං එකක්වත් කියවලා නැද්ද කියල. හැබැයි මේ ලියුමත් මං ලියන්න ම ඕනෙ කියල හිතෙනව. මොකද මං අද ඔයාව මට හමු වුණ අහස යටින් යන්න ම යනව.

ඔහු ලියුම පටන් ගෙන තිබුණේ එසේ ය. අපේ නිතර දොඩමළු වුණ සම්මුඛ සඳැල්ල නෙත ගැටෙන එක දරා ගත නො හැකි නිසාවෙන් ඔහු ඒ පුරුදු ඉසව්ව හැර යන බව ලියා තිබෙනු කියවා ගන්නට මගේ ඇස් නො ඉවසිලිමත් විය. නමුත් ඒ ලියුමේ කොතනකවත් එවැන්නක් නොවූ බව දැක අවසන මම යම් කිසි ඉච්ඡා භංගත්වයකට පත් වීමි.

අම්ම ඉන්න අසනීප තත්වයත් එක්ක මට ගෙදර එන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න විදිහක් නෑ. ඒත් මං යන්නෙ මතක ගොඩකුත් එක්ක. ඔයා මතකයක් විතරක් වුණා කියල තවමත් මට අදහගන්න බෑ. ඒත් මං ඇත්තට මූණ දෙන්න ඕනෙ. අඩු ගානෙ ඔයාගෙ සුවඳ දැනෙන සීමාවෙ තව ටික කාලයක් ඉන්න තිබුණනං මං වැඩිය කැමතියි. ඒත් එක අතකට මෙහෙම යන එක හොඳයි. මං මේ මතකයට හැමදාම ආදරෙයි.

පිරිමින් ට ඉක්මනින් සිදු වූ දේවල් අමතක කොට හිත් හදා ගත හැකි බව මම කොහේ හෝ තිබී කියවීමි. නමුත් ගැහැනුන් ට ඒ සඳහා සාපේක්ෂ ව වැඩි කාලයක් ගත වන බවත්, ඉන් අනතුරු ව ඔවුන් ට යළි එම පුරුෂයා කිසි දා ක අවැසි නොවන බවත් එහි ලියැවී තිබිණි. දැන් විසල් කියන්නේ ත් එබඳු සාමාන්‍ය පුරුෂයෙකු ගේ හදවත ගැන කතාවක් නොවේ ද? ඔවුන් මතක වල ඉන්නා ගැහැනුන් සමග ඕනෑ ම මොහොතක ප්‍රේමයෙන් වෙලීමේ සූදානමක සිටිති. ගැහැනුන් සේ අතීතය නමැති හැව මුළුමනින් උනා දමා නො යති.

එදා රාත්‍රිය මම නිරාහාර ව ගත කළෙමි. සැබවින් එය හිතා මතා කළ යමක් නොව කෑම රුචියක් මවෙත වූයේ ම නැත. මහත් නො සලකා හැරීමක් ගැන හැඟීමකින් මම අඩ පණ ව සිටියෙමි.

විසල් මල්වැන්න මනසේ මවා ගන්නට මට ඕනෑ විය. මම ඇස් පියා ගෙන ඒ සඳහා උත්සාහ කළෙමි. කඳුළු දෙපෙලක් ඇස් කෙවෙනි වලින් ගිලිහී ගියා මිස ඔහු ගේ රුව සම්පූර්ණ පිරිමි රුවක් සේ මැවුණේ නැත. ඒ වෙනුවට මට ඔහු ගේ සුවඳ දැනිණ. ඒ ඇස් වල වූ දීප්තිමත් ආදරය මේ මොහොතේත් දැකිය හැකි විය. ඔහු ගේ දැඩි පිරිමි ග්‍රහණයේ වූ ස්පර්ශීය උණුහුම සජීවී ව මම විඳ ගතිමි. ඔහු ගේ තුරුලේ උන් මොහොතක ඒ හෘදය ස්ඵන්දනය වූ හඬ පවා මේ දැන් සේ මට ඇහිණ. 

රාත්‍රියේ මා දුටුවේ විරංග ගෙන් පැමිණි මේල් එකකි.

“විසල් ගෙදර යනව කියල කිව්ව. මොකද්ද මේ වෙන්නෙ කිසා…හිත තද කරං හිටියත් මං දන්නව ඔයාට මේව දරා ගන්න බෑ කියල. ඔයා ඉන්න තැනක් කියන්න. මං එන්නං. මං දන්නව ඔයා කවදාවත් මට ආදරේ කරන්නෙ නෑ කියල. ඒත් මට පුළුවන් ඔයාගෙ හිත හදන්න”

 හිත හැදිය හැකි පිරිමියෙකු ළඟ නවතිනවා වෙනුවට ගැහැනුන් නිතර ම හිත බිඳිනා පිරිමින් සොයා ඇවිදන්නේ ඇයි කියා කිසිවෙකු දන්නේ නැත. සමහර විට ලෝකාරම්භයේ සිට ම එය ගැහැනිය මෙලොවට පැමිණිමේ මූලික අරමුණක් වන්නට ඇත. ඔවුන් කිසිවෙකු කිසි දා පූර්ණ චිත්ත පූර්ණත්වයක් අත් විඳින්නේ නැත. පපුව පත්ලේ ම වන පරණ තුවාලයක් සමගින් ජීවිතය දිග ඇවිද යනවා පමණකි. 

මීට පෙර ද විරංග මා ගැන සොයා බැලුවේ ය. මගේ සමාජ මාධ්‍ය ගිනුම් මම තාවකාලික ව අක්‍රිය කර ගෙන සිටියෙමි. ඒ නිසා මේල් එකක් එවීම හැරුණු කොට ගෙන කිසිවෙකුට මා සොයා ගත හැකි වූයේ නැත. විරංග ගේ විද්‍යුත් පණිවිඩ විසල් ගේ ඒවා මෙන් දිග ලිපි නොවූ අතර නිතර ම ඒවා එක පේලියකට හෝ දෙකකට සීමා විණ. 

“කොහෙද අප්පා ඉන්නෙ”

“මොකද්ද මේ හැංගිමුත්තමේ තේරුම…”

“අර විසල් පව් කියල හිතෙන්නැද්ද”

“ප්‍රශ්නයක් තියනවනං විසඳගමු. මං ඉන්නවනෙ”

වැනි කෙටි වාක්‍ය වලින් ඔහු මා තුළ ලොකු කම්පනයක් ඇති කරවන්නට සමත් විය. නමුත් මම ඔහු ව ද මේ වෙලාවේ ජීවිතයට සමීප කර ගන්නට කිසි සේත් රිසි නොවුණෙමි. 

දුරට දිගට කල්පනා කරත්දී මෙය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවකි..මිය යාමකින් තොර ව, අතුරුදන් වීමක් සේ පෙනෙන, ජීවිතය තුළ සැඟව යාමකි. මගේ සමාජ මාධ්‍ය ගිනුම් තුළ වුව සමු ගැනීමක් ගැන වැකියකුදු සඳහන් නොවේ. අවසන් වතාවට මා ඒවා මත තබා ඇති සටහන කුමක් දැයි සිහි කර ගත නො හැකි ය. ඒවායින් මා සොයනා කෙනෙකු පත් වන්නා වූ ව්‍යාකූලත්වය හෝ හිස් බව හෝ මනසින් ගණනය කර ගන්නට මම තැත් කළෙමි. නමුත් මා තුළ ද ඇති වූයේ හිස් කමක් ම ය. මා මිය ගියායින් පස්සේ තත්වයත් මෙසේම යයි උපකල්පනය කරන්නට මම උත්සාහ කළෙමි. මිය යන තෙක් ජීවත් ව සිටි මිනිසෙකු මිය ගිය පසු ඇති වන්නා වූ පැහැදිලි කළ නො හැකි ගැඹුරු රික්තකය, මම දැන් කෘතිම ව නිර්මාණය කොට ඇත්තෙමි. මා මිය ගියා සේ ය. මගේ සමාජ මාධ්‍ය ගිනුම් යාවත්කාලීන වන්නේ නැත. මගේ දුරකතනය ක්‍රියාත්මක නැත. විද්‍යුත් ලිපි වලට මා පිළිතුරු යවන්නේ නැත. එනයින් මා වූ කලී මිය ගිය පුද්ගලයෙකි. 

එදාට පස්සේ, එනම් අපේ ගෙදරට යාබද ගෙදරින් නික්ම ගියාට පස්සේ විසල් නිහඬ විය. මගේ මිය යාම පූර්ණත්වයට හෝ උච්චත්වයකට පත් වූයේ එයින් පසුව ය. දින කිහිපයක් මම යහනට සීමා වී කම්පනයකට පත් ව සිටියෙමි. ඒ කම්පනය, ඒ තරම් ඉක්මනට ඔහු ට මා හැර යා හැකි වීම ගැන ය.

ඉනික්බිති මම විසල් ගේ පැත්තෙන් ද සිතන්නට උත්සාහ කළෙමි. ඔහු ගේ පැත්තේ ද ඒ හැර යාමට හේතු තිබෙනවා වන්නට පුළුවන. ඒ නිසා මම ඔහු ව නිදොස් කොට නිදහස් කළෙමි. ඔහු අපේ ප්‍රේමය ඇතුළේ කිසි සේත් වරදකරුවෙකු වන්නේ නැත. මගේ සඳැල්ල ළඟින් නික්ම ගිය ඔහු යුග දිවි ප්‍රාප්ත වූව ද ඉනිතින් මට වැරදි කරුවෙකු නොවේ.

මා මරණ මංචකයෙන් නැගිට ගත්තේ ඒ සිතිවිල්ලට පින් සිදු වන්නට ය. අග්‍රාවේ නතර වී, ළඟ පාත ගම් දනව් වල ඇවිදිමින් ගත කළ සංචාරක දිවිය තව දුරටත් පුළුල් කරමින් මම වරණාසි වෙත තනි ව ගියෙමි. ඒ දීර්ඝ වූ දුම්රිය ගමනකින් පසුව ය. ඒ හැම මොහොතක් ම මා මිය යමින් ද යළි උපදිමින් ද ගත කළ බව කිව යුතු ය. 

මතු යම් දවසක විසල් ව යළි හමු වෙතැයි සිතා උන් සිතිවිල්ල මගේ හදවතට ගිනි තබමින් වරින් වර ගිනි සෑ ඇවිලී ය. හිමි වීමකට වඩා උසකින් වන ප්‍රේමයක් විශ්වාස කළ මට හිමි නොවීම දරා ගත හැකි ය. නමුත් අහිමි වීම ඊට වැඩිය රිදුම් දෙවන තුවාලයකි. ශාරීරික ව ඔහු ව හිමි නොවුණා ට මානසික ව ඔහු අහිමි වේ යයි දැනුණා වූ බිය වියරු ය.

ගැහැනු හදක් ප්‍රේමයෙන් ආතුර කළ හැකි සෞන්දර්යාත්මක පිරිමි ආත්මයක් ගැන ලියන්නට මා පිඹුරු පත් සැකසූවේ වර්ණාසි වල වියළි සුළඟ හමනා ගිම්හාන රාත්‍රීන් වල, මා නතර වී උන් සංචාරක හෝටලයේ පැතලි වහල මත හිඳ ය. මා වට කොට තිබුණේ තරු පිරි විසල් අහස ය. මගේ හද මන් මත් කරමින් තිබුණේ විසල් ගේ චුම්භක නෙත් යුග්මය ය. යන්තම් රැවුල් කොට වැවුණ නොපිරුණ කොපුල් මැද්දේ සරාගී හැඟුම් දැනවූ ලවන් පත් ය. එක ම වරකට, ජීවිතයට ම අමතක නොවෙන සේ මා මුහුණ හොවා උන් පපුවෙන් දැනුණ පිරිමි උණුහුම ය. ඒ සුසුම් වල සුවඳ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles