අහංකාර නගරේ -04

කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ ය. ඒ උගේ ම වන එළියකි. මටත් ඕනෑ එහෙම එළියක් බව මගේ ඇතුළාන්තය හෙමිහිට මුමුණා කියනවා මට ඇසුණේ ය. 

තාරකා කෝටි ගණනක් දැල් වී තියෙන්නට පුළුවන. නමුත් කනාමැදිරියෙක් උගේ එළිය ගැන විශ්වාසයෙන් තරු පිරි ගගන පුරා දුර ගමන් යයි!

“ඇයි මෙහෙ ආවෙ…”

මම තාරකා වියනෙන් පොළොවට පතිත වීමි. ඒ පතිත වීමෙහි කම්පනය මත එකවර මට ඒ ඇහුණ දේ වැටහුණේ නැත. ඒ හඬ අයිති තරු අතර සිටිනා දේවාත්මයකට නොව මට මෑතින් හිඳින බුම්මට්ටෙකු ට බව මා විශ්වාස කළ යුතු ව තිබිණි.  

“අ…මෙහෙද…මං ටික දවසකට මෙහෙ නවතින්නයි ආවෙ. වෙන තැනක් හොයා ගත්ත ගමං මං යනව”

අහසින් පොළොවට වැටුණ කම්පනය තව දුරටත් මවෙත වන්නට ඇත. බුම්මට්ටා හා මා අතර අඳුරක පරතරය තිබුණේ ය. තත්පර ගණනාවක කෙටි නිහඬ බවකට පස්සේ ඔහු යළි හඬ අවදි කළේ ය.

“මං ඇහුවෙ කොළඹ ආවෙ ඇයි කියල…”

මේ නගරයට පය තැබුවාට පස්සේ මගෙන් එසේ ඇසු මුල් ම තැනැත්තා ඔහු ය. විදුහල්පති තුමා පමණකුදු නොව ඔහු ගේ පිය බිරිය රෝස් පවා මගෙන් මෙහි එන්නට කාරණා විමසුවේ නැත. ඒ කොළඹ මිනිසුන් ගේ හැටියකැයි මම සිතමින් සිටියෙමි. ඔවුන් අනෙකා ගැන සොයන්නේ අඩුවෙනි. අපේ ගම් වල සේ නොව මම යාබද නිවෙස් වල එක මිනිසෙකුදු නො දුටිමි. මග තොට දී වුව කෙනෙකු ඇඟේ හැපුණත් උවමනාවෙන් ඔහු දෙස බලන්නට ඔවුන් ට වෙලාවක් ඇත්තේ නැත. ඔවුහු හැල්මේ දිව යමින් සිටිති. මේ නිසා කොළඹයන් අනුන් ගැන විමසන්නේ නැති ව තමන් ගැන බලා ගන්නා මිනිස් වර්ගයකැයි සිතන්නට මම උත්සාහ කරමින් සිටියෙමි. 

මා කුමට මෙහි ආවත් එහි ඔවුන් ට ඇති වැදගත් කමක් නැතිවා සේ මේ ගෙදර සියලු දෙනා හැසිරෙත්දී, බුම්මට්ටෙකු වූ සිතිජ ට පමණක් ඒ ගැන විමසන සිතක් පහළ වී තිබේ!

“මං….දන්නෑ”

මම හෙමිහිට කොඳුළෙමි.

“ආ…”

ඔහු විශ්මයෙන් ඇලලී ගිය බවක් ඒ හඬෙහි විය. නමුත් මේ සඳැල්ලෙහි පායා තිබෙන ලා විදුලි එළියෙන් මට ඔහු ගේ දෑස් පැහැදිළි ව දැකිය හැකි වූයේ නැත. ඝණ ඇහි බැමි වලට පහළින් ඒ ඇස් පෙනුණේ ඉසිහින් රේඛා ද්විත්වයක් ලෙසිනි.

“කෙනෙක් ගමක ඉඳල කොළඹ එන්නෙ එක්කො ජොබ් එකක් කරන්න. නැත්තං ඉගෙන ගන්න. එහෙමත් නැත්තං මෙහෙ පදිංචි වෙලා ස්ටැබ්ලිෂ් වෙන්න. ඒ කිසි හේතුවක් නැතුව…හේතුවක් දන්නෙත් නැතුව කොළඹ එන අය ඉන්නවද…”

“මං ආවෙ අරමුණක් හොයාගෙන”

මා කීවේ ඔහු ට නොව මේ මෝරා වැඩෙමින් තිබෙන අඳුරට ය. සමහර විට එය ඉතා රහස් මිමිණීමක් වන්නට ඇත. 

“මං දන්නෑ මගෙ අරමුණ මොකද්ද කියල. ඒත් මට දැනෙනව මං මොනා හරි කරන්න ඕනෙ කියල. මහියංගනේ ඉඳල කවදාවත් මට ඒ අරමුණ පාද ගන්න වෙන්නෑ කියල විතරයි මං දන්නෙ. මෙහෙම අතරමං වෙලා ඉන්නකොට මට මාව හොයාගන්න පුළුවන් වෙයි”

මම බැල්කනි වැටට දෙවැලමිට බර කර ගෙන සීතල අවකාශය ට නැඹුරු වි ගෙන සිටියෙමි. එතකොට මට දැනුණේ ඔය තාරකාවක්, සඳ එළිය පොදක් හෝ පවන් රොදක් සේ ම මා මේ අනන්ත අවකාශයෙහි කොටසක් කියා ය. නමුත් හදවතෙහි වූයේ මන්දර පව්ව වන් බරක් නොවේ කියා කෙසේ නම් පවසම් ද? කම්මුල් දිගේ සීතල රේඛා දෙකක් ඇදී යනවා මට දැනුණේ ය. මම අත ගා බැලුවෙමි. කඳුළු!

මට අඬන්නට ඕනෑ වී තිබුණේ නැත. හඬන බවක් මට දැනුණේ ත් නැත. මටත් රහසේ හිත හඬමින් තිබුණා විය යුතු ය. එක අතකට මගේ හිතට වන්නේ මගෙන් කඳුළු හංගා රහසේ තනි ව ඉකි බිඳි පුරුද්දක් ම ය.

සිතිජ ට නො දැනෙන සේ අතැඟිලි මත කඳුළු පොඩි කර දැමීමෙන් පස්සේ මම හිස හරවා බැලුවෙමි. ඔහු එහි වූයේ නැත. මම වඩාත් හොඳින් මුළු සඳැල්ල පුරා නෙතු රැගෙන ගියෙමි. ඔහු කොතැනකවත් සිටියේ නැත. බුම්මට්ටා මට නො කියා ම නික්ම ගොස් තිබේ.

අරමුණු හඳුනා ගත් හෝ ඒවා සාක්ෂාත් කර ගත් මිනිසුන් සේ නොව අරමුණක් හොයා යන මිනිසුන් ගේ තත්වය වඩා ඛේදනීය ය. තමන් ට උවමනා කුමක් දැයි ඔවුහු තවම නො දනිත්. නැවතිය යුත්තේ කොතැනක දැයි ඔවුහු සොයමින් සිටිත්!

කියවන්න :  අහංකාර නගරේ -15

නගරය කියන්නේ කලින් සැකසී ඇති තැනක් බව දැන් මම දනිමි. දරුවන් කුසයේ සිටියදී ම මව් පියන් පාසලක් ගැන සිතන බවත්, ඒ වෙනුවෙන් පිඹුරු පත් සකසන බවත් රංජනී නැන්දා කීවා ය. නමුත් අපේ ගම් වල මිනිසුන් පාසල් නො යවා දරුවන් ව කුඹුරු වැඩට නවතා ගනිති. ඔවුන් සොයා ගෙන එන ගුරුවරුන් ට බැණ එලවති. ළමයා පාසල් ගියාම හේනේ නැහිය යුත්තේ තමන් තනිව දැයි ගුරුවරුන් ගෙන් ප්‍රශ්න කරති. 

නගරේ මිනිසුන් උපදින්නේ ම අරමුණක් ඇතිව ය. යන මාවතක් සහිතව ය. තමන් නැතත් අනුන් හෝ ඒ පාර කපා තිබේ. කලාකරුවන් ගේ දූ දරුවන් ට අනිවාර්යයෙන් ම ඊළඟ පරම්පරාවේ වේදිකාවේ ඉඩ වෙන් වී තිබේ. ඔවුන් ගේ ප්‍රථම රංගනය සනිටුහන් වන්නේ අත දරුවන් කාලයේ ය. මහවැලි ගොවීන් ගේ දරුවන් ට එසේ උරුම විය යුත්තේ කුරහන් කැපීම ම ද? 

මම බෝ රෑ බෝ වන තුරු සඳැල්ලට වී කල්පනා ලෝකයක කිමිද සිටියෙමි. මගේ ඉරණම ලියැවී ඇත්තේත් කුරහන් කපන්න ම ද කියා මම නො දනිමි. නමුත් වෙනකෙකුට ලියන්නට නොදී මගේ ඉරණම මා විසින් ලියා ගනු ලබන්නට මම වඩා කැමැත්තෙමි.

දවස පුරා ම සබන් සහ වතුර වල අත් දෙක ඔබා ගෙන සිටීම නිසා මගේ දෑත් වල සම පෙඟී සුදුමැළි වී තිබිණි. පිඟන් ගොඩක් එකතු වෙන තෙක් මම රංජනී නැන්දා ට ඉහුම් පිහුම් කටයුතු වලට උදවු වෙමි. ඒ වැඩේ ට මා වඩාත් කැමති ය. ඒ, එතකොට මට ඇයත් එක්ක කතා කළ හැකි නිසාවෙනි. ඇගේ සැමියා කුළී වැඩක් කොට උපයා ගන්නා දෙයින් හැන්දෑවට කන මදයෙක් සේ මත් පැන් බොන බව ඇය කියා දැමුවේ කිසිදු සංවේදනයකින් තොර වියළි බවකිනි. වසර විසි තිස් ගණනක් තිස්සේ සිය සැමියා ගේ ඒ ජීවන පිළිවෙල විසින් රංජනී නැන්දා වියළි අසංවේදී ගැහැනියක බවට පත් කරන්නට ඇත.

“මිනිස්සු ගැන හිත හිතා අඬ අඬා ඉඳල බෑ. දරුවො හැදුවනං උංගෙ අනාගතේත් හදල දෙන්න ඕනෙ. මිනිස්සු ඇතා නැතා අම්මලට දරුවො අත්අරින්න බෑ “

මගේ හදවතේ අකුණක් පිපිරුවේ මගේ අම්මා සිහි වී ය. මෙලොව බොහෝ මවුවරුන් ට වඩා ඈ වෙනස් වූයේ කෙසේ ද තබා ඒ ඇයි කියා හෝ මට තව ම සිතා ගත හැකි වූයේ නැත. මගේ තාත්තා කවුද කියා කිරි අම්මා නො දනී. නමුත් අම්මා ඒ නො දන්නවා විය නො හැකි ය. මා බිහි කළ ගමන් අම්මා ට උවමනා වූයේ වෙන කාට හෝ හදා ගන්න දෙන්න යයි කිරි අම්මා කියා තිබේ. නමුත් මගේ රෝස පාට මුව කමල දුටු කල ලෝබ හිතුණ බව කිරි අම්මා කියන්නී ය. අම්මා රෝහලෙන් ම නික්ම ගොස් තිබෙන්නේ මදෙස බලන්නේ හෝ නැතිව ය. කාට හෝ දෙනවා කියා මා ඇකයට ගත් කිරි අම්මා සදා කල් මා තුරුලු කර ගෙන සිටියා ය.

“ඒත් මගෙ අම්මා ඉපදිච්ච ගමං ම මාව අත්ඇරිය නැන්දෙ”

මම ඇතුළාන්තයෙන් බරපතල ලෙස බිඳී යමින් සිටියෙමි. කිරි අම්මා ඇසුරේ මට කිසි දා අම්මා කෙනෙකු ඕනා වූයේ නැත. විශේෂයෙන් ම මා එපා කියා ගිය අම්මා කෙනෙකු ඕනා වූයේ නැත. නමුත් මේ ගෙන්දගම් පොළොවේ පය ගසන්නට වූ කල කාත් කවුරුත් නැති තනි කම කියන දේ වඩ වඩා දැනෙන්නට ගෙන තිබේ. 

“පුතේ…මෙව්නා…ගෑනුංගෙ පපු ඇතුළෙ තියෙන දේවල් ගැන හිතා ගන්න තව ගෑනියෙක්ටවත් කවදාවත් පුළුවන් වෙන්නෙ නෑ. ඒක මට හොඳ විශ්වාසෙං කියන්න පුළුවන්. ඔයාගෙ අම්මටත් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඇති”

“ඒත්…දඩාවතේ යන බැල්ලියෙක් වුණත්…කන්න පාන් ලෙල්ලක්වත් නැතුව බඩ පොත්ත පිට පොත්තට ඇලිල හිටියත් පැටව් රොත්ත වට කර ගෙන කිරි දෙනව නැන්දෙ. නිකං උංගෙන් එකෙක්ව වෙන් කරල බලන්නකො. බැල්ලි එනව පස්සෙන්… අඬ අඬ…පැටියව ඉල්ලගෙන…”

“අපේ මනුස්සය බීගෙන මට වද දෙනකොට අපේ සහෝදරයො මට කිව්වෙ ළමයිනුත් මිනිහට දාල වරෙං කියල. ඒත් මං ගියෙ නෑ. දස දුක විඳ ගෙන හරි ගිය මිනිහ එක්කම හිටිය. මිනිස්සුනං දහයක් එක්ක යන්න බැරියෑ. ඒත් දරුවො ගැන හිතන්න එපායැ. එහෙමයි කියල අපි දන්නෑ මෙව්නාගෙ අම්මගෙ අසරණකම මොකද්ද කියල. ඒක නිසා එයාට වෛර නොකර ඉන්න”

කියවන්න :  අහංකාර නගරේ - 19

දුප්පත් වූවා ට ඇය ට තියෙන්නේ මොන තරම් විසල් හදවතක් ද? හරියට කිරි අම්මා ගේ වාගේ ය. 

“නෑ. ආදරේ නොකරන මිනිස්සුන්ට අපි වෛර කරන්නෙත් නෑ. එහෙම කරන්න බෑ…”

“අනේ දෙයියනේ.. මගෙ ළමයි දෙන්න අත් ඇරියෙ නැතුව ඉන්න ශක්තිය දුන්නට දෙයියන්ට පින් සිද්ද වෙනව”

ඇය මහත් ශාන්තියකට පත් වූවා සේ කීවා ය. කිරි අම්මා ගැන දුකකින් මගේ පපුවේ දැවිල්ලක් ඇති විය. කාෂ්ටක හේනේ අද ඇය තනිව ය. මට කොළඹ නෑවිත් ඉන්නට තිබුණා ද?

“උඹ අයිති මේ කැලේට නෙවෙයි කෙල්ලෙ. ඒක උඹ උපන් දවස් වල ඉඳලම මට හිතිච්ච දෙයක්. උඹ උඹට අයිති ලෝකෙ හොයං යන්න හිතපු එක ගැන මං පුදුම වෙන්නෑ. මේ නාකිච්චි හෙට අනිද්දට මැරිල යයි. ඒත් උඹ බබලන්න නියමිත තව පස්සට. අනේ දෙයියනේ උඹ ලොකු නෝනා කෙනෙක් වෙලා මේ ගමට එන දවසක් ඇස් දෙකෙං දකින්න තරං මට වාසනාව තිබුණොත්…”

කිරි අම්මා තනි කර කොළඹ යන්නට සිතීම ගැන අසල්වැසි ගැහැනියක මට දොස් කී වෙලේ කිරි අම්මා කීවා ය. මට වහා සිහි වූයේ චිංගීස් අයිත්මාතවු ගේ ගුරු ගීතය ය. එහි දුයිෂෙන් අල්තිනායි නගරයට යවා ලොකු නෝනා කෙනෙක් වන්නට විවරන දුන්නා සේ කිරි අම්මා කිසිදු අහිතකින් හෝ තෘෂ්ණාවකින් තොර ව මට ආශිර්වාද කළා ය. ආදරය එහෙම ය. ආදරය තමන් කිසිවක් බලාපොරොත්තු නොවෙයි. ආදරය කරනා අයට සියල්ල ලැබෙනවා දකින්නට බලාපොරොත්තු වෙයි. කිරි අම්මා වූ කලී ගුරු ගීතය කියවා තබා ලෝකයේ එහෙව් නව කතාවක් තිබෙන බවක් හෝ නො දන්නා, මහියංගනයේ අව්වට කර වී ගිය දර ඉපලක් බඳු වූ ගැහැනු පරාණයකි. ඇය මළ පොතේ අකුරක් නො දන්නී ය. නමුත් ඕ අමාරුවෙන් හෝ මාව පාසලට යැව්වා ය.

“මං ඉන්නං වට්ටක්කා කඩන්න”

අස්වනු නෙලන ඇතැම් දිනයක මම එහෙම කියා ඇත්තෙමි.

“එතකොට අද ඉස්කෝලෙ උගන්නන අකුරු සාස්තරේ මංද උඹට උගන්නන්නෙ…මගෙන් ගුටි නොකා පල ඉස්කෝලෙ”

කිරි අම්මා මා ව පාසලට දැක්කූයේ එහෙම ය. අනන්ත දුක් කම්කටොලු  ඇගෙන් සඟවා ගෙන මම පාසල් ගොස් ඇත්තෙමි. සියලු විෂයන් වල සටහන් එක ම පොතේ ලියමින්, අඩුපාඩුවක් නෑ කියා මම පාසල් ගොස් ඇත්තෙමි. ඒ කිරි අම්මා ගේ පපුවට බරක් වෙන්නට ඇති නො කැමැත්තට ය. කොළඹ ආවා කියා ලොකු නෝනා කෙනෙකු වෙන්නට නො හැකි බව දැන් මම වටහා ගෙන හිඳිමි. නමුත් මා දිනෙක යළි මහවැලි ජනපද කරා යා යුතු ම ය. කිරි අම්මා ගේ ඇස් එතෙක් මග වෙත දැල්වී ගෙන ඇති බව මම ඉඳුරා දනිමි.

රාත්‍රියේ විදුහල්පති මැදුරට ගිය කල මම ඉඳ හිට බුම්මට්ටා දුටුවෙමි. සිනහවක් නැති නෙතින් ඔහු මග හැර ගියා පමණකි. එදා සඳලුතලයට වී කළ කතා බහෙන් පස්සේ ඔහු ට මා විකාරයක් සේ දැනෙන්නට ඇත.

දිනක් මා වැඩ නිම වී යන විට මගේ කාමරයේ යහන මත තරුණියක් නිදා සිටියා ය. දෙපා එක්වන නතර වන්නට ඇත. නමුත් කිසිවෙකු කාමරයට එන හඬින් ඕ හිස නගා බැලුවා ය. 

“කොහොමද…ඔයාද මෙව්නා…”

කියා ගෙන ඇය නැගිට මවෙත ආවා ය. ඒ වත මත අව්‍යාජ සිනහවක් විය.

“මං සුරනි. ඔයා එන්න කලින් ටික දවසක ඉඳල මං මෙහෙ හිටියෙ”

“ආ…අර ජපුර කැම්පස් එකේ…”

“අන්න හරි. මං හිතන්නෙ ඔයා නංගි කෙනෙක් වගේ”

“ඒ වුණාට ඔයාට මං සුරනි කියන්නං”

අපි දෙදෙනා ම සිනහ වුණෙමු. මේ නගරයේ දී මට හමු වූ මුල් ම මිතුරිය ඇයයි. අපේ යාළු කම බෝ කාලයක් ඉතා සමීප ව පැවතියේ ය. මගේ ජීවිතයේ ඉරණම මට ඕනෑ ලෙස ලියා ගැනීමේ ලා ඇගෙන් ලැබුණු දායකත්වය අමතක කළ හෝ නො සලකා හැරිය නො හැකි එකකි. විශේෂයෙන් ම ඇය විශ්ව විද්‍යාල සිසුවියක වීම හා මා විශ්ව විද්‍යාල වරම් නො ලද මුත් දැනුම් පිපාසයකින් පෙළුණ තැනැත්තියක වීම තුළ අපේ මිත්‍රත්වය ට කල් පවතින පදනමක් වැටුණේ අපත් නො දැනුවත්ව ය.

4.4 5 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
15 days ago

❤️❤️❤️

Chamira
15 days ago

👍