ඈත දුර ආකාසේ -09

“ඔයාගේ යාලුවෝ මං එනවට කැමති වෙයිද?”

සාමාන්‍ය යුවතියකට පැමිණිය හැකි ගැටළු අක්කාටත් පැමිණෙමින් තිබීම ගැන සඳලිට ඇති වූයේ සතුටකි.ඇය උස්හඬ දෙන සිනාවකින් ඒ සතුට පිට කළා ය.

“හයියෝ.. පිස්සුද අක්කා.මගේ යාලුවො ඔයාගෙත් යාලුවො තමයි..”

ඇය සැහැල්ලු හඬකින් අක්කාට පැවසුවා ය.ඈත ප්‍රදේශවලට චාරිකා යන අවස්ථාවක පමණක් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයකට යන්නට හෝ ගාලුමුවදොර රවුමක් යන්නට පවා කතා කරන ඕනෑම මොහොතක අක්කාට තිබුණේ එකම පැමිණිල්ලකි.

“අනේ ආදි මට යන්න දෙන එකක් නෑ නංගි..”

එවැනි මොහොතක කෝපයෙන් රත්ව ගිය තමන් අක්කාට බැන වැදුණු අවස්ථා ගැන සඳලි සිහි කළේ විස්සෝපයෙනි.ආදිත්‍යගේ පලක් නැති නීති ද කෙළවරක් නැති හිංසනයට ද ලක් ව හුන් තුරුලි ඒවාට තමන් බැන වදිද්දී පවා කොපමණ වේදනාවක් දරා ගන්නට ඇද්දැයි ඇයට සිහි විණි.එය ඉතා වේදනාවකි.තමන්ගේ කියා කිසිවෙකුත් තමන්ට නැති බව දැනීම තරම් වේදනාවක් නැති බව සිතමින් සඳලි ශෝකයෙන් දැවී ගියා ය.

“අක්කා..අපි පොඩි ගමනක් යංකො..”

ඉරිදාවක ඇය පැවසුවේ දේශනවලට යන්නට ඇඳ ගනිමින් සිටි අක්කාට ය.ගැහැනු ළමයින් ඇඳිය යුත්තේ දිග ගවුම් පමණකැයි කියමින් ආදිත්‍ය දැමූ නීති අහකටම දමා අක්කා ඇඳ සිටින්නේ තමන්ගේ ගවුමක් බව දුටු සඳලි වහා අවදි වූවා ය.

“අනේ සොරි නංගි. ඊයේ හවස වැහැලා පාර මඩ ගතිය නිසා මං ඔයාගෙන් ගවුමක් ගත්තා..”

සඳලි වහා ඇඳෙන් බැස ආවා ය.ඇයට කියන්නට තිබුණේ වෙනත් දෙයකි.

“පාරේ මඩ ගතිය ඇරිලා අක්කා.ඔයා මෙච්චර කල් ගියේ මඩ පාරකනෙ.දැන් මඩ ගතිය ඇරිලා.ඔයාට ලස්සන මල් පාරක් තියනවා අපි ඒකෙ යං..”

කියවන්න :  ඈත දුර ආකාසේ -23

බොහෝ කාලයකට පසු තුරුලි තොල් ආලේපනයක් ගල්වා කොණ්ඩය පිට මත මුදා හැරියා ය.නංගිගේ ගවුම බොහෝ සුන්දර බවත් තමාටත් ඒවා හැඩ බවත් ඇයට සිතිණ.ෆේස්බුක් වෙළඳ පිටු හරහා පෙනෙන බොහෝ සුන්දර ඇඳුම් ස්ක්‍රීන්ෂොට් ගනිමින් ගබඩා කර ගත්තාට ඒවා මිලට ගන්නට ඇයට ආදිත්‍ය කිසි දිනක ඉඩ ලබා දුන්නේ නැත.

“වල් ගෑනු වගේ කොටට කොටේ අඳින්න තමුසෙට පිස්සුද..පිළිවෙලකට ඇඳුමක් අඳින් නැතුව මාත් එක්කනං පාරක එන්න එපා..”

ඔහු සෑම මොහොතකම එසේ බැන වැදුණේ ය.සම වයස් ගැහැනු ළමයින් හැඩවැඩ වී පාරේ නිදහසේ ඇවිද යද්දී තුරුලිට සිදු වූයේ තමන්ගේ රූපය සඟවා ගන්නට ය.

“අක්කා..අපි හෙයා කට් එකක් දාමුකො.කොණ්ඩෙ සවුත්තු වෙලා.ඔයා ගුලි ගහංනෙ ඔෆිස් යන්නෙත්”

සඳලි අවස්ථාව ලැබුණු තැන යෝජනා දහසක් ඉදිරිපත් කරන්නට ගත්තා ය.තුරුලි එය ප්‍රතික්ෂේප කළේ නැත.සිහින් හිනාවක් ඇගේ දෙතොලත ඇඳෙද්දීම ජංගම දුරකථනය නාද වෙන්නට ගත්තේ ය. ඒ ඇමතුම ආදිත්‍යගේ හොඳම මිතුරා වූ රෝෂන්ගෙනි.තුරුලි ඇමතුම ගන්නට මඳක් පැකිළුණේද එබැවිනි.”ආදිත්‍යගේ කෑල්ල” යැයි ඔහු තමාට අමතන අන්දම ඇය බිඳුවකුදු ප්‍රිය නොකළා ය.නමුත් ඔවුන් ඔවුන්ගේ පිළිවෙල වෙනස් කරන්නේ ද නැත.

“ආ කුමාරිහාමි..මඟුල් නටන්න පටන් අරන් අපේ කොල්ල මරාගන්න නේද ට්‍රයි එක..”

රෝෂන්ගේ කටහඬ ගලා ආවේ අසංවර ලෙසිනි.භීතියටත් ශෝකයටත් පත් වූ තුරුලි වහා පුටුවකට ඇද වැටුණා ය.

“තමුසෙ උගෙන් සල්ලි ඉල්ල ඉල්ල නටපු නාඩගමටයි ඉගෙන ගන්නව කිය කිය මඟුලෙ යන්න ගත්තු නිසයි ආදි හිටියේ අවුල් වෙලා.ජීවිතේ එපා වෙලා කියල ඊයේ රෑත් හොඳටම බීලා..”

කියවන්න :  ඈත දුර ආකාසේ -22

රෝෂන් කියවා යද්දී ආදිත්‍ය ඊයේ රාත්‍රියේ මත්පැන් බෝතල කිහිපයකම ඡායාරූප තමන්ට එවූ අන්දමත් දැන් ඉතිරිව ඇත්තේ සියදිවි නසා ගැනීම බවට ඉතා දිගු පණිවිඩ එවූ අන්දමත් තුරුලි සිහි කළා ය.වෙනදා මෙන් ඒ සම්බන්ධයෙන් භීතියට පත් නොවන්නට තරම් තමන් හිත්පිත් නැත්තියක වීම් ගැන ඇයටම පුදුම ය.නමුත් තුරුලි ඒ සියල්ල නොකියවාම මකා දමන්නට සමත් විණි.

“ආදි මැරෙන්න මොනවද බීලා.හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නෙ..”

රෝෂන්ගේ හඬ ගලා එද්දී තුරුලි දුන් පිළිතුර ගැන පුදුමය උපන්නේ සඳලිට ය.අක්කා මේ තරමට ශක්තිමත් වීම ගැන ඇයට උපන්නේ පුදුමයකි.

“එයාට එයාගේ ජීවිතේ ගැන අගයක් නැත්නම් අපිට කරන්න දෙයක් තියනවද?”

රෝෂන්ගේ නොසරුප් වදන් කෙළවරක් නැතිව දුරකථනය දිග ගලා ආවද තුරුලි ඒ කිසිවක්ම නාසා දුරකථනය ක්‍රියා විරහිත කළා ය.නැවුම් සතුටකින් පිටත්ව යන්නට සැරසුණු ගමන විනාශ වී යාම ගැන ඇයට දැනුණේ කෝපයකි.ආදිත්‍ය ගැන සියුම් හෝ වේදනාවක් ඇයට දැනුණේම නැත.

“මේ මෝඩ හෝතඹුවා හොස්පිටල් ඉන්නව කියල ෆොටෝස් වගයක් ෆේස්බුක් දාලා.ඒත් මටනම් හිතෙන්නේ මේක රඟපෑමක් අක්කා.මේ බලන්නකො, මේ ෆොටෝස් හොස්පිටල් බෙඩ් එකක ගත්තුව නෙවෙයි.ලෝ බජට් ෆිල්ම් එකක් කරන්න යන්නෙ මේ..”

සඳලි පැන ආවේ දුරකථන තිරය දෙස බලාගෙනම ය.තුරුලි එයට නෙත් දැල්වූයේ ද සීතල ව ගිය හදවතකිනි.ඔහු මොනතරම් බොරු කළ ද ඒවා තමන්ට රිදෙන සීමාවෙන් එහා පැවතීම ගැන ඇය සතුටු වූවා ය.නමුත් ආදිත්‍ය ලෙහෙසියෙන් සටන අත නොහරින බව ඇය දැන සිටියා ය.

5 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments