අහංකාර නගරේ -26

1
2273

රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන සිතිවිල්ලෙන් මිදිය නො හැකි ය. ඇය කරන කියන දේවල් මත කොපමණ කෝප ගත්තත්, ඔහු ට ඇගේ මව් පදවිය අහිමි කළ නො හැකි බව ද මම දැන උන්නෙමි.

රෝස්මරී නැවත මට කතා කළා කීවොත් ඇය හා සිතිජ අතර ප්‍රශ්නයක් නිර්මාණය වීමට එය හේතු වෙන බව මම දැන සිටියෙමි.

“ආයෙත්නං අම්ම ඔයාට වචනෙකිං හරි කරදරයක් කළොත් මං එයා අම්මා කියල බලන්නෙ නෑ”

වතාවක් ඔහු මට එහෙම කියා තිබුණේ ය. කොහේවත් සිට අහම්බෙන් ඔහු ගේ ජීවිතය ට පැමිණි මා නිසා, ඔහු ට සිය මවු අහිමි නො විය යුතු යයි මම තදින් සිතුවෙමි. අම්මා අහිමි වීම කියන්නේ දරුවෙකු ගේ ජීවිතයේ කිසි දා කිසිවෙකු හට පියවිය නො හැකි හිස් කම කි. 

“ඔයා අම්මා එක්ක තරහ වෙන්න එපා. කොහොමත් එයා ඔයයි මායි අතරෙ තියෙන සම්බන්ධයක් ගැන දන්නෙ නෑනෙ”

රෝස්මරී කළ යෝජනාව ගැන සිතිජ ට කීමෙන් පස්සේ මම අන්තිමට ඒ කොටසත් එකතු කළෙමි. ඔහු වචනයක් හෝ නො කියා සිටීම ගැන මසිත් හි ඇති වූයේ තරමක බියකි.

“මේ දේවල් ගැන ඔයා හිත කරදර කර ගන්න එපා. මට මැනේජ් කර ගන්න පුළුවන්. මං හිතන්නෙ නෑ කොහොමත් ආයෙ මැඩම් කතා කරයි කියල. මොකද මං එයා ට කිව්ව කතා කරන්න එපා කියල. හැබැයි අපි දෙන්න අතරෙ සම්බන්ධයක් තියෙනව කියල දැන ගත්ත දවසට නං එයා කවදාවත් ආශිර්වාද කරන එකක් නෑ අයියෙ”

“ආශ්ර්වාද…හහ්..”

ඔහු සමච්චලයෙන් කීවේ ය. එදා හැන්දෑවේ මා පන්ති කරනා සූදානමේ සිටියදී බෝඩිමේ ඇන්ටි කතා කළා ය.

“මෙව්නා…මේ ඔයාව හොයාගෙන කවුද ඇවිත් ළමයො”

ඇගේ ස්වරයෙහි වූයේ නො රිස්සුම් ස්වභාවය කි. ඊට හේතුව, හිස කාමරයෙන් පිටතට දැමූ පමණින් මට සිතා ගත හැකි විය. මා නො දන්නා පිරිමින් දෙදෙනෙක් දොරකඩ මිදුලේ වූහ.

“ඇයි…”

මා තරමක විමතියකට පත් වූයේ පන්තියට ළමයින් භාර දෙන්නට නම් වැඩිපුර එන්නේ තාත්තලා නොව අම්මලා බව  අත්දැකීමෙන් ම දන්නා නිසා ය.

“මිස් අපි පොඩ්ඩක් එළියට යමුද කතා කරන්න…”

හිත ගැස්සී ගියේ ය. භූමි කම්පාවක පෙර ලකුණු හදවත හැඳින ගත්තා සේ ය.

“ඔහොම ඉඳං කියන්න. මොකද්ද ප්‍රශ්නෙ…”

“මිස් පොඩ්ඩක් එළියට එන්නකො කිව්වහම”

එවර එය තරමක් දැඩි විධානයක් වූයේ ය. මා වට පිට බැලූයේ ඇන්ටී ඇහෙන මානයක සිටිනවා ද කියා ය. මේ නවාතැනත් නැති කර ගන්නවා කියන්නේ මා උමතු වෙන්නට නියමිතයි කියන එකට ය.

ඇන්ටිට ඇහෙනවාට වඩා මේ පිරිමින් දෙදෙනා සමග මඳක් පාර දෙසට යන එක හොඳයි වාගේ දෙයක් මගේ යටි හිත මට කොඳුරා කීවේ ය.

“ඇයි මොකද්ද කාරණේ…”

මම ඉස්තෝප්පුවෙන් මිදුලට අඩියක් තබන ගමන් විමසීමි. ඔවුහු තවත් අඩි කිහිපයක් යකඩ ගේට්ටුව වෙතට ඇවිද ගියහ. එක් මිනිසෙක් මා වෙත දිග ලියුම් කවරයක් දිගු කළේ  ය. එය බරට පෙනිණ.

“මොකද්ද මේ…”

බිය සැක නො පෙන්වා තදින් කතා කිරීමේ හැකියාව ඉතිරි වී තිබීම ගැන මම මට ම ස්තුතිවන්ත වීමි.

“මේක රෝස්මරී මැඩම් දෙන්න කිව්ව. මිස් මේක බාර ගන්නවනං කිසි ප්‍රශ්නයක් නෑ. මැඩම් කතා කරයි”

එසේ නම් ඇය මගේ නවාතැනත් සොයා ගෙන තිබේ! ගොනු ගෙල බැඳි ගැල සේ මා පසු පස පන්නන රෝස්මරී නම් කරුමය සංසාරගත එකක් ද කියා මා දන්නේ නැත.

කියවන්න :  අහංකාර නගරේ -23

“මේ…සල්ලි…”

මිනිසා ලියුම් කවරය විවෘත කර එහි වූ මුදල් නෝට්ටු මිටිය මට පෙනෙන්නට සැලැස්වී ය.

“නෑ. මට ඕක ගන්න කිසි ඕන කමක් නෑ. ඇයි මං නො ගත්තොත් මොකද වෙන්නෙ…”

“නිකං අපරාදෙ කරදර වෙන්න එපා මිස්. මේක ගන්න”

“නො ගත්තොත්….”

හඬෙහි නොව මුළු මහත් මගේ සිරුරෙහි ම වූයේ අභියෝගාත්මක බවක් කියා මම සිතමි. ගැහැනුන් කළ ලොව ප්‍රථම රැකියාව පිරිමින් ගේ මන දොළ පිනවීම බව මා පොතක කියවා තිබේ. නමුත් මට ඒ රැකියාව තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම් රෝස්මරී ට බලහත්කාරයෙන් මා එතැනට ඇද ගෙන යන්නට ඇති අයිතිය කුමක් ද? 

“ගන්න කියල මං ආයෙත් මිස්ට කියනව”

“මං ගන්නෙ නෑ. ඕක ගිහිං දෙනව තමුංලගෙ මහ ලොකු මැඩම්ට. එයාට ඕන හැටියට නටවන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි කියල කියනව මේ මම”

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස එක් මිනිසෙකු මගේ අතකින් අල්ලා ඇද්දේ ය.

“අත අරිනවා”

මම හඬ නගා කීවෙමි. මගේ හඬ තරමක් ඈතට විහිද යන්නට ඇත. පන්තියට ඇවිත් හිටි ළමයින් කිහිප දෙනෙකු ගේ මවු වරුන් හා නිලන්ති අක්කා ද ඇගේ සැමියා ද බෝඩිමේ ඇන්ටි සහ අංකල් ද අප වෙත දිව ආවේ කලින් කතිකා කර ගෙන සිටියා සේ ය. 

“මොකද්ද මිස් මෙතන වෙන්නෙ…”

නිලන්ති අක්කා ගේ සැමියා අසත්දීත් මා හිටියේ මගේ අතින් අල්ලා ගත් මිනිසා ගෙන් මිදෙන්නට වෙර දරමිනි. එතැනට සෙනග පිරෙත්දී, පැමිණි පිරිමින් දෙදෙනා ම ඉක්මන් කොට මා එතැන වූ වෑන් රථයකට දමා ගන්නට තැත් කළහ. නමුත් පිරිස මැදට පැන ඔවුන් දෙදෙනා ට පහර දෙන්නටත් කෑ කෝ ගසන්නටත් වූයෙන් එතැන මහත් කලබැගෑනියක් ඇති විය. මිනිසුන් දෙදෙනා අත ආයුධ ඇතැයි මම බිය වීමි. මෙවන් කටයුත්තකට ඔවුන් නිරායුධ ව පැමිණ තිබුණේ හද්දා ගමකින් ආ කෙල්ලක සිය රථයට පටවා ගෙන යාම කජු කනවා වැනි වැඩක් යයි සිතා විය යුතු ය. 

“වන් වන් නයින් කතා කළා. දැන් එයි”

කවුදෝ කියනු ඇසිණ. එසැනෙන් මැරයෝ රියට නැග ගත්හ. 

“අපරාදෙ වෑන් එකේ රෝද වල හුලං යවන්නයි තිබුණෙ”

රිය වේගයෙන් නික්ම යත්දී පන්තියේ ළමයෙක් කීවේ ය. 

මේ වගේ සෙල්ලම්, ගමේ රූපවාහිනියක් ඇති ගෙදරක දී චිත්‍රපටයක ඉඳ හිට දැක තිබුණාට, ඇත්ත ජීවිතයේ එහෙම දේවල් වෙන බවට අදහසක් මට වූයේ නැත. ඊටත් වඩා එහෙම දෙයක් මට වේවි කියා නොව මට වූවා කියා හෝ තවමත් විශ්වාස කළ නො හැකි තත්වයක, මම වේගයෙන් හුස්ම ඉහළ පහළ දමමින් සිටියෙමි.

“කවුද ළමයො ඒ…මොකද්ද ඒ වෙන්න ගියේ…”

කඩ ඉම් ප්‍රශ්නය බෝඩිමේ ඇන්ටි ගෙනි. ඔය ප්‍රශ්නය කොයි මොහොතක හෝ නැගෙනු ඇති බව මම ඉඳුරා දැන උන්නෙමි. දැන් ඉතින් ඒ ප්‍රශ්නය මග හැර යා නො හැකි බව ද මම සක් සුදක් සේ දනිමි. මා වටේ මේ සිටිනුයේ මා විශ්වාස කළ මිනිසුන් ය. මට අලුත් බලාපොරොත්තුවක් දුන් මිනිසුන් ය. ඔවුන් සියලු දෙනා ගේ ඇස් වල වන්නේ බෝඩිමේ ඇන්ටි ඇසූ ප්‍රශ්නයයි. මා ඊට සාධාරණ පිළිතුරක් ලබා දිය යුතු ය.

“එ්ක දිග කතාවක් ඇන්ටි. මං කලින් වැඩ කළේ සැලූන් එකක. ගමේ ඉඳල කොළඹ ආව ගමන්. ඒක අයිති නෝනා තමයි මේ මිනිස්සුංව එවල තියෙන්නෙ. බලෙං හරි මාව එතනට අරං යන්න”

කියවන්න :  අහංකාර නගරේ -32

කවුරුත් බලා උන්නේ මුව අයා ගෙන ය. 

“පුතාල දැං පන්තියට ගිහිං ඊළඟ පාඩම බලා ගන්නකො. මං ඉක්මනට එන්නං”

එතැන වට වී උන් ළමයින් ටික ඉවත් කරන්නට මට ඕනෑ විය. මම එතැන සිට ම සිතිජ ට ඇමතුමක් ගෙන විස්තරය කීවෙමි.

“අහල පහල කෙනෙක් වන් වන් නයින් කතා කරල අයියෙ. දැං පොලීසියෙන් එයි”

“මං දැන්ම එනව. මං එන්න කලින් පොලීසියෙන් ආවොත් ඔයා වෙච්ච හැම දේ ම කියන්න මෙව්නා. ඇත්තම කියන්න. මගෙ අම්මයි අරව මේව හිතන්න එපා. මං එන්නං”

හිතට හයියක් දැනුණේ ය. අවට පිරිස මා දමා ගියේ නැත. බෝඩිමේ ඇන්ටි අද ම මට වෙනත් තැනක් හොයා ගන්න ය කියනු ඇතැයි බලාපොරොත්තු වුණත් ඇගේ ප්‍රතිචාරය ඊට වඩා වෙනස් වූයේ ය.

“මුං ගෑනුද ඇත්තට…හෙණ ගහන්න ඕනෙ උන්ට. අහිංසක ගෑනු ළමයිංගෙ ජීවිතේ විනාස කරන යක්ෂණියො”

ඇය දෙස් දෙවොල් තැබුවා ය. පොලීසියට පෙර සිතිජ පැමිණීම මට මහත් සහනයක් දැනවී ය. පන්තියේ ළමයින් ගේ අම්මලා ඔහු දෙස බැලුවේ, සිහින තරුවක් දෙස බලනාකාරයේ උනන්දුවෙන් කියා මම සිතමි.

“බය වුණාද…”

ඔහු කාටත් රහසින් මට ලං ව ඇසුවේ ය. 

“දැං මං ඉන්නවනෙ”

දස මහා යෝධයන් මා වටා ඉන්නා හැඟීම මා තුළ දනවන්නට ඒ කෙට්ටු උස කොල්ලා සමත් වූ අරුමය!

පොලීසිය සියලු තොරතුරු අසා දැන ගෙන, පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කරන්නයි දන්වා නික්ම ගියේ ය. මම ඒ වෙලාවට නියමිත පන්තිය හෙට දිනයට යොදා ගතිමි.

“අනේ නංගි ඔය එක දවසක් පන්ති කට් වුණාට කමක් නෑ. ඔයා ගිහිං ඒ වැඩේ කර ගන්න. ඕන වෙලාවක සාක්කි දෙන්න වුණත් අපි එනව නංගි ඔයා වෙනුවෙං”

දරුවන් ගේ මව්වරු එක හෙලා කීවෝ ය. මම සිතිජත් එක්ක පොලීසිය වෙත ගියෙමි. පැමිණිල්ල ලියා ගත්තත් ඉනික්බිති කෙරෙන පරීක්ෂණ කටයුතු ගැන සිතිජ විශ්වාසයක් දැක්වූයේ නැත.

“අම්ම ඔව පුරුදු වෙන්න කරනව වෙන්න බෑනෙ මෙව්නා. මෙච්චර දවස් කිසිම ගෑනු ළමයෙක් ඔයා වගේ විරුද්ධ නොවුණා වෙන්න බෑනෙ. ඒත් කෝ අම්මට නීතියෙං මුකුත් ප්‍රශ්නයක් වෙනව අපි කවදාවත් දැකල නෑනෙ. ඒගොල්ලො ඕව කරන්නෙ මට හිතෙන හැටියට නීතියෙං රිංගන්න පුළුවන් හිස් තැන් හදා ගෙන. ඒත් මේ සැරේ එයාට මගෙං තමයි බේරිල යන්න බැරි වෙන්නෙ”

පොලීසියෙන් පිටතට ආ සිතිජ වෙතින් දැකිය හැකි වූයේ මා මීට පෙර ඔහු වෙතින් දැක නැති විදිහේ ආවේගයකි. සැබවින් ම ඔහු ගේ ස්වභාවය ගැන මා තුළ තරමක බියක් ඇති විය.

“ඔයා මොකද්ද කරන්න හදන්නෙ අයියෙ…”

“අද ගෙදර ගිහිං මං එයා ගැන බලා ගන්නං”

“අනේ කලබල කර ගන්න එපා. අනික එතකොට ඒගොල්ලො දැන ගනියි අපි දෙන්නා…”

“ඉතිං දැන ගත්තදෙං”

ඔහු මගේ අතත් දමා ගැසුවේ ය. මම නැවතත් ඒ අත අල්ලා ගතිමි.

“අයියෙ…”

“දැන ගන්න ඕනනෙ ඒක. මං කියන්නං ලේලි වෙන්න ඉන්න කෙල්ලව තමයි බිලි බා ගන්න හදන්නෙ කියල. ඇත්තමයි දැන්නං අම්මා කියන්නත් ලැජ්ජයි මට”

“රණ්ඩු වෙන්න එපා”

“උං ඔයාව අරං ගියානං එහෙම…කවුද දන්නෙ…කවුරුවත් කිසි දෙයක් දන්නෙ නෑ”

මගේ යටි පතුල් සීතල වෙනවා මට දැනිණ. එය ඒ විදිහට සිදු වුණා නම් ඉරණම කොයි විදිහට විසඳේවි ද කියා කොහොම සිතා ගන්න ද?

4 8 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
13 days ago

👍