ඈත දුර ආකාසේ -34

තුරුලි ඉතා කාර්යබහුල කාර්යාලීය හෝරාවන් කිහිපයකට පසු දිවා ආහාරය ලබා ගන්නට නැගී සිටියේ වෙහෙසිනි.කසුන්ගේ වැඩ අහවර වී දැයි බලන්නට ඈ දෑස් ඔබමොබ යැවුවා ය.ඇගේ කිට්ටුවන්තම මිතුරන් අතරට දැන් එකතු වී ඇති කසුන් බොහෝ විට දිවා ආහාරය ලබා ගන්නට ඇය සමඟ එකතු වේ.වින්ද්‍යාගේ නීති සහය නොලැබිණිනම් ඇයට ආදිත්‍යගෙන් මෙතරම් ඉක්මනින් නිදහස් වන්නට නොලැබෙන වග තුරුලි දැන සිටියා ය.

“මං උයන හින්දා කෑමවල මෙලෝ රහක් නැද්දත් මන්දා..”

කසුන් තුරුලි හා කෑම බෙදා ගන්නේ එසේ කියමිනි.ඇය ඔහු දෙස බැලුවේ ගෞරවය රැඳි දෑසිනි.

“රස නම් නැත්තෙ මොකද..මේ තියෙන්නෙ අපූරුවට.උවමනාවයි ආදරෙයි නිසා ඔයා රහට උයනව කසුන්..”

කසුන් හිනැහෙන්නේ ආදරණීය දෑසකිනි.ඔහු මේ දිනවල ජීවත් වෙන්නේ අප්‍රමාණ සතුටකිනි.

“වින්ඩි කඩෙන් කන්න කැමතිනම් අවුලක් නෑ.එයාට ඒවත් අප්පිරියයිනෙ.රස උනා නැතා මං හදන ඒවයින් කටක් දෙකක් හරි කනව..”

ගැබිණියක වී තෙමසක් පමණ ගෙවී විය වින්ද්‍යාව රැක බලා ගන්නට උපරිම උත්සාහය දරන කසුන්ගේ ආදරණීය වෙහෙස දෙස තුරුලි ආදරයෙන් සිතුවා ය.ඔහු දැන් බොහෝ වගකීම් සහගත ය.එසේම නිරන්තරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් වින්ද්‍යා සහ කුස ඔත් සිගිත්තාගේ යහපත පිණිස දෑ සොයන ඔහු නේත්‍රා වැන්නියන්ගේ අපමණ සරදමට පවා ලක් වෙයි.

“ලෝකෙ පළවෙනි ළමයනෙ අපිට හම්බෙන්න ඉන්නෙ.ඒ නිසා පුලුවං හැටියට මහන්සි වෙනව බං. “

ආහාර ගන්නට පැමිණෙන නේත්‍රා දෙස බලාගෙන කසුන් පැවසුවේ සිනාවකිනි.

“ලෝකෙ පළවෙනි ළමයා තමයි.ඔයාලගෙ ලෝකෙ පළවෙනි ළමයනෙ.ඔයා ඔය හැසිරෙන හැටි බලන් ඉන්න සන්තෝස හිතෙන ව්දියක් කසුන්.ඔයාලා වගේ මිනිස්සු තාත්තලා උනාම ලේසි.නේත්‍රා එහෙම ප්‍රෙග්නන්ට් කාලෙත් මොන දුකක්ද වින්දේ.නේත්‍රාගෙ හස්බන්ඩ් හරි ජොබ් එකක් කරන්නෙත් නෑ.ගෙදර වැඩක් කරන්නෙත් නෑ.එයාට තියෙන්නෙ මහ පීඩාකාරී ජීවිතයක්.අනුන්ගෙ ඇද හොය හොයා අල්ලන්නෙ ඒ ඇරියස් තමයි. “

ආදිත්‍යගෙන් මිදෙන්නට යත්න දැරූ කාලයේ නේත්‍රා කළ අපමණ අපහාස සිහි වූ තුරුලි පැවසුවේ තරහිනි.ජීවිතය සතු හිස්තැන් සහ බර තැන් අනුන්ගේ හිස මත අත හරින්නට දඟලන නේත්‍රා වැනි ගැහැනුන් ගැන ඇයට දැනෙන්නේ තද පිළිකුලකි.

“මං වෙලාවකට මියුරුට මැසේජ් එකක් දානව වින්ඩිගෙ එක එක ප්‍රශ්න අහල.කොල්ල පුලුවං හැටියට විසඳනව ඉතින්..”

කසුන් සිනාමුසුව කියද්දී තුරුලිට සියුම් ආඩම්බරයක් දැනිණ.වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ඔහු වෛද්‍යවරයෙක් තරමට දේවල් නොදන්නා නමුත් හැකි අයුරින් හිතවතුන්ට උපකාර කිරීමම සතුටකි.

“මියුරු හොඳ කොල්ල.බලන් ඉන්න ආස හිතෙන විදියට හැසිරෙන කෙනෙක් තමයි තුරුලි මියුරුත්.ඔය හැම ප්‍රශ්නෙම කොල්ලා ගත්තෙ කොච්චර සැහැල්ලුවෙන්ද..අපි විතරක් නෙවේ.මියුරුත් දවසක හොඳම තාත්තා කෙනෙක් වෙයි..”

තුරුලි අනාගත සුබ සිහින මැද අතරමං වූවා ය.එතරම් ඉමිහිරි දවස් ගැන සිහි කිරීමම මියුරු සතුටක් බව ඇය සිතුවා ය.කල්පනාවක සරමින් සිටි ඇය පියවි ලෝකයට ආවේ අඳුරු කරගත් මුහුණින් ඔවුන් අසල හිඳ ගත් එරංගා නිසා ය.ඇය සේවයට පැමිණ වැඩි දවසක් ගෙවී ද නැත.

“ඔයා මොකුත් අවුලකද නංගි..”

තුරුලි අසද්දී එරංගා සුසුමක් හෙළුවා ය.අනතුරුව දෑසේ කඳුළු පුරවා ගත් ඈ පෙම්වතාගේ තතු හෙළි කළා ය.නම ගිය බැංකුවක සේවයට එන එරංගා ඇඟ විකුණන ගැහැනියක වන්නට යත්න දරන බව කියමින් බැන වදින පෙම්වතා ගැන අසා සිටි තුරුලි වසර කිහිපයක් ආපස්සට විසි වූවා ය.

“මං පාරට බැස්ස වෙලාවෙ ඉඳන් කෝල් කරනව අක්කෙ.ලොතරැයි වෙළෙන්දෙක්ගෙ හරි වොයිස් එක ඇහුණොත් මං ඉවරයි.බනිනව.අත් නැති ඇඳුං එහෙම ඇන්දම නියපොතු වලින් හූරනව..”

එරංගා සියුම්ව ඉකි බිඳින්නී ය.සිරුරේ සමහර තැනක තවම ඇති කැලැල් තුරුලිට සිහි විණි.

“ඔය වසලය අතාරිනව ළමයො.ඔහොම උන් කසාද බැන්දම වෙන්නෙ ඒ වේගෙන්ම ඩිවෝස් වෙන්න.මං දැන් තියාම මගෙ වයිෆ්ව අඳුන්වල දෙන්නම්කො..”

කසුන් පැවසුවේ තදිනි.වින්ද්‍යා මෙහෙයවන බොහෝ දික්කසාද නඩු සම්බන්ධයෙන් ඈ නිතරම පවසන වචන පේළියක් ඔහුට සිහිව ආවේ ය.

“මේ ගොඩක් කේස් වෙන්න නොදි නවත්ත ගන්න තිබ්බ අනේ.මේ හැම ගෑනු කෙනෙක්ම අෆෙයා තිබ්බ කාලෙ රෙඩ් ලයිට්ස් දැක්ක අය.කොහෙද ඉතිං, ආදරේ ඉස්සර කරගන්නවනෙ..”

ඔහු ඒ වචන සිහි කරන අතර තුරුලි මෘදුව එරංගාගේ අත අල්ලා ගත්තා ය.ඈ අතීතයේ ගිලී හුන් ගොහොරුවක ගිලී හිඳින යුවතියක දුටු වහා ඇයට ගොඩට එන පාර පෙන්වන්නට තුරුලි බොහෝ මනාප ය.ගැහැනු දරුවන් ආදරය යැයි සිතන මායාවෙන් ගොඩ ආ යුතුම බව ඇය දැන් සිතන්නී ය.

“නංගි, ඕක අතාරින්න.මං මේ සැහැල්ලුවෙන් ඉන්නෙ ඔහොම අෆෙයා එකක් බ්‍රේක් කරපු නිසා.කරුමයක් ගෙව්වෙ මම..”

එරංගා බාගෙට ඇනූ බත් පත ගුලි කරගෙන නැගී සිටියා ය.

“මං එහෙමම හිතන් නෑ අක්කි.රණ්ඩු කරාට අයියා මට ආදරෙයි.ඒ ආදරේට හුරු උනාම හරි.නිදහස කියන්නෙ ආදරේ කියල හිතලා වටේ යන්නත් මං ආස නෑ..”

තුරුලි කසුන් දෙස බැලුවේ මැඩගත් සිනාවකිනි.කසුන් ඉතා උස් හඬින් හිනැහෙන්නට ගත්තේ ය.

“කූඩු කිරිල්ලියො හිතන්නෙ ඉගිලෙන්න එක පවක් කියල.උඹ ඕවා සත පහකට ගණං ගන්නෙපා..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles