fbpx

ඈත දුර ආකාසේ -40

“අර කෙල්ලගෙන් දෑවැද්ද කොච්චර හම්බෙනවද?”

ආදිත්‍ය නිදිබරව දෑස් හැරියේ අම්මාගේ හඬට ය.අම්මා උදෑසනම ඔවුන්ගේ නිවසට නෑගම් ආවා ය.

“ඇහුවෙ නෑ අම්මා.අනික එහෙම දෙයියැ.ඒ මිනිස්සු අපේ කසාදෙට විරුද්ධයිනෙ..”

ආදිත්‍ය ඈනුමක් හරිමින් නැගිට්ටා ය.අම්මා හිටියේ හොඳටෝම කාර්යබහුලව ය.ඇය කොස්සක් රැගෙන නිවස අතුගාන්නට ගත්තේ කෝපය මුසු මුහුණකිනි.

“මේ ගෙට ගෙවදිලා දවස් දෙකයිනෙ ළමයො.බලනව තාම අස් කරල නෑ. අද උදේ උයලා ගිහිං කුස්සිය අපායක් වගේ.”

ඇය කෝපය කොස්සට පවරමින් වේගයෙන් අතු ගාන අන්දම ආදිත්‍ය මහත් කුසීතව බලා සිටියා ය.

“උයලා අස් කරන්නත් වෙලාවක් තියෙන්න නැතුව ඇති අම්මා.මට පොල් ගාන්නත් කතා කරා. මං බැනල පැන්නුවා..”

ගැහැනිය ඒ කතාවට මහත් පරල වූවා ය.ඇය පුටුවක් ඇද වාඩි වුයේ යක්ෂණියකගේ මුහුණක් මවාගෙන ය.

“අන්න ඒ වෙලාවට නම් අත දිගෑරල කනට එකක් දීපං..ගෙදර මිනිහ ඉන්නෙ පොල් ගාන්න නෙවෙයි.අනික ගෑනියෙක් හැටියට වැඩක් කරන්න කියහං කරුණාකරලා.බලපං ගේක හැටි.උයල කුස්සිය අස් කරල මිසක් එළියට බහින්න දෙන්න එපා.ගෑනියෙක්ට වගකීමක් තියෙන්න ඕන..”

අම්මාගේ අවවාද වගකීම් සහගත පුතු අසා සිටියේ උනන්දුවෙනි. නැවත උදව් ඉල්ලූ විට එරංගාට පාඩමක් ඉගෙන ගත හැකි පහරක් දෙන්නට ඔහු ඉටා ගත්තේ ය.

“මහ එවුං කසාදෙට දැන් විරුද්ද වෙලා වැඩක් නෑනෙ.තියන දේපලක් ඉල්ල ගන්න බල කරනව.කුරුණෑගල පැත්තෙ නේද ඔය කෙල්ල.හොඳට වතුපිටි නැති වෙන්න බෑ..”

යන්නට කලින් ද පුතුගේ හිසට විෂබීජ ගෝනි ගණන් ඇද දැමූ අම්මාට ඔහුට රැකියාවක් සොයා ගන්නට කියන්නට සිත් පහළ වූයේ නැත.තේ එකක්වත් හදන්නට නොදන්නා පුතුට තේ හදා බත් බෙදා තැබූ ඈ යන්නට පිටත් වූයේ මින් පසු එරංගාට නිවසින් පිට වන්නට පෙර ඒවා කරන ලෙස සිහි ගන්වන්නට මතක් කරමිනි.

ආදිත්‍ය කුසීත ලෙස නිවස පුරා ඇවිද්දේ ය.අලුත් කුලී නිවසේ කරන්නට ඕනෑ තරම් දේ තිබුණද ඔහුට යළි වතාවක් ඇඳ බදා නිදා ගන්නට සිතිණ.නාන කාමරයේ කෙළවර බේසමක එරංගා දමා ගිය කිළිටි රෙදි කිහිපයකි.

“ඉක්මනින් වොෂින් මැෂින් එකක් ගන්න ඕන අයියෙ.කී මනි දීලා බඩු ටික ගත්තම මං ගාව සල්ලි මදි.ඔයා ගාව කීයක්වත් නැද්ද?”

ඇය එසේ අසද්දී සමච්චලයට හිනැහුණු අන්දම ආදිත්‍යට සිහි විණි.

“තමුසෙල අර ඩොටේ ගංවල ළිඳෙං ඇදල රෙදි හෝදපු ගෑනුනෙ ඕයි.ඔන්නොහෙ අතිං හෝදනව.”
.
ඒ වචන යළි සිහි කළ හෙතෙම ඇඳ හුන් සරම ද ගලවා බේසමට දැමී ය.

යුග දිවිය ඇරඹූ තැනම එක් කැදැල්ලක එසේ වේදනාව උතුරා හැලෙන්නට පටන් ගනිද්දී තවත් ගොඩනැගිල්ලක් නිවසක් වන්නට හැඩ වෙමින් තිබුණේ විවාහයට මසක් පමණ ඉතිරිව තිබිය දී ය.සඳලිත් රනුකත් පදිංචියට එන කුලී නිවස අස් පස් කරන කටයුතු වල පවුල් දෙකෙහිම අය නිරතව සිටියේ ආදරයෙනි.සතුටිනි.

“ඔයාල දෙන්න මෙතන කිචි බිචි ගගා ඉන්නව මිස වැඩ කරන් නෑ හරිද..මොන කෝලංද මේ..”

තුරුලි නෝක්කාඩු නැඟුවේ ආදරණීය සිනාවක් නගමිනි.පසෙකට වී සිටි අරුණි ද ඔවුන් වෙත ආවේ සිනාවකිනි.

“මාත් දැක්ක.සතුටටනෙ නංගො.අපි ඔන්නොහෙ වැඩ ටික කරල දෙමු.ඔයත් ඉතිං මෙතන අපේ චූටි හිටිය නම් ඔච්චර තමා.”

ඇය එසේ කියද්දී සඳලි ද තුරුලි ද එක පොකුරට හිනැහෙන්නට ගත්තා ය.

“කොහොමත් මේ ගෙදර වැඩ මටම කරන්න වෙයිද මන්ද අක්කා.මේ චූටි නෝනා වැඩිය උයමන් දන්නෙත් නෑනෙ..”

තුරුලි එසේ කියද්දී රනුකගේ අම්මා ද දෙසොහොයුරියන්ගේ අම්මා ද එතැනට පැමිණිය හ.නංගීගේ නැන්දම්මා ඉදිරිපිට අනවශ්‍ය යමක් කියැවුණු දුක නිසා තුරුලි වහා පසෙකට හැරුණා ය.

“ඕක නම් මාත් හිතුව අක්කා.මේ කෙල්ලන්ට ගේක වැඩ කරගන්න බෑ තාම.අපි ඇවිල්ල අත දාලා උදව් කරන්න ඕනත් නෑ.පුතේ, මං අර යසා නැන්දට ඇවිල්ල වැඩපල කරන් ඉන්න කියන්නද? කාත් කවුරුත් නැති අසරණ ගෑනි නිසා කීයක් හරි බලල සාධාරණ ගාණක් දෙන්න..”

එහෙත් රනුකගේ අම්මා කීවේ එවැන්නකි.සඳලි වහා කතාව මැදින් පැන්නා ය.

“ඕන නෑ අම්මා.මේ අපේ අක්කගෙ කෝලංනෙ.මට උයන්න පුලුවං.යූ ටියුබ් රෙසිපියක් බලා ගත්තම වැඩේ ගොඩ.ගෙදරත් මහ වැඩක් නෑනෙ..”

නැන්දම්මා දියණියට ආදරබර සිනාවක් හෙළුවා ය.යහපත් ව හැදී වැඩී හොඳ ඉගෙනීමකින් පසු ඉහළ රැකියාවක නිරත වෙන ඈ පුතුගේ මෙහෙකාරිය හෝ නිවසේ කුස්සි අම්මා විය යුතු නැතැයි ඈ සිතුවා ය.

“මෙයාල බත්ම කනව කියල එකකුත් නෑනෙ නංගි.අනික ඔක්කොම බඩුමුට්ටු ටික තියෙනකොට සර්වන්ට්ලා ඉන්නව වගේ තමයිනෙ.මෙයා පුරුදු වෙයි. මමත් ඉන්නෙ අහලපහල නිසා පොඩ්ඩක් අත් උදව් දෙන්න බැරියැ..”

අම්මා එසේ කියා දියණියට මඳමුදු සිනාවක් හෙළුවා ය.

“දාහක් හිටියත් උදව්වට කට්ටිය ඕන පොඩි බබෙක් ඉන්නකොටනෙ ආන්ටි.මට පේන් නැද්ද..අම්මයි බේබි සිටර්යි දෙන්නම ඉඳලත් හති.අපි අන්න ඒ කාලෙකට උදව් කරමු.එතකං සඳූ සඳූට ඕන එකක් කරගත්තාවෙ.බඩේ අමාරු හැදෙන්නෙ අපිටයැ.රනුකටනෙ..”

නිවසක් බවට පරිවර්තනය වෙමින් පැවති ගොඩනැගිල්ලේ සිනා උතුරා ගියේ අරුණිගේ කතාවට ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x