fbpx

අහංකාර නගරේ -47

අම්මා දිවි නසා ගෙන තිබුණේ ඊට හේතුවක් හෝ සඳහන් කොට තබා නොවේ. ඇගේ අවමඟුල් අවස්ථාව ට සහභාගී වූ මා තුළ මහත් නිස්සාර හැඟීමක් ජනිත විය. කාටවත් නො කියා සඟවා ගත් රහස් කොයි තරම් නම් ඇයත් එක්ක ම නිහඬ වන්නට ඇත්ද? ඒ නොකී කතා නිසා ම ඈ විඳි අපමණ තැවුල්, සංකා හා දෝමනස්සයන් ද ඇයත් එක්ක ම මිහිදන් වන්නේ ය.

“එක අතකට ඒකි විඳපු දුක් එහෙම හරි නිමා වුණ එක හොඳයි”

කිරි අම්මා හිත හදා ගත්තේ එහෙම කියා ය. අම්මා ජීවිතය හැර යන්නට සිතුවේ ඇයි ද කියා හෝ දැන ගන්නට තිබුණා නම් මට මේ හැටි දුකක් නො දැනෙන්නට තිබිණි. ජීවිත පිරිපත වූ කලී ඇය ට ආගන්තුක වූවක් නොවේ. ඇතැම් විට උපන් දා සිට ම ඇය දුක් විඳින්නට ඇත. ඒ සියල්ල ඕ මහ කන්දක් සේ දරා උන්නා ය. අප දෙදෙනා අතර පෙකණි වැල සිඳී ගියාට පස්සේ මා අම්මා ව දුටුවේ එක වරකි. හද නිධානයෙහි සුරැකි පීඩනය, එදා ඈ යම් පමණකට පිට කොට හැරියා ය.

කන්දකට වුණත් දරා ගත නො හැකි මොහොතක් එළඹෙන්නට පුළුවන. සිය වස් ගණන් අව් වැසි නියං පිරිපත දරා ඉන්නා කන්දක්, ඉතා සුළු පස් බුරුල් වීමක් නිසාවෙන් නාය යන්නේ එබැවිනි. අම්මා ගේ හදවතත් එසේ නාය ගියා වන්නට ඇත. යන්නට තීරණය කළා ට පස්සේ ආයේ ඉන්නට හිතෙන්නේ නැත.

“හිත හයිය කර ගන්න මෙව්නා”

සිතිජ කිහිප වතාවක් මට එසේ මිමිණුවේ ය. මගේ හිත නාය ගිය හොත් සිය කුඩා දෑතින් කිසිත් කර ගන්නට ඔහු ට නො හැකි වනු ඇතැයි ඔහු සිතන්නට ඇත. 

අම්මා එක්ක ලොකු සම්බන්ධ තාවයක් මට තිබුණේ නැත. නමුත් ඈ මගේ අම්මා ය. දිනෙක මා යම් ස්ථාවරයකට පත් කල කිරි අම්මා ව සේ ම අම්මා වත් මා වෙතට ගත යුතු යයි අංකුර අදහසක් මා තුළ පණ ගැහෙමින් තිබිණි. නමුත් ඒ වගේ දේකට ඇය හෝ ඇගේ සැමියාගේ පාර්ශවය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි මම නො දැන සිටියෙමි. කෙසේ වෙතත් මා යමක් කරන්නට පෙර අම්මා නික්ම යාමේ තීරණය ගෙන තිබේ!

පසු තැවීමේ සංකා සිතිවිල්ලෙන් ගැල වී ගන්නට මා හිතු තරම් පහසු නො විණි. පසු තැවීමට හේතුව පමාවයි. මම අම්මා පිළිබඳව තීරණයක් ගන්නට පමා වීමි.

“ඉතිං මේ හැම දේකටම වැරැද්ද ඔයා පිට පටව ගන්නද හදන්නෙ…”

සිතිජ මා සනසනු වස් කිව හැකි සියල්ල කියමින් සිටියේ ය.

“මං අම්මව එක්කගෙන ගිය නං එයාට මෙහෙම නොවෙන්න තිබුණා නේද අයියෙ….”

“හැම දේම සිද්ද වෙන විදිහක් තියෙනව මෙව්නා. අපිට ඒ දේවල් වෙනස් කරන්න බැරි වෙන්නෙ ඒව එහෙම වෙන්න නියම වෙලා තියෙන නිසා”

“මීට පස්සෙවත් මං මෙහෙම අත් වැරැද්දක් කර ගන්නෑ දෙයියනේ”

“මෙව්නාට මෙහෙම පසුතැවීමක් දැනෙනවනං හේමලතා කොහොම පසු තැවීමක ඉන්න ඇද්ද…”

ජයශාන්ත මහතා මුණිවර භාෂිතයක වන නිවීම දනවමින් දෙඩුවේ ය.

“එදා මෙව්නාව දැක්කට පස්සෙ සමහර විට හේමලතා තීරණේ කරන්න ඇති දුක කෙලවරක් කරන එක හොඳයි කියල. මෙව්නා මෙහෙම තත්වෙකින් ඉන්න එක එයාට ලොකු සැනසීමක් වෙන්න ඇති. කොහොමත් හේමලතා හිටියෙ මෙව්නාට කරපු වරද ගැන අන්තෙටම පසුතැවිලි වෙවී. මටත් එදා යමක් හේමලතාට කියා ගන්න බැරි වුණා. අන්තිමට වුණේ ඒකත් පසුතැවීමක් වෙලා මගෙ හිතට බර වෙච්ච එක…”

ජයශාන්ත මහතා ගේ මුහුණේ වූයේ බැරෑරුම් පෙනුමකි. අම්මා ට කියා ගන්නට ඔහු ට නො හැකි වූයේකුමක් ද යන ප්‍රශ්නය ඇවිත් මගේ හිත අස මහා බරකින් හැපිණි.

“සර්…මොකද්ද ඒ…”

“මෙව්නා…මං දන්නෙ නෑ අර්ජුනයි හේමලතායි අතරෙ තිබුණ ආස්සරේ මොන වගේ එකක්ද කියල. හේමලතා අපේ ගෙදරින් අතුරුදහන් වුණාට පස්සෙ ඔය කතාව අපේ අම්මගෙං ආරංචි වුණහම මට හිතන්න තිබුණෙ අර්ජුන සෙල්ලක්කාරයෙක් කියල විතරයි. හේමලතාට සාධාරණයක් කරන්න ඉඩක් තිබුන්නෑ එයා ආ ගිය අතක් නැති වුණ නිසා. ඒ වුණත් පස්සෙ කාලෙක අර්ජුන එයාගෙ ලාස්ට් විල් එක ලියද්දි හේමලතාගෙ දරුවටත් අසාධාරණයක් කරල නෑ කියල දැන ගත්තහම…අර්ජුන හේමලතාට පොඩ්ඩක් හරි ආදරේ කරන්න ඇති කියලත්  හිතුණා. ඒ බව එදා කලබල අස්සෙ කියා ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒක කිව්වනං හේමලතා මීට වැඩිය සැනසීමකින් එයාගෙ අන්තිම දවස් ගත කරන්න තිබුණා”

හිත පහුරු ගාමින් තිබූ සන්තාපය වචන වලින් විස්තර කොට කියන්නට මා දන්නේ නැත. පසු තැවීම කියන්නේ දළඹුවෙක් වාගේ දෙයකි. අපවත් නොදැන එය අපේ ආත්මය කොනක සිට කා දමයි. 

“මෙව්නා. ඔයා හොඳ මොළයක් තියෙන ළමයෙක්. ඒක නිසා මං මගෙම දුවෙක් හැටියට අවවාදයක් දෙන්නං”

“කියන්න සර්”  

“පසුතැවෙන්න වෙන දෙයක් ජීවිතේ කිසිම දවසක කරන්න එපා”

හුස්මකින් ළය පුරවා ගන්නා ගමන් මම ඇස් දෙක පියා ගතිමි.

“දෙයක් කරද්දි සැරයක් නෙවෙයි සිය දහස් වාරයක් ඒ ගැන හිතන්න. ඒ දේ කළොත් කවදා හරි පසු තැවීමක් ඇති වෙයිද කියල හිතන්න. රෝස්මරී වගේ තත්වෙකට වැටෙන දෙයක් කවදාවත් කරන්න එපා. මං දන්නව දැන් එයා ඉන්න මානසික තත්වෙ. එයාගෙම හෘද සාක්ෂියෙන් එයාට ගැලවීමක් නෑ. මං එයාට සමාව දීල හුඟක් කල්. හැබැයි දැන් එයාට බෑ එයා කරපු වැරදි වලට එයාටම සමාව දී ගන්න”

ලෝකයේ ඇති සියලු පුස්තකාල වල පිරී ඇති පොත් සියල්ල කියවූවත් ජීවිතය කියන දේ හරියට ම අල්ලා ගත හැකි ද කියා මට සිතා ගත නො හැකි ය. නමුත් මේ ටික කාලයට ජීවිතය ඇසුරෙන් මා උගත් පාඩම් වලින් එවන් පොත් දහස් ගණනක් ලියා තැබිය හැකි බවක් මට දැනේ. මගේ අමමා ට හෝ සිතිජ ගේ අම්මා ට වූ දේවල් කවදාවත් මා විසින් නො කර ගත යුතු ය යන පාඩම දැන් මම උගෙන සිටිමි. එසේ ම අපේ දරුවන් ට කවදාවත් එහෙම තත්වයකට පත් වන්නට ඉඩ නො තැබිය යුතු ය. මගේ අම්මා ගේත් සිතිජ ගේ අම්මා ගේත් ජීවිත වල පුවත් අපට මොර ගා කියන කතාව එයයි.

“මට ඒකිගෙ ඇස් දෙක පාදන්න බැරි වුණා. ඒත් මං උඹේ ඇස් දෙක පෑදුව කියල මට හිතෙනව මයෙ මැණිකෙ”

අම්මා ගේ අවමගුලට සහභාගී වී බෝඩින් කාමරයට පැමිණි රාත්‍රියේ, නිදන්නට යහනට වන් කල කිරි අම්මා කඳුළක් සැළුවා ය. මම ඇය ගේ සිරුර වටා මගේ සුරත දමා කිරි අම්මා තුළ සුරක්ෂිත හැඟීමක් දනවනු වස් ඇගේ හිස ද පිරිමැද්දෙමි.

“කිරි අම්මට දුක් වෙන්න හේතුවක් නෑ”

“ඒත් උඹට වගේ කිරි අම්මෙක් උඹේ දරුවන්ට නැති වෙනව. මට ඒ ගැන දුකයි”

කිරි අම්මා ට නො පෙන්වූ කඳුළක් මගේ හිතේ ත් විය.

අම්මා වෙනුවෙන් මට කරන්නට තිබුණේ එක ම එක දෙයකි. ඒ පන්සලට දන් වේලක් පිරිනමා, හත් වන දිනයේ දී ඇය ට පින් අනුමෝදන් කිරීම යි. බෝඩිමේ එවන් කටයුත්තක් කිරීමේ අපහසුව ගැන සිතා, මම පන්සලට හීල් දානය ගෙන ගොස් පිරිනැමීමට සිතුවෙමි. නමුත් ජයශාන්ත මහතා සිතිජ අතේ පණිවිඩ එවා තිබුණේ  කුඹුකේ, නෙළුම් නැන්දා වෙසෙන නිවසේ දී සාංඝික කොට දිවා දානයක් පිරිනැමීමට කටයුතු කළ හැකි බවයි.

“එහෙම කරමු. එතකොට මොනා වුණත් ඔයාගෙ හිතටත් සැනසීමක් ලැබෙයි. කෙනෙක් ජීවතුන් අතර නැති වුණාට පස්සෙ ඒ කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු ම දේ ඒකනෙ”

මා අදිමදි කරන බවක් දැනී දෝ සිතිජ කීවේ ය. ජයශාන්ත මහතා ට ඒ තරම් කරදර කළ නො හැකි බවක් මුල දී මට දැනුණත්, ඔවුන් ගේ නිවසේ දී ඒ කටයුතු පිළියෙල කරත්දී සිතුණේ එය තමන්ගේ ම තැනක් ලෙසිනි.

“ගෙදරක් වුනහම එහෙම වෙන්න ඕනෙ මෙව්නා. තමන්ගෙ කියන හැඟීමෙන් ඕනම දෙයක් කරන්න අසීමිත නිදහසක් තියෙන තැනක් වෙන්න ඕනෙ. ඒත් වුඩ්ලන්ඩ් ඇවනිව් එකේ ගෙදර මට කවදාවත් ඒ නිදහස දැනිල නෑ. එහෙම වුණහම ඒක ගෙයක් නෙවෙයි….හිර ගෙයක් වෙනව”

දාන මාන කටයුතු වලින් පසු මා ඔහු ට මුව නො සෑහෙන සේ ස්තූති කරත්දී ජයශාන්ත මහතා කීවේ ය.

“ඕගොල්ලන්ගෙ ගෙදරදි මගෙ කොල්ලටත් ඒ නිදහස දැනෙන්න අරින්න. මට දුවගෙන් ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම ඒක”

ඔහු වැඩිදුරටත් මගෙන් ඉල්ලා සිටියේ ය. මම නො තේරුම් දැරියක සේ හිස වැනුවෙමි. නමුත් ඒ හදවත් වල තිබී ඇති හිස් අවකාශ ගැන මට වැටහුණේ නැතිවා නොවේ. 

සුරනි ද අපත් සමග දානමය පින්කම සඳහා කුඹුකේ ගියා ය. ජයශාන්ත මහතා ගේ නිල නො වන මේ යුග දිවිය පිළිබඳව ඥාතීන් අතර පවතින කසු කුසු ගැන ඇගේ කන වැකී තිබේ. මුලින් ම මටත් ඒ ගැන කීවේ සුරනි ය. නමුත් ඒ ගෙදරට ගොස් එක රැයක් ගත කළ පසු, නෑදෑයන් අතර වූ සමහර අදහස් ගැන ඇය එකඟ නො වන තත්වයකට පත් විනැයි සුරනි පිළි ගත්තා ය.

“කට්ටිය නෙළුම් නැන්දා ගැන කතා කරන්නෙ එච්චර හොඳ විදිහට නෙවෙයි. කොටිංම හොර ගෑනි කියන වචන දෙක ඇතුළෙ තියෙන ජුගුබ්සාජනක හෙළා දැකීමත් එක්ක. මිනිස්සු වෙලා ඉපදිලත් අපි හිතන හැටි කොච්චර පටුද කියල හිතෙනව මෙව්නා”

අපිට සමාජ ක්‍රමය වෙනස් කළ නො හැකි ය. නමුත් පුද්ගලයන් වශයෙන් අප ට අපේ ආකල්ප වෙනස් කර ගත හැක. වඩාත් සාධාරණ හා මානුෂීය මිනිස් සමාජයක් වෙනුවෙන් මිනිසෙකු ලෙස නැගී සිටින්නට හැකි නම්, පුද්ගල අර්ථයෙන් එය විශාල පියවරකි.  අප හැම දා කතා කරන හා බලාපොරොත්තු වෙන සමාජය තැනිය හැක්කේ තනි තනි ව අප ඒ තත්වයට පත් වීමෙනි. අරගල හා යුද්ධ කිරීමෙන් ද සමූල මිනිස් ඝාතනයන් ගෙන් ද නො කළ හැකි බොහෝ දේ, මිනිසෙකු ලෙස මානුෂීය ව සිතීමෙන් කළ හැකි බව අපි අමතක ම කර දමන්නෙමු.

අපේ අලුත් නිවසේ වැඩ කටයුතු ඉක්මනින් කෙරීගෙන ගියේ ය. ගලින් ගල බැඳී ටිකෙන් ටික බිත්ති ඉහළ නැංවෙත්දී, අලුත් හැඟීමක් හද බිත්ති අතරේ හුස්ම ගන්නට විය. සිමෙන්ති බදාම වලින් නැගෙන සුවඳ, අනාගතය වඩා සුභවාදී ඉසව්වක් විය හැකි බවට හැඟීම ඇති කරවන ලදී. මමත් සිතිජත්, තවම බිත්ති බැඳෙන ගෙපැලෙහි සිට, අපේ ගෙදර බඩු මුට්ටු තැබෙන තැන් ගැන කතා කළෙමු. අපේ දරුවන් සෙල්ලම් කරන තැන් ගැන සැලසුම් කළෙමු. අපේ මැදි වියත් ජීවිතයේ සැඳෑ සමයත් මවා ගන්නට අසීරු උත්සාහයක් දැරුවෙමු.

“ඔන්න මටනං වයසට යන්න බෑ”

මම සිනහ වෙවී කීවෙමි.

“ඔයා වයසට ගියත් හිතෙං වයසට යන්න එපා. අද මෙතන ඉඳං මේ හිතන විදිහට හැමදාමත් හිතමු. අපේ ජීවිත වල ගොඩක් සන්දිස්ථාන මේ ගෙදර වහළ යටම සිද්ද වෙන්න ඕනෙ මෙව්නා. මේ ගේ අතීතයට එකතු වෙන්න ඕනෙ අපේ තරුණ කාලෙ මතක කන්දත් එක්ක….”

සිතිජ දෙඩුවේ හැඟීම් බර ව ය. ඔහු ගේ වුඩ්ලන්ඩ් මාවතේ ගෙදර සියල් සැප පහසුකම් වලින් අනූන ය. නමුත් එහි වන්නේ මිය ගිය හදවතකි. ඒ ගෙදර මිනිසුන් එකිනෙකා ගෙන් වෙන් ව ගොස් බෝ කලකි. ඒ අතීත තුවාල වලින් සිතිජ තවමත් ඉඳහිට රිදුම් ලබමින් සිටියේ ය. ඒ තුවාල සදහට සුව කරන ඔසු ගල්වන්නට මේ ඉහළ යන බිත්ති වලින් තැනෙන නිවෙසට හැකි වනු ඇතැයි මම තදින් සිතුවෙමි. 

“අපිට අපි එක්ක ඉන්න බෑ වගේ දැනුණොත් අපි ඒ ගැන කතා කරමු. ඒ වුණත් වෙන් වෙන්න නෙවෙයි පුළුවන් තරං වැරදි හදා ගෙන එකට ම ඉන්න බලමු”

ඔහු ගේ හඬ නැගුණේ මුවෙන් නොව හදවතේ ගැඹුරෙන් සේ ය මට දැනුණේ. 

“හිතනවද මං යයි කියල…ඉපදෙද්දිම අම්ම තාත්ත නැති අසරණ කෙල්ලෙක් වෙච්චි මට…ඔයා තමයි ඉස්සෙල්ලම පවුලක් හදල දෙන්නෙ…ගෙයක් හදල දෙන්නෙ. ගෙදරක් කියන්නෙ මට කොච්චර දුර හැඟීමක් වෙලා තිබුණද කියනවනං…මේ ගේ දකිනකොට තාමත් මට හීනයක්…ඔයා මොන වෙනස්කමක් කළත්…දාසියක් වෙලා හරි මං ඔයා ළඟ වැටිල ඉඳියි සිතිජ”

මම ඒ කඳුළ ගිලිහී වැටෙන්නට ඉඩ නො දුන්නෙමි. 

මා ඉදිරියේ විසල් මාවතක් විවර වී තිබේ. ඒ මග දෙපස වන චමත්කාරයන් දැන් මට පෙනෙමින් පවතී. නමුත් ගමනාන්තය ගැන කිසිවක් දැනට මා දන්නේ නැත. ජීවිත ගමන වූ කලී කොහොමටත් අභිරහසකි. ඒ අභිරහස අනාවරණය කර ගන්නට නම් මග දෙපස චමත්කාරය විඳ ගනිමින් හෙමිහිට පා නගා යා යුතු ය. කටු අකුල් ද වන ලැහැබ් ද ගිරි දුර්ග ද ගප් බොරළු ද මග දී හමු විය හැක. නමුත් ඒ කිසිත් ගමනාන්තයට පෙර නතර වන්නට හේතු නො වන බව දැන් මම දනිමි. සිතිජත් ඒ ගැන මනා අවබෝධයකින් යුතු යයි මම හඟිමි. මේ අහංකාර නගරයේ දී හමු වූ විවිධාකාර ගැහැනු පිරිමි ද අත්දැකීම් හා අත් විඳීම් ද මා පරිනත නෙතකින් ජීවිතය දෙස බලත හැකි පරිපූර්ණ ස්ත්‍රියක ගේ තත්වයට පත් කොට තිබේ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x