පතොක් මලක ප්‍රේමය -01

Pathok Malaka Premaya

“මොනවද බං මේ කරන්නේ.අන්න අර චරිතයා පහලට වෙලා බලාගෙන ඉන්නව..ඔයාව එවන්නලු.නැත්තං එතන ඉඳන් බීලා නහිනව කියන්නෙ”

කේතකී කාමරයට කඩා වැදුණේ සුළඟක් ව ය.මම නිසොල්මන්ව ඉවත බලා ගතිමි.නහින්නට බැරිනම් ඕනෑ කෙහෙල්මලක් කරගන්නට කියන්නට පවා මට සිතක් නැත.ලොකුම විහිළුව චරිත සත්‍ය ප්‍රේම රාජයෙකුට ඇඳ ගැනීම ය.

“සාරදී…කන් ඇහෙන් නැද්ද දෙයියනේ..”

කේතකී මගේ ඉයර් ෆෝන් යුගලය ගලවමින් කෑගසන්නට ගත්තා ය.ඇය මේ කලබලව හිඳින්නේ චරිත ගැන නොවේ.බෝඩිමේ ඇන්ටි මේ කලබලය දුටුවොත් වෙනත් නවාතැනක් සොයා ගන්නට වේදැයි ඇති වූ භීතිය නිසා ය.මම වගක් නැතිව මොහොතක් ගෙවූයෙමි.

“කේතා..මේ අහන්නකො.චමාට ටැක්සි එකක් දාගෙන මේ දැන්ම එන්න කියන්න.අද රෑට මෙහෙ ඉන්න බැරියැ..”

කේතකි මදෙස ගිනි පුළිඟු විසි කරන දෑසකින් බැලුවා ය.චමත්කා ද මේ කුඩා නවතැනේම සිටි අතීතයක් ඇත.ඇය අප හැරදමා යන්නට ගියේ මා චරිත සමඟ ප්‍රේමයෙන් බැඳුණු දිනයේ ය.

“ඔයා මට මෙහෙම කරේ කොහොමද සාරා..චරිත මට මහ වේදනාවක් දීලා අෆෙයා එක නැවැත්තුවා.මාස තුනකට පස්සෙ හැමෝම කියනව ඔයත් එක්ක යාලුයිලු.ඔයාගෙන් ඇහුවම ඔයා ඔව් කියනවනම් මං තව මොකටද ඔයා එක්ක යාලුකං තියාගන්නේ..”

ඇය එදින ඉකි ගැසුවේ එසේ කියමිනි.එසේ කරන්නට හේතුව ඇයට කියන්නට මට එදා උවමනා වූයේ නැත.එය පවසන්නට දවසක් එන බව මම දැන සිටියෙමි. මේ පැමිණ ඇත්තේ ඒ දවස ය.

“මං ඇනෙක්ස් එකේ නෑ කියලා එන්න කියන්න.ඔයාට තනියි කියන්න..කියන්න ඉතිං..”

කේතකී මට ඔරවමින් හිඳ දුරකථනය අංකනය කළා ය.මම ජනේලයෙන් එබී තාප්පයෙන් පිටත බැලීමි.චරිත සිඟන්නෙකු මෙන් තාප්පයට පිට දී බලා හිඳියි.මට උස් හඬින් සිනා නැගෙන්නට පටන් ගත් නමුත් එය නවතා ගන්නට ඕනෑ ද නොවිණි.

“සාරා..අපි මේ ලක්ෂ ගණං වියදං කරන් ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක ඉගෙන ගත්තට මේක තියෙන්නෙ ගමක..ගමක..මේ ඇන්ටිලා එහෙම සම්ප්‍රදායික මිනිස්සු.උඹ මෙතන කොල්ලන්ට බූට් තියල උන් ඇවිල්ල ගේට්ටුව ගාව අඬන්න තියා ගත්තම අපිට මේ රෑම බඩුමුට්ටු අකුලන් එළියට බහින්න වෙයි..අපි එකෙක්වත් මෙතන ඉගෙන ගත්තට පෝසත් පවුල් වල ළමයි නෙවෙයි හරිද..හිතෙන ගණංවලට බෝඩිං ගන්න.”

කේතකී බනිමින් ගොස් හීටරය ගැසුවේ චමත්කා පැමිණි පසු කෝපි හදන්නට විය යුතු ය.මම මිදුලේ මල් නෙළමින් සිටි බෝඩිමේ ඇන්ටීට පුළුල් සිනාවක් නැගීමි.

“අන්න චූංපාං කාරයා එනවා.පුතාලා බනිස් ගන්නවද?”

ඇය වහා කලබල වූවා ය.මේ කලබල මැද ඇය ද එළියට ගොස් චරිත දැකිය යුතු නැති බව කල්පනා වූ මම බොරුවක් ගෙතීමි.

“ඒ අර කොළ පාට ටුක් එක ආන්ටි.අපෝ අර අල බනිස් කාරයා..”

ඇන්ටී මුහුණ හකුළා ගත්තා ය.ඇය දැන් කීයටවත්ම එළියට නොයන බව විශ්වාස ය.

“ඕකගෙ පාං වල මැද තැම්බිලා නෑ.අංකල්ව හරි චූටි මල්ලිව හරි පිටිපන හංදියට යවල පාං ගෙන්න ගන්නව.පුතාලා ඉව්වද?”

අද අප ඇගෙන් කෑම ගන්නා දවසක් නොවේ.චරිත මෙතනට කඩා නොවැදුණා නම් උයන්නට කම්මැලි මටත් කේතකීටත් නගරය පැත්තට ගොස් මොනවා හෝ කන්නට තිබිණ.නමුත් දැන් ඒවා කරන්නට නොහැක.සියල්ල යහපත් ලෙස අවසන් වූවොත් නම් කෑම ඇණවුම් කර කුඩා සාදයක් දමන්නට බැරිකමක් ද නැත.

චමත්කා පැමිණියේ පසුපස බලමිනි.චරිත මට පහළට බසින ලෙස අයදිමින් තවමත් තාප්පය ළඟ බලා සිටියි.ඇය ආවේ ඒ ගැන කුහුල ද කෝපය ද සමඟ බව මම තේරුම් ගතිමි.

“ඇයි මට එන්න කිව්වෙ කේතා..මොන මල සමයමක්ද මේ…”

ජනේලය මත වාඩි වී පහළ බලමින් හිනැහෙන මා දෙස බලමින් ඇය ඇසුවේ කෝපයෙනි.කේතකී උරහිස් ගැස්සුවා ය.මම චරිතට ඇමතුමක් ගෙන දුරකථනයේ ලවුඩ්ස්පීකරය ක්‍රියාත්මක කළෙමි.

“සාරා..අනේ පහළට එන්න රත්තරං..ඇයි මට මෙහෙම කරන්නේ..”

චරිතගේ බොළඳ දෙබස් මට ගෙන එන්නේ සිනාවකි.කේතකී මවෙත කඩා පනින්නට පෙර මේ නාටකය අවසන් කළ යුතු ය.සාරදී ක්‍රීඩාවක නිරත වූ බව චරිත දැන ගත යුතු හොඳම මොහොත එළඹ ඇත.

“දැන් වෙලාව හවස හයයි ගාණක් චරිත.මේ නම් ටවුමට කිට්ටුව.ආපහු යන්න ත්‍රීවිල් එහෙම ඕන තරංං..”

මගේ කියවීම ඇසුණු චමත්කා මුහුණේ වූ අපුල මඳක් මකා ගත්තා ය.මේ ප්‍රේමණීය ජවනිකාවක් නොවන බව ඇයට වැටහෙන්නට ඇත.

“ඔයාලගෙ බෝඩිම තියෙන්නෙ අර ගමක් ඇතුළෙ චරිත.මං අද වෙනකංවත් ඒ ගමේ නම දන් නෑ.මමයි කේතායි චමායි තුන් දෙනා දවසක් මහ රෑ ඇවිල්ල ඔයාට කතා කරා මතකද..එදා ඔයා පහළට ආවද?”

බොහෝ කාලයකට පසු චමත්කාගේ අත මගේ උරහිස වටා වෙළෙන්නට ගත්තා ය.මම දිගින් දිගටම කියවන්නට ගතිමි.

“ඔයාට කතා කරල අපි මහ රෑ කළුවරේ පණ බයේ පයිනුත් ආවා.චමත්කා එච්චර වේදනා වින්දා.ඔයාට උණු වුණාද..නෑනෙ..”

චරිත දත්මිටි කමින් ඉහළ මාලය දෙස බලන්නට ගත්තේ ය.

“දැං යන්න.මේ පොඩි රිටන් එකක් දුන්නෙ.චමාවත් කේතාවත් දන් නෑ මේවා.දැන ගත්තනම් කරන්න වෙන්නෙත් නෑ.ඔයා ඔය පිස්සු වැටිලා ඉන්න මගේ ආදරේ. අන්න ඒක රඟපෑමක්..ඔයාට මං මාස හයක් තියා තත්පරයක්වත් ආදරේ කරල නෑ..”

චරිත දුරකථනය තබන්නට පෙර ඔහු වහා දැනුවත් කළ යුත්තක් ඇත.

“ඔයා කඩාගෙන ඇතුළට එන්න එපා.මේ ගෙදර අය තාම ඔයාව දන්නෙ චමාගෙ එක්ස් කියල.අද අයියයි මල්ලිලා දෙන්නයි ඉන්නවා.චමාට වද දෙන්න ගේට් එක ගාව රකිනවා කියල අපි පහළට කියන්නද ඔයා යනවද?”

චරිත ත්‍රීවිලයකට අත දමා යන්නට ගියේ ය.මම කවුළුව වසා දැමුවෙමි.කේතකී මගේ උරහිසට රිදෙන්නට පහරක් ගැසුවේ ඒ මොහොතේ ය.

4.1 9 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ashani
4 months ago

ලස්සනයි , අලුත්ම තේමාවක් කියල හිතනවා 👍

දිල්හාරා ❤️
4 months ago