fbpx

හේමන්ත සන්ධ්‍යා -02

විදත් විට්ටච්චි ලංකාවට පැමිණියේ වසර විස්සකට පසු ය. සිය තුරුණු වියේ දී ලංකාවේ රැකියාවක් කරන ගමන් ඉංග්‍රීසි විභාග ගණනාවක් යළි යළිත් කරමින් ඔස්ට්‍රේලියාවට යාම සඳහා සුදුසුකම් සපුරා ගත් හැටි සිහිපත් කරමින් විදත් සහ මිත්‍ර සිනහ වූහ. ඒ ලැබුණ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජන ගනිමින් හෙතෙම මේ වසර විස්ස ම ගත කළේ ඔස්ට්‍රේලියාව සිය වාසභූමිය කර ගෙන ය. ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විදත් නො සෑහෙන්න දුක් වින්දේ ය. ඔස්ට්‍රේලියාවේ පදිංචි වී උන් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සමග දෙවරක් ම ඔහු විවාහ වූයේ ය. දික්කසාදයේ දී පළමු විවාහයේ දරුවා ලබා ගන්නට විදත් ට උවමනා වුණත්, පැය විසි හතරෙන් පැය දහ අටක් පමණ රැකියා වල නිරත වෙමින් දරුවෙක් හදා වඩා ගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන සිතූ ඔහු ඒ අදහස අත් හැර දමා ඉරිදාට පමණක් පුතා එක්ක දවස ගත කිරීමේ එකඟතාවයට ආවේ ය. නමුත් ඔහු ගේ දික්කසාද බිරිඳ ටික කලකට පසු වෙනත් දුර බැහැර ප්‍රදේශයක නව රැකියාවක් ලබා ගියෙන් සතියකට වතාවක් පුතා බලන්නට විදත් ට තිබූ අවස්ථාව මගහැරී ගියේ ය. නිවාඩුවක් ලැබුණ ගමන් හෙතෙම හෝරා ගණනක දුර ගෙවා පුතා බලන්නට ගිය ද, පහු වෙත්දී ඒ යන ගමන් අඩු වී ගියේ ය. පාසල් නිවාඩුවට පුතා විදත් වෙත විත් සති කිහිපයක් ගෙවා යාම ඉන් පසු සිදු විය.

විදත් ගේ දෙවන විවාහය සිදු වූයේ මුල් විවාහයෙන් වෙන් වී උන් කාන්තාවක සමග ය. ඇය ට මුල් විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටි අතර, විදත් ඔවුන් ට ආදරයෙන් සැලකුවේ ය. ටික කලක් ඔවුහු සතුටෙන් ජීවත් වූහ. නමුත් ක්‍රමයෙන් විදත් හා ඔහු ගේ දෙවන බිරිය අතරට ප්‍රශ්න එන්නට පටන් ගත්තේ ඔවුන් අතර වූ සතුට බිඳ වට්ටමිනි. දෙදෙනාට ම කලින් විවාහයක අත්දැකීම් තිබූ නමුත්, එළැඹෙන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීමට හෝ විසඳුම් සෙවීමට දෙදෙනා ම අපොහොසත් වූහ. සුළු සුළු ප්‍රශ්න කල් ගත වීමේ දී ලොකු රණ්ඩු බවට පත් විය. දෙතුන් වතාවක් ම සිය බිරිඳ ට පහර දෙන්නට තරමින් විදත් ගේ කෝපය මෝරා වැඩුණේ ය. අන්තිමට එකී බිරිඳ ද ඔහු ව අත් හැර ගියේ ය. වෙන් වෙත්දී ඇය තෙමසක ගැබිණියක් බව විදත් දැන උන්නේ නැත. ඇය ඔහු ට නො දන්වා ම කළලය ගබ් සා කරවා ගත්තා ය.

ඉනික්බිති ඔහු ගත කළේ නිහඬ දිවියකි. ප්‍රධාන රැකියාවත්, අතිරේක කෙටි කාලීන රැකියා කිහිපයකුත් අතරේ කාර්ය බහුල වෙමින් ද, මත් පැන් වලට වඩ වඩාත් සමීප වෙමින් ද, විවාහයක් සාර්ථක කර ගන්නට ඔහු ට වන නො හැකියාව ගැන පශ්චත්තාප වෙමින් හා එකී සම්පූර්ණ වරද තමන් පිට පවරා ගනිමින් ද අන්තිම වසර හතර පහක කාලය ගෙවී ගියේ ය. තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ම ඔහු ගැන කැමැත්තෙන් පසු වන බව විදත් දැන උන්නේ ය. ඔස්ට්‍රේලියාව වාස භූමිය කර ගත් ශ්‍රී ලාංකික මිතුරන් නැවත විවාහයක් සඳහා ඔහු පොළඹවමින් ද උනන්දු කරවමින් ද සිටියදී, ලංකාවට ඇවිත් යාම සඳහා ඔහු තුළ හදිසි දොළක් උපදින ලදී.  ඒ ගමනේ දී, සිය ඉපැරණි මිතුරා – මිත්‍ර – බැහැ දැක යන්නට විදත් මේ හෝරා කිහිපය වෙන් කර ගෙන සිටියේ ය.

“මෝඩයෙක් වෙන්න එපා මිත්‍ර. කසාද බැඳපං. තාමත් උඹ පරක්කු නෑ. යකෝ අවුරුදු හතළිස් හතක් අටක් කියන්නෙ මහ ලොකු වයසක් ද…”

“මේ හතළිස් හතට අටට උඹ දෙපාරක්ම මැරි කරල ඩිවෝස් වෙලාත්නෙ”

මිත්‍ර හඬ නගා හිනැහුණේ ය.

“ඔව් ඉතිං. හරි යන්න හරි වරදින්න හරි දෙයක් කරල බලන්න එපැයි”

“යාළුවංගෙ කසාද ජීවිත දිහා බැලුවහම වතුරට බහින්න ඕන නෑ…මුහුදෙ තරම හිතා ගන්න පුළුවන්”

මිත්‍ර නැවතත් කොක් හඬ ලෑවේ ය.

“යකෝ…කසාද බැඳල දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්නකොට තමයි ජීවත් වෙනව කියල දැනෙන්නෙ. බලපංකො උඹේ හැටි…කොණ්ඩ රැවුල් වවාගෙන…උඹල විහිං වයසට යනවනෙ බං”

“අඩෝ නාකිය. උඹේනෙ කොණ්ඩෙයි රැවුලයි ඔක්කොම ඉදිල තියෙන්නෙ. බලපං අපේ එහෙමද…”

“කොණ්ඩෙ පාටිං මිනිහෙක්ගෙ තරුණකම තීරණේ කරන්න බෑ මස්සිනා. බලපං මට දැං අවුරුදු දාසයක කොල්ලෙක් ඉන්නව. අපි දෙන්නා අයියයි මල්ලි යි වගේ. ඒකෙ වටිනකම තේරෙන්න තව වයසට යනකොටයි මචං”

“දැං ඉතිං තව මොනා වයසට යන්නද බං…”

මිත්‍ර සුසුමක් හෙළමින් ඒ කතාව නතර කළේ කෝපි සුවඳ ඉස්සර කර ගෙන නිකිනි පැමිණෙනු දැකීමෙනි. නො එසේ වී නම්, මේ සිනහව යට හංගා ගෙන කාලයක් තිස්සේ ඔහු විඳිනා දැවැන්ත හුදෙකලාව ගැන විදත් එක්ක කතා කරන්නට ඕනෑ තරම් කරණා ඔහු ට නො තිබුණා නොවේ.

“ම්…චීස් සැන්ඩ්විචස් ඇන්ඩ් කොෆී….හොඳ කම්බිනේශන් එකක්”

නිකිනි බන්දේසිය තැබූ ගමන් විදත් චීස් සැන්ඩ්විච් එකක් අතට ගත්තේ ආරාධනයකින් තොර ව ම ය.

“අපි ඉක්මනට ලන්ච් රෙඩි කරනව. ග්‍රැනී කිව්ව කෑම කාල යන්න ඉන්න කියල”

විදත් මිත්‍ර දෙස බලා හඬ නැගෙන සේ සිනාසුණේ ය. ඉස්සර සේ ඒ ඇරයුමෙහි අගට විදත් අංකල් කියන වචන දෙක එකතු කරන්නට සිත් නො දුන්නේ මන්දැයි සිතමින් නිකිනි වහා එතැනින් නික්ම ගියා ය. ඉස්සර මිත්‍ර බාප්පා හමු වන්නට නිතර දෙවේලේ ඔබේසේකර මැදුරට ආ උස් හීන්දෑරි තරුණයා මේ තරම් කඩවසම් පුරුෂයෙකු වීම තවමත් ඇය ට නො විසඳුණ අභිරහසක් ම විය.

“විදත් අංකල් ට කිව්වද නිකී…ලන්ච් වලට ඉන්න කියල…”

සුමනා පසු වූයේ උනන්දුවෙනි. ඉස්සර සේ දැන් මේ මැදුරට අමුත්තන් එන්නේ නැත. ඉස්සර නිතර දෙවේලේ පැවති සාද සුහද සාමීචී දැන් ඇත්තේ ම නැති තරමි. ව්‍යාපාරිකයෙකු ව උන් ඩෙස්මන් ගේ ව්‍යාපාර කඩා වැටී ඔවුන් ගේ ආර්ථිකය දෙදරන්නට වූ පසු, මුල දී උන් පවුලේ මිතුරු සමාජය කොහේ විසිර ගියා දැයි සොයා ගත නො හැකි තරම් විණි. කොහොමටත් මෙහි වැඩි පුර ආවේ ගියේ ඩෙස්මන් ගේ නැතිනම් මිත්‍ර ගේ මිතුරන් ය. මිත්‍ර තවමත් අවිවාහක ව සිටියාට ඔහු ගේ මිතුරු සමාගමය සම්පූර්ණයෙන් ම විවාහ වී ඔවුන්ට ම කියා පවුල් ජීවිත ගොඩ නගා ගෙන සිටිති. කෙනෙක් විවාහ වීමත් සමග මුලින් ම අඩු වන්නට පටන් ගන්නේ පෙර පැවති හිත මිතුරු සමාගම් ය. මිත්‍ර ගේ හැම මිත්‍රයෙකුට ම ටික ටික හෝ ඒ අලුත් තත්වයට අනුගත වන්නට සිදු විය. ඒත් එක්ක ම මිත්‍ර හුදෙකලා වන්නට ද වූයේ ය. ඔහු ගේ පාළු මැකුවේ පොත් ය.

ඒ කාලේ ගෙදරට එන බාල පුතා ගේ මිතුරන් ට සංග්‍රහ කිරීමෙන් සුමනා ඔබේසේකර විශේෂ සතුටක් අත් වින්දා ය. තරුණ කොල්ලන් කරන කියන විහිළු වලට හඬ නගා හිනැහෙමින් ද ඔවුන් ට පැයෙන් පැයට මෝල්ටඩ් මිල්ක් දැමූ තේ හදමින් ද ගත කළ ඒ යුගය ට සුමනා තවමත් ආදරේ ය. ඉතා කලාතුරකින්, බොහොමත් ම කලකට පස්සේ ගෙදරට පය ගැසූ මේ අපූරු අතීත යෞවනයාට කෑම වේලක් නොදී යවන්නට සුමනා ට හිත හදා ගත නො හැකි ය.

“ග්‍රැනී යන්න. ගිහිං කතා කර කර ඉන්න. මං ඉතුරු ටික කර ගන්නං”

නිකිනි එතැනදී ‘විදත් අංකල් එක්ක කතා කර කර ඉන්න’ යන්නෙන් එම කොටස ඉවත් කර ගත්තේ හිතා මතා ම ය. පුංචි උන් කාලේ දී අංකල් කීවාට දැන් ඔහු ව එහෙම අමතන්නට තරම් තමන් පොඩි එකෙක් දැයි ඇය සිතුවා ය. වයස නො පෙනෙන ලා බාල පෙනුමක් තිබුණාට ඇය ත් දැන් විවාහක ගැහැනියකි. විවාහය නම් ගමනේ අතර මගකින් බැස යළි ගෙදර ආ ගැහැනියකි.

සුමනා ගේ සතුටු සිනා හඬ කාලෙකට පස්සේ ගේ පුරා පිළිරැව් දුන්නේ ය. නිකිනි උනන්දුවෙන් කෑම පිසීමේ කටයුතු සිදු කළා ය. ග්‍රැනී නිකිනි ගේ විවාහය මත සිදු වී ඇති දෙදරීම ගැනත් විදත් හා පවසා ඇති බව ඇය වටහා ගත්තේ කෑම මේසයේ දී ඔහු පැවසූ කතාවකිනි.

“පවුලක් කඩා ගන්න ලේසියි. තේරුණාද…මාත් කසාද දෙකක්ම කඩා ගත්ත මිනිහෙක් නංගි”

විදත් නංගි කියා ඈ ඇමතීම නිකිනි ට පහසුවක් දැනවී ය.

“නංගි…යකෝ දුව…මේ පොඩි කෙල්ලට උඹ නංගි කියනවද…නාකියා…”

මිත්‍ර ගේ ඒ විහිළුව අතිශය අනවශ්‍යයි වාගේ නිකිනි ට දැනිණ. විදත් මිත්‍ර ගේ විහිළුව කෙරේ සැලකිල්ලක් දැක්වූයේ ම නැත.

“ගෑනු හිතන්නෙ ඒගොල්ලංගෙ හිතේ තියෙන ප්ලෑන් එකේ හැටියටම පවුලක් රන් වෙන්න ඕන කියල. කොටිංම කියනවනං හස්බන් කියන්නෙ ඒගොල්ලංගෙ අතේ නැටවෙන්න ඕන රූකඩයක් කියල. එහෙම නෑ දුව”

ඒ වතාවේ නිකිනි ට පොළොව පළා ගෙන හැංගෙන්නට සිතුණි. නමුත් ඊළඟ නිමේශයේ විදත් මහ හඬින් හිනැහුණේ ය.

“දැං උඹට සතුටුයිද…යකෝ මං නෙවෙයි උඹයි නාකියා. මගෙ කොණ්ඩෙ ඉදුනට හිතෙන් නාකි වෙලා ඉන්නෙ උඹ”

ඒ සිනහව අතරින් ම ඔහු කීවේ ය. සුමනා ඔබේසේකර උරහිස මත මුව හංගා ගෙන සිනහ වූවා ය.

“නිකිනි”

ඊළඟ වතාවේ විදත් කෙලින් ම නම කියා ඈ ඇමතුවේ ය. නිකිනි නෙතු එසවූයේ දෙතොල් තද කොට ගනිමිනි. ඒ බොර පාට ගැන්වුණ ඇස් මත දිය වී තිබූ මොකක්දෝ හැඟීමක් විසින් නිකිනි ගේ ස්ත්‍රී හදවතේ කුටීර අතරේ හිරි වැටීමක් ඇති කරවන ලදී. ඔහු ගේ ඇස් දෙස බලා සිටීමේ අපහසුවක් ඇයට දැනිණ.

“ෆැමිලි ලයිෆ් එක කියන දේ බැලන්ස් කර ගන්න දන්න ගෑනියෙක් දවසක ජීවිතේ දිනනව. ඉගෙන ගත්ත ජොබ් එකක් කරන ගෑනියෙක්ට හස්බන් කෙනෙක් නැති වුණාට ලස්සනට ළමයෙක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් තමයි. ඒත් ඒක පවුලක් ඇතුළෙ ඉඳං කරන කෙනයි හැබෑ දක්ෂයා වෙන්නෙ. මං මේ අත්දැකීමෙන් කියන්නෙ. මාව අත්ඇරපු ගෑනු දෙන්නම එහෙම කළේ මං මහ ලොකු වැරදි කරල නෙවෙයි.  උං මාව හරියට තේරුං ගත්තෙ නැති නිසා. උං මගෙ ළඟ හිටියනං කොහොමද මං උන්ට සලකන්නෙ කියල මං විතරයි දන්නෙ. පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්. ඒත් ඒකට හොඳම සොලියුෂන් එක ඒ මිනිහව අත්අරින එක නෙවෙයි. මොකද එහෙම කළොත් අපිට මේ ලෝකෙ ඉන්න ඔක්කොම පිරිමි අත්ඇර ඇර යන්න වෙයි. බිකෝස්…කවුරුත් පර්ෆෙක්ට් නෑ. රයිට්”

විදත් ඒ කතාව නිම කරන විට නිකිනි ඔහු ගේ ඇස් අතරේ අතරමං වී අමාරුවෙන් පාර හොයමින් සිටියා ය. ඔහු කී හැම දෙයක් ම ඇය ට ඇසුණේ ය. නමුත් ඒ කිසිවක් ඒ වෙලාවේ හිතේ රැඳුණා යි නො සිතිය යුතු ය.

“ආන්ටිල මේ ළමයට කියල දෙන්න. තේරුං කරල දීල ආයෙ හස්බන් ළඟට යවන්න. මං හිතන්නෑ ඒ යකා එච්චර ලොකු පනිෂ්මන්ට් එකක් දෙන්න තරං වැරදි කරල ඇති කියල. දැං හැදෙන කෙල්ලොනං අනේ අම්මාපල්ල…”

විදත් නික්ම ගියේ නිකිනි ගේ හිත මත අමතක කළ නො හැකි සලකුණක් ඉතිරි කොට තබා ය. සිය බාප්පා ගේ මිතුරා, විදත් අංකල් ගැන ඒ විදිහේ කහටක් හිතේ ඉතිරි වීම ගැන ඇය තමන්ට ම දොස් කියා ගත්තා ය. වැස්සේ චුරු චුරු හඬ අසමින් සැන්දෑ කාලයේ යහනෙහි වැතිර සිටිය දී ඇගේ හිත අතීත මාවත් දිගේ ඇවිද ගියේ සිහිනයකින් සේ ය. 

ළාබාල පාසල් දැරියක ව සිටියදී පාසල් මිතුරියන් ඔවුන් ආකර්ෂණය වූ යෞවනයන් ගැන කියවන විට නිකිනි හැමදාමත් නිහඬ ව සිටියා ය. ඇය ට වඩා වසර විස්සකින් වැඩිහිටි වූ අංකල් කෙනෙකු ගැන සම වයස් යෙහෙළියන් ට පැවසීම මොන තරම් ලැජ්ජාවක් විය හැකි දැයි ඕ හොඳින් ම දැන උන්නා ය. වෙන කෙනෙකුට තබා බිනුරි ට වුව ඇය මේ උමතුව ගැන කියා තිබුණේ නැත. කෙසේ වෙතත් විදත් විදෙස් ගත වූයේ නිකිනි ඒ බවක් දන්නේ හෝ නැති ව ය. 

ඉනික්බිති ඒ රහසිගත ප්‍රේම උන්මාදය ආත්මයේ රහසිගත ගුහාවක අඳුරු මුල්ලක සැඟවී ගත්තේ ය. ඉඳ හිට ඒ රහස් මලු ලිහා බලනට වුව නිකිනි එඩිතර වූයේ නැත. අන්තිමට ඔහු ඒ රහස් ගුහාවේ මිහිදන් ව ගියේ ය.

“නිකී…”

සුමනා කාමරයට එන විට නිකිනි සිටියේ ඇස් දෙක පියා ගෙන ඇගේ සිහින විජිතයේ අතරමං වී ගෙන ය. නිකිනි ඉක්මනට යහනෙහි හිඳ ගත්තා ය.

“ග්‍රැනී”

“මේක හරියන වැඩක් නෙවෙයි නිකී. පිට මිනිස්සු වුණත් දොස් කියන්නෙ අපිට. දැක්කද අර විදත් අංකල් කියපු දේවල්…ඒව ඇත්ත දරුවො. මේක අපිට මේ තරං ලේසියට ගන්න බෑ. ඔයා ආයෙ මංජුල එක්ක සෙට්ල් වෙන්න ඕනෙ”

“අනේ ග්‍රැනී”

නිකිනි ගේ හඬ බිඳී ගියේ ය. ඒ හා සමග ම ඇගේ ආත්මයෙහි දෙදරා යාමක් සිදු විය. 

“දරුවො. විදත් අංකල් කියපු දේවල් මතකයි නේද…වැඩිහිටියො විදිහට අපිත් ඇහැ කන පියං ඉන්නව කියලනෙ මිනිස්සු හිතන්නෙ. පවුලක් කඩා ගන්නවට වැඩිය හොඳ ඒක හදා ගන්න එකයි. මං මංජුල පුතා ට කතා කරනව අද”

“අනේ ග්‍රැනී”

නිකිනි කෙඳිරුවා ය. සැබවින් ඇය ට අවැසි වී තිබුණේ ඉකි ගසා නොව කෑ ගසා හඬන්නට ය.

කීවා සේ ම ඒ රාත්‍රියේ සුමනා මංජුල ට දුරකතන ඇමතුමක් දුන්නා ය.

“පුතා කතා කරයි කියල බලං ඉඳල ඉඳල නැති තැන අන්තිමටයි මං මේ කතා කළේ”

“ම්…මට නං කතා කරන්න තරං හේතුවක් තිබුණෙ නෑ. කියන්න ග්‍රැනී”

මේ උද්දච්ච මිනිසා ඉදිරියේ පින්සෙණ්ඩු වීමට සිදු වීම ගැන සුමනා හදවතින් විස්සෝප වූවා ය. නමුත් දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ හුඟක් දේවල් කරති. මුත්තනුවෝ සහ මිත්තණියෝ ඊටත් වඩා දේවල් කරති.

“පුතා…දැන් මේ විරසකේ ඇති නේද…නිකිනි ආයෙ ගෙදර ඇවිත් දැං මාස හතරකුත් වුණානෙ”

“ඉතිං ඕක මට නෙවෙයිනෙ ග්‍රැනී කියන්න ඕනෙ. නිකිනිටනෙ”

“මං එයාටත් තේරුං කරල දීලයි මේ පුතාට කතා කළේ. ඔයා ඇවිත් නිකිනිව ගෙදර එක්කගෙන යන්න”

“ඒක මාර කතාවක්නෙ. මං මොකටද එයාව එක්කං යන්න එන්නෙ…”

මංජුල විසින් සිය පපුවට පිහියෙන් ඇන්නා සේ සුමනා ට දැනිණි. නමුත් දූවරු වෙනුවෙන් බොහෝ කාරණා ඉවසා ගන්නට අම්මලා ට සිදු වන්නේ ය. නිකිනි හා බිනුරි ගේ අම්මා ඔවුන් දමා ගිය දා ඉඳන් ඔවුන් ට අම්මා වූයේ සුමනා ය.

“එයානෙ ගියේ. ඒ වගේ එයාටම ඕනනං එන්න කියන එකයි තියෙන්නෙ”

එහා පැත්තෙන් දුරකතන සම්බන්ධය බිඳ දැමිණි. සුමනා අසරණ වූ ආත්මය දරා ගෙන හෙමිහිට රිසීවරය දුරකතනය මතින් තැබුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x