fbpx

හේමන්ත සන්ධ්‍යා – 10

උදෑසනින් දිය නා ගැනීම නිකිනි  පුරුද්දක් වශයෙන් කරන්නට ගත්තේ මංජුල ට වෙනත් පෙම් පලහිලව්වක් ඇතැයි දැන ගත්තා ට පස්සේ ය. ඔහු ගේ අනිත් අන්තයේ හිඳින ස්ත්‍රිය කවර තරාතිරමක කවරෙකු වුව ද ඇයත් එක්ක තරඟයකට වැටී දිනන්නට නිකිනි ට උවමනා වූයේ නැත. දැනටමත් ඇය මුළුමනින් පැරදී ඇති බව නිකිනි දැන සිටියා ය. ඕනෑ ම මොහොතක ඒ පරාජය තුරුලු කර ගෙන මංජුල ගෙන් මිදී යන සූදානමක ද ඇය සිටියා ය. නමුත් ඊට ඉඩක් නො ලැබුණේ ඈ වටා උන් අයගෙනි. 

උදේ ට යහනෙන් පිබිදීම මහත් අප්‍රසන්න බවක් කර පින්නා ගත් සිදුවීමක් වන්නට ගත වූයේ කෙටි කලකි. පෙම්වත් හැඟීමකින් තොර ව පිරිමියෙකු ට සිය සිරුර පුද කිරීම කෙතරම් නීරස අත්දැකීමක් දැයි නිකිනි අත් විඳිමින් සිටියා ය.මංජුල රැකියාව සඳහා ගෙදරින් නික්ම ගිය විගස නිකිනි ඇති වන තුරු දිය නෑවා ය.

ඉනික්බිති දුක්මුසු අහිංසක සතුටක් ඇගේ හිතට පිවිසෙයි. තව කොයි තරම් කාලයක් ජීවිතය මේ තාලයට ගසා ගෙන යාවි දැයි ඇය ඇගෙන් ම ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්නය ට කිසි දා පිළිතුරක් ලැබිය නො හැකි බව ද ඇය දැන සිටියා ය.

පෙර දා රාත්‍රියේ පටන් වැහි වහිමින් තිබිණි. නිරිත දිග මෝසම සක්‍රිය වී ඇති බව රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වනු නිකිනි අසා ගෙන ය. ඒ වුණත් ඇය දිය නෑවා ය. වැස්සේ ම සීතල වතුරෙන් නා ගත් විට ආත්මය ට දැනෙන්නේ වෙන ම සිහිලකි. 

කෝපි කෝප්පයක් වත් කර ගත් ඕ සීතල සමනය වනු පිණිස එහි උගුරක් තොල ගෑවා ය. ඒ කෝපි රස සුවඳේ පැටලී විදත් ගැන මතකය පා ව ආවේ කොහෙන්දැයි හිතන්නටවත් ඇය පමා නො වුණා ය.

“චීස් සැන්ඩ්විචස් ඇන්ඩ් කොෆී…නියම කම්බිනේශන් එකක්…”

ඔහු ගේ හඬ ඇගේ මුදු මොළොක් හද පත්ලේ හෙමිහිට මිමිණෙනු ඇසිණි. නිකිනි ඉක්මනට ශීතකරණය හැර චීස් පෙත්තක් ගෙන සැන්ඩ්විච් එකක් තැනුවා ය. ගම්මිරිස් කුඩු ටිකක් ඉස එය මුවෙහි ලත්දී, සිනහවක් දෙතොල් මතට වඩිනා එක නතර කර ගත හැකි වූයේ නැත. නිකිනි චීස් සැන්ඩ්විච් එක එක් අතකින් ද, කෝපි මග් එක අනිත් අතින් ද ගෙන කමරයේ ජනේලය ළඟට ගියා ය. තවමත් වැස්ස වැටේ!

ඇය ජනේලය හැර ගෙන සඳැල්ලට පිවිසියා ය. ඒ අවකාශය සීතල වැහි පින්නෙන් තෙත් බර ව තිබිණි. දිය නා ගත් ගමන් නිසා සීතල කිතියක් ව දැනුණේ ය. නිකිනි උරහිස මත්තෙහි කම්මුලක් තියා ඒ සීතල සවුමිය වූ සිතකින් විඳ ගත්තා ය. 

විදත් ට යැවු සුබ පැතුම ඔහු දකින්නට ඇත්ද යන පැනය සිත් හි සීතල තිගැස්මක් දනවමින් පතිත වූයේ ය. ඕ කෝපි කෝප්පය වේවැල් ටීපෝව මතින් තබා කාමරයට හැරුණා ය. ඔහු ගෙන් ඇමතුමක් මග හැරී තියේ! හිතට දැනුණේ සීතලක් ද උණුහුමක් ද කියන්න ට නිකිනි දැන සිටියේ නැත.

කෙසේ වෙතත් වැහි අවකාශය පුරා තිගැස්මක් පැතිර තිබිණි. විදත් ගේ වට්ස් ඇප් තීරයේ ඉහළින් ඔනලයින් කියා සඳහන් ව තිබුණේ ය. නිකිනි ගේ අභ්‍යන්තර තිගැස්ම වඩාත් තීව්‍ර විණි. ඔහු ගෙන් මගහැරුණු ඇමතුම ගැන විමසා යළි ඇමතුමක් ගන්නට හිත නළියෑවත් නිකිනි ඇය ව පාලනය කර ගත්තා ය. එහෙම පාලනය වීමක් ලෙහෙසි නැති බව ඇය ජීවිතයේ ප්‍රථම වතාවට ඉගෙන ගනිමින් ද සිටියා ය.

වැස්ස දැඩි විය. සුළඟ තද ට හමා ගියේ ය. සඳැල්ලට අනවසරයෙන් ගොඩ වී සිය සියොළඟ වෙලීම ගැන කිසිදු අමනාපයක් නිකිනි ට හිරිකඩය ගැන දැනුණේ නැත.

ඇය තේ කෝප්පයක ස්ටිකරයක් ඔහු ට යැව්වා ය. ඒ මොහොතේ ම එය ‘සීන්’ වූයේ විදත් යමක් බලාපොරොත්තුවෙන් දුරකථනය අතේ තබා ගෙන ම සිටි නිසාවෙනි.

නිල් පාටින් හරි දෙකක් සලකුණු වෙත්දී නිකිනි ගේ ළය මඬළෙහි අකුණක් පිපිරුවේ ය.

“කෝපි බොනව නේ…”

විදත් අසා එව්වේ ය. ඒ අතර තුර ‘ටයිපින්’ ලෙස ලියැවී තිබූ තත්පර කිහිපය තුළ සිය පපුතුර බිත්තර තැම්බිය හැකි උණුහුමක් නිකිනි අත් වින්දා ය.

“හ්ම්…”

කෝපි උගුරක් තොල ගෑම තරමට ම ඒ මොහොත මිහිරි වූයේ ය.

“චීස් සැන්ඩ්විචස් එක්ක”

ඔහු කහ පාට ඉමෝජි මුහුණක් එව්වේ ය. 

“මට ඔයාගෙ කෝපි එකේ සුවඳ දැනෙනව”

“වහිනව මෙහෙට…හොඳටම”

“ඔයා වැස්ස දිහා බලං ඉන්නවද..”

“හ්ම්. බැල්කනි එකේ. මෙතන හිරිකඩට සීතල වෙලා”

“පිනි වැදිල ලෙඩ වෙයි”

“පින්නට මං ආසයි”

“නැගිටින්න කම්මැළි කමේ මං තාම ඇඳේ…වැඩට යන්නත් තියනව”

“නැගිටින්න නැගිටින්න කම්මැළි වෙන්නැතුව. කවුරුත් නැද්ද ඔය හරියෙ වතුර එකක් ගහල නැගිට්ටවන්න”

“කාලෙක ඉඳල තනියමනෙ ඉතිං”

පෙරලා පිළිතුරු ලියන්න ට නිකිනි ගේ අතැඟිලි ඉක්මන් නො වූයේ ඒ අවස්ථාවේ ය. ඕ මඳක් නැවතී දුරකතන තිරය දෙස බලා උන්නා ය. එහා ඉමත් නිසල ව පැවතිණ. 

ඇගේ පමාව නිසා ම විදත් ගේ සිත් හි සියුම් පසු තැවීමක් ඇති විය. එය ලැජ්ජාව කැලතුණ පිරිමි හැඟීමකි. ඇය සිය ප්‍රකාශය කවරාකාරයෙන් භාර ගත්තා ද යන ගැටළුව දැන් ඔහු වෙත වේ. විදත් කියන්නේ ලෙහෙසියෙන් ස්ත්‍රීන් විෂයේ හෑල්ලුවට ලක් වන්නට රිසි පිරිමියෙකු නොවේ.ඔහු බොහෝ පිරිමින් සේ ස්ත්‍රීන් පොළඹවා ගැනීම මගින් සතුටු වූ හෝ ඒ ගැන වහසි බස් දොඩන්නට පෙළැඹෙන පුද්ගලයෙකු ද නොවේ.  පිරිමින් අතරේ දී ටත් වඩා ගැහැනුන් අතරේ දී පිරිමියෙකු සිය තත්වය රැක ගත යුතු යයි හෙතෙම නිතර ම සිතුවේ ය.

නිකිනි යමක් වරදවා හිතන්නට ඉඩ ඇතැයි තැති ගත් විදත්, මේ කතා බහ මෙතෙකින් නතර වන එක වඩාත් හොඳයි කියා සිතුවේ ය.

“මං වැඩට යන්න රෙඩි වෙන්න ඕනෙ කෙල්ලෙ. එහෙනං ඔයා නිදහසේ කෝපි බිබී වැස්ස දිහා බලං ඉන්න”

ඒ පණිවිඩයත් එක්ක ම, නිකිනි ගේ ඇස් මානයේ ම විදත් ‘ඕෆ් ලයින්’ ගියේ ය. සාංකා හැඟීමක් දැනුණත් නිකිනි ඒ ඔස්සේ සිය සිතට දුර දිග යන්නට ඉඩ දුන්නේ නැත.

හිතට සතුටෙන් ඉන්නට මොන තරම් කුඩා දේවල් ප්‍රමාණවත් වන්නේ දැයි ඇය සිතුවා ය. විදත් හා ඈ අතර නමක් දී හඳුන්වා දිය හැකි කිසිදු සබැඳියාවක් ඇත්තේ නැත. නමුත් ඔවුන් අතරේ සතුට තිබෙන්නේ ය. ඔවුන් අතරේ හුවමාරු වූ වචන කිහිපය අතරේ සතුට තිබෙන්නේ ය.

කෝපි කෝප්පය හිස් කළ නිකිනි, හිරිකඩ ගැන කරදර නොවී සඳැල්ලේ ගරාදි වැට වෙතට ම ගියා ය. අහසේ නොදන්නා වලාකුලක සිට කඩා වැටෙන වැහි කඳුළු, පොළොවේ කවදාවත් නො දැන උන් මුහුණතක ගැටී චප්ප වී යයි. ඉහළ සිට බලන කල පහල තණ ගොමුවේ පිරුණු දිය තලාවේ වෘත්තාකාර ජල තරංග පෙළට නැංවී ඈතට ඈතට ගමන් කරයි. ජල තරංග වලට ඉඩ හසර තනා දෙනු මිස ජල තලයට වෙනත් ඉසිඹුවක් නැත්තේ ය.

“මං බැලුව කෝ කියල…”

එහඬින් නිකිනි තිගැස්සී ගියා ය. පිටුපස හැරී බැලූ ඕ දුටුවේ මංජුල ගේ මව ය.

නිකිනි මඳහසක් පෑවා ය.

“මේ වැස්සෙ නෑවෙ පිස්සුද ළමයො…”

මංජුල ගේ මව ගේ පෙනුමෙන් කියවුණේ නිකිනි මේ ලෝකයේ වන බරපතල ම වරද කර ඇතිවා බඳු කතාවකි. මුල දී නිකිනි ඔය වාගේ පුංචි දේවල් වලටත් හිත රිද්දවා ගත්තා ය. නැන්දම්මා ගේ කටු තුඩු වචන වලට ළය තුවාල කර ගෙන හැඬුවා ය. නමුත් මේ මොහොතේ ඈ තුළ ඇති වූයේ නැන්දම්මා අවුස්සා සතුටු වීමේ කුරිරු ආශාවකි.

“ඇයි පිස්සං කොටුවෙ කට්ටිය වැස්සෙද නාන්නෙ…”

එසේ ඇසු නිකිනි සිනහ වෙන්නට පටන් ගත්තා ය. සැබවින් හිතා මතා සිනහ වුණා නොව ඇය ට සිනහ ගියේ ය. නැන්දම්මා ලේලිය දෙස බලා උන්නේ ගිනි පිට වන දෑසකිනි.

“මේ මොන විකාරයක්ද මේ…ඇත්තටම ඔය ළමයට පිස්සු හැදිලවත්ද…”

වචන සැර වූවා ට ඇගේ ඇස් වල බියක් තිබෙනවා නිකිනි දුටුවා ය. නැන්දම්මා බිය වී තිබේ. සිය ලේලියට පිස්සු හැදී ගෙන එනවා යි බිය වී තිබේ. ඒ සිතිවිල්ල නිකිනි ව තව දුරටත් සිනහ ගන්වන ලදී.

“අම්මට හිතෙන්නැද්ද මට පිස්සු හැදෙන්න මෙච්චර පරක්කු වුණේ මොකද කියල…හරිනං මීට කලිං පිස්සු හැදෙන්න තිබුණෙ. අම්මගෙ පුතණ්ඩියගෙ කෙරුවාවට”

හිස මත හෙණ ගෙඩියක් පාත් වූවා සේ මංජුල මාතාව කම්පිත වූවා ය. සැබවින් ම නිකිනි ට අද සිදු වී ඇත්තේ කුමක් දැයි ඕ මඳ භීතියකට පත් වෙමින් සිටියා ය.

“බය වෙන්න එපා අම්මෙ. තාමනං මට පිස්සු හැදිල නෑ”

නිකිනි නිවැරදි කළා ය. නො එසේ විණි නම් මංජුල ගේ අම්මා ට හෘදයාබාධයක් වැළඳෙන්නට වුව ඉඩ ඇතැයි ඇය සිතුවා ය.

“ඒත් කොයි වෙලාවෙ හරි ඒකත් වෙන්න පුළුවන්. මං අම්මගෙ පුතාට කිව්ව අර යාළු වෙලා ඉන්න ගෑනු ළමයව අමාරුවෙ දාන්නෙ නැතුව කසාද බැඳ ගන්න කියල”

නැන්දම්මා ගේ දෑස් දොඹ ගෙඩි මෙන් විසල් විය. හොල්මනක් දැක බිය වූවා සේ ය ඇය නිකිනි දෙස බලා සිටින්නට වූයේ. මීට පෙර කිසි දාක ලේලිය මේ වගේ කතා කියා නැත. පුතාට පමණකුදු නොව ඕ නැන්දම්මා ට ද බියෙන් හිස පහත් කර ගෙන උන්නා ය. ඔවුන් ගලක් ගෙන ඒ මැණිකක් යයි කීවොත් හිස් මුදුනෙන් එය පිළි ගත්තා ය. නො එසේ වී නම් එසේ හැඟවූවා ය. මොනවා කෙසේ සිදු වුණත් ඇය කට ගසා ගෙන ආවේ නැත. එකට එක කියා ගෙන ආවේ නැත. ගුවනි එක්ක මංජුල ලැගුම් හලකට යන ඡායාරූප කිහිපයක් නම නො දන්නා කෙනෙකු විසින් ඇගේ දුරකතනය වෙත එවනු ලැබූ අවස්ථාවේදීත් හඬ හඬා මහ ගෙදර ගියා මිසෙක මෙවන් හයියකින් කතා කළේ නැත. එහෙව් නිකිනි ට මේ හදිසියේ වූයේ කුමක් ද යන්න සැබවින් ම නැන්දම්මා ට විසඳා ගත නො හැකි ගැටළුවක් විය.

“මොනවද ළමයො මේ කියවන විකාර කතා…ඒ කසාදෙ කරල දීල ඔය ළමය තපසට යන්නද…”

නිකිනි නැවතත් හඬ නගා හිනැහුණා ය. වැහි හඬ අතරේ ඒ හඬ දෝංකාර දුන්නේ ය. නැන්දම්මා තව දුරටත් බිරන්තට්ටු වූවා ය.

“එතකොට දවසක ඒ ළමය තපසට ගියාවෙ කියලද අම්මල පුතාල හිතං ඉන්නෙ…”

“නිකිනි මේ…මේක හොඳට මතක තියා ගන්න. අපිට පිරිමිංව අල්මාරියෙ දාගෙන පරිස්සං කරන්න බෑ. යන යකා කොරහත් බිඳගෙන යනව තමයි. එහෙමයි කියල ඒ කසාදෙ කඩා ගන්න එක නෙවෙයි කසාද ගෑනිගෙ වගකීම වෙන්නෙ. කොහොම හරි කසාදෙ රැක ගන්න එක. මොකද අන්තිමට ඔය කොහේ ගිහිං ආවත් පිරිමි නතර වෙන්නෙ ගෙදරමයි”

“වයසට ගිහිං හොට බිම ඇනුණහමද…”

නැන්දම්මා ගේ කට ඇද වී ගියේ ය. නිකිනි හොස්ස ගැස්සුවා ය.

“අනේ…මටනං ඕන නෑ. යන කෙනෙක් දැන් ම යන එකයි තියෙන්නෙ”

“ඒ කියන්නෙ තමනුත් දැං යන්න තැනක් හොයා ගෙනද තියෙන්නෙ…”

නිකිනි හී ගසක් සේ නැවතුණා ය. තත්පර කිහිපයක් ගත වන තුරු ඇස් පිය සලන්නට පමණකුදු නොව හුස්ම ගන්නට පවා ඇය ට අමතක වී තිබිණි. පපුව ඇතුළේ අමුතු උණුසුමක් ඇයට දැනුණේ ය. එය බියක් ම නොවේ. නමුත් තරමක වරදකාර හැඟීමක් එහි විය. 

“මංජුලට පුළුවන් නං මටත් හොයා ගන්න බැරි වෙන එකක් නෑනෙ…නේද අම්මෙ…”

නැන්දම්මා ටික වෙලාවක් ගිනි පිටවෙන දෑසින් බලා ගෙන සිටියා ය. අද සිටින්නේ වෙනදා සිටි ලේලිය නොවේ. අද නිකිනි ගේ ඇස්, යකිනියක ගේ ඇස් වලට සමාන ය. කුවේණිය ගේ ඇස් වල වන්නට ඇත්තේත් ඔය රෞද්‍ර බව යයි නැන්දම්මා සිතුවා ය.

ඊළඟ තත්පරයේ නැන්දම්මා ගස්සා ගෙන යන්නට යාවි යයි නිකිනි සිතුවා ය. නමුත් සිදු වූයේ එය නොවේ. 

“ළමයො”

බැගෑපත් ස්වරයකින් නැන්දම්මා සිය හඬ අවදි කළා ය. නිකිනි අදහා ගත නො හැකි ව ඇය දෙස බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x