හසරැලි වැස්සේ -9

යෙත්මිගේ අක්කාගේ විවාහ මංගල්‍යය උදා වූයේ ය.යෙත්මිට දෙවැනි මනාලිය වෙන්නට අවස්ථාව උදා වූ හන්දා මා සිටියේ ඇය සමඟ සාප්පු සවාරි යන කාර්ය බහුලත්වයක ය.ඇය තරම් අක්කාටවත් වැඩ නැතැයි ආන්ටි සමච්චල් කළ ද යෙත්මි සිටියේ පුදුමාකාර උනන්දුවකිනි.ආසාවකිනි.

ඒ සිදුවීම උදා වූයේ මංගල්ලයට දින දෙක තුනකට පෙර ය. රූපලාවණ්‍යගාරයකට යන්නට යෙත්මිට මාත් උවනිත් ඕනෑ විය.ඇයට කරන්නට අප්‍රමාණ දේවල් ද තිබිණ.මා ඇය කරන දේ දෙස ඇසපිය නොහෙළා බලා සිටියදී උවනිට හිසකෙස් වර්ණ ගන්වන සිතක් පහළ විණ.මට ද ආසාවක් උපදින්නට ඇත.මා ගැහැනු ළමයෙකි.

“අම්මේ,මං සැලෝන් එකට ආවනෙ යෙතූලා එක්ක.යෙතූ වැඩ ගොඩක් කරනවා.උවනි කොණ්ඩෙ කලර් කරනවා.මාත් මොනවහරි කරන්නං..”

මම අම්මාට ඇමතුමක් දුනිමි.අම්මා කොහොමත් හැඩවැඩට ප්‍රිය කරන්නියකි.
ඇය දැන් රූපලාවණ්‍යගාරයකට නොගිය ද හැඩ තබා සාරිය හැඳ ගැළපෙන විලාසිතා කරන්නට සමතියකි.ඉඳහිට කහ ද කෝමාරිකා ද මීපැණි ද මුහුණේ ආලේප කරගන්නා ඇය ඒවා පාඩම් කරමින් සිටින මගේ මුහුණේ ද තවරා මගෙන් බැනුම් අසන්නියකි.

“තාත්තිට මැසේජ් එකක් දාලා ඕන එකක් කරන්න.සැලෝන් තියෙන්නෙ ඔය වයසෙ කෙල්ලන්ටනෙ.මං තියනවා සූකිරි..”

අම්මා පැවසුවේ එපමණකි.මම තාත්තාට වට්ස් ඇප් පණිවිඩයක් යැවීමි.ඔහු ඇසූ එකම දේ “සල්ලි කීයක් ඕනද පුතු” පමණකි.අම්මා මා අත බැංකු කාඩ්පතක් තබා තිබූ නිසා මට මුදලක අවශ්‍යතාවයක් නොවී ය.

“මං සැලෝන් එකකට ආවා.කොණ්ඩෙ කපන්නං..” මම ඊළඟ පණිවිඩය අයියාට යොමු කළෙමි.මා සැබෑවටම නිවසේ හැමකෙනෙකුගෙන්ම මේවා විමසිය යුතු තරමට සිර ගෙයක වාසය කරන්නියක නොවේ.එහෙත් අලුත් දෙයක් කරන්නට පෙර හැමකෙනාගේම අදහස් මට ඕනෑ ය.මා සම්පූර්ණ වන්නේ එවැනි මොහොතක ය.

පිළිතුර පැමිණියේ අයියාගෙන් නොවේ.

නිර්මාණි අක්කා,මගේ අයියාගේ පෙම්වතිය මගේ මුහුණට ගැළපෙන කොම්ඩා විලාසිතා කිහිපයක රූප එවා තිබුණා ය.විවාහ මංගල්‍යයකට යාමට සැරසෙන නිසා කළ හැකි තවත් දේ ඇය ලියා එව්වා ය.මට දෙනෙත් සිහි විණ.

“අහන්නකො.අපේ නිර්මාණි අක්කා..”

මම උවනිට ඕපාදූපයක් කියන්නට පටන් ගතිමි.නිර්මාණි අක්කාගේ විලාසිතා සම්බන්ධ මත කියවන අතර උවනි මදෙස බැලුවේ හිනැහෙන නෙතකිනි.

“නිර්මාණි අක්කා කියන්නෙ ඉතින් අනුෂ්කා ෂර්මා එහෙම වගේ මගේ අසූහාරදාහක තරහකාරියෝ අතරින් එක්කෙනෙක්.කියන්න කියන්න..”

උවනි කියන්නේ හිනැහෙමිනි.

“මගේ ක්‍රෂ් අසූහාරදාහකින් හසරැල් අයියත් එක්කෙනෙක්නෙ.නිර්මාණි අක්කා මොකෝ..”

උවනිගේ සිනාව මට බෝ විණ.මට මෙන් හදවත ලෙඩ කරන ආකර්ෂණයක් ඇයට නොවේ.ඇය කොරියානු,ඉන්දියානු යුරෝපා තරුණයන් ගණනාවකට ද එදිනෙදා දකින හමුවන තරුණයන්ට ද හදවත කැබලි කරමින් පිළිගන්වා හිනැහෙන්නියකි.ඇය එපමණකට කෙළිලොල් ජීවිතයක් ගෙවද්දී මට හදවත පෙළන ඒකපාර්ශ්වික ප්‍රේමයක් ඇති වීම ඇගේ තදබල දෝෂාරෝපණයට හේතුවකි.

“අපේ අයියා එයාට නීති දාන් නෑනෙ.අක්කා මාර ස්ටයිලිෂ්.එයා ඔච්චර ලස්සනත් ඒකනෙ.මට මතක් වෙන්නෙ දෙනෙත් අර බ්‍රේකප් වුණු හේතුව..”

උවනිගේ සිනාව පුපුරා ගිය අතර මම ඇයට රැවීමි.මේ සිනා වන්නට කාරණාවක් නොවේ.

“පේනවනෙ.මිනිස්සුන්ගේ ජීවිත.හසරැල් අයියා දන්නව නිර්මාණි අක්කා මොනතරම් ස්ටයිල් කරත් ඒවා වෙන මිනිස්සු ආකර්ෂණේ කරගන්න කරන ඒවා නෙවේ කියලා.එයාට බය නෑ.සැක නෑ.එයාලා ලස්සනට ඉන්නව.එයාලා දවසක බ්‍රේකප් වෙනව කියමු.මැරි කරල ඩිවෝස් වෙනව කියමු.මං හිතන් නෑ හසී හේතුව සචිර අයියවත් දැන ගනී කියලා.කොල්ලො වුණාම අන්න එහෙම වෙන්න ඕන..”

උවනි වඩා බරැති වචන පැවසුවේ ඉන් අනතුරුව ය.මට වඩා රිදුම් දුන්නේ ඒවා ය.

“හසී,ඔයාගෙ අයියා ඇත්තටම මාර කොල්ලෙක්.හරි ඕපන් මයින්ඩඩ් මනුස්සයෙක්.අන්න එහෙම අයියෙක්ගෙ නංගියෙක් වෙලා ඔයා නිකන් නීති කාරයෙක්ගේ හිර කාරයෙක් වෙන්න එපා හරිද? අපි ලයිබ්‍රි එකෙන් අඬ අඬා කියෝපු අරාබි කතා අයිති ඒ පොළොවට විතරක් නෙවෙයි.එහෙම උන් මේ රටෙත් ඉන්නවා..”

රූපලාවණ්‍ය ශිල්පිනිය මගේ වරලසට නව හැඩයක් දෙනවිට ද ඇහිබැම සකසන විට ද මා සිටියේ ඒ වචන ගැන සිතමිනි.මගේ පෙනුම සහමුලින්ම වෙනස් වී ඇතැයි මුලින්ම කීවේ මගේ මිතුරියන් දෙදෙනා ය.

“කෙල්ලො ලොකු වෙන අපූරුව..පොඩ්ඩිගෙම දුව තමා..”

මම්මා මගේ රූපය ඉනික්බිති පසැසුවා ය.අම්මා සවස් යාමයේ නිවසට ආ පසු සාම්ප්‍රදායික ප්‍රශ්නයක් නොවිමසා අපූරු කතාවක් කීවා ය

“ඔයාට කලර් එකකුත් කරන්න තිබ්බෙ.දැන් ඉතිං විනය බාර මිස්ට බය කාලෙත් ඉවරනෙ..”

නිදහස් කිරිල්ලක වීමට ලැබීමේ ප්‍රීතියෙන් මා සිටියේ සතුටිනි.අයියා කල් තියාම මගේ ඡායාරූප දුටු නිසා ඔහු නැවත කිසිත් නොකී ය.මගේ කැත අඩු වී නැති බව ජිමී සමඟ පවසා මගෙන් ගුටි කන්නට නම් වාසනාවන්ත වූයේ ය.නමුත් මගේ සතුටු බුබුළ බිඳුණේ එදින සවස් යාමයේ ය.ගේට්ටුව හැරුණු හඬකට ඇස ඔසවා බැලූ මට දෙනෙත් අපේ නිවසට ඇවිද එන අන්දම පෙනිණ.හැඩ වැඩ වීමම සතුටක් කර ගත් මම හිනැහෙන දෑසකින් ඔහු දෙස බැලීමි.

“ඔයාටත් බෝ වුණාද අසනීපෙ..”

නාන කාමරයට වැදී හිසකෙස් කෙටි වන්නට කපා ගන්නා තරමේ වේදනාවකින් මගේ සිත දැවී ගියේ ය.ඇස ඉනූ කඳුළ සිමෙන්ති පොළොව සිප ගනිද්දී මම හුන් තැනම ගල් වූයෙමි.ඔහු ඇසට ප්‍රියජනක වන කෙල්ලක වන්නේ කෙසේදැයි සිතමින් මා බොහෝ වෙලාවක් එතැන එහෙමම ගෙවා දමන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles