(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ නීතීඥ මහතා කරුණු පෙන්වා සිටියා.

පැමිණිල්ලේ අය කියන හැටියටත් පොලිස් පොතේ පැමිණිල්ල දමා ඇති හැටියටත් මා සුධාරකගේ මරණයටත් පසු ගෙට බලෙන් ඇතුලු වූ කෙනෙක්.නමුත් ඊට වසර පහකට ආසන්න කාලයක සිට දිල්හානි රටින් පලාගිය විට සූධාරක ඇගේ පියාගේ මරණයෙන් පසු තමන්ගේ නිවස අත්පත්කරගත් තැන් පටන් ඒ නිවසේ ලයිට්,වතුර,දුරකථන,වරිපනම් වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සියල්ල සිදුකලේ මා විසින්. සෘජුවම ඒ ගෙවීම් සියල්ල කලේ මගේ බැංකු කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ් පත් වලින්.මා ඒ සියල්ල අදාල මාස වල බිල්පත් සමග ගෙවීම් කල රිසිට්පත් ස්ටේප්ලර් කර වෙන වෙනම ලිපිගොනු වල ගබඩා කර තැබුවා. ඒ නිසා මේ කියන සියලු චෝදනා බොරු බව ඔප්පු කරන්නට මට ඕනෑවටත් වඩා සාක්ෂි තිබූණා.

ඒ වගේම එම නිවසේ මගේ පදිංචිය චන්ද හිමි නාමලේඛනයට ඇතුලත්ව ගෘහමූලික ලැයිස්තුවේ ඇතුලත්ව තිබීම තවත් වැදගත් සාක්ෂියක් වුණා.එසේම වසමේ ග්‍රාමසේවක විසින් මගේ පදිංචිය තහවුරු කර සනාථකලන ලද සහතිකය ද ඒ අතර වුණා .

මගේ නීතිඥයන් මේ එකින් එක පෙන්වාදීමේදී පැමිණිල්ලට කලහැකි වූයේ වික්ෂිප්ත දෑසින් බලා සිටීම පමණයි.මම හැමවිටම හැමතැනම කිව්වේ ඇත්ත.බොහෝ විට මම ඇත්ත කතාකිරීම නිසා ඒ අවස්ථාවේදී යම් අපහසුතාවයන්ට පත්වූ අවස්ථා තිබුණා.ඒත් ඇත්ත කීම ඔබ ඔබේ ජීවිතයට කරගන්නා ආයෝජනයක් ලෙස හිතන්න.

මේ කතාව ඔබට කීමේදීත් මා කිසිවිටෙකත් කිසිදු තැනක සිදු නොවුණු දෙයක් හෝ අභූත දෙයක් කියා නැහැ.සමහරවිට එනිසා සමහරු මා ගැන වැරදි වැටහීමක ඉන්නටත් ඇති.නමුත් කවුරු කැමති අකමැති වුවත් මේ ලෝකයේ සත්‍යය ජයගන්නවාමයි.සුධාරක වෙනුවෙන් මා කල සියලු දේ දැනසිටියේ ලඟම සිටි අය පමණයි.මම ඔහුව ජීවත්කර ඒ ගැන ලෝකයට අඬබෙර ගසා කියන්නට ගියේ නෑ.ආදරය නිසා මිනිසෙකු වෙනුවෙන් කරන කිසිවක් කිය කියා ඇවිදීම ආදරය නොවේ.ඒ නිසා අවශේෂ මිනිසුන් සිතන්නට ඇති සුධාරකගේ තත්වයට බලයට නිලයට කෑදරකමේ මා ඔහු ලඟට එන්නට ඇති කියා.ඒත් ඇත්ත නම් ඊට වඩා ගොඩාක් වේදනාබර සංවේදී කතාවක්.

“මේ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් කියලා ඔබට දැන් වැටහෙනවා ඇති.මේ තියෙන්නේ ඒවාට සාක්ෂි.මේ මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනෙ මෙහෙම බොරු පැමිණිලි දාලා අපේ සේවාදායිකාවට අපහාස කලාට සහ කරදර කලාට.”

මගේ නීතිඥයන් එසේ පැවසුවා.ඒ ලිපි සමහරක් ඉල්ලාගත් පැමිණිල්ලේ නීතිඥයා ඒවා පරීක්ෂා කරණු මා දුටුවා.ඇත්තටම ඔහුට එතනදී ඔහු මේ වෙනුවෙන් ඉදිරිපත්වීම මෝඩකමක් යැයි සිතෙන්නටත් ඇති.නැතිනම් උගත් නීතිවේදියෙකු මෙලෙස ඇස්පනාපිට බොරුවක් වන පැමිණිල්ලකට ඉදිරිපත්වේය කියා මා සිතන්නේ නැහැ.

ඒ අතර මම, සුධාරකත් මමත් දුවත් ඒ නිවස තුල ආදරයෙන් සිටි බව ඔප්පුකරන්නට ඒ කාලයේ සිට අප ගත් ඡායාරූප වීඩියෝ ආදිය පෙන්වූවා. ඒ සියල්ල හොඳින් පරීක්ෂා කල ස්ථානාධිපතිවරයා සහ ඒ අසල සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් මුහුණට මුහුණ බලාගෙන ඔවුනොවුන් හා මේ උභතෝකෝටික පැමිණිල්ල සාකච්ඡා කරන්නට ද වුණා.අවසානයේ පැමිණිලි පාර්ශවය ඇමතූ ප්‍රධානියා සුධාරකගේ මස්සිනාට මෙසේ කීවා.

“මිස්ටර් මේ ඕගොල්ලෝ කියන කතාව බොරු නේ. මේ මිස් මේ සර් මීට සතියකට උඩදී මැරුනම ගෙට බලෙන් රිංගුවා නම් මීට අවුරුදු පහකට කිට්ටු කාලයක ඉඳලා තමන්ගේ නොවන තැනකට වතුර ලයිට් බිල් ගෙවාගෙන ඉන්න ඕන නෑ නෙ.අනික මේ සර් ඉන්න කාලෙ ඉඳලම මේ අය ආදර කරුණාවෙන් එකට ජීවත්වෙලා තියෙනබව ඔප්පු වෙනවා.දැන් මේ දානෙ දීල තියෙන්නෙත් මේ ගෙදරම නෙ.දැන් මට ඕගොල්ලන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න වෙනවා මේ පැමිණිල්ලෙ හැටියට”

එවිට පැමිණිල්ලේ නීතිඥයා ඉදිරිපත්වී මෙසේ කීවා.

“මෙහෙමයි මේ නිවස මගේ සේවාදායිකාවට ලබාගන්නයි ඕනෑ.ඒ නිසා මේ කාන්තාවට ගේ බාරදීලා ඉවත්වෙලා යන්න කියන්න”

එවිට මගේ නීතිඥයන් එයට එරෙහිවුනා

“ඒ සේවාදායිකාව කෝ.එයාට එන්න කියන්න බලන්න.මේ ඇටෝනි බලය අපිට පිලිගන්න බෑ මේක ලංකාවේ උසාවියෙන් අනුමත වූ එකක් නෙවේ.ඕන කෙනෙකුට ඕන ලියවිල්ලක් දෙන්න පුලුවන් ඒත් මේ රටේ වලංගු නීතියක් තිබෙනවා.ඔයාගෙ සේවාදායිකාවට ඇයි නීතිය හමුවේ පෙනී ඉන්න බැරි”

එවිට ස්ථානාධිපතිතුමා.මැදිහත් වී මෙසේ පැවසුවා.

” මේ ගෙදර අවි ආයුධ තියෙනවා නම් ඒවා මේ නිලධාරියාගේ ආයතනයට අදාල නම් ඒ ආයතනය ඉදිරිපත්වී කරන පැමිණිල්ලකට පොලීසියේ සහය දෙන්න අපි බැඳී ඉන්නවා.නමුත් මේ මහත්මිය මේ නිවසේ නීත්‍යනුකූලව රැඳී සිටියදී අපට ඇය එයින් ඉවත්කරන්න බැහැ.ඔබට අවශ්‍ය නිවසේ අයිතිය නම් අදාළ නඩු වගන්ති යටතේ ඇයට නඩු පවරා උසාවි තීන්දුවක් අරගන්න”

“අපිට උසාවි යන්න ඕන නෑ.මේක පොලීසියට විසඳන්න පුලුවන් අපිට මේක මෙතනින් විසඳලා දෙන්න” ඒ දිල්හානි ගේ නීතිඥයා.

“ඇයි උසාවි යන්න බැරි.තමන් සාධාරණ නම් නිවැරදි නම් උසාවි යන්න බැරිවෙන්න බෑ නෙ.මේක පොලීසියට විසඳන්න බෑ.මෙතූමිය ඉන්නෙ නීත්‍යනුකූල පසුබිමක. අපි මෙතූමිය එලවන්න ගිහින් ඇය අපිට විරුද්ධව පැමිණිලි කරයි.ඒ නිසා කරුණාකරල මේක නඩු මාර්ගයෙන් විසඳගන්න”

පැමිණිලි පාර්ශවයට උසාවි යෑමට තිබුණේ විශාල අකමැත්තක්.එයට හේතුවක් තිබෙනවා.දිල්හානි වරක් මහේස්ත්‍රාත් අධිකරණයක වරදකාරියක් වී දඩ නියමවී එයද පැහැර හැර සිටින අයෙක්.හැරත් ඇය ලංකාවට දමා තිබූ බරපතල චෝදනා නිසා ජීවිත කාලයම කරලියට එන්නට ඇයට හැකියාවක් නැහැ.

එම බොරු පැමිණිල්ල මෙසේ විසඳෙමින් තිබියදී.තමන් කියන සියලු දේ ඇස්පනාපිට බොරු බව ඔප්පුවෙමින් තිබියදී. සුධාරකගේ නීත්‍යනුකූල අයිතියක් නැතැයි කියන අනුරාධා සුදු ඇඳ සිටිනවිට පාට සාරියක් ඇඳගෙන පොලීසි ඇවිත් සිටි සුධාරක ගේ වැඩිමහල් සහෝදරියටත් කියන්නට කතාවක් තිබුණා.

ඇය කී කතාව අපි හෙට බලමු

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles