පතොක් මලක ප්‍රේමය -11

ධීර ඕනෑවට වඩා සමීප වන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට සමීප වන්නට ඉඩ දෙන්නට මම සිතුවෙමි.එහෙත් ඒ ආදරය පිණිස නොවේ.පසන් නික්ම ගියේ ආදරය සදහටම මිය යන්නට ඉඩ හැර ය.ඔහු වෙනුවෙන් ළාබාල පාසල් යුවතියක කාලයේ හටගත් ප්‍රේමය විසල් තුරක් වී මල් ඉති ලමින් තිබිණ.සරනි කුණාටුවක් වී පතිත වූයේ ඒ මල් හලමින් තිබූ ප්‍රේම වෘක්ෂයට ය.මා හද පාළු කාන්තාරයක් ව අවසන් ය.

යළිත් ප්‍රේමයක දෙපෙති පැළෑටියක් වත් මෙහි හට ගන්නේ නැත.

දුරකථනය එළි වැටිණ.ධීර මොනවා හෝ කියා එවන්නට ඇතැයි මට සිතිණ. එහෙත් එහි වූයේ ධීර නොවේ.

“වැස්සෙ තෙමිලා තෙමිලා උණ ගැනෙන්න තරම් අර බූරුවා වටිනවද?”

නිර්වාන්, ඒ ඔහු ය.පසන්ගේ නික්ම යාමත් සමඟ සෑම පිරිමියෙකුම සමඟ රණ්ඩුවට යන මට සිටි එකම මිතුරා ය.ඔහු මගේ අතීතයෙන් බොහෝ දෑ දැන සිටියේ ය.දෙවතාවක් ම රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධිය හදාරන වාසනාව උරගෑ නිර්වාන් දැන් අප සමඟ උගනින්නේ පරිගණක ඉංජිනේරුවෙකු වන බලාපොරොත්තුවෙනි.

“සාරා මෙතනට ආවේ තුන් පාරක් ඒලෙවල්ස් කරලා..මං දෙපාරක්..අපි නාකියි.මේ පොඩි උන් එක්ක ඇත්තටම අපිට නාස්ති කරන්න කාලයක් නෑ..”

ඔහු නිතර දෙවෙලේ මට මැතිරී ය.චමත්කා වසරක් ද අම්මාගේ වෙස් ගන්නා කේතකී දෙවසරක් ද මට වඩා වයසින් බාල වග මට සිහිපත් වෙන්නේ එවැනි මොහොතකදී ය.නිර්වාන් ද මට වසරකට බාල ය.එහෙත් ඔහු එය මාස ගණනක් වග නිරන්තරයෙන් සිහිපත් කරන්නට වග බලා ගනියි.කේතකී ද චමත්කා ද වැරදීමකින් හෝ අක්කායැයි නොඅමතන නිසා මට නිර්වාන්ගෙන් ද එවැනි නෑකම් අවැසි නැත.

“කොහොමහරි පසන්ට වඩා දුරක් යන්නෝනෙ..” නිර්වාන් ඉගෙනීම ගැන මා උනන්දු කරද්දී මට තිබූ එකම අරමුණ එය ය.මම ඔහුගේ පණිවිඩයට ඇස දල්වාගෙන පිළිතුරක් ගැන බොහෝ වෙලාවක් සිතීමි.

“මට අද මිස් වෙන ලෙසන්ස් ටික කියා දෙන්න හොඳේ..”

අනතුරුව මම එසේ පිළිතුරක් යැවිමී.

“මම ඇහුවෙ ඒකද? අර යකා හන්දා තව කොච්චර කාලයක් නාස්ති කරගන්නවද?”

නිර්වාන්ට කිසිම පිළිතුරක් නොයවා මම ඇඳේ පෙරළෙන්නට ගතිමි. දොර සීනුව වැදුණි.මාලක අයියාගේ හඬ මතු විණි.

“නංගි, මං මාලක අයියා.ඔයා ඔහොම රූම් එකෙන් ඉන්න කමක් නෑ.නැගිට්න්න එපා.රොටී දීලා යන්න ආවේ..”

පිරිමි දරුවන් වාසය කරන ගෙදරක ගැහැනු දරුවන් නැවැත්වීම ගැන අම්මලා බොහෝ සැක සංකා ඇති කර ගත් බව සැබෑවකි.නමුත් කාලය ගෙවී ගියේ මාලක අයියා අපේ වැඩිමහල් සහෝදරයා බවට පත් කරවමිනි.සහෝදරකම් ඇති වන්නේ ලේ බැඳීමෙන් නොව හදවතේ බැඳීමෙන් බව අපට ඉගැන්වූයේ ඒ තෙසොහොයුරන් ය.

“අයිය අද කැම්පස් ගියේ නෑ?”

මම ඔහු පිළිගන්නට ගියෙමි.යාන්තම් හෙම්බිරිස්සාවක් සහ තදබල හිස කැක්කුමක් මිස මට වෙනත් අසනීපයක් ද නැත.

“අපිට ස්ටඩි ලීව්නෙ නංගි.ඒත් අර ධීරයාට වීස් එකත් ආවා රෑ. උදේම බේත් ගන්න එක්කන් ගිහින් ඌට සාත්තු කරා මේ..පව් ඉතිං ඔහොම වෙලාවකට අපි විතරනෙ ඉන්නෙ..”

මාලක අයියා යන්නට ගියේ එසේ කියා ය.ධීරට අමතන්නට මට සිතිණ.

“සොරි, ඔයා ඊයේ මං හින්දා තෙමිලා අසනීප වෙන්න ඇත්තේ.ගෙට් වෙල් සූන්..”

මම ලියා යැවීමි.එසේ යැවූ මම ඔහුගේ ෆේස්බුක් ගිණුමට ගොස් ධීරගේ ඡායාරූපයකට ඇස අලවා ගතිමි.

“එහෙම නෑ නංගි.මං සෙම් කුක්කෙක්..”

ඔහු පිළිතුරු එවා තිබිණ.මම ඔහුගේ හිත නිවී යන මඳහසෙහි යළිත් ගිලී ගියෙමි.එහි කුමක්දෝ වේදනාවක් ගැබ් වී ඇත.ප්‍රේමයකින් පැරදුණු ලකුණු ඇති විවිධ සටහන් ඔහු ෆේස්බුක් ගිණුමට එක් කර ඇති බව නිරීක්ෂණය කරන්නට මට තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියේ ය.ඔහුව රැවටිලිකාර සම්බන්ධයකට පටලවා ගත යුතු නොවේ.ඔහු ද යම් ප්‍රේම වියෝගයකින් පෙළෙන හැඩකි.

“මොකද බූට් පෝස්ට් ශෙයා කරන්නෙ? ළඟදිද බූට් කෑවේ.”

මට ලියා යවන්නට සිතිණ.ඔහුට ඕනෑනම් මා සමඟ හැර ගිය පෙම්වතිය ගැන බෙදා ගන්නට ඉඩ දෙන්නට මම තීරණය කළෙමි.

“බූට් තියන්න තරම් ඒ ළමයා දුෂ්ට නෑ.ගෙදර උංගෙ බලුකම් නිසා මට එයා නැති උනා..”

මම බොහෝ වාරයක් ඒ වාක්‍යය කියවීමි. බොහෝ වාරයක් ඉන් පීඩාවට පත් වීම්.මුදල් කවුන්ටරයට වී මහ රැජින වෙස් ගෙන හිඳින මුහුණේ ලේ පොදක් නැති ගැහැනිය මට සිහිව ආවේ ය.ධීරගේ මුහුණේ වේදනාබර රැළි ඔය තරමට අඳින්නට තරම් ඇයට ඇති වෛරය සිතමින් ම මා ඔහුට පිළිතුරු යැවීමි.

“දවසක මට එයා ගැන කියන්න.මං ඔයාට පසන් ගැන කියන්නම්..”

ඔහු බොහෝ වෙලාවක් යමක් ලියමින් හිඳින බව පෙනිණ.නමුත් පැමිණියේ වචන පහකි.

“මට පසන් ගැන අහන්න ඕන්නෑ”

ඔහු ඊයේ අර මහ වැස්සේ මා මහ පාරට තල්ලු කර දැමුවානම් දුක නැත.මට දැනුණේ උසුලා ගත නොහැකි ලැජ්ජාවකි.ඒ ලැජ්ජාව දරා ගන්නට නොහැකි තැන මම දුරකථනය අක්‍රීය කළෙමි.කෝපය පිට වූයේ අත තිබූ කෝප්පයෙනි. එය කැබලි සහසකට බිඳී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles